spot_img
spot_imgspot_img

ගැහැනු මුහුද වඳ කළ උන් සොයාපියෝ

පුවත්

විදෙස්

සමාගමක උවමනාවට යාං ඔය මෝය වසා දමලා, භූමියත් යිති කරගෙන

කල්ලරාවේ මාළු අස්වනු සිඳී ගිහින්

බලධාරීන් නීතිය ක්‍රියාත්මක කර නෑ

වසා දැමුවා නම් ඔප්පු කරන්න. සමාගමෙන් අභියෝගයක්

“ඔව්, ඔප්පු කරනවා තමයි” – ධීවර සමිති කියයි

මංගලනාත් ලියනආරච්චි විසිනි

අතීතයේ පටන්ම කාව්‍යක්කාරයන් සයුර ස්ත්‍රියට උපමා කළද සාමාන්‍ය ජනතාව සයුරට ස්ත්‍රීත්වයක් ආරෝපණය කළේ එකම එක තැනකදී පමණි. කාව්‍යාලංකාර කිසිත් නැතිව කෙළින්ම ‘ගැහැනු මුහුද‘ යැයි හැඳින්වුණු ඒ තැන, යාන් ඔය මහ සයුරට එක් වන මෝය ආශ්‍රිත ත්‍රිකුණාමලයේ කල්ලරාව මුහුදු තීරයයි. ඈත දියඹේ වෙසෙන මසුන්  ප්‍රජනන අවධිය ගත කිරීමට කල්ලරාව මුහුදු තීරයට පැමිණීම මෙම අපූරු නම පටබැඳීමට හේතුව බව කල්ලරාව ධීවරයෝ කියති. කල්ලරාවේ වසර පුරාම ලැබෙන සරුසාර මත්ස්‍ය අස්වැන්න එය සනාථ කරයි.

එහෙත් මෑතක සිට ගැහැනු මුහුද වඳ මුහුදක් බවට පත් වෙමින් පවතින බව ධීවරයන්ගේ අත්දැකීමයි. එය දේශපාලනඥයන්ගේ හා රජයේ අධිකාරිවල බලය අවභාවිත කරමින් සිදු කළ ඓතිහාසික වරදක සෘජු ප්‍රතිඵලයක් බවට චෝදනා කරන කල්ලරාවේ ධීවරයෝ, එම ‍ වරද වහා නිවැරදි කර සිය ජීවනෝපාය ආරක්ෂා කර දෙන ලෙස බලධරයන්ගෙන් ඉල්ලා සිටිති.

ත්‍රිකුණාමලයේ සිට කිලෝ මීටර් 50ක් පමණ උතුරට වන්නට කල්ලරාව ධීවර ගම්මානය පිහිටා ඇති අතර, වර්තමානයේ එහි වෙසෙන පවුල් ගණන සියයකට ආසන්නය. 

විශ්‍රාමික සහකාර ධීවර අධ්‍යක්ෂවරයකු වූ උපාලි සමරතුංග ‘ගැහැණු මුහුද‘ පිළිබඳ  පැහැදිළි කරමින් කියා සිටින්නේ, කල්ලරාව මුහුදේ පිහිටීම, මිරිදිය හා කරදිය ජලය මිශ්‍ර මුහුදු කලාපය තුළ වැඩෙන ඇල්ගී ශාක සහ කැළි කසළ වලින් තොර හරිත පරිසරයක් හරහා ගලා එන යාං ඔයේ ජල දහර ඔස්සේ මසුන් ප්‍රිය ආහාරමය කොටස්  පාවී ගොස් මෝය කට මුහුදු තීරයේ තැන්පත්වීම එසේ මසුන් බහුලවීමට හේතුව බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ ඉස්සා, කකුළුවා, වේක්කයා, අඟුලුවා වැනි මසුන් අභිජනනය හා සංසේචනය සදහා කලපු පද්ධතියට පැමිණෙන නමුත්, මේ වන විට කල්ලරාව මුහුදු තීරය තුළ එවැනි පරිසර පද්ධතියක් නොමැති වීම මත්ස්‍ය සම්පත මෙතරම් හීනවීමට බලපා ඇති බවයි.

