spot_img
spot_imgspot_img

“දිනමිණ වාර්තාව ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න” නිදහස් මාධ්‍ය ව්‍යාපාර‍ය ඉල්ලයි

පුවත්

විදෙස්

සියදිවි නසා ගැනීම් වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදයේ පිළිගත් ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් සහ මාධ්‍ය ආචාරධර්ම පවා නොතකා හරිමින් දිනමිණ පුවත්පත පසුගිය අප්‍රේල් 20 වැනි දා සිය මුල් පිටුවේ ප්‍රවෘත්තියක් පළකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ඉල්ලීමෙහි දැක්වෙන්නේ තරුණ සමාජ ක්‍රියාකාරිකයකු වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න තම නවාතැනේ දී සියදිවි නසාගත්තා යැයි කියන පුවත දිනමිණ පුවත්පත වාර්තා කළ ආකාරය පිළිබඳ දැඩි විවේචනාත්මක සංවාදයක් මේ වනවිටත් නිර්මාණය වී ඇති බවයි.

ඒ පිළිබඳ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අවධානය යොමු වූ බවත් කරුණු විශ්ලේෂණය කිරීමේ දී දිනමිණ පුවත්පතේ සඳහන් වාර්තාවේ කරුණු කිහිපයක් හා එම වාර්තාවෙන් ගොඩ නගන්නට උත්සාහ දරන සන්දර්භය පිළිබඳ පුවත්පත් පැමිණිලි කොමිෂන් සභාවේ අවධානනය‍ යොමුකරන බව ද එම සංවිධානය සඳහන් කරයි.

එහි දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පහත සඳහන් කරුණු පෙන්වා දෙයි.

