spot_img
spot_imgspot_img

ශ්‍රී පාද අඩවියේ නමින්, නව ශාක විශේෂයක් ලෝකයට හඳුන්වා දෙයි

පුවත්

විදෙස්

භාතිය ගොපල්ලව ඇතුළු පර්යේෂකයන් පිරිස සිරීපාද රක්ෂිත වනාන්තරයට ඇතුළු වන්නේ මෙරට වනාන්තරවලින් හමුවන ගම්මිරිස් සහ වෙරළු වර්ග සෙවීමේ පර්යේෂණ කටයුත්තකටය. පර්යේෂකයන් එම කාර්යයේ නිරතවන අතර සිරීපාද මාර්ගය එළි පෙහෙළි කිරීම සඳහා කපා දැමූ අතු කැබලි අතර තිබී මෙතෙක් දැක හුරුපුරුදු නැති ශාක කොටසක් ඔවුන්ගේ නෙත ගැටිණි.

හොඳින් පරීක්ෂාකර බැලූ විට එය නෙළු වර්ගයේ ශාකයක් විය හැකියැයි තීරණය කළ ඔවුන්ට අවට නිරීක්ෂණය කළ ද නෙළු මල් කිසිවක් දක්නට ලැබුණේ නැත. නෙළු ශාකයේ මල් පිපෙන්නේ එක්කාලයක දී පමණි.

ඒ 2021 වර්ෂයේ දෙසැම්බර් මස 05 වැනි දා ය. භාතිය සහ ඉන්ද්‍රඛීල මාදොළ දෙදෙනාට හමු වූ මේ අතු කැබැල්ල ඔවුන්ට රක්ෂිත වනාන්තරයෙන් පිටතට ගෙන ඒමට අවසර නැත. ඒ නිසා ඔවුන් ඒ අතු කැබැල්ලේ ඡායාරූප රැසක් ගත්තේ අතුකැබැල්ල හමු වූ ස්ථානය ද GPS තාක්ෂණය ඔස්සේ සළකුණු කරගනිමිනි.

ඒ වනවිටත් ශ්‍රී ලංකාවේ නෙළු විශේෂ ගැන දිර්ඝ කාලයක් පුරා අධ්‍යයනය කරන ආචාර්ය සිරිල් විජේසුන්දර රේණුකා නිලන්ති රාජපක්ෂ සහ හිමේෂ් දිල්රුවන් ජයසිංහ යන තිදෙනාගෙන් නිලන්තිට සහ හිමේෂ්ට දුරකථන ඇමතුමක් ගත් භාතිය Strobilanthes sripadensis නම් ශාකය හමුවෙලා තිබේ දැයි ඇසුවේය. නමුත් එවැනි ශාක විශේෂයක් ඒ වනවිට හඳුනාගෙන තිබුණේ නැත. එය භාතිය කළ විහිළුවකි. භාතිය සහ ඉන්ද්‍රඛීල ගත් ඡායාරූප එදිනම ඔවුන් තිදෙනාට ඊමේල් පණිවිඩයකින් යැවිණි.

ඡායාරූප දුටු නිලන්ති කියා ඇත්තේ 2018 වර්ෂයේ දී තමන් ද එම ශාකය දුටුව ද මල් දක්නට නොවුණු බවයි. ඇය එදා නෙළු පඳුරු 100ක් පමණ දැක තිබුණ ද භාතිය සහ ඉන්ද්‍රඛීල දැක ඇත්තේ පඳුරු 20ක් පමණි. වරින් වර ශ්‍රී පාද වන්දනාව සඳහා මාර්ග එළි පෙහෙළි කරන විට ඒ ශාක වැස්ම ඉවත්කරන්නට ඇත.  

ශ්‍රී ලංකාවෙන් නව නෙළු විශේෂයක් සොයාගත් උද්භිද විද්‍යා පර්යේෂකයකු වන භාතිය ගොපල්ලව පවසයි. මෙ නව ආවේණික නෙළු විශේෂය සොයාගෙන ඇත්තේ ශ්‍රී පාද රක්ෂිතයෙනි. ශ්‍රී ලංකාවට ආවේණික මෙම නව විශේෂය Strobilanthes sripadensis නම් කර ඇත.

මෙම ශාකයේ මල් දැක නොතිබුණ ද පත්‍රය අනුව එය ශ්‍රී ලංකාවේ මෙතෙක් හඳුනානොගත් නව නෙළු විශේෂයක් විය යුතුය. ඒ අනුව භාතිය ඇතුළු කණ්ඩායම පර්යේෂණ ආරම්භ කිරීමට තීරණය කරන ලදී. ඒ අුන වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරය ත් ඔවුන් මල් පිපුණු වහාම ශාක නිදර්ශක රැස්කළේය.