සමාගමක් කළ හදියක්

මෙම  විපර්යාසයට හේතු වී ඇත්තේ යාන් ඔය මුහුදට වැටෙන එක් ස්වභාවික මෝය කටක් වෙනස් කිරීමෙන්  එම පරිසර කලාපයට සිදුව ඇති බලපෑම බව ධීවරයන්ගේ අදහසයි. ප්‍රකට සමාගමක උවමනාව මත, දේශපාලනඥයින්ගේ හා දූෂිත නිලධාරීන්ගේ අනුග්‍රහයෙන් සිදු කර ඇති මෙම ක්‍රියාව තම බඩගෝස්තරයට එල්ල කළ සහගහන අපරාධයක් බවට ධීවරයෝ දෙස් තබති. කල්ලරාව ස්භාවික මෝය කට වසා දැමීම පාරිසරික අපරාධයක් ලෙස සැළකිය යුතු බව පරිසරවේදී සජීව චාමිකර මහතාගේ අදහසයි.

පාත්ෆයින්ඩර් ඇඩ්වෙන්චර් නැමැති පුද්ගලික සමාගමක් විසින් යාං ඔයේ  මෝය කට  අවධිමත් ලෙස වෙනස් කිරීම මේ සියලු සන්තෑසිවලට පාදක වූ බවත්, මේ හේතුවෙන්  පාරම්පරික ජීවනෝපාය අහිමි වීමේ ඛේදජනක ඉරණමකට කල්ලරාව මුහුණ දී සිටින බවත් කල්ලරාව ශාන්ත අන්තෝනි ධීවර සමූපකාර සමිතියේ සභාපති චන්ද්‍රිකා මානෙල් පොඩිනේරිස් අවධාරණය කරයි. එපමණක්ම නොව, වැසි සමයේ ත්‍රිකුණාමලය පුල්මුඩේ ප්‍රධාන මාර්ගය ගංවතුරෙන් යට වීම  සහ  තිරියාය හා කල්ලරාව ගම්මාන ගංවතුර තර්ජනයට ලක් වීම එහි භයානක අනෙක් අතුරු ඵලවිපාක බව ඇය වැඩි දුරටත් පෙන්වා දෙන්නීය. මේ සියල්ලට වඩා දරා ගත නොහැක්කේ, සිය ජීවෝනෝපාය අහිමි වීම හෙවත් කල්ලරාව මුහුදේ මසුන් වඳ වී යෑම බව ඇය පවසයි.

තේරුම්ගන්නා විට සියල්ල සිදු වී අවසන්

“ගමේ අය ඒ කාලේ ඉඳන්ම කළේ මාදැල් රස්සාව සහ කලපුවේ ඕල දැල් රස්සාව. පාත්ෆයින්ඩර් ඇඩ්වෙන්චර් කියන පුද්ගලික සමාගම  මීට අවුරුදු දොලහකට විතර කලින් මේ මෝය කට ගාව තිබුණු ඉඩමේ හෝටලයක් හදන්න කියලා මිලදී අරන් තිබුණා. 2011 අවුරුද්ද අන්තිම කාලේ වගේ එයාලා ගමේ අය ම කුලියට අරගෙන වැලි කොට්ටා ගහලා මේ මෝය කට හරස් කළා. එදා ඉඳන් මුහුදේ වතුර කලපුවටවත්, කලපුවේ වතුර මුහුදටවත් යන්නේ නැහැ. මේ නිසා කලපුවේ විතරක් නෙවෙයි, මුහුදෙත් මේ වෙද්දී මාළු හිඳිලා ගිහිල්ලා. මේව තේරෙනකොට අපි ප්‍රමාදයි.“ චන්ද්‍රිකා මානෙල් පොඩිනේරිස් කල්ලරාවේ වත්මන් ඛේදවාචකය පැහැදිලි කරන්නේ ඒ අයුරිනි.

චන්ද්‍රිකා මානෙල් පොඩිනේරිස්

මෝය කට වසා දැමීමෙන් නොනැවතුණු අදාළ සමාගම මෝය කට පිහිටි භූමිය ද අත්පත් කර ගැනීමට කටයුතු කළ බව කල්ලරාව සුළු පන්න ධීවර සමිතියේ සභාපති රෝෂන් සුරනිමල පවසයි. ජීපීඑස් තාක්ෂණයද යොදා ගනිමින් කලපුවට අයත් භූමි භාගය තම ඉඩමට අයිති බව කියමින් එහි සීමා කණු පවා ස්ථාපිත කරන ලද්දේ, කවරෙකුගේ අවසරයකින්දැයි ඔහු ප්‍රශ්න කළේය.

