spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණ දෙන මහා ඛේදවාචකය

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සිය අයිතිවාසිකම් නිසි පරිදි නොලැබෙන බවත්, පුරුෂයන් ලෙස සමානව ජීවිතයේ සතුට විඳීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ අඩුවෙන් බව වෙරිටේ රිසර්ච් ආයතනය කරන ලද සමීක්ෂණ කිහිපයකින් ම අනාවරණය වී තිබේ.

“නව්‍යකරණය සහ තාක්ෂණය භාවිතයෙන් ස්ත්‍රී පරුෂ සමානාත්මතාවය ඇතිකිරීම“ යන තේමාව යටතේ අද (08) ලෝක කාන්තා දිනය සමරයි.

ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාවය යනු සැමට සම අයිතිවාසිකම් ලැබීම වුව ද තාක්ෂණයේ නව්‍යතාවය සමඟ ලෝකය ඉදිරියට යද්දී ශ්‍රී ලංකාවේ කාන්තාවන් බලගැන්වීම සම්බන්ධයෙන් රටක් ලෙස අප සිටින්නේ ඉතාත් පසුගාමී බව ද මෙම සමීක්ෂණවලින් අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාවේ නාගරික කාන්තාවන් සැළකූ විට ඔවුන්ට රැකියාවක් කිරීමට යන වියදම රැකියාවෙන් අයාගන්නා ආදායමට වඩා වැඩි බව ද සමීක්ෂණයක් මගින් තහවුරු වී තිබේ.

කාන්තාවක් තමන් ලබන මාසික ආදායමෙන් 90%ක් වැනි අති විශාල මුදලක් රැකියාවේ නිරතවීම සඳහාම දැරිය යුතු බව එම වාර්තාව පෙන්වා දෙයි. මේ සඳහා රැකියාවක් කළ හැකි වයසේ පසුවන කාන්තාවක් ශ්‍රී ලංකාව තුළ රැකියාවක නිරතවීම සඳහා දැරිය යුතු විය ද ම ද වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ඇස්තමේන්තු කර ඇත. ඒ සඳහා මූල්‍යමය සහ මූළ්‍යමය නොවන වියදම් ද සළකා බලා ඇති බව එම ආයතනය පවසයි. කොළඹ සහ ගම්පහ වෙසෙන කාන්තාවන් 615ක් සහ නාභිගත කණ්ඩායම් සම්මුඛ සාකච්ඡා සඳහා සහභාගී වූ කාන්තාවන් 46ක් යොදා ගනිමින් එම ඇස්තමේන්තු කිරීම සිදුකර තිබේ.

සමීක්ෂණයට ලක්වූ කාන්තාවන් සඳහන් කරන්නේ රැකියාවේ නිරතවීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ සඳහාම ඇඳුම් සහ රැකියාවට අදාල වන වෙනත් අමතර උපකරණ සහ ද්‍රව්‍ය සඳහා වියදම් එකතුවන අතර ප්‍රවාහන වියදමක් ද අමතර දැරීමට සිදුවන බවයි.

මූල්‍යමය නොවන වියදම් ලෙස ඔවුන් සළකා ඇත්තේ ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ සැළකිළිමත් වීමට සිදුවීම සහ ඒවාට පිළියම් සෙවීමට සිදුවීම, ගෙදර දොර කටයුතු සඳහා අමතර වෙහෙසක් සහ වියදමක් දැරීමට සිදුවීම සහ අධික ශාරීරික වෙහෙස සහ අමතර පීඩාවයි.

මෙම සමීක්ෂණයේ දී අවධානය යොමුව ඇති තවත් වැදගත් කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ කාන්තාවකට මුදල් ඉපයීම අරමුණු කරගෙන රැකියාවක නිරතවීම සඳහා කොපමණ මුදලක් අමතර වැය වන්නේ ද යන්නයි. සමීක්ෂණයෙන් ලැබුණු තොරතුරු අනුව එක් කාන්තාවකට සාමාන්‍යෙයන් රුපියල් 25,000.00ක වියදමක් තම රැකියාවේ නිරතවීම සඳහා දැරීමට සිදුවෙයි.  නමුත් බරපතල ගැටලුව නම් සමීක්ෂණයට ලක් වූ කාන්තාවන් රැකියාවෙන් උපයාගන්නා ආදායම් සැළකූ විට එක් කාන්තාවක් උපයන සාමාන්‍ය ආදායම ඊට අඩු අගයක් ගැනීමයි. එනම් එම ප්‍රමාණය රුපියල් 22,672.00කි.

