spot_img
spot_imgspot_img

මවගේ කිරිවලටත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් රිංගලා. ළදරුවන්ට සිදුවන දේ ගැන කඩිනම් පරීක්ෂණ

පුවත්

විදෙස්

මව්වරු කිහිප දෙනකු යොදා ගනිමින් ඉතාලියේ දී කර ඇති පරීක්ෂණයකින් මව්කිරිවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගුවන බව අනාවරණය වී තිබේ.

ළදරුවන් විශේෂයෙන් රසායනික දූෂකවලට ගොදුරුවන අතර විද්‍යාඥයන් කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ කඩිනමින් අවශ්‍ය කරන බවයි. නමුත් ළදරුවන් පෝෂණය කිරීමට ඇති හොඳ ම ක්‍රමය මව්කිරි ලබාදීම බව ද විද්‍යාඥයෝ කියති.

රෝමයේ දී දරුවන් බිහිකර සතියකට පසු නිරෝගී මව්වරු 34 දෙනකුගෙන් මව්කිරි සාම්පල ලබාගෙන ඇති අතර ඉන් 75%ක ක්ෂුද්‍ර ප්ලාස්ටික් හමු වී තිබේ.

මීට පෙර ද, මිනිස් සිරුරුතුළ, රසායනාගාර පරීක්ෂණ සඳහා යොදා ගන්නා සතුන්ගේ සිරුරු සහ සමුද්‍ර ජීවීන් තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇති බව අනාවරණ්‍ය වී තිබිණි. නමුත් එයින් ජීවීන්ට සිදුවන බලපෑම පිළිබඳ මෙතෙක් අනාවරණයක් කර නැත.

පර්යේෂකයන් පවසන්නේ ප්ලාස්ටික් ඇසුරුම්වල භාවිතා වන ආහාර, මුහුදු ආහාර සහ ප්ලාස්ටික් අඩංගු පුද්ගලික සනීපාරක්ෂක ද්‍රව්‍ය මේ සඳහා හේතු විය හැකියැයි සැක කළ ද එවැනි සම්බන්ධයක් ගැන මෙතෙක් කිසිම සොයාගැනීමක් සිදු කර නැත. කෙසේ වෙතත් මව්කිරිවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගුවීමෙන් පෙනී යන්නේ පරිසරයේ සෑම ස්ථානයක ම ක්ෂුද්‍ර ප්ලාස්ටික් පැවතීම සහ මිනිසුන් ඊට නිරාවරණය වීම නොවැළැක්වය හැකි බවයි. පර්යේෂකයන් පවසන්නේ අනාගතයේ දී ඒ සම්බන්ධ පුළුල් අධ්‍යයනයක් කර අවදානම් තත්වයන් කඩිනමින් හදුනාගැනීම අවශ්‍ය බවයි.

මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ Politecnica delle Marche විශ්වවිද්‍යාලයේ ආචාර්ය වැලන්ටිනා නොටාස්ටෙෆානෝ ඇතුළු කණ්ඩායමක් විසිනි.

2020 වර්ෂයේ දී ඉතාලියේ මව් වරුන්ගේ පෙකණි වැල තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇති බව ඔවුන් අධ්‍යයනයකින් අනාවරණය කරගෙන තිබිණි.

“ගර්භණී සමයේදී සහ මව්කිරි කාලය තුළ මෙම දූෂිත ද්‍රව්‍යවලට නිරාවරණය වීම අඩුකිරීමට කටයුතු යෙදීම දැඩි අවශ්‍යතාවක්” යැයි ආචාර්ය වැලන්ටිනා කීවාය.

“නමුත් දූෂිත ක්ෂුද්‍ර ප්ලාස්ටික් තිබීම නිසා ඇති වන අවාසිවලට වඩා මව්කිරි දීමේ වාසි බෙහෙවින් වැඩි බව අවධාරණය කළ යුතුයි. මෙවැනි අධ්‍යයනයන් නිසා දරුවන්ට මව්කිරි දීම අඩු නොකළ යුතු අතර, ඒ වෙනුවට පරිසර දූෂණය අවම කරන නීති ප්‍රවර්ධනය කරන ලෙස දේශපාලනඥයන්ට බලපෑම් කිරීමට මහජනතාව දැනුවත් කළ යුතුයි.” ඇය වැඩිදුරටත් පවසයි.