වෙරළක, කලපුවක හෝ මෝයක සීමා සළකුණු කළ හැක්කේ, රාජ්‍ය අමාත්‍යාංශයකට හෝ දෙපාර්තමේන්තුවකට පමණි. පුද්ගලික සමාගමකට එවැනි බලයක් ලබාදීම සම්බන්දයෙන් ගම්වාසීන් කියා සිටින්නේ, 2011 වසරේදී කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කර සිටි වෙරළ සංරක්ෂණ නිලධාරිනිය මාදැල් ව්‍යාපාරිකයන් හා අදාළ සමාගම සමග සමීපව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එවැනි අකටයුත්තක් සිදුවන්නට ඇති බවයි.

“ඒ කාලේ මේ පැත්තේ හිටිය වෙරළ සංරක්ෂණ නිලධාරිනිය හිටියේ කොම්පැනි කාරයාගෙයි මාදැල් මුදලාලිලාගෙයි ඔඩොක්කුවේ. ඉතින් නීතියක් තියෙයිද?“  ඒ  මානෙල්ගේ අදහසයි.

කෙසේ වෙතත්, කල්ලරාව මෝය කට වසා දැමීම පිළිබඳව එවකට කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කළ උමා මහේෂ්වරන් පවා දැන නොසිටි බව අප කළ විමසීමක දී ඔහු ම කීවේය.

මෝය කට වසා දැමීම හේතුවෙන් ගොඩබිමක් බවට පත් වූ කලපු තීරයේ, කිසිදු සීමා කණුවක් ස්ථාපිත කිරීමට හෝ මැනුම් ගත කිරීමක් සිදු කිරීමට දෙපාර්තමේන්තුවක් ලෙස මැදිහත් වී නැතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ඉංජිනේරු එම්. තුලසිදාසන් පවසයි

ප්‍රාදේශීය ඉංජිනේරු එම්. තුලසිදාසන්

ඒ අනුව, පැහැදිලිව හෙළි වන කාරණයක් නම්, අදාළ සමාගම ජනතාව ගොනාට අන්දවා රාජ්‍ය ආයතනයකින් මෙම කටයුත්ත සිදු කරන බව අගවමින් මේ භූමිය අල්ලාගෙන ඇති බවයි.

සමාගම විසින් එහි සීමා කණු සිටුවා ඇත්තේ ඒවා රජය විසින් සිටුවන ආකාරයක් බැලූ බැල්මට දිස්වන ආකාරයෙනි. ඒ හේතුවෙන් ගම්වාසීන් එදා නොමග යාම පුදුමයක් නොවේ.  එවකට කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කර සිටි වෙරළ සංරක්ෂණ නිලධාරිනිය වූ ටී.ගෞරි පවසන්නේ තමන් මෙවැනි දෙයක් ගැන කිසිවක් දැන නොසිටි බවයි. නමුත් ගම්වාසීන් එය ප්‍රතික්ෂේප කරමින් ඇයට චෝදනා කරමින්, ඇය දැනුම්වත්ව සමාගම මේ අනීතික කටයුතු සිදුකරනු ලැබූ බව පවසයි.

සීමා කණු සිටුවා ඇති ආකාරය

එක මෝයක්- නීති දෙකක්

දේශපාලන හා අධිකාරිමය බලය උපරිම ලෙස අවභාවිතා කරමින් යාං ඔයේ ගමන් මග වෙනස් කළ අදාළ සමාගමට එරෙහිව, බලධාරීන් මෙතෙක් කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති වුව ද, මෝය කට වසා දැමීමෙන් අගතියට පත් ජනතාවට එරෙහිව නම්, කුච්චවේලි පොලිසිය කටයුතු කර ඇත.

2011 වසරේ පෙබරවාරි මාසයේ ඇති වූ මහා ගංවතුර තත්වය හමුවේ, ස්භාවිකව වැලි වලින් වැසී ගිය මෝය කට කපා ජලය බැස්සවීමට  ඉදිරිපත් වූ ගම්වාසීන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට කුච්චවේලි පොලිසිය කටයුතු කර තිබුණි. ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ මැදිහත්වීමෙනි.

