spot_img
spot_imgspot_img

“බදු ගැහුවේ ගලවාගන්න” – රනිල් කියයි

පුවත්

විදෙස්

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත්  මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු  කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) සවස කිංස්බරි හෝටලයේ දී “2023 බදු සමුළුව” ආරම්භ කරමින් කීවේය.

2023 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ද සාමාන්‍ය අය වැයක් නොව, වැටී ඇති ආර්ථිකය ගොඩනැංවීමේ මෙහෙයුමක් බව ද  ජනාධිපතිවරයා  සඳහන් කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පමණක් බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ හැර වෙනත් කිසිදු ආයතනයක්, පක්ෂයක් හෝ පුද්ගලයෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා හෝ විකල්ප ඉදිරිපත් නොකළ බව  සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයට එළැඹි වහාම ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්,  එය සම්මත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා  යම් පාර්ශ්වයක් එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බව ද කියා සිටියේය.

තවද මෙරට ප්‍රධාන ණය හිමියන් වන පැරිස් සමාජය, ඉන්දියාව සහ චීනය සමඟ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තම මූල්‍ය සහාය දැක්වීමට මේ වන විට පැරිස් සමාජය සහතික වී ඇති බවයි. මෙහිදී ඉන්දියාව ද තමන්ටම ආවේණික ක්‍රමවේදයක් අනුගමනය කළ නමුත් චීනය තම ක්‍රමවේදය පිළිබඳව මෙතෙක් එකඟතාව පළ කර නොමැති බව ද ජනාධිපතිවරයා පැවසීය. කෙසේ වුවද එළැඹෙන 23 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් නගරයේ දී  පැවැත්වෙන ජී- 20 රටවල මුදල් ඇමතිවරුන්ගේ සාකච්ඡාවේ දී ඔවුන්ගේ ස්ථාවරත්වය දැනුම් දෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය.

“2023 බදු සමුළුව” ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය විසින් සංවිධානය කර තිබූ අතර, බදු ප්‍රතිපත්තිය පිළිබඳ විද්වත් සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල, ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ සභාපති කෙන් විජයකුමාර්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති (බදුකරණ පීඨය) ටිෂාන් සුබසිංහ සහ බදු ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර කටයුතු නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එන්. එම්. එම්. මිෆ්ලි ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!