මෑතක දී සිදුකර ඇති වෙනත් පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ බෝතල් භාවිතයෙන් කිරි බීමට දෙන දරුවන් දිනකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් මිලින ගණනක් ගිල දැමීමේ අවදානමක පසුවන බවයි.  

මේ වනවිට එවරස්ට් කඳු මුදුනේ සිට ගැඹුරුම මුහුදු පත්ල දක්වා  ක්ෂුද්‍ර ප්ලාස්ටික් සමස්ත පෘථිවිය ම දූෂණය කර තිබේ. ආහාර, ජලය මෙන් ම හුස්ම ගන්නා වාතය ද ළදරුවන්ගේ මෙන් ම වැඩිහිටියන්ගේ මළ ද්‍රව්‍ය සහ මුත්‍රා ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශවලින් පිරී තිබේ.

මව්කිරි සම්බන්ධයෙන් කරන ලද මෙම පර්යේෂණය පොලිමර්ස් නමැති සඟරාවේ ප්‍රසිද්ධියට පත්කර තිබේ. එහි දැක්වෙන්නේ ඇසුරුම්වල ඇති පොලිඑතිලීන්, පීවීසී සහ පොලිප්‍රොප්ලීන් වලින් සමන්විත ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගෙන ඇත. මයික්‍රෝන 02කට වඩා කුඩා අංශු විශ්ලේෂණය කිරීමට පර්යේෂකයන්ට හැකියාව ලැබී නැත. එමෙන් ම පර්යේෂණයට යොදාගත් මව්කිරි සාම්පල ප්ලාස්ටික් භාවිතයෙන් තොරව එකතුකර ගබඩා කර විශ්ලේලෂණය කරන ලද බව ද පර්යේෂකයෝ තහවුරු කරති.

“ගර්භනී කාන්තාවන්, ප්ලාස්ටික් ඇසුරුම්වල යොදන ආහාර, ක්ෂ්‍රද ප්ලාස්ටික් අඩංගු රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ දන්තාලේප භාවිතය, කෘතිම රෙදිවලින් සාදන ලද ඇඳුම් ඇඳීම යන කරුණුවලින් වැළකී සිටිම වඩාත් සුදුසුයි” පර්යේෂක කණ්ඩායම පවසයි.

ක්ෂුද්‍ර ප්ලාස්ටික් මිනිස් රුධිරයේ ඇති බව පසුගිය මාර්තු මාසයේ දී නෙදර්ලන්තයේ Vrije Universiteit Amsterdam හි මහාචාර්ය ඩික් වෙතාක් ඇතුළු කණ්ඩායමක් පර්යේෂණයක් මගින් අනාවරණය කර තිබිණි.

කෙසේ වෙතත් මව්කිරිවල අඩංගු ක්ෂුද්‍ර ප්ලාස්ටික් සම්බන්ධයෙන් යොදාගෙන ඇත්තේ කුඩා නියැදියක් බැවින් ඒ සඳහා වඩාත් පුළුල් නියැදියක් යොදා ගත යුතු බවත්, වෙනත් ක්‍රම අධ්‍යයනය සඳහා භාවිතා කළ යුතු බවත් දත්ත විශ්ලේෂකයෝ ම කියති.

මවගේ කිරිවලින් ළදරුවකුගේ සිරුරට ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළු වූ විට සිදුවිය හැකි අහිතකර බලපෑම පිළිිබඳ තවමත් වෛද්‍ය හෝ විද්‍යා ක්ෂේත්‍රයට කිසිදු අවබෝධයක් නැත. නමුත් ඒ පිළිබඳ වැඩි දුරටත් අධ්‍යයනය කිරීමේ හදිසි අවශ්‍යතාවක් පවතී. ජීවිතය ආරම්භ කරන බිළිඳුන්ගේ සිරුරට රසායනික අංශු නිරාවරණය වීම පිළිබඳ අධ්‍යයනය කිරීම සෞඛ්‍ය පර්යේෂණ ප්‍රමුඛතාවක් විය යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!