තම සමාගමට අයත් ඉඩමක් හරහා ඇළ මාර්ගයක් කපා ඉඩමට අනර්ථයක් සිදු කළ බව හා ඉඩම දෙකඩ කළ බව කියමින් නන්දන හේවගේ නැමැති අයෙකු 2011 පෙබරවාරි 05 වන දින ත්‍රිකුණාමලය දිසාව භාර  නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව කුච්චවේලි පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය 2011 පෙබරවාරි 12 වන දින කල්ලරාව ගම්මානයට ගොස් හරි හැටි කරුණු විමර්ශනය නොකර ගම්වාසීන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්)නාගාර ගත කළ බව ගැමියෝ අදටත් චෝදනා කරති.

කුච්චවේලි පොලිසිය විසින් BR/K/162/PC/11 අංක යටතේ මහේස්ත්‍රාත් අධිකරණයට ඒ පිළිබඳ කරුණු වාර්තා කරමින් සදහන් කර ඇත්තේ, ගම්වාසීන් අදාළ සමාගමට අයත් ඉඩමේ නව මෝය කටක් කපා ඊට අනර්ථයක් සිදු කර ඇති බවයි. එහෙත්, ගම්වාසීන් කපා ඇත්තේ, පුද්ගලික සමාගමට අයත් ඉඩමද, නැතහොත්, කලපුවේ පිහිටි පැරණි ස්වභාවික මෝයද යන්න මෙහිදී විමර්ශනය කර නොමැත.

වෙරළ සංරක්ෂණ පනතේ විධිවිධාන

2011 අංක 49 දරන වෙරළ සංරක්ෂණ (සංශෝධන) පනතට අනුව යම් ගංගාවක මෝය කට ආශ්‍රිතව සිදුවන ක්‍රියාවලීන් නියාමනය සිදු වනුයේ, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දොපාර්මේන්තුව මගින් බව පරිසරවේදි සජීව චාමිකර මහතා පෙන්වා දෙයි. ගංගාවක් මුහුදට වැටෙන මෝය කටේ සිට රට ඇතුළට ලම්භකව සළකුණු කරනු ලබන කිලෝ මීටර් 02ක් වූ සීමාව කළමනාකරණය කිරීමේ බලය පැවරී ඇත්තේ, එම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණි. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව කිසිදු ආකාරයක සංවර්ධනයක් කිරීමේ බලයක් කිසිවෙකුටත් නොමැති බව ඔහු පෙන්වා දෙයි.

පරිසරවේදී සජීව චාමිකර

යම් හෙයකින් එවැනි සංවර්ධන කටයුත්තක් සිදු කරන්නේ නම්, ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සැකසීම හා එය දින තිහක කාලයක් මහජන අදහස් සඳහා ප්‍රසිද්ධ කිරීම සිදු කළ යුතු අතර, අනුමැතියකින් තොරව එවැන්නක් ක්‍රියාත්මක කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

පුද්ගලික සමාගමක් විසින් කල්ලරාව මෝය කට වසා දැමීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුවේ ත්‍රිකුණාමලය නිලාවේලි පිහිටි කාර්යාලයෙන් කළ විමසීමේදී විමසීමකදී සදහන් කර ඇත්තේ, මේ වන විට ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කරමින් පවතින බැවින් තොරතුරු ලබාදිය නොහැකි බවයි.

කල්ලරාව මෝය කට වසා දැමීම සදහා තම ආයතනයේ අනුමැතිය කිසිවෙකුටත් ලබා දී නැති බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුවේ ත්‍රිකුණාමලය වත්මන් ප්‍රාදේශීය ඉංජිනේරු එම්. තුලසිදාසන් අප කළ විමසීමකදී කියා සිටියේය.

තම ආයතනයේ අනුමැතියකින් තොරව එවැනි කටයුත්තක් සිදු කර ඇත්නම්, ඊට එරෙහිව පියවර ගැනීමට තම ආයතනයට හැකි බවද ඉන්ජිනේරුවරයා වැඩි දුරටත් පැවසීය.  

