spot_img
spot_imgspot_img

බෝන් අගෙන් ක්‍රිකට් කණ්ඩයාමට බලපෑම් කළ හැටි හෙළිවෙයි. සංගක්කරගේ නමත් කියවෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යම් ආගමික කල්ලියක බලපෑම් එල්ල වී තිබේද යන්නත් ‍විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ දී කණ්ඩායම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳවත් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව 11 වැනි දා ක්‍රීඩා අමාත්‍යවරයාට බාරදුන් අතර ඒ වාර්තාවෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

මෙම කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන කටයුතු කළාය.

පරික්ෂණය අතරතුර ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු නායක අර්ජුන රණතුංග, විසිස්යි 20 ලෝක කුසලාන තරඟාවලිය සම්බන්ධ කරුණු දන්නා රාජ්‍ය නිලධාරීන්, ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, ජාතිකි ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ද, බෝන් අගේන් ආගමික නිකායේ ජෙරොම් ප්‍රනාන්දු ද කැඳවා තිබිණි.

මෙම වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරීන් 16 දෙනාගෙන් භාගයකටත් වැඩි පිරිසක් විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බවයි. ඔවුන් දින 10ක් සඳහා ඩොලර් 7,000ක් බැගින් ලබාගෙන ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍ර ද වෙන්කරගෙන තරඟාවලිය සඳහා සහභාගීවීමට බව පවසමින් ඕස්ට්‍රේලියාවට ගොස් ඇත.

වාර්තාවේ දැක්වෙන්නේ මෙම නිලධාරීන් සාක්ෂි විමසීම සඳහා කමිටුව හමුවට කැඳවූ බවයි. නමුත් ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. එබැවින් ඔවුන්ට නොතීසි නිකුත්කළ ද කිසිදු සාධාරණ හේතුවක් නොදන්වාම ඔවුන් කමිටුව හමුවට නොපැමිණි බව ද වාර්තාවේ සඳහන් වේ.

දැනට ඕස්ට්‍රේලියාවේ විභාගවන නඩුවක් හේතුවෙන් එරට රැඳී සිටින ධනුෂ්ක ගුණතිලකගෙන් සූම් ක්‍රමයට සාක්ෂිි සටහන් කරගෙන තිබේ.

බෝන් අගේන් ආගමික නිකායේ ප්‍රධානිය බව පවසන ජෙරොම් ප්‍රනාන්දු විමර්ශන කමිටුවට පවසා ඇත්තේ තමන් දිවැසිවරයකු බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිසිවෙකු තම පිහිට පතා පැමිණ නැතැයි ද ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත් සාක්ෂි ලබාදෙමින් ඔහු කියා ඇත්තේ තම දේවස්ථානයේ සාමාජිකත්වය ගත් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකු සිටින බවයි. ඒ අතරින් කුමාර සංගක්කාර කලින් සිටි අතර දැන් ඔහු නොමැති බවත් රුවන් කල්පගේ, භානුක රාජපක්ෂ, ජෙෆ්රි වැන්ඩසේ, ලින්ඩන් හැනිබල්, රොෂාන් අබේසිංහ වැනි අය ද එහි සාමාජිකයන් බවත් ජෙරොම් පවසා ඇත.

ශ්‍රී ලංකා ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පවසා ඇත්තේ බෝන් අගේන් නිකායට සම්බන්ධ ක්‍රීඩකයන් කිහිප දෙනකු ම සිටින බවයි.

කෙසේ වෙතත් මෙම වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බෝන් අගේන් සාමාජිකයන් සහ අනුගාමිකයන් සිටිය ද ඔවුන් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම හෝ අනාවරණය නොකිරීමට බොහෝ දෙනකු පරෙස්සම් වී ඇති බවයි. එබැවින් ඒ සම්බන්ධ සම්පූර්ණ නිශ්චිත නිගමනයකට එළැඹීම අපහසු බව ද වාර්තාවේ සඳහන් වේ.

කමිටුවේ නිරීක්ෂණය වී ඇත්තේ මෙම කරුණ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි. එසේ නොකළහොත් ඉදිරියේදී බලපෑම් සිදුවිය හැකි බව ද ඔවුන් පවසා තිබේ.

විස්සයි 20 ලෝක කුසලානය අතරතුර පැවැති නිල උත්සවයක පිළියෙළ වූ රාත්‍රී භෝජනයක් සඳහා මලික් ෂවීර් නමැති අයකු ටිකට් පත්‍ර අළෙවි කර ඇතත් ඉන් ලැබුණු ආදායම සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු නැතැය ද අනාවරණය වී තිබේ.