රැකියාවක නිරතවන කාන්තාවන්ට අනෙක් කාන්තාවන්ට වඩා සාමාන්‍ය වියදමක් දැරීමට සිදුවන බව ද මෙම සමීක්ෂණයෙන් තහවුරු වී ඇත.

රැකියාවක නිරතවන කාන්තාවක් සාමාන්‍යෙයන් සමස්ත වියදම ලෙස රුපියල් 41.157.00 වියදම් කරන අතර කිසිදිනක රරැකියාවක නිරත කාන්තාවක් වියදම් කරන සමස්ත මුදල රුපියල් 34,282.00ක සාමන්‍ය අගයක පවතී, මීට පෙර රැකියාවක නිරත වී සිටි නමුත් දැන් රැකියාවක් නොකරන කාන්තාවන් සාමාන්‍යෙයන් සමස්ත වියදම රුපියල් 14,704.00 ලෙස දක්වා ඇත. නමුත් ඔවුන් ලබන ආදායමේ මධ්‍යන්‍ය අගය සැළකූ විට රැකියාවක නිරත කාන්තාවක් ලබන ආදායමේ මධ්‍යන්‍යය 25,500.00කි. කිසිදිනක රැකියාවක නිරත නොවූ කාන්තාවන් ලබන ආදායම රුපියල් 30,000.00කි. මීට පෙර රැකියාවක නිරතව සිට දැන් රැකියාවක් නොකරන කාන්තාවන් රුපියල් 20,000.00ක ආදායමක් ලබන බව ද සමීක්ෂණයෙට ලක්කළ කාන්තාවන් ලබාදුන් තොරතුරු අනුව අනාවරණ්‍ය වී ඇත.

රැකියාවක නිරත කාන්තාවන්ගේ ආදායමේ කොටසක් ලෙස වියදම 1.6ක් වන බව ද, කිසිදිනක රැකියාවක නිරත නොවූ කාන්තාවන්ගේ ආදායමේ කොටසක් ලෙස වියදම 1.1ක් බවත් රැකියාවක නිරත වී සිට දැන් රැකියාවක් නොකරන කාන්තාවන්ගේ ආදායමේ කොටසක් ලෙස වියදම 0.7ක් බවත් සඳහන් වේ.

සමීක්ෂණයට ලක්වූ කාන්තාවන් පවසන්නේ තමන් රැකියාවක නිරතවීමේ වියදම් ඇස්තමේන්තු කිරීමේ දී බොහෝ විට කාන්තාවකට දැරීමට සිදුවවන මූල්‍යමය නොවන යිදම් කෙරෙහි නිසි අවදානයක් යොමු නොවන බවයි. එමෙන්ම එය නිරන්තරව නොසළකා හරින බව ද ඔවුහු කියති.

මීට පෙර රැකියාවක නිරත වී දැන් රැකියාවක නිරත නොවන සහ කිසි දිනක රැකියාවක නිරත නොවූ කාන්තාවන්ට වඩා රැකියාවක නිරතවන කාන්තාවන්ට වැඩි වියදමක් දැරීමට සිදුව ඇත. ඔවුන්ට මාසිකව දැරීමට සිදුව තිබෙන වියදම්වලින් 43%ක් ම සෘජු මූල්‍යමය වියදම් වන අතර 57%ක් මූල්‍යමය නොවන වියදම් ලෙස හඳුනාගත හැකි වී තිබේ.

මෙම සමීක්ෂණයට ලක්වූ කාන්තාවන් අතරින් රැකියාවක් සිදුකර දැන් රැකියාවක නිරත නොවන කාන්තාවන්ගෙන් 40%ක් ම පවසා ඇත්තේ ඔවුන් එලෙස රැකියාව අතහැර යාමට හේතුවූවේ විවාහවීම හෝ දරුවකු ලැබීම බවයි. රැකියාව හැරගිය කාන්තාවන්ගෙන් අතිශය බහුතරයක් පවසා ඇත්තේ තමන් ශ්‍රම බලකායෙන් ඉවත්වීමට තීරණය කළේ  ස්වාමිපුරුෂයාගේ බලපෑම මත බවයි.