2011 අංක 49 දරන වෙරළ සංරක්ෂණ (සංශෝධන) පනතේ 111 අ  කොටසේ  (3) වගන්තියට අනුව මෙවැනි මෝයක හෝ කලපුවක, මුහුදු දිවියට බලපෑමට යටත් වන ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශිත ප්‍රදේශයක, මුහුදු දිවියට හානි විය හැකි ඉදිකිරීමක්, පිරවීමක්, අවහිර කිරීමක්, අපිරිසිදු කිරීමක් වැනි අහිතකර ක්‍රියාවක් කරන යම් තැනැත්තෙකු වරදකරු වන බව පැහැදිලිව සදහන්ව කර ඇත. එහෙත්, කල්ලරාව මෝය කට වසා දැමීම සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව දක්වන්නේ, සිතා ගත නොහැකි වු ඇල්මැරුණු ප්‍රතිචාරයකි.

නීති විරොධී රහස් අනුමැතියක්

කල්ලරාව මෝය කට වසා දැමීමට තම ආයතනයේ අනුමැතිය ලබා දී නැති බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ඉංජිනේරු එම්. තුලසිදාසන් පුන පුනා කියා සිටියද, ෆාත් පයින්ඩර් සමාගම කරන ලද ඉල්ලීමකට අනුව 2011 සැප්තැම්බර් 09 වන දින යොමු අංක CC/P/GEN/42 C දරන ලිපිය මගින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) ගාමිණි හේවගේ යන අය විසින් ඊට අනුමැතිය ලබා දී ඇති බව හෙළිදරව්  කර ගැනීමට ලියුම්කරුට හැකි විය. ධීවර කටයුතුවලට හෝ වෙරළට බාධාවක් නොවන සේ එය ක්‍රියාත්මක කළ යුතු බව ද එහි සඳහන් කර ඇත.

මෝයකට වසා දැමීමට අනුමැතිය ලැබුණු බව පවසන ලිපිය

කෙසේ වෙතත්, මෙතෙක් කලක් රහසක්ව පැවති වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් ලබා දුන් බව කියන එම අනුමැතිය (යොමු අංක CC/P/GEN/42 C) පරීක්ෂා කිරීමේ දී තහවුරු වනුයේ, එකී ලිපිය මගින් අවසර ලබා දී ඇත්තේ, අදාළ සමාගමට අයත් යැයි කියන ඉඩමේ ගම්වාසීන් විසින් බලහත්කාරයෙන් කපන ලද බව කියන ඇළ මාර්ගය සහිත මෝය කට වසා දැමීමට මිස, ස්භාවික මෝය කට වසා දැමීමට නොවන බවයි.

එහෙත්, සමාගම වැලි කොට්ට ගසා වසා දමා ඇත්තේ, වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව යටතේ පවතින කලපු තීරය හා ස්භාවික මෝය කට බව සක්සුදක් සේ පැහැදිලිය. මෙම කටයුත්ත වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුවේ වෙරළ ඉංජිනේරුවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු බව ද එහි පැහැදිලිව සඳහන්ව ඇතත්, එවැනි අධීක්ෂණයන් අදාළ ආයතනයෙන්  සිදු නොවූ බවට ගම්වාසීහු සාක්ෂි දරති. එසේම කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අණුයුක්ත වෙරළ සංරක්ෂණ නිළධාරිනිය ද මෙවැනි විනාශයක් සිදුවෙද්දී නිහඩ පිළිවෙතක් අනුගමනය කර ඇති බවක් පෙනී යයි.

මෙම අනුමැතිය සම්බන්ධයෙන් අදහස් දක්වන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සාමාජික පරිසරවේදී සජීව චාමිකර කියා සිටින්නේ, 2011 අංක 49 දරන  සංශෝධිත වෙරළ සංරක්ෂණ පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් නොමැතිව එවැනි අනුමැතියක් දීමේ බලයක් වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව සතුව නැති බවයි.

තක්සේරු වාර්තාවක් සැකසීම පමණක් මෙවැනි කාර්යයකට ප්‍රමාණවත් නොවන අතර එය මහජනයට වෙත ප්‍රදර්ශනය කළ යුතු වෙයි. නමුත් ඒ කාර්යය සිදුව නැති බව කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කේ. ගුණානන්දන් පවසයි.

කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කේ. ගුණනාදන්

කල්ලරාවේ මෝය කට වසා දැමීම සම්බන්ධයෙන් ලැබුණු මහජන පැමිණිළි පිළිබඳව විමර්ශනය කිරීමට කල්ලරාවට පැමිණි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුවේ නිලාවේලි කාර්යාලයේ නිලධාරීන්, අමුතුම ආකාරයේ යෝජනාවක් ද ගම්මුන්ට ඉදිරිපත් කර තිබේ.

ඒ, වසා දැමූ මෝය කට ,  වෙනත් ස්ථානයකින් ලබාදීමයි. නමුත්, ගම්වාසීන් එකහෙළා ඊට විරෝධය පළ කර තිබේ. කෙසේ වෙතත්, ඉන් අනතුරුව අදාළ නිලධාරීන් දැනුම් දී ඇත්තේ, මීට පෙර කල්ලරාවේ මෝය කට මෙම ස්ථානයෙන්ම පැවති බවට දිවුරුම් ප්‍රකාශ කිහිපයක් රැගෙන එන ලෙසයි.

“පසුගිය අවුරුදුවල චන්ද්‍රිකා ඡායාරූප ගත්ත නම්, මෝය කටක් තිබ්බද නැද්ද කියලා ඕන කෙනෙකුට හොයා ගන්න පුළුවන්.., මෙයාලා අපිට බබා දානවා.“ රෝෂන් සුරනිමල කීවේය.

රෝෂන් සුරනිමල

‘තිබුණා නම් ඔප්පු කරන්න‘ – සමාගම කියයි

කල්ලරාව මෝය කට වසා දැමූ බවට ගම්වාසීන්ගේ චෝදනාවට ලක්ව සිටින පාත්ෆයින්ඩර් පුද්ගලික සමාගමට අයත් මෙම ඉඩම පසුව සෙන්ටිනල් රියැලිටි පුද්ගලික සමාගමට (Sentinel Realty (Pvt) Ltd.) පවරා ඇත. සෙන්ටිනල් රියැලිටි පුද්ගලික සමාගමේ සභාපතිත්වය දරන්නේ, බර්නාඩ් ගුණතිලක නමැති අයෙකි.

තම ආයතනය විසින් කල්ලරාව මෝය කට වැලි කොට්ට ගසා වසා දැමීමක් සිදු නොකළ බවත්, 2011 වසරේදී ගම්වාසීන් පිරිසක් විසින් තම සමාගමට අයත් ඉඩමක අනවසර ඇල මාර්ගයක් කැපීම හේතුවෙන් ඛාදනයට ලක්වු භූමිය ආරක්ෂා කර ගැනීම සදහා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුවේ අනුමැතියෙන් ගං ඉවුර වැලි කොට්ට මගින් ආවරණය කිරීම පමණක් සිදු කළ බවත් ඔහුගෙන් කළ විමසීමක දී කීවේය. කලපු තීරය තම සමාගමේ ඉඩමට යාකරමින් සීමා කණු සිටුවීමක් සම්බන්දයෙන් තමා දැනුවත් නැති බවද ඔහු පැවසුවේය.

බර්නාඩ් ගුණතිලක මහතා. – සෙන්ටිනල් රියැලිටි පුද්ගලික සමාගමේ සභාපති

කල්ලරාව යාං ඔය මෝය කට ගම්වාසීන් කියන ස්ථානයේ පැවති බවට කිසිදු සාක්ෂියක් නැතැයි ද අඩුම තරමින්, මැනුම් සිතියමක හෝ මෝය කට එහි පැවති බවක් සදහන්ව නැති බව ද ඔහු කියයි.  

සෙන්ටිනල් රියලිටි පුද්ගලික සමාගමේ සභාපතිවරයාට අනුව යාං ඔයේ මෝය කට පිහිටා ඇත්තේ, තම සමාගමට අයත් ඉඩමේ සිට මීටර් 800 පමණ දුරකිනි. එහෙත්, යාං ඔයේ ජල මට්ටම වැඩි වන අවස්ථාවලදී ප්‍රශ්නගත ස්ථානයෙන් වතුර ගලා යන තත්වයක්ද පවතී. ඒ අනුව මෙය ස්භාවික විවෘත සංවෘත මෝය කටක් බව රහසක් නොවේ. ගම්වාසීන් කියන අන්දමේ මෝය කටක් එම ස්ථානයේ මීට පෙර පැවතියේ නම්, එය ඔප්පු කර පෙන්වීමට ඇති සාක්ෂි ප්‍රශ්න කර සිටින සභාපතිවරයා, සිය සමාගම වැලි කොට්ට ගසා වසා ඇත්තේ කවර ස්ථානයක්ද, සීමා කණු සිටුවා ඇත්තේ කවර භූමියක ද යන්න මේ වන තුරත් නිරීක්ෂණය කර නැති බවත්  පෙනේ.