එම පර්යේෂණය අනුව විද්‍යාත්මක පර්යේෂණ වාර්තාව ජාත්‍යන්තරව පිළිිගත් Phytotaxa සඟරාවේ, 592 vol 2 හි මේවනවිට ප්‍රකාශයට පත්කර ඇති අතර එදා විහිළුවට මෙන් භාතිය විසින් පැවසූ පරිදි මේ නව නෙළු විශේෂයට Strobilanthes sripadensis යන උද්භිද විද්‍යාත්මක නම තබා තිබේ.

පර්යේෂණය සිදකර ඇත්තේ, රේණුකා නිලන්ති රාජපක්ෂ, භාතිය ගොපල්ලව, සහ හිමේෂ් දිල්රුවන් ජයසිංහ යන සිව්දෙනා විසිනි. මහාචාර්ය දීප්ති යකන්දාවල, ආචාර්ය සිරිල් විජේසුන්දර, භාග්‍යා ජයවර්ධන, රුක්මල් රත්නායක, නුවන් ජයවර්ධන, වනජීවී දෙපාර්තමේන්තුවේ සේයසිංහ මෙන්ම මෙම ශාකය සොයා ගැනීමේ දී සහය වූ ඉන්ද්‍රඛීල මාදොළ මෙන් ම මෙම ශාකය තවදුරටත් වාර්තා කළ අරුණ විජේනායක සහ ගයාන් ප්‍රසංග පීරිස් යන සියලු දෙනාත් පර්යේෂණ කණ්ඩායම ස්තූති පූර්වකව සිහිපත් කරයි.

මෙම නව නෙළු විශේෂය Strobilanthes sripadensis ලෙස උද්භිද විද්‍යාත්මකව නම් කර ඇත්තේ ශ්‍රී පාද රක්ෂිතයෙන් හමු වූ ශාක විශේෂයක් වීම සහ ශ්‍රී පාද යන නාමය ලෝකයේ ප්‍රචලිත කිරීමේ අපේක්ෂාවෙනි.

මෙම නව සොයාගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් හමුවන Strobilanthes යන ශාක ගනයට අයත් මුළු විශේෂ සංඛයාව 35ක් දක්වා ඉහළ යයි. ඉන් විශේෂ 30ක් ම ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වීම මෙරට ‍ජෛව විවිධත්වයේ වැදගත්කම ලෝකයට නිහඬව කියාපාන සාක්ෂියක් වැනිය.

පර්යේෂකයන් පවසන්නේ Strobilanthes ගනයේ ශාක විශේෂ 450ක් පමණ ලෝකය පුරා රටවලින් මේ වනවිට සොයාගෙන ඇති බවයි. නිවර්තන ආසියානු සහ පැසිෆික් කලාපවල ව්‍යප්තියක් දක්වන මෙම ශාක ශ්‍රී ලංකාවේ කඳුකර සහ උප කඳුකර වනාන්තරවල, පහතරට තෙත් කලාපීය වනාන්තරවල සුලබව ද අතරමැදි සහ වියළි කලාපයේ සීමා සහිතව ද හමුවෙයි.

“මේ ශාක ගනයේ බොහේ විශේෂ වනාන්තරවල යටිරෝපණයේ කුඩා පඳුරු ලෙස දක්නට පුළුවන්. බො‍හෝ විට විශාල ගහනයන් ලෙස දක්නට ලැබෙනවා. හෝර්ටන් තැන්නෙන් හමුවන නෙළු විශ්ෂ වසර 12කට වතාවක් මල් පිපෙනවා කියන කතාව ඉතාමත් ජනප්‍රියයි. මේ නිසාම නෙළු කිව්වගමන් බොහෝ දෙනෙක් හඳුන්වන්නේ එය විශාල කාල පරතරයක් සහිතව මල් පිපෙන ශාකයක් හැටියටයි. ඒත් හැම විශේෂය ම එහෙම නෑ. ගොඩක් වෙලාවට මල් පිපිලා ශාකය මැරිලා ගියාට පස්සේ ආයේ කාලෙකින් හිතකර දේශගුණික තත්වයක් ආවම පස්වල තැන්පත් වෙලා තිබුණු ශාක බීජ පැලවෙලා වර්ධනය වී මල් හටගන්නවා. මේ අතර අයහපත් දේශගුණයක් දිගටම තිබුණොත් මේ ශාක විශේෂ සම්පූර්ණයෙන් ම වඳවෙලා යන්නත් පුළුවන්. හන්තානේ තිබුණු නෙළු විශේෂයක් වන්නාතර ගිනි තැබීම නිසා වඳ වී ගියා කියලා හිතාගෙන හිටියත් මෑතක දී එම විශේෂය වාර්තා වුණා.” භාතිය ගොපල්ලව එසේ කීවේය.

ශ්‍රී ලංකාවේ වනාන්තර විනාශය මෙවැනි වටිනා ශාක ලෝකයෙන් ම සමුගැනීමට ප්‍රබල හේතුවක් බව පර්යේෂකයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!