වෙරිටේ රිසර්ච් ආයතනය සඳන් කරන්නේ ශ්‍රී ලාංකීය සමාජයේ පවතින ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් භූමිකාවන් සහ සමාජ සම්මතයන්, කාන්තවන් රැකියාවක නිරතවීමට බාධාවක් වන ප්‍රධාන සාධකයක් බවයි. එය මෙම සමීක්ෂණයෙන් ද අනාවරණය  වී ඇත.

අමිලා 26 හැවිරිදිය. ඇය විවාහක කාන්තාවකි. දරුවකු බිහිකිරීමේ අපේක්ෂාවෙන් පසුවන ඇය විවාහයට පෙර ඇගඟුම් කම්හළක තත්ව පාලක අංශයේ වසර 05ක් රැකියාව කළාය. දැන් ඇය රැකියාවට යන්නේ නැත.

“මගේ මහත්තයා කියන්නේ ඔයා රස්සාවක් කරනවාට මම කැමති නෑ කියලා. මා දිගටම ඒකට හේතුව ඇහුවත් එහෙම කියනවා ඇරෙන්න පැහැදිළි හේතුවක් කියන්නේ නෑ. ඉතින් මම ඒ ගැන අහන එකත් නැවැත්තුවා. මම ආයෙත් කවදාවත් රස්සාවක් කරන එකක් නැති වේවි“ ඇය කීවාය.

තමන්ට දැරිය හැකි වියදමකින්, විශ්වසනීය ලෙස දරුවන් රැක බලාගැනීමේ පහසුකම නොමැතිවීම ද කාන්තාවන්ට සිය රැකියාවලින් ඈත්වීමට හේතුවක් වන අතර නැතිනම් රැකියාවක නිරතවීමට බාධාවක් බවට පත්ව ඇත. දරුවන් රැක බලාගැනීමේ අවිධිමත් පහසුකම් කාන්තා ශ්‍රම බළකායේ පැවැත්මට තීරණාත්මක සාධකයක් බව ද මේ සමීක්ෂණයේ දී අනාවරණය වී ඇත. පවුලේ සමීප වැඩිහිටි ඥාතියකු (මව හෝ නැන්දණිය) සිටීම කාන්තාවකට රැකියාවක නිරතවීමට ඉඩ ලබාදෙන ප්‍රධාන සාධකයක් බවට පත්වත තිබේ.

දරුවන් ඇති කාන්තාවකට රැකියාවක නිරතවීමේ දී ළමා සුරැකුම් සේවාවක හෝ ළමා සුරැකුම් සේවා පහසුකම් ලබාගැනීම ඒවායේ අධික මිල නිසා ඉතාමත් අපහසු වී ඇත. සාමාන්‍යයක් ලෙස දරුවකු රැක බලාගැනීම සඳහා පිටස්තර පාර්ශවයක උපකාරය ලබාගන්නේ නම් රැකියාවේ නිරතවීම සඳහා යන වියදම මසකට රුපියල් 27,704.00ක් වෙයි. නමුත් දරුවන් සහිත කාන්තාන් රැකියාවෙන් උපයන ආදායමේ මධ්‍යන්‍ය අගය මාසයකට රුපියල් 25,500.00ක් පමණි.

මේ සියලු කරුණවලින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ නාගරික කාන්තාවන් සැළකූ විට ඔවුන්ට රැකියාවක් කිරීමට යන වියදම රැකියාවෙන් උපයාගත හැකි ආදායමට වඩා වැඩි බවයි.

