spot_img
spot_imgspot_img

“පොලිස් මැරයන්ට පාඩමක් උඝන්වනවා. භික්ෂූන්ට ගහනවා වීඩියෝ කළා යැයි අපිටත් ගැහුවා” ගුරුවරුන්ගෙන් චෝදනාවක් (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

අධ්‍යාපන අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ බව කියන වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිදයාල භික්ෂු බලමණ්ඩලයේ ශිෂ්‍ය භික්ෂූන්ට අමානුෂික ලෙස පහරදෙන ආකාරය වීඩියෝ සහ ඡායාරූප ගත කළ ගුරුවරු කිහිප දෙනෙකුට පොලිස් මැරයන් පහර දී ජීප් රථයක නංවාගෙන ගිය බව ගුරු වෘත්තීය සමිති නියෝජිතයෝ කියති.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලිං පවසන්නේ ගුරු සංගම් නියෝජිතයෝ ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලයට පැමිණ සිටි බවයි. මේ අවස්ථාවේ වසන්ත මුදලිගේ ඇතුළු කණ්ඩායම අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුළු වී තුන්වැනි මහළට ගොස් ඇති බවත් මෙම නියෝජිතයන් සිටියේ සිව්වැනි මහළේ බවත් ඔහු කියයි.

“මේ වෙලාවේ පොලිසිය භික්ෂූන් වහන්සේලාට එළව එළවා පහර දුන්නා. ඇතැම් භික්ෂූන්ට පහර දීලා බිම දාගෙන ඇදගෙන ගියා මේ මෘග ප්‍රහාරය වීඩියෝ කළා කියලා හතරවැනි තට්ටුවේ මාරු මණ්ඩල නියෝජිතයන් හොයාගෙන පොලිස් මැරයන් ආවා. ඒ වෙලාවේ අධ්‍යක්ෂවරු කිව්වා. මෙතැන තියෙන්නේ වෙන රාජකාරියක්, ඔයාලා යන්න මේක අදාල නෑ කියලා. නමුත් ඒ කතාව නොතකා අපේ ගුරුවරු අල්ලගෙන ඇදගෙන ගිහින් ඉතාමත් අමානුෂික විදියට පහර දෙමින් ජීප් රථවලට දාලා පයින් පාගා ගත්තා. මේක ඉතාමත් ජඩ වැඩක්. අපේ නාලක ද සිල්වා සහ හර්ෂ දෙදෙනාට බිම දාගෙන ගහලා ගහලා පොලිසිය විසින් අරගෙන ගියේ අමාත්‍යාංශයේ රාජකාරී කරමින් සිටිය දී. මේ අය කරපු වැරැද්ද මොකක්ද ? මේක ඉතාමත් බරපතල තත්වයක්. මේ අය වහාම නිදහස් කරන්න. එහෙම නොකාළොත් අපි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. අධ්‍යාපන ඇමතිගේ වගකීමක් මේක. අද අපි මේ ගැන හොයන්න ආවේ. අපිට යන්න දෙන්නේ නෑ. අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වෙන්න දෙන්නේ නැත්තේ ඇයි.” ස්ටාර්ලින් වැඩිදුරටත් කියා සිටියේය.

මේ සිදුවීම ඇසින්දුටු ගුරුවරියක් මෙසේ කීවාය.

“පොලිසිය ශිෂ්‍ය භික්ෂූන්ගේ සිවුරු පවා ගලවලා ගැහුවා. මේ සිද්ධිය වීඩියෝ කළා කියලා තමයි පැත්තක හිටපු අපේ ගුරුවරුන්ට ගැහුවේ.”

ජාතික ගුරුබලය එල්.ආර්.මනතුංග ප්‍රධාන ලේකම් මෙසේ කීවේය.

“මම මේ සිද්ධිය දැක්කා. පොලිසිය භික්ෂු ශිෂ්‍යයන්ට පහර දුන්නා. බිම දාගෙන ගැහුවා. අපි හිටියේ හතරවැනි තට්ටුවේ. ටිකකින් පොලිස් කණ්ඩායමක් අ‍පි හිටපු තැනට දුවගෙන ඇවිත් ඇහුවා කවුද වීඩියෝ කළේ කියලා. එතැන හිටපු අධ්‍යක්ෂවරු කිව්වා මේ අය රාජකාරියක් කරන්නේ ඔයාල යන්න කියලා. විනාඩි 05ක් ගියේ නෑ තවත් 10ක් 15ක් ආවා. තවත් 50ක විතර කණ්ඩායමක් ඇවිත් අපේ නියෝජිතයන් දෙදෙනොව ඇදගෙන ගිමින් බිම දාගෙන ගැහුවා. ගහලා ජීප් එකේ දාගෙන පාගගෙන හිටියා. මේ කරපු ක්‍රියාවට අපි ඉක්මනටම නිසි පිළිතුරු දෙනවා අධ්‍යාපන ඇමතිටයි පොලිසියටයි දෙකටම. රටේම ළමයින්ට පාඩුවක් වේවි. ඒත් මේ අවමානයට අපි එරෙහි වෙනවා. නිසි පිළිතුරු දෙනවා.”

සියලු ගුරු සංගම් පවසන්නේ මේ ප්‍රශ්නය විසඳන්නේ නැත්නම් සියලු ගුරු සංගම් එක්වී පළමුව මාරු මණ්ඩල කටයුතුවලින් බැහැර වන බවයි.  සඳුදා සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කරන බවත් ඔවුුහු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!