spot_img
spot_imgspot_img

රිච්මන්ඩ් ආධාරකරුවන්ට පාසල් ක්‍රිකට් තහනම් කරයි

පුවත්

විදෙස්

රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුන්, දෙමාපියන් සහ වෙනත් ආධාරකරුවන්ට පාසල් ක්‍රිකට් තරඟ නැරඹීම තහනම් කිරීමට පාසල් ක්‍රිකට් සංගමය තීරණය කර තිබේ.

මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ පසුගිය දෙසැම්බර් 02 වැනි දා කොළඹ තර්සටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්වූ 19 පහළ Tier A අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේ සීමිත පන්දුවාර අවසන් මහා තරඟයේ දී රිච්මන්ඩ් විද්‍යාලයීය ආධාරකරුවන්ගේ නොමනා හැසිරීම සැළකිල්ලට ගනිමිනි.

පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ජේ.ඒ.කේ.එස්.ඉන්ද්‍රජිත් විසින් අත්සන් කරමින් රිච්මන්ඩ් විදුහල්පතිවරයාට යොමුකර ඇති ලිපියක මේ බව සඳහන් කර ඇත.

එම ලිපියේ දක්වා ඇත්තේ ත්‍රිත්ව විද්‍යාලය සමඟ පැවැති අවසන් තරඟය පැවැත්වෙන කාලසීමාව තුළ දී මෙන් ම තරඟයේ ජය සංකේත ප්‍රදානය කරන අවස්ථාවේ දී රිච්මන්ඩ් විද්‍යාලයේ ආධාරකරුවන් සිදුකළ නොමනා හැසිරීම පිළිබඳ පුළුල් විනය පරීක්ෂණයක්  පවත්වන බවයි. එම පරීක්ෂණය අවසන් කර අදාල වාර්තාව එළිදක්වන තුරු මෙම තහනම පැනවෙන බව ද සඳහන් කර ඇත.

එම තරඟය අතරතුර දී රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි සිසුන්, දෙමාපියන් ඇතුළු ආධාරකරුවන් බීමතින් පසුවෙමින් තරඟය ආවරණය කිරීම සඳහා යොදවා සිටි නිල ඡායාරූප මාධ්‍යවේදීන්ට බාධා සහ හිරිහැර කරමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කර ඇතැයි ද චෝදනා එල්ල වී තිබේ. මීට අමතරව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සේවයේ නියුතු සුනෙත් රණවීරට ප්‍රසිද්ධියේ ම බැන තර්ජනය කර ඇති අතර පහරදීමට ද උත්සාහ කර තිබේ. 19 පහළ තරඟාවලි ලේකම් වයි.නිශාන්ත කුමාරට පරුෂ වචනයෙන් බැන ඇති බව ද එම චෝදනාවල දක්වා ඇත. තරඟය නිමාවූ පසු ජයසංකේත ප්‍රදානය කරන අවස්ථාවේ දී ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති සහ කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක්  වත්තුහේවාට ද බැන තර්ජනය කර ඇති ව එම ලිපියේ සඳහන් වේ. තිලක් වත්තුහේවා යනු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා වීම ද විශේෂත්වයකි.

රිච්මන්ඩ් විද්‍යාලයීය විදුහල්පතිවරයා වෙත ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මගින් නිකුත් කර ඇති මෙම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ එම සියල්ල සිදුවන අවස්ථාවේ දී එම ස්ථානයේ රැඳී සිටි රිච්ම්න්ඩ් විද්‍යාලයීය විදුහල්පතිවරයා, ක්‍රීඩා භාර නියෝජ්‍ය විදුහල්පතිවරයා, ක්‍රිකට් භාර ආචාර්යවරයා ඇතුළු පාසලේ බලධාරීන් විසින් එම ක්‍රියාවන් වැළැක්වීමට කිසිදු උත්සාහයක් නොගත් බවයි.

පාසල් දරුවන්ගේ තරඟ පැවැත්වෙන අවස්ථාවක දී මෙලෙස විනය විරෝධීව, බීමතින් හැසිරීම ක්‍රීඩාවේ සාරධර්ම පවත්වාගෙන යාමට අපහසුවන බව ද ලිපියේ සඳහන් කර ඇත.

මෙම අවසන් මහා තරඟය සඳහා රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලැබූ අවස්ථාවේ පටන් එම විද්‍යාලයීය පාර්ශවයේ ඉල්ලීම වූයේ කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ තරඟය පැවැත්විය යුතු බවයි. නමුත් තරඟය තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්විණි.

කාසියේ වාසිය උරගා බැලීමේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය කාසියේ වාසිය දිනාගත් අතර රිච්ම්න්ඩ් විද්‍යාලයීය කණ්ඩායමට පළමුව පන්දුවට පහරදීම සඳහා ආරාධනා කෙරිණි. වර්ෂාව හේතුවෙවන් තරඟය පන්දුවාර 41කට සීමා කර තිබිණි. එහි දී පන්දුවාර 40.3ක දී රිච්මන්ඩ් ක්‍රීඩකයෝ ලකුණු 123 කට දැවී ගියහ. අනතුරුව වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරන විට ට්‍රිනිටි කණ්ඩායම පන්දුවාර 24ක දී කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 109ක් ලබා සිටි බැවින් ඔවුන්ට තරඟයේ ජයග්‍රහණය සමඟ 19 පහළ Tier A අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේ සීමිත පන්දුවාර ශූරතාව ද හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!