spot_img
spot_imgspot_img

වීරඹුගෙදර OIC නීතිය දන්නේ නැතිලු. පොලිස්පතිගේ චක්‍රලේඛ නොතකා අධිකරණයට අපහාස කරයි

පුවත්

විදෙස්

රටේ ඇති නීතිය ගැන කිසිවක් නොදන්නා වීරඹුගෙදර පොලිස් ස්ථානාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිනර නියෝගයකට පටහැනිව කටයුතු කරමින් පොලිස්පතිවරයාගේ චක්‍රලේඛ පවා උල්ලංඝනය කරමින් රාජකාරී පැහැර හැරීමේ සිද්ධියක් වාර්තා වෙයි.

කුරුණෑගල පොලිස් කොට්ඨාසයේ පිහිටි වීරඹුගෙදර පොලිස් බල ප්‍රදේශයේ සඳගල බාර් හන්දියේ ඇති බෝගස අසළ නීති විරෝධී ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර දෙකක් සවිකර සෑම උදෑසනකම 5.00 සිට 6.00 දක්වාත් ඇතැම් දිනවල දී සවස් කාලයේ දී සහ පොහොය දිනවල පැය ගණනක් විවිධ ආගමික වැඩසටහන් ප්‍රචාරය කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් 2007 වර්ෂයේ දී මූලික අයිතිවාසිකම් අංක 38/05 නඩුවට අදාලව ලබා දී ඇති තීන්දුව අනුවත්, එම නඩු තීන්දුව ප්‍රකාරව පොලිස්පතිවරයාගේ 2007/2031 ශබ්ද විකාශන යන්ත්‍ර පිළිබඳ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ චක්‍රලේඛය අනුවත් මෙවැනි ශබ්ද විකාශන යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම නීති විරෝධී වෙයි. එමෙන්ම පුද්ගලික ස්ථානයක ශබ්ද විකාශයනයක් ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා බලපත්‍රයක් ලබාගත යුතු අතර පොදු ස්ථානයක්, මාර්ගයක් අයිනේ ශබ්ද විකාශන යන්ත්‍රයක් සඳහා බලපත්‍රයක් ලබා දීමට නොහැකිය. එවැනි අවස්ථාවක දී 119 ට පැමිණිලි කළ යුතු බවත් පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයේ දැක්වේ. එවැනි පැමිණිල්ලක් ලැබුණු විට උප පොලිස් පරීක්ෂකවරයකු හෝ ඉන් ඉහළ නිලධාරියකු එම ස්ථානයට යවා පරීක්ෂාකර එම අනවසර ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා ඉවත්කර ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තාකළ යුතු යැයි සඳහන් වේ.

මෙම නීති විරෝධී ශබ්ද විකාශනය සම්බන්ධයෙන් අසල්වැසියන් විසින් 2022 නොවැම්බර් මස 13 වැනි දින සිට දිගින් දිගටම 119ට අද (දෙසැම්බර් 09) දක්වාම දිනපතා පැමිණිලි කර ඇත. නමුත් ඒ සම්බන්ධයෙන් වීරඹුගෙදර පොලිසියේ ස්ථානාධිපතිවරයා ක්‍රියාත්මක වී නැත.

එලෙස ක්‍රියාත්මක නොවීමෙන් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය නොතකා හරිමින් අධිකරණයට අපාහාසාත්මක අයුරින් කටයුතු කර තිබේ. තව ද පොලිස්පතිවරයාගේ 2007/2031 අංක දරණ 2007-11-22 දිනැති චක්‍රලේඛය නොතකා හරිමින් සිය රාජකාරිය පැහැර හැර තිබේ. පොලිස්පතිවරයාගේ එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ නීතිවිරෝධී ශබ්ද විකාශනය කිරීම අපරාධමය වරදක් බවයි. එසේනම් වීරඹුගෙදර පොලිසියේ ස්ථානාධිපතිවරයා අපරාධමය වරදක් නොතකා හරිමින් නීතිය ක්‍රියාත්මක නොකර එම අපරාධමය වරදකට ආධාර අනුබල දීමෙන් රාජකාරී පැහැර හැරීමට අමතරව බරපතල වරදක් සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් පසුගිය  නොවැම්බර් 24 වැනි දා වීරඹුගෙදර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එල්.පී.චන්ද්‍රසේකර වෙත දුරකථන ඇමතුමක් ගෙන විමසූ විට ඔහු මෙසේ කීවේය.

