spot_img
spot_img
spot_imgspot_img

ඔබේ දරුවාත් මත් රකුසාගේ ගොදුරක් විය හැකියි. වහාම ක්‍රියාත්මක වෙන්න

පුවත්

විදෙස්

දකුණු පළාතේ නාගරික, මුහුුදු බඩ සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ඇති පාසල්වල 09-10 ශ්‍රේණිවල සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ විශාල අවදානමක් ඇතැයි අධ්‍යයනයකින් හෙළිදරව් වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුවේ දී කරන ලද යෝජනාවකට අනුව විශේෂඥ ප්‍රජා වෛද්‍ය අමිල චන්ද්‍රසිරි සහ රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ඉෂාරා වන්නිආරච්චි විසින් කරන ලද අධ්‍යයනයකින් මේ බව හෙළි වී තිබේ.

එම අධ්‍යයනයෙන් අනාවරණය වන්නේ හෙරොයින් සහ අයිස් වැනි මත්ද්‍රව්‍ය දකුණේ පාසල් සිසුන් අතර භාවිතයන් වාර්තා වී නැතත් මත්වීමට තුඩුදෙන ඖෂධ වර්ග, දුම්කොළ නිෂ්පාදන සහ අන්තර්ගත මෙන්ම නිවැරදිව හඳුනානොගත් ටොෆි වර්ග මත්ද්‍රව්‍ය ලෙස භාවිතා වන බවයි.

දරුවන් සහ දෙමාපියන් අතර දුරස්ථභාවය, මව විදේශගතවීම, පවුල් විසිරී යාම සහ පවුල් පරිසරය තුළ දෙමාපියන් විසින් දරුවන් පිළිබඳ සොයා බැලීම අවම වීම යන කරුණු මෙන් ම පාසලේ දී දරුවන්ට දැඩි දඬුවම් ලබාදීම, කොන් කිරීම, නෙරපා හැරීම මත්ද්‍රව්‍ය වෙත ආකර්ශනය වීමට හේතුවන බව හඳුනාගෙන තිබේ.

විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි පවසන්නේ රාත්‍රී කාලයේ පාඩම් කිරීමට යන බව පවසමින් මිතුරන්ගේ නිවාසවල රාත්‍රී නවාතැන් ගන්නා සිසුන් ද මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම දක්නට ලැබෙන බවයි.

පාසල් දරුවන් අතරට මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ ටොෆි, බබල්ගම්, ලොලිපොෆ් වැනි ආකාරයෙන් බවත් ඇතැම් අවස්ථාවල දී මතක ශක්තිය වර්ධනය කරන බව, අසීමිත ශක්තියක් ලැබෙන බව සහ නිදිමත වැනි තත්වයන් නොමැතිව කටයුතු කළ හැකි බව කියමින් එවැනි ද්‍රව්‍ය පාසල් දරුවන් අතරට පැමිණෙන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

මෙහි දී පර්යේෂණය සිදුකළ දෙදෙනා අනාවරණය කරන වැදගත් කරුණක් වන්නේ දකුණේ ප්‍රධාන පාසල් අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟ, රථ සහ බයිසිකල් පෙළපාලි, ක්‍රීඩා උත්සවවල දී වැඩිහිටි සිසුන් සහ ආදි සිසුන් මෙන් ම බාහිර පුද්ගලයන් විසින් පාසල් දරුවන්ට මෙම මත්ද්‍රව්‍ය හඳුන්වාදෙන බවයි.

“පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය හුරුකරවීම, පාසල අවට සැරිසරන පුද්ගලයන්, පාසලේ ම වැඩිහිටි සිසුන් සහ ආදි සිසුන් විසින් සිදුකරන බව නිරීක්ෂණය කළ හැකියි. ඒ වගේ ම මේ මත්ද්‍රව්‍ය පාසලට ගෙනවිත් අනිත් දරුවන් අතර බෙදා හැරීම කරන්නේ පාසල් සිසුන් විසින්මයි. අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා පාසල් අවට පදිංචි පුද්ගලයන්ගෙන් පවා මේ සඳහා උදව් ලැබෙන බව. අමතර පන්ති ඇතැම් සමාජ මාධ්‍ය මිතුරු හවුල් හරහා ද මත්ද්‍රව්‍ය පිළිබඳ පෙළඹවීම්, තොරතුරු සම්ප්‍රේෂණය වීම් සිදුවනවා. ඒ වගේම කොළඹ ප්‍රදේශයේ සේවය කරන සති අන්තයේ හෝ මාසිකව ගම්බිම්බලා එන පෙදරේරුවන්, කුලී කම්කරුවන් වගේ ම සංචාරක මඟ පෙන්වන්නන් වගේ අයත් මේ මත්ද්‍රව්‍ය පාසල් දරුවන් අතරට ගෙන එනවා.” විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි කීවේය.

