කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපතිවරයා ද තාවකාලික බිහිරි බවට පත්කරමින් ඔහුගේ පොලිසිය සහ ඒ අවට ප්‍රදේශයේ නීති විරෝධී ශබ්ද විකාශනයක් ක්‍රියාත්මක වෙමින් තිබේ.
පසුගිය පොහොය දින සිට දින 10ක් පුරා පැවැත්වෙන බව පවසන තොරණ කිහිපයක් සඳහා මේ ශබ්ද විකාශනය කරනු ලබන අතර දණ්ඩ නීති සංග්‍රහයේ 261 වැනි වගන්තිය අනුව එය අපරාධමය වරදකි.
ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීන්දුවක් අනුව සකසා ඇති පොලිස්පති චක්‍රලේඛ 2031/2007 අනුව කිසිදු පොදු ස්ථානයක්, විශේෂයෙන් ම මහා මාර්ගයන් හි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට කිසිදු අවසරයක් නැත.
දිනකට පැය ගණනක් මහ හඬින්, පිරිත්, ධර්ම දේශනා ගීත ආදිය විකාශය කරමින් සිදුකරන මේ ශබ්ද දූෂණය ඇස් පනාපිටම පෙනෙන්නට තිබුණ ද කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඒ ගැන නොතකා ක්‍රියාකරයි.
එලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස් ස්ථානාධිතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදුකරන අතර ම පොලිස්පතිවරයාගේ චක්‍රලේඛය නොතකා හැරීමෙන් සිය රාජකාරිය ද පැහැර හරයි
කහටගස්දිගිලිය නගරයේ අධිකරණයක්ද පිහිටා ඇති අතර අධිකරණයට පැමිණෙන නීතිඥ මහත්වරු පමණක් නොව විනිශ්චයකාරවරුද මේ හිරිහැරය ගැන හොඳින්ම දනිති. නමුත් ඔවුන් කිසිවෙකුත් මේ අපරාධමය වරද සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වී නැත.
ජනතාව මේ හේතුවෙන් පීඩාවට පත්ව තිබීම ගැන විමසීමට අපි කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපතිපතිවරයාගේ 0718591225 දුරකථන අංකයට ඇමතුවෙමු.
එවිට ස්ථානාධිපතිවරයාට අප කියන දේ පවා ඇසෙන්නේ නැත. ඔහු කියන්නේ මේ ශබ්දය නිසා තමන්ට කිසිවක් ඇසෙන්නේ නැති බවයි. ශබ්ද විකාශන යන්ත්‍රවලට බලපත්‍රයක් දුන්නේ කෙසේදැයි විමසූ විට ඔහු එය ඇසෙන්නේ නැතැයි කීවේය. නැවත අප කීවේ පොලිස්පති චක්‍රලේඛ සහ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව එවැනි ශබ්ද විකාශනයක් සිදුකිරීම නීති විරෝධී බැවින් පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස එය ගලවා ඉවත්කළ යුතු බවයි. නමුත් එවිට ද ස්ථානාධිපතිවරයා තමන්ට එය ඇසෙන්නේ නැතැයි කීවේය. නමුත් ඔහු මෙසේ ද කීවේය. “තොරණ කිහිපයක් තියෙනවා ඔයා ඔය අහන්නේ ඒවාට දාපු ලවුඩ්ස්පීකර් ගැන වෙන්න ඇති. ඒවා ඉතින් බෞද්ධ වැඩනේ” යනුවෙනි.
බෞද්ධ වැඩවලයැයි කියා අපරාධමය වරදක් කරන්නට ඉඩ දී සිටින කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපතිවරයා ද මේ වනවිට තාවකාලික බිහිරි බවට පත්ව තිබේ.
වෛද්‍යවරුන්ගේ නිර්දේශය වන්නේ ඩෙසිබල් 60කට වැඩි ශබ්දයක් තත්පර කිහිපයක් ඇසුණ ද යම් පුද්ගලයකු එයින් තාවකාලික බිහිරිබවට පත්වන බවයි.
ශබ්ද විකාශන යන්ත්‍රයකින් නිකුත් කරන ශබ්දය ඩෙසිබල් 120කි. කහටගස්දිගිලිය නගරයේ ජනතාව පමණක් නොව පොලිස් ස්ථානාධිපතිරවයා ද මේ නීතිවිරෝධී ශබ්ද විකාශනය හේතුවෙන් තාවකාලික බිහිරි බවට පත්වීම පුදුමයක් නොවේ.