“මේක පන්සලක හාමුදුරුකෙනෙක් මූලික වෙලා දාන්නේ. කුඩුවලට ඇබ්බැහිවෙන තරුණ ළමයි යහමගට ගන්න කරන වැඩක්. ඉතින් මට විරුද්ධ වෙන්න බෑ. ඔබ කියන ඔය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයවත්, පොලිස්පතිතුමාගේ චක්‍රලේඛයවත් මම දන්නේ නෑ. මට ඒක එවුවොත් මට මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.”

කෙනෙකු නීතිය දැන නොසිටීම වරදක් කිරීමට හෝ වරදට අනුබල දීම සඳහා නිදහසට කරුණක් වන්නේ නැත. නමුත් නීතිය ආරක්ෂා කිරීමට රාජකාරියෙන් බැඳී සිටින වීරඹුගෙදර ස්ථානාධිපතිවරයා පවසන්නේ තමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දී ඇති නියෝගය දන්නේ නැති බවයි. එමෙන්ම සිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාවන පොලිස්පතිවරයාගේ චක්‍රලේඛය ගැන කිසිවක් නොදන්නා බව ද ඔහු පවසයි. ඔහුගේ ඒ නොදන්නාකම නිසාම rata.lk අපි ඔහුට අදාල චක්‍රලේඛයේ පිටපතක් සහ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ පිටපතක් WhatsApp මාර්ගයෙන් යැවූවෙමු.

ඉන් පැයකට පමණ පසු ස්ථානාධිපති චන්ද්‍රසේකර ම අපට කතා කළේය.

“බොහොම ස්තූතියි, මම ඇත්තටම මේ ගැන දැනගෙන හිටියේ නෑ. දැන් මම දැනුම්වත් වුණා. දැනටමත් මම එතනට නිලධාරියෙක් යැව්වා. ඒක ගැන පරීක්ෂාකරලා බලලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඔබ මේ ගැන මාධ්‍යයට කියන්න එපා. අපි ප්‍රශ්නය විසඳන්නම්.”

ඔහුගේ කාරුණික ඉල්ලීමට අපි ඉඩ දුන්නෙමු. නමුත් පසු දා එනම් නොවැම්බර් 25 වැනි දා වෙන කවරදාටත් වඩා වැඩි ශබ්දයෙන් ආගමික ‍ඝෝෂාව බාර් හන්දියේ ක්‍රියාත්මක විය. ‍මේ ස්ථානය කුඩු කාරයන්ගේ ගංජා කාරයන්ගේ තිප්පලකි. ශබ්ද විකාශන යන්ත්‍රයෙන් පිරිත් සජ්ජායනා වෙද්දී ඒ භූමියේ ගංජා සහ කුඩු උරන දර්ශන පවා අප සතුව ඇත. වීරඹුගෙදර ස්ථානාධිපතිවරයා දැන් නීතිය දන්නේ නැතැයි කිසිවෙකුට කිව නොහැකිය.

ඔහුට අපි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ පොලිස්පතිවරයාගේ චක්‍රලේඛය යවා ඒ පිළිබඳ දැනුම්වත් කර තිබේ. නමුත් ඔහු නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත.

මේ පිළිබඳ නැවත විමසීම සඳහා වීරඹුගෙදර පොලිසියේ ස්ථානාධිපති ටී.එල්.පී.චන්ද්‍රසේකර භාවිතා කරන රාජකාරී දුරකථනය වන 0718591254 අංකයට ඇමතුම් ගත්ත ද දැන් ඔහු ඊට පිළිතුරු නොදී මඟහරයි. නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින ස්ථානාධිපතිවරුන් මාර්ග අයිනේ ඇති බෝගස් අසළ පිරිත් දමා ජනතාවට හිරිහැර කරන අපාරාධකරුවන්ට (ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ පොලිස්පිත චක්‍රලේඛය අනුව එය අපරාධමය වරදකි) සහ ඊට මුව වී මත්ද්‍රව්‍ය භාවිතා කරන පිරිසට ආධාර අනුබල සහ උදව් උපකාර කරති.

මෙවැනි නිලධාරීන් නීතිය හමුවට ගෙන යාම සමාජයේ වගකීමකි.

මේ සම්බන්ධයෙන් ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව නමැති සංවිධානයෙන් විමසූ විට එහි නීතිඥවරු කියා සිටියේ වීරඹුගෙදර ස්ථානාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකා පොලිස්පති චක්‍රලේඛ උල්ලංඝනය කරමින් අපරාධමය වරදකට ආධාර අනුබල දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ මානව හිමිකම් කොමිසමට කරුණු වාර්තා කරන බවයි

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් නොතකා හැරීම සම්බන්ධයෙන් එහි ලේඛකාධිකාරීවරයා කරුණු දැනුම් දුන් විට ඒ සම්බන්ධයෙන් අදාල නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද නීතිඥවරු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!