පාසල් දරුවන් විසින් මත්ද්‍රව්‍ය ලබාගන්නා ස්ථාන පිළිබඳව ද පර්යේෂකයන් වැඩි අවදානයක් යොමුකර තිබේ.

එහි දී හෙළිදරව් වී ඇත්තේ පාසල් ආසන්නයේ පවත්වාගෙන යන කුඩා පෙට්ටිකඩ ආකාරයේ වෙළෙඳ සැල් දරුවන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම ඉතාමත් සූක්ෂමව සිදුකරන බවයි. දරුවන් උපකාරක පන්ති සඳහා විශාල වශයෙන් පැමිණෙන ගාල්ල වැනි ප්‍රධාන නගරවල එවැනි පන්ති අවට විවිධ ආහාර අළෙවිකරන කඩවල ළමුන් සඳහා ම දුම්පානය කිරීමට වෙන්කළ ස්ථාන ඇති බව ද පර්යේෂකයන් අනාවරණය කරගෙන තිබේ.

විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි පවසන්නේ ඇතැම් පාසල්වල දෙමාපියන්, විදුහල්පති ඇතුළු ගුරුවරු, ආදි ශිෂ්‍යන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාව මේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන තොරතුරු ලැබුණත් පාසලේ කිර්ති නාමයට හානිවේ යැයි සිතා එවැනි තොරතුරු වසන් කරන බවයි.

“මේ මත්ද්‍රව්‍ය භාවිතාකරන ළමයිි ගැන තොරතුරක් ලැබුණාම අපි කරන්න ඕනේ ඒක පාසලේ කීර්තිනාමයට හානි වෙනවා කියලා වසන් කරගෙන ඉන්න එක නෙවෙයි. හැකි පමණ ඉක්මණින් ක්‍රියාත්මක වෙලා අපේ මේ දරුවන්ගේ අනාගතය රැකගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග හැකි ඉක්මණින් ගැනීම. එතැන දී දරුවන්ගේ අනන්‍යතාව ආරක්ෂා කරගෙන සුදුසු කටයුතු කිරීම අවශ්‍යයි. කීර්ති නාමය විනාශ වෙනවා කියා මේවාට වහා ක්‍රියාත්මක නොකළොත් විනාශ වෙන්නේ අපේ ම දරුවන්ගේ අනාගතය.” විශේෂඥ වෛද්‍යවරයා එසේ කීවේය.

පර්යේෂකයන් විසින් අවධානය යොමුකළ තවත් ඉතාමත් වැදගත් කරුණක් තිබිණි. එනම්, මත්ද්‍රව්‍ය නිවරණ වැඩසටහන් පාසල්වල ක්‍රියාත්මක කිරිමේ දී එම වැඩසටහන්වල පවත්වනා දැඩි විවෘතභාවය හේතුවෙන් මත්ද්‍රව්‍ය ගැන කිසිම දෙයක් නොදන්නා දරුවන් පවා ඒ පිළිබඳ දැනුම්වත් වී ඒ අත්දැකීම විඳ ගැනීමට ආශාවක් සහ කුතුහලයක් ඇතිකරගන්නා බවයි.

ඔවුන් සිය පර්යේෂණය මගින් මෙම මත් උවදුරෙන් දකුණු පළාතේ පාසල් සිසුන් ගලවාගැනීම සඳහා විසඳුම් මාලාවක් ද යෝජනා කර තිබේ.

පොලිසිය විසින් උපාය දූතයන් යොදවා පාසල් අවට කුඩා කඩ පරීක්ෂා කිරිම, නගරාශ්‍රිතව පවත්වාගෙන යන කෑම කඩවල හදිසි වැටලීම් සිදුකර අවේලාවන්හි දී එවා තුළ හා පිටපස රැඳී සිටින පාසල් දරුවන් සහ පාසල් වේලාවෙන් පිට වුව ද සිටින බාලවයස්කාරයන් පිළිබඳ සොයා බැලිය යුතුයැයි එම විසදුම්වල දැක්වේ.

