ආගමික ස්ථානවල විදුලි බිල අඩුකිරීමේ යෝජනාව ඉවත දමා තිබේ. පසුගිය දා සිදුකරන ලද විදුලි ගාස්තු සංශෝධනයේ දී සියලුම ආගමික ස්ථාන සඳහා අයකරන විදුලි ගාස්තු මිල ඉහළ දැමූ අතර එයට ආගමික නායකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
එම විරෝධතාව සළකා බැලූ මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට යෝජනා කළේ ආගමික ස්ථානවල ඒකක 180ක් සඳහා විදුලි බිල වැඩි නොකළ යුතු බවයි.
නමුත්, විදුලිබල මණ්ඩලය පවසන්නේ ආගමික ස්ථානවල විදුලි බිල ඉහළ දැමීමෙන් එම මණ්ඩලය රුපියල් බිලියන 02ක වාර්ෂික ලාභයක් අපෙක්ෂා කළ බවයි. නමුත් මහජන උපයෝගීතා කොමිසම පසුව ඉදිරිපත් කරන ලද බිල අඩු කිරීමේ යෝජනාව මගින් විදුලි බල මණ්ඩලයට සිදුවන පාඩුව පියවා ගන්නා ආකාරය පිළිබඳ කිසිදු යෝජනාවක් නොමැති බැවින් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසත් එම පාඩුව පියවා ගැනීමට නොහැකිවන්නේ නම් විදුලි බිල අඩුකිරීමට හැකියාවක් නොමැති බවත් විදුලි බල මණ්ඩලය පවසා ඇත.
එබැවින් ආගමික ස්ථාන සඳහා වූ විදුලි බිල අඩු කිරීමේ යෝජනාව මේ වනවිට ඉවත දමා තිබේ.