එපමණක් නොවව සේවා යෝජකයන් සැළකූ විට ඔවුන් කාන්තාවන් සඳහා රැකියා අවස්ථා ලබා දෙන්නේ පිරිමි පාර්ශවයට වඩා අඩුවෙනි. ඒ මාතෘ නිවාඩු සහ දීමනා දීමට සිදුවීම හේතුවෙන් බව ද අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සැළකූ විට අධ්‍යාපනය ලැබීම අතින් වර්තාමන කාන්තාවන් ඉන්නේ පිරිමි පාර්ශවය අභිබවා ගොසිනි. නමුත් ඔවුන්ට නිසි අවස්ථාව තවමත් ලැබෙන්නේ නැත.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකාය සැළකූ විට පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් රැකියා නොමැතිකමින් හෙවත් විරැකියාවෙන් දැඩි ලෙස පීඩා විඳිති. 2022 වර්ෂය වනවිට ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකායට කාන්තා නියෝජනය ඇත්තේ 32.1%ක් පමණි. පිරිමින් අතර විරැකියාව 3.0%ක් වනවිට කාන්තාවන් අතර විරැකියාව එමෙන් දෙගුණයකටත් වැඩි අගයක් හෙවත් 7.1%කි.

මෙහි වඩාත් ඛේදජනක තත්වයනම් විරැකියාවෙන් පෙළෙන කාන්තාවන්ගෙන් 82%ක් ම ඕනෑම පුද්ගලයකුට කාර්යක්ෂමව වැඩ කළ හැකි වයස අවුරුදු 20-40ත් අතර  වයස් සීමාවේ පසුවන්නන් වීමයි. මෙම වයස් සීමාවේ කාන්තාවන් අතර වැරැකියාව අනෙක් වයස්වලට සාපේක්ෂව 6.6 ක ගුණයකින් වැඩි බව ද තහවරු වී තිබේ.

වෙනත් රටවල කාන්තාවන් වෙනුවෙන් ප්‍රසූත නිවාඩු, දීමනා සහ දරුවන් ආරක්ෂා කරගැනීමේ සුබ සාධන ක්‍රම රැසක් ක්‍රියාත්මක වෙයි. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රමයක් විධිමත්ව ක්‍රියාත්මක වන්නේ නැත. ප්‍රසූත නිවාඩු සහ දීමනා ලබාදීම මෙරට දක්නට ලැබෙන්නේ රාජ්‍ය අංශයේ පමණි පුද්ගලික අංශයේ එවැන්නක් ඇත්තේම නැති තරම්ය.

රාජ්‍ය මැදිහත් වීමකින් එවැනි වැඩපිළිවෙළක් පුද්ගලික අංශය තුළ ද සකස් කරන්නේ නම් ශ්‍රී ලංකාවේ ද කාන්තාවට මෙරට ශ්‍රම බළකායට වැඩි දායකත්වයක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.

රටේ අනෙකුත් සමාජ ආරක්ෂන ක්‍රමවලට සාපේක්ෂව අඩුම මුදලක් වැය කරන්නේ මාතෘ හා නිවාඩු දීමනා ලබාදීමටය.

සමෘද්ධි දීමනා සඳහා රුපියල් බිලියන 55ක් වෙන්කරන විට මියගිය සහ ආබාධිත වූ ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් වන දීමනා සඳහා රුපියල් බිලියන 38ක් වෙන් වෙයි. පොහොර සහනාධාරයට රුපියල් බිලියන 21ක් සහ වැාඩිහිටි දීමනා සඳහා රුපියල් බිලියන 10ක් වෙන්කරන අතර රජයේ අනුග්‍රහය යටතේ මාතෘ නිවාඩු දීමනා ලබාදීමට දරන පිරිවැය රුපියල් බිලියන 5.9ක් වැනි ඉතා අඩු අගයක පවතී,

කාන්තාවන් ශ්‍රම බළකායෙන් ඈත් කර ඔවුන් නිවසට වී තැබීමට මෙය තවත් එක් ප්‍රධාන හේතුවක් වි ඇත. එමෙන් ම තමන්ගේ අතින් වියදම් කරගෙන ගොස් රැකියාවක නිරත වී සොච්චම් වැටුපක් ලබන්නට ඔවුන්ට සිදුව ඇත්තේ ද ශ්‍රී ලාංකික සමාජය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ප්‍රමාණවත් සැළකිල්ලක් නොමැති බැවිනි.

“නව්‍යකරණය සහ තාක්ෂණය භාවිතයෙන් ස්ත්‍රී පරුෂ සමානාත්මතාවය ඇතිකිරීම“ ලෝක කාන්තා දිනයේ තේමාව නිසි පරිදි තේරුම් ගෙන ශ්‍රී ලාංකීය කාන්තාව බලාත්මක කිරීමට අදිටන් කරගත යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!