spot_img
spot_imgspot_img

රිළව් ලක්ෂයක්, චීනයට පැටවීම ප්‍රායෝගික ද ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ රිළා ඝහනය පාලනය කිරීමේ විසඳුමක් සඳහා රිළවුන් අල්ලා චීනයට යැවීමට සැළසුම් සකස් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

එහි පළමු අදියර වශයෙන් මෙරට රිළවුන් 100,000ක් චීනයේ සත්වෝද්‍යාන වෙත ලබාදීමේ සාකච්ඡාවක් අද (11) බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි. එම සාකච්ඡාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඒ සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

මෙම කාර්යය සඳහා නීතිමය තත්වය අධ්‍යයනය කිරීම සහ එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කරුණු සොයා බැලීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව කමිටුවක් පත්කිරීමට පියවර ගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ වගාවන් සඳහා වැඩිම හානියක් කරන්නේ රිළවුන් බවයි. රිළවුන් නිසා වැඩිම වගාහානි සිදුවන්නේ වයඹ පළාතෙන් බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මෙම රැස්වීමේ දී අනාවරණය කෙරුණේ ශ්‍රී ලංකාවේ රිළවුන් ගහනය ලක්ෂ 30කට ආසන්න බවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ රිළවුන්ගෙන් සිදුවන වගාහානි වළක්වාගැනීම සඳහා යෙදූ සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ බැවින් විදේශ රටක් හෝ මෙරට රිළවුන් බාරගැනීමට සූදානම් වීම සතුටට කරුණක් බවයි.

ඇමතිවරයා සහ කෘෂිකර්ම ආමාත්‍යාංශය එසේ කීව ද ශ්‍රී ලංකාවේ සිටින රිළවුන් ශ්‍රී ලංකාවට ආවේණික සත්ව විශේෂයකි. වානර සතුන් ලෙස පිළිගැනෙන මොවුන් සත්වෝද්‍යානවලට සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ යැවීමට නීතිමය ප්‍රතිපාදන ඇතත් රිළවුන් 100,000ක් වැනි විශාල පිරිසක් අල්ලා පිටරට සත්වෝද්‍යානවලට යැවීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන කාර්යයකි. කිසිදු සත්වෝද්‍යානයකින් එවැනි සතුන් විශාල ප්‍රමාණවලින් ලබාගන්නේ නැත.

රිළවා යනු ශ්‍රී ලංකාවේ පමණක් දැකිය හැකි මෙරටට ආවේණික සත්ව විශේෂයකි. පැරණි ලෝක වඳුරු විශේෂයක් ලෙස හඳුනාගෙන ඇති මෙම සත්වයන් Macaca sinica සත්ව විද්‍යාත්මකව හඳුන්වයි. Macaca වචනය පෘතුගීසි භාෂාවෙන් බිඳී ආ වචනයක් ලෙස සළකන අතර sinica යන්නේ තේරුම “චීනයේ” යන්නයි. නමුත් චීනයේ දැන් රිළවුන් දක්නට නැත.

ශ්‍රී ලංකාවට ආවේණික රිළවුන් උප විශේෂ තුනකට අයිති වෙයි. එක් උප විශේෂයක් Macaca sinica sinica ලෙස හඳුන්වන අතර ඔවුන් වව්නියාව, මන්නාරම, අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැනිතලා ප්‍රදේශවල ද, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද පැතිරී සිටියි. මොවුන් පොදුවේ වියළි කලාපීය රිළවා ලෙස හඳුන්වයි.

තවත් උප විශේෂයක් Macaca sinica aurifrons ලෙස නම්කර තිබේ. එම විශේෂය කෑගල්ල, කුරුණෑගල, ගල්ල, මාතර සහ කළුගඟ අවට ප්‍රදේශවල පැතිර සිටින අතර තෙත් කලාපීය රිළවුන් ලෙස හැඳින්වේ.

ශ්‍රී ලංකාවේ රත්නපුර කඳුකර ප්‍රදේශවල, නුවරඑළිය, හග්ගල වැනි ප්‍රදේශවල දක්නට ලැබෙන රිළවුන් Macaca sinica opisthomelas ලෙස වර්ගීකරණය කර ඇත. ඔවුන් කඳුකර රිළවුන් ලෙස හඳුන්වයි.

‍මේ සම්බන්ධයෙන් අප පරිසරය සම්බන්ධ නීතිඥයකු වන ආචාර්ය ජගත් ගුණවර්ධනගෙන් විමසූ විට ඔහු කියා සිටියේ චීනයට රිළවුන් 100,000ක් වැනි විශාල පිරිසක් අවශ්‍ය කවර කාරණයකට ද යන්න සැකයක් පවතින බවයි. සත්වෝද්‍යානවලට සතුන් හුවමාරු වැඩසටහනක් යටතේ සතුන් සුළුපිරිසක් යැවීමට හැකියාව ඇතත් මෙවැනි විශාල ප්‍රමාණයක් යැවීමට සූදානම්වීම පිළිබඳ සොයාබැලිය යුතු බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!