ලෝකයේ පළමු කෞතුකාගාරය ලෙස සැළකෙන බ්‍රිතාන්‍ය කෞතුකාගරය ලන්ඩන් නගරයේ බ්ලූම්ස්බරි ප්‍රදේශයේ දී විවෘත කරන ලද්දේ 1759 ජනවාරි 15 වැනි දා ය. ඒ හරියට ම අදින් වසර 264කට පෙරාතුවය.
මානවයාගේ ආරම්භයේ සිට වර්තමානය දක්වා කතාව ලේඛනගත කරමින් සාක්ෂි සහිතව දක්වා ඇති මේ කෞතුකාගාරය ලෝකයේ විශාලතම කෞතුකාගාරය ලෙස සැළකෙන අතර පුරා කෘතීන් ලක්ෂ 80ක් පමණ ඇති බව කියැවේ.
ඇන්ග්ලෝ අයර්ලන්ත වෛද්‍යවරයකු මෙන් ම විද්‍යාඥයකු ලෙස සැළකෙන ශ්‍රීමත් හාන්ස් ස්ලෝන් ගේ එකතුවක් යොදාගනිමින් 1753 වර්ෂයේ දී ආරම්භ කරන ලද මේ කෞතුකාගාරය 1759 වර්ෂයේ දී විවෘත කරන ලද්දේ එය දැනටත් පවතින මොන්ටාගු හවුස් ගොඩනැගිල්ලේය.
ඉන් පසු එළැඹි වසර 250 තුළ කෞතුකාගාරයේ ව්‍යාප්තිය බොහෝ දුරට බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයේ ප්‍රතිඵලයක් විය. පසුව මේ කෞතුකාගාරයට තව තවත් කොටස් සහ ස්වාධීන අංශ කිහිපයක් ම එකතු වී තිබේ. ඉන් පළමුවැන්න වූයේ 1881 වර්ෂයේ දී ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයයි.
මෙම කෞතුකාගාරයේ ම බ්‍රිතාන්‍ය පුස්තකාලය ද පවත්වාගෙන ගිය අතර පසුව 1972 පුස්තකාල පනත සම්මත වීමෙන් පසු 1973 වර්ෂයේ දී පුස්තකාල දෙපාර්තමේන්තුව බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන් වෙන් කරන ලදී. නමුත් එය 1997 වන තෙක් කෞතුකාගාර ගොඩනැගිල්ල සහ දැන් ඉන් වෙන්කර ඇති බ්‍රිතාන්‍ය පුස්තකාලය පවත්වාගෙන යන ලදී.
වර්තමානයේ ප්‍රධාන වශයෙන් සංස්කෘතික කලා වස්තූන් සහ පුරාවස්තු කෞතුකාගාරයක් වුව ද, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය සැබැවින් ම “විශ්වීය කෞතුකාගාරයක්” ලෙස හැඳින්විය හැකි ස්ථානයකි.
මෙම කෞතුකාගාරය ආරම්භ කිරීමේ ගෞරවය හිමිවන්නේ ඇන්ග්ලෝ අයර්ලන්ත වෛද්‍ය සහ ස්වභාව විද්‍යාඥ ශ්‍රීමත් හාන්ස් ස්ලෝන් (1660-1753) හටය. ඔහුගේ රුචිකත්වය අනුව මේ කෞතුකාගාරයට පදනම වැටිණි. ඉතා ධනවත් ජැමෙයිකානු වැවිලිකරුවකුගේ වැන්දඹුවක් සමඟ විවාහ වූ පසු ස්ලෝන් කුතුහලයෙන් යුතු ද්‍රව්‍ය රැසක් එකතුකළේය. තම මරණින් පසු මේ එකතුව විනාශ වනු ඇතැයි සිතූ ඔහු එය දෙවැනි ජෝර්ජ් රජුට පවරා දුන්නේය.
ස්ලෝන්ගේ එකතුවට එකල මුද්‍රිත පොත් 40,000ක්, අත්පිටපත් 7,000ක් වියළි ශාක වෙළුම් 337ක් ඇතුළු ස්වභාවික ඉතිහාස නිදර්ශක ඇතුළු සියලු වර්ගවල වස්තු සම්භාරයක් තිබිණි.
මේ එකතුව වස්තූන් 71,000ක් පමණ වූ බව කියයි. ඒවා ඊජිප්තුව, ග්‍රීසිය, රෝමය, ඇමෙරිකාව සහ ඈත පෙරදිග රටවලින් ගෙන ආ ඒවා විය.
දෙවැනි ජෝර්ජ් රජු 1753 ජුනි 07 වැනි දා පාර්ලිමේන්තු පනතක් මගින් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය පිහිටුවීම සඳහා අනුමැතිය ලබා දුන්නේය. එම පනත මගින් ස්ලෝන්ගේ එකතුවට තවත් පුස්තකාල දෙකක් එකතු කෙරිණි. ශ්‍රීමත් රොබට් කොටොන් විසින් සකස් කර තිබූ කොටෝනියන් පුස්තකාලය සහ හාලියන් පුස්තකාලය, ඔක්ස්‍ෆර්ඩ් අර්ල්ස්ගේ එකතුව එලෙස එකතු කෙරිණි.
මේ කෞතුකාගාරයේ තිබූ පොත් සහ අත්පිටපත් දැන් ස්වාධීන බ්‍රිතාන්‍ය පුස්තකාලයේ කොටසකි. කෞතුකාගාරයේ පැරණි සහ නූතන ලෝකයේ සංස්කෘතීන් නියෝජනය කරන කෞතුක වස්තු එකතුව තුළ එහි විශ්වීයත්වය ආරක්ෂා වෙයි. මුල් එකතුව මිලියන 13කටත්, ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ මිලියන 70කටත්, බ්‍රිතාන්‍ය පුස්තකාලයේ මිලියන 150 වැඩි ප්‍රමාණයක් දක්වා වැඩි වී ඇත.
මෙම කෞතුකාගාරයේ වෙබ් අඩවියේ කොටසක් ලෙස ලොව ඕනෑම කෞතුකාගාරයක එකතුවෙහි ඇති විශාලතම ඔන්ලයින් දත්ත එකතුව මේ වෙබ් අඩවියට ඇතුළත්ව ඇත.
මේ සියලු ආකාරයෙන් සළකා බැලූ විට බ්‍රිතාන්‍ය කෞතුකාගාරය යනු ලොව පැරණිතම සහ විශාලතම කෞතුකාගාරයයි.