spot_img
spot_imgspot_img

සුපිරි වටයේ පළමු තරඟයෙන් ම ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

පුවත්

විදෙස්

පළමු වටයේ දී ඇෆ්ගනිස්තානයට පරාජය වීමේ වාඩුව පිරිමසා ගත් ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායම සුපිරි කණ්ඩායම් 04 පළමු තරඟයම ජය ගත්තේ අවසන් මහා තරඟයට සමීප වෙමිනි. ඊයේ (03) රාත්‍රී පැවැති තරඟයේ දී ලකුණු 176ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 05ක් ඉතිරිව තිබිය දී ම කඩුලු 06ක් පමණක් දැවී ජයග්‍රහණය ලබා ගත්හ.

කාසියේ වාසිය දිනාත් දසුන් ශානක පන්දු යැවීම තෝරාගත්තේය.

ඉනිම ආරම්භයේදීම මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ ලෝන්ඕන් කලාපයට ඉහළින් ඇදී ගිය පන්දුව හතරේ සීමාව ආසන්නයේ සිටි ධනුෂ්ක ගුණතිලක විසින් රැකගැනීමත් සමඟ ගුර්බාස් දැවීගිය ක්‍රීඩකයකු ලෙස සංඥා කෙරිණි. නමුත් පුනරූපන දර්ශනවලින් පෙනී ගියේ උඩපන්දුවක් ලෙස එය රැකගන්නා විට ධනුෂ්කගේ පාදය හතරේ සීමාවේ ස්පර්ශවන බවයි. ඒ අනුව ගුර්බාස්ට ලකුණු 06ක් හිමිවිය.

එම අවස්ථාවෙන් ප්‍රයෝජනගත් ගුර්බාස් සහ හස්රතුල්ලා සසායි පළමු කඩුල්ල සඳහා පන්දු 29ක දී ලකුණු 46ක් එක්කළේ විශාල ලකුණු සංඛ්‍යාවකට යාම සඳහා අවශ්‍ය අඩිතාලම දමමිනි.

ගුර්බාස් පන්දු 22ක දී සිය 05 වැනි විස්සයි 20 අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර අසිත ප්‍රනාන්දු වේගය අඩාල කරමින් යැවූ පන්දුවක් හමුවේ වනිඳු හසරංග අතට උඩ පන්දුවක් දී දැවී යන විට පන්දු 45ක දී ලකුණු 84ක් ලබා සිටියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් වෙමිනි. ඔහුගේ එම වේගවත් ඉනිමට හයේ පහර 06ක් සහ හතරේ පහර 04ක් ඇතුළත්ව තිබිණි. ඔහුගේ දැවී යාමනේ දෙවැනි කඩුල්ලේ සම්බන්ධතා ලකුණු 93ක් ලෙස අවසන් විය.

ගුර්බාස්ගේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය ආක්‍රමණය දැඩි කළ අතර ඉන් පසු යැවූ පන්දු 27ක  දී ඇෆ්ගනිස්තානුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 36ක් පමණි.

ඇෆ්ගනිස්තාන ඉනිම නිමාවට පත්වන විට කඩුලු 06ක් අහිමිකරගත් ඔවුන් ලකුණු 175ක් වාර්තා කිරීමට සමත්විය.

ලකුණු 176ක ඉලක්කයක් කරා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් පන්දු 39ක දී ලකුණු 62ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගුවේ හඹා යාමේ කාර්ය පසුපසින් පැමිණෙන සඟයන්ට පහසු කරමිනි.

පැතුම් නිශ්ශංක පන්දු 28ක දී ලකුණු 35ක් සහ කුසල් මෙන්ඩිස් පන්දු 19ක දී ලකුණු 36ක් ලබා ගත්හ.

ආසියානු කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවක් බවට පත්ව සිටි චරිත් අසලංක ඊයේ තරඟයේ දී ද සාර්ථක වූයේ නැත ඔහු පන්දු 14කට මුහුණ දුන්න ද ලබාගත හැකි වූයේ ලකුණු 08ක් පමණි. දසුන් ශානකට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට අවස්ථාවක් නොලැබුණු අතර ලකුණු 119 දී හතරවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට පන්දු 09ක දී එක් හතරේ පහරක් සමඟ රැස්කරගෙන සිටියේ ලකුණු 10ක් පමණි.

ඇෆ්ගනිස්ථානුවන් සිය ආක්‍රමණය දැඩි කිරීමට උත්සාහ ගන්නා අවස්ථාවේ දී අත්‍යාවශ්‍ය ම ප්‍රහාරය දියත් කළ භානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක 05 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 15ක දී ලකුණු 32ක් රැස් කළේ ඇෆ්ගනිස්තානුවන් වෙතින් තරඟය ඈත් කරමිනි. ධනුෂ්ක පන්දු 20ක දී හතරේ පහර සහ හයේ පහර දෙකක් බැගින් එල්ල කරමින් ලකුණු 33ක් ලබා සිටිය දී 05 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 151ක් විය. ඒ වනවිටත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පහසු ඉලක්කයක් බවට පත්ව තිබිණි. භානුක සමඟ එක් වූ වනිඳු හසරංග න්දු 11 ක දී ලකුණු 23ක් රැස්කරමින් ජයග්‍රහණයට ලකුණු 02ක් මෑතින් සිටිය දී භානුක ලකුණු 31කට දැවී ගියේය. ඔහු එම ලකුණු සංඛ්‍යාව රැස්කරගෙන තිබුණේ පන්දු 14කිනි. ඊට හතරේ පහර 04ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. අනතුරුව පිටියට එක්වූ චාමික කරුණාරත්න පළමු පන්දුවෙන් ම එක් ලකුණක් ලබා ගනිමින් සිය අන්තය මාරුකරගත් අතර ඒ සමඟ කණ්ඩායම් දෙකෙහි ලකුණු සමවිය. එක් ලකුණක් ලබා ගැනීමට පන්දු 06ක් ම ඉතිරිව තිබුණ ද අවසන් පන්දුවාරයේ පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කළ චාමික ජයග්‍රහණය තහවරු කළේය. ඒ වනවිට වනිඳු හසරංග පන්දු 09ක දී හතරේ පහර 03ක් සමඟ නොදැවී ලකුණු 16ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි තරගය ඉන්දියාවට එරෙහිව ලබන 06 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!