  • 2023 අප්‍රේල් 04 වැනි දා බ්‍රහස්පතින්දා දිනමිණ පුවත්පතෙහි මුල් පිටුවේ ප්‍රධාන පුවතට යාව ඉහළ වම් පස වර්ණ ඡායාරූප මෙන් ම අක්ෂර සහිත ව සහ එම පුවත්පතේ ම 07 වැනි පිටුවේ ද වර්ණ ඡායාරූප සහිතව බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න සියදිවි හානි කර ගනිමින් මරණයට පත් ව ඇති බව ප්‍රමුඛතා සහිතව වාර්තා කර ඇත. (අදාල ඡායාරූප සඳහා ඇමිණුම බලන්න) මුල් පිටුවේ සහ ඍජුව දර්ශනය වන 07 වැනි පිටුවේ මෙම පුවත වාර්තා කර ඇති අන්දම අනුව පුවත්පත අපේක්ෂා කර ඇත්තේ ඉහළ පාඨක අවධානයක් බව පැහැදිලිය.
  • එම වාර්තා කිරීමේදී යොදා ඇති සිරස්තල සහ පි‍ටු සැකසුම් උපාය මාර්ග සළකන විට පැහැදිලි වන්නේ කිසියම් දේශපාලන අරමුණක් සහිතව මෙම වාර්තා කිරීම සිදු කර ඇති අතර සියදිවි නසා ගැනීමක් සම්බන්ධයෙන් මෙතරම් පාඨක අවධානයක් දිනා ගැනීමට ජාතික පුවත්පතක් උත්සාහ දැරීම සිය දිවි නසා ගැනීම් වාර්තාකරණයේ දේශීය මෙන්ම ජාත්‍යන්තර  ප්‍රමිතීන්ද උල්ලංඝනය කරන බව පෙනී යයි.
  • මෙම වාර්තා කිරීමේදී මුල් පිටුවේ මෙන්ම 07 වැනි පිටුවේද “අරගලයේ ප්‍රධාන නියමුවෙක්” යනුවෙන් මරණකරු ලේබල් කිරීමට උත්හාස ගෙන ඇති බව නිරීක්ෂණය වේ. (Labeling Theory) එමගින්ද පුවත්පත කිසියම් දේශපාලන වුවමනාවක් සන්තර්පණය කිරීම සඳහා උත්සාහ ගන්නා බව අපගේ නිරීක්ෂණයයි.
  • මුල් පිටුවේ සඳහන් අනු සිරස්තල අතරින් එකක් සඳහන් වන්නේ “මරණකරු අධිමාත්‍රාවෙන් යුක්ත පෙති වර්ගයක් පානය කොට ඇති බවයි”. මෙය සියදිවි නසා ගැනීම් වාර්තාකරණය සම්බන්ධ ප්‍රමිතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව සිතන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මතය වන්නේ විෂාදයට හෝ ක්ෂතියට ගොදුරු වූ තැනැත්තන්ට එවැනි වාර්තාකරණයකින් මග පෙන්වීමක් හෝ උත්තේජනයක් ලබා දෙන බවයි.
  • මුල් පිටුවේ පළ ව ඇති සෙසු අනු සිරස්තලයක ඔහු අරගලය අවස්ථාවේ මුල්ම අට්ටාලය ඉදි කළ බවද සඳහන් කරන අතර මිය ගිය දිනයේම භූමදානය සිදු කළ බව සඳහන් කරයි. එම තොරතුරුද මරණකරුගේ කීර්ති හානිය සඳහා කළ වක්‍ර කරුණු දැක්වීම් ලෙසද තර්ක කළ හැකි අතර එවැන්නකින් මිය ගිය තැනැත්තෙකුගේ කීර්තියට හානි පැමිණවීමද පිළිගත් මාධ්‍ය ආචාර ධර්මවලට පටහැණිය. එහිදී ගැඹුරින් සළකා බැලිය යුත්තේ මිය ගිය තරුණයා අපරාධකරුවෙකු හෝ ත්‍රස්තවාදියෙකු ලෙස නීතිය ඉදිරියේ වරදකරුවෙකු වී නොමැති නිර්දෝෂී පුරවැසියෙකු යන්නයි.
  • මුල් පිටුවේ මේ පළ කිරීමට අදාලව ඔහු මිය ගොස් සිටින අන්දම දැක්වෙන ඡායාරූපයක් පළ කිරීම ඉතා බිහිසුණු අන්දමින්  ජනමාධ්‍ය ආචාර ධර්ම හා ප්‍රමිතීන් උල්ලංඝනය කිරීමකි. එමගින් දිනමිණ පුවත්පත පිළිගත් පුවත්පත් ආචාරධර්මවලට අවමන් කර ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විශ්වාසයයි.
  • පුවත්පතෙහි 07 වැනි පිටුවේද මරණකරු මිය ගොස් සිටින අන්දම දැක්වෙන ඡායාරූපය පුනර් පළ කිරීමක් සිදු කර ඇත.
  • පාඨක අවධානයට භාජනය වන 07 වැනි පිටුවේ මරණකරු අවසන් වරට පළ කළ ෆේස්බුක් සටහනද ග්‍රාෆික පළ කිරීමක් සිදු කර ඇත.
  • එසේම එම පිටුවේ අරගලයට පෙර ඔහු  විසින් පළ කළ සටහනක් හා ඔහු අරගලයේ නිරතව සිටින අන්දම දැක්වෙන වර්ණ ඡායාරූපයක්ද පළ කර ඇත.
  • 07 වැනි පිටුවේ පුවත පළ කර ඇති අන්දමට අදාල ඉහත සඳහන් කළ කරුණු ත්‍රිත්වය වෙනම ගෙන පිරික්සීමේදී පෙනී යන්නේ මූලිකව අරගලයේ දේශපාලනික වශයෙන් විරුද්ධ පාර්ශව තුළ වෛරී හා අවමන් සහගත හැඟීමක් මරණකරු කෙරෙහි ගොඩ නැංවීමට පුවත්පත උත්සාහ දරා ඇති බවයි.
  • එසේම මෙම වාර්තාකරණය අපේක්ෂා භංගත්වයට පත් වූ වෙනත් තරුණ කොටස් කෙරෙහි උත්‍තේජනයක් වීමේ ශක්‍යතාවක් තිබිය හැකි බවද අපගේ නිරීක්ෂණයයි.

දිනමිණ පුවත්පත ශ්‍රී ලංකාවේ පිළිගත් සහ ලියාපදිංචි ජාතික පුවත්පතක් ලෙස රජය විසින් පවත්වාගෙන යන බැවින් එය මජන දේපළක් බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි.

එබැවින් දිනමිණ පුවත්පත පටු අරමුණු වෙනුවෙන් පුවත්පත් ආචාරධර්ම හා පිළිගත් ප්‍රමිතීන්ට අවමන් කරමින් හා ඒවා උල්ලංඝනය කරමින් සිදුකළ මෙම වාර්තාකරණය පිළිබඳ වැඩි දුර කරුණු විමර්ශනය කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පුවත්පත් පැමිණිලි කොමිසමෙන් ඉල්ලා ඇත. ඉන් අනතුරුව එම විමර්ශනයෙන් අනාවරණය වන කරුණු කර්තෘ සංසදයේ දැනුම්වත් වීම සඳහා ඒ වෙත ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!