මම විමර්ශන කමිටුව පත්කිරීමට පෙර මාධ්‍ය මගින් එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පුහුණු උපදේශක ලෙස සංචාරයට එක් වූ මහේල ජයවර්ධන ඕස්ට්‍රේලියාවේ දී මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් නමැති තම අවන්හළ විවෘත කළ බවයි. විමර්ශනයේ දී එය සත්‍යයක් බව තහවුරු වී තිබේ.

තරඟාවලිය අතරතුර ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ විධායක නිලධාරීන්ගේ වියදම් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. එසේ වුව ද එම වියදම් ඇතුළත්ව ක්‍රීඩා අමාත්‍යාංශයට යොමුකර ඇති ලිපි ආයතනයේ අරමුදල් අවභාවිතා කර ඇති ආකාරය සැඟවීමට සකස් කර ඇති බව ද වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින් විමර්ශන කමිටුවට ඉදිරිපත් කර ඇති වාර්තාව ද අසත්‍ය කරුණු අඩංගු වූවක් යැයි ද වාර්තාවේ දක්වා ඇත.

ජයන්ත ධර්මදාස, රවීන් වික්‍රමරත්න, සුජීව ගොඩලියැද්ද, සමන්ත දොඩම්වල, ප්‍රියන්ත අල්ගම, බන්දුල දිසානායක, එියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා, නලීන් අපොන්සු  යන පිරිස මෙම කමිටුව හමුවේ සාක්ෂි දීමට කැඳවූව ද පැමිණ නැත. ඒ හේතුවෙන් නොතීසි යවා ඇතත් එය ද නොසළකා හැර තිබේ. එබැවින් ක්‍රිකට් ක්‍රීඩාවට ඔවුන්ගේ දායකත්වය සොයාබැලීමට නොහැකි වූ බව ද වාර්තවේ සඳහන් වේ.

ක්‍රීඩකයන් තරඟාවලිය අතරතුර තම හෝටල් කාමරවලට රාත්‍රී කාලයේ දී පැමිණීම නියමිත වේලාවෙන් පසුව සිදුකර ඇති බව ද අනාවරණය වෙයි. එමෙන්ම ඔවුන් නැවතී සිටි ස්ථානවල පානය කළ සිගරැට් කොට තබූ බව ද කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩ ඉදිරිපත් කළ සාක්ෂිවලින් අනාවරණය වී තිබේ.

බෝන් අගෙන් කණ්ඩායමේ ජෙරොම් තම ආගමික අනුගාමිකයන් වැඩිකරගැනීමට විවිධ උපකුම යොදන බව ද වාර්තාව පැහැදිළිව සඳහන් කර ඇත. ඇතැම් ක්‍රීඩකයන් තම අනාගතයට යම් ගැටලුවක් මතුවේ යැයි බියෙන් බෝන් අගෙන් ආගමික නිකාය සම්බන්ධයෙන් සාක්ෂි දීමෙන් වැළකී සිටින බව ද ඒ නිසා මේ නිකායේ බලපෑම පිළිබඳ නිශ්චිත අනාවරණයක් නොවූ බව ද වාර්තාව සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුදල් එහි බලධාරීන් විසින් තම සුඛ විහරණයට යොදාගෙන ඇතැයි ද වියදම් සම්බන්ධ වැරදි වාර්තා ඉදිරිපත් කරන බව ද කමිටුව පවසයි.

විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ අදාල වියදම් පිළිබඳ වහාම විගණනයක් කළ යුතු බව ද එයට අදාල ලේඛන වෙනස් කිරීමට හෝ යළි සැකසිමට පෙර එය වළක්වාලීමට නිර්දේශ ලබාදිය යුතු බව ද වාර්තාවේ සඳහන් කර තිබේ.

එමෙන් ම ආයතනයේ අරමුදල් අවභාවිතා කළ සහ ඊට ආධාර උපකාර කළ සියලු දෙනාටම එරෙහිව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධානනවලට අනුව මුදල් වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාවද්‍ය පරිහරණය යනාදී චෝදනා ඉදිරිපත් කර නීති මගින් කටයුතු කළ යුතු යැයි ද වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මින් මතුවට රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධානවලට අනුකූලව කටයතු කිරීම අවශ්‍යයැයි ද නිර්දේශ කර ඇත.

කමිටුවේ තවත් නිර්දේශ අතර දක්නට ලැබෙන්නේ ඇතැම් ක්‍රීඩකයන් විනිය විරෝධී කටයුතුවල යෙදෙන බවයි. කැසිනෝ ක්‍රීඩාවේ යෙදීම, අනවශ්‍ය ආරවුල් ඇතිකරගැනීම දක්නට ලැබෙන බැවින් විදෙස් සංචාරවල දී ක්‍රීඩකයන්ට තම වියදමින් බිරින්දෑවරු රැගෙන යාමට අවසර දිය යුතු බව ද කමිටුව නිර්දේශ කර ඇත.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!