රජයේ ඉඩම් ආඥා පනතට අනුව ගංගාවක හෝ කලපුවක ඉවුරේ සිට මීටර් 60 ක භූමි ප්‍රමාණය රජය සතු බව සජීව චාමිකර පවසයි. බර්නාඩ් ගුණතිලක කියන අන්දමට ඔවුන්ගේ සමාගම විසින් වැලි කොට්ට ගසා අවහිර කර ඇත්තේ, රජය සතු ඉඩමක් මිස සෙන්ටිනල් රියලිටි පුද්ගලික සමාගමට අයත් ඉඩමක නොවන බවත් සජීව චාමිකර පවසයි.

එහි ගොස් බැලූ විට ඒ බව ඇස් පනා පිටම දක්නට ලැබෙයි. කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා ද පවසන්නේ මෙවැනි ව්‍යාපෘතියක් සඳහා අනුමැතියක් ගෙන නැති බවයි.

“ඔව්, ඔප්පු කරන්න පුළුවන්” -ධීවර සම්මේලනය

සෙන්ටිනල් රියැලිටි පුද්ගලික සමාගමේ සභාපතිවරයා කරන අභියෝගය සම්බන්ධයෙන් අදහස් දක්වන සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ විධායක කමිටු සාමාජික ප්‍රියන්ත මැලවැන්නගොඩගේ පවසන්නේ, සභාපතිවරයා පළමුව කළ යුත්තේ, තම ඉඩමට අයත් භූමිය හා කලපුවට අයත් භූමිය හඳුනා ගැනීම බවයි. යාං ඔය මෝය කටේ වෙනස්වීම් සම්බන්ධයෙන් විවිධ වසරවලදී ලබා ගත් චන්ද්‍රිකා ඡායාරූප ඔවුන් සතුව ඇති බවත්, යාං ඔයේ මෝය කට ස්ථාන දෙකින් මුහුදට විවර වී ඇති ආකාරය ඒ අනුව තහවුරු කළ හැකි බවත් ඔහු  කියා සිටී.

ප්‍රියන්ත මැලවැන්නගොඩ

කල්ලරාව ධීවරයන් රජයෙන් කිසිදු වරප්‍රසාදයක් හෝ වරදානයක් ඉල්ලන්නේ නැත. ඔවුන්ගේ  එකම ඉල්ලීම වනුයේ,  සමාගමක් විසින් සොරා ගත් කල්ලරාව ජනයාගේ  හදවත බඳු ස්වභාවික මෝය කට පෙර තිබු පරිද්දෙන්  ලබා දෙන ලෙසයි.  එහිදී අදාළ බලධාරීන්  හෝටල් හා සමාගම්කරුවන්ගේ පැත්තේ නොව, ස්භාවධර්මයාගේ පැත්තේ සිට ගතහොත් “ගැහැනු මුහුද” නැවත වරක් ගැබ්බර වනු ඇති බව ධීවරයන්ගේ ඒකායන විශ්වාසයයි.

දොන් ප්‍රැන්ෂිස් මයිකල්

‘‘යුද්දෙ තිබුණා අපි ගියේ නැහැ, සුනාමි ආවා අපි ගියේ නැහැ, කොරෝන ආවා ඒත් ගියේ නැහැ. මළත් දාල යන්න නොහිතෙන රත්තරං මූදක් මේක. දැන් ඒ මොකුත් නැතිව අපිට මේක දාල යන්න වෙලා තියෙන්නෙ. බරට බරේ අස්වැන්න දීපු ගෑනු මුහුද දැන් වඳ කරලා”  ගමේ පැරණිතම සාමාජිකයා 63 හැවිරිදි  දොන් ප්‍රැන්ෂිස් මයිකල් එසේ  පවසන්නේ, රළ බිඳෙන මහ මුහුද දෙස හිස් බැල්මක් හළෙමිනි.

1 COMMENT

Leave a Reply to Martin Waduge Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!