මත්වීමට හේතුවන විවිධ ඖෂධවර්ග ෆාමසිවලින් මිල දී ගැනීම සිදුවන බැවින් නගරවල ඇති ෆාමසි බලයලත් නිලධාරීන් යොදවා පරීක්ෂා කිරීම සහ ඇතැම් අවස්ථාවල දී උපාය දූතයන් යොදවා පරීක්ෂා කිරීම අවශ්‍ය වේ.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සිය දරුවන් මත් උවදුරින් බේරාගැනීම සඳහා දෙමාපියන්ට ඉතාමත් විශාල වගකීමක් සහ කාර්යභාරයක් ඇති බවයි. තම දරුවන් මත්ද්‍රව්‍යවලට හුරු කරවීම සිදුකළ හැකි පුද්ගලයන්ට දරුවන් වෙත සමීපවීමට ඉඩ ලබා නොදිය යුතු අතරම එවැනි හඳුනාගත් කණ්ඩායම් සහ පුද්ගලයන් පිළිබඳ දෙමාපියන් දැනුම්වත් කිරීම ද පොලිසිය, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටන, ළමා ආරක්ෂණ අධිකාරිය, පාසල වැනි ආයතන විසින් කළ යුතුය.

එමෙන් ම ප්‍රධාන පාසල්වල ඇති ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා තරඟ සහ උත්සව අවස්ථාවල දී මත්ද්‍රව්‍ය පිළිබඳ දැඩි සෝදිසියකින් පසුවීම, අවේක්ෂණය කිරීම පාසල අවට සැකකටයුතු ලෙස සැරිසරන පුද්ගලයන් අහඹු ලෙස පරීක්සා කිරීම අත්‍යාවශ්‍ය බව ද ඔවුන් පෙන්වා දී තිබේ.

පාසල්වල සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසහන්වල දී මිත්‍යාමත සෘජුව ඉලක්ක කරගත යුතු බවත්, මත්ද්‍රව්‍ය භාවිතයේ සැබෑ ඵලවිපාක හොඳින් වටහා දිය යුතු බවත් පර්යේෂකයෝ කියති. එමෙන් ම එවැනි මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පවා නිසි සම්මත ක්‍රමවේදයකට පැවැත්විය යුතු බව ද එවැන වැඩසටහන් පැවැත්වීමට අධ්‍යාපන සහ සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය, සංවිධානය සහ අධීක්ෂණ්‍ය යටතේ සිදුවිය යුතු බව ද මෙම පර්යේෂණයෙන් පෙන්වා දී තිබේ.

“පවුල් සංස්ථාව බිඳ වැටුණු, හුදකලා වූ, මව හෝ පියා හැර ගිය නැතිනම් විදේශ ගත වූ දරුවන් ඉතාමත් අවදානම් දරුවන් ලෙස අපි හඳුනාගත්තා. ඒ නිසා එවැනි අය කෙරෙහි විශේෂ අවදානයක් යොමු කළ යුතුයි. මේ දරුවන්ගේ ජීවන නිපුණතා වර්ධනය කර, ප්‍රායෝගික ආකර්ශනීය වැඩසටහන් තුළින් මාපිය ගුරු සබඳතා ශක්තිමත් කරලා හොඳ පෞරුෂත්වයකින් යුතු දරුවන් බිහිකරනවානම් ඔවුන් මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරනවා. තමන්ගේ දරුවා අවදානමට ලක්වෙන්නේ කොහ‍ොමද කියලා දෙමාපියන් දැනුම්වත් කරන්න ඕනේ. මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් බේරාගැනීමට තියෙන හොඳම තැන තමයි නිවස සහ පාසල, ඒ නිසා ඒ සඳහා සියලු දෙනා බලාත්මක කරන්න ඕනේ.” යැයි ද විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සමාජය ගැන අවබෝධයක් ලබාගනිමින් සිටින දරුවන් යම් අවස්ථාවක දී වැරදි චර්යාවක් පෙන්වන්නේ නම් වහාම ඒ ගැන සොයා බලා දඬුවම් කෙරෙහි පමණක් යොමු නොවී දරුවන්ට ආදරයෙන්, සෙනෙහෙසින් කතා කර හරි වැරදි තේරුම් කර දී එම දරුවන් වැරදි මාර්ගයෙන් ගලවා ගැනීමේ වගකීම සියලු වැඩිහිටියන් සතුව පවතින බවයි.

මෙම පර්යේෂණ වාර්තාව ඊයේ (18) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැති ළමා සංවර්ධන කමිටු රැස්වීමේ දී ඉදිරිපත් කෙරිණි. ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරීසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ සඳහා රජයේ නිලධාරීහු විශාල පිරිසක් ද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles

error: Content is protected !!