spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව යළි කොරෝනා අවදානමක

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව තුළ නැවත වතාවක් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම සහ කොරෝනා මරණ සිදුවීම ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ පිළිබඳ සෞඛ්‍ය අංශ වහාම මැදිහත් විය යුතු බව ද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේය.

මේ වනවිට දෛනිකව කොරෝනා ආසාදිතයන් 05ක් පමණ වාර්තාවන අතර පසුගිය දින ‍03ක කාලයේ දී කොරෝනා ආසාදිත මරණ 02ක් ද වාර්තා වී ඇත.

මෙවැනි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොරෝනා හඳුනාගැනීම සඳහා පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණය සිදුනොකරන තත්වයක් තුළ දී ය. යම් පුද්ගලයකුට කොරෝනා ආසාදිත ද යන්න සොයා බලන්නේ ඒ පිළිබඳ බලවත් සැකයක් ඇති වූ අවස්ථාවක දී පමණි. එමෙන්ම කොරෝනා මරණයක් බවට තහවරු කරන්නේ කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය යන පුද්ගලයකු පමණි.

මෙවැනි තත්වයක් තුළ දෛනිකව කෙ‍ාරෝනා ආසාදිතයන් 05 දෙනකු පමණ වාර්තාවීම හා මරණ සිදුවීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව තුළ නැවත කොරෝනා වසංගතය පැතිරෙමින් පවතින බවයි. මේ වනවිට කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීම සඳහා පනවා තිබූ සෞඛ්‍ය නිර්ණායක ඉවත් කර ඇති බැවින් තත්වය වඩාත් දරුණු විය හැකි බව ද වෛද්‍ය අංශ පෙන්වා දෙයි.

වෛද්‍යවරු පවසන්නේ මේ දිනවල රට පුරාම ශ්වසන රෝගවල පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සංගමය පවසන්නේ කොරෝනා හඳුනාගැනීමේ අහඹු පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මුළුමනින්ම නතර කර දමා ඇති බවයි.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ මෙසේ කීවේය.

“ඉන්දියාව ඇතුළු රටවල් කිහියක යළිත් වරක් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම වේගයෙන් ඉහළ යමින් පවතිනවා. එවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාව අවදානයෙන් සිටිය යුතුයි. දැනටමත් අපේ රටේ ශ්වසන රෝග පැතිරීමක් දක්නට ලැබෙනවා. නමුත් කොරෝනා හඳුනාගැනීමේ පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්පූර්ණයෙන් ම අතහැර දමා තිබෙනවා.”

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ, රට තුළ එන්නත්කරණය සාර්ථකව සිදුකර ඇති බැවින් සොයාගෙන ගොස් ‍කොරෝනා පරීක්ෂණ සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!