spot_img
spot_imgspot_img

කොළඹ සිදුවන්නට යන දේ මෙන්න

පුවත්

විදෙස්

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක රැඳී සිටින අරගලකරුවන්ට අද (10) රාත්‍රියේ පහර දී පන්නා දැමීමට ත්‍රිවිධ හමුදාවේ සූදානම් ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් ප්‍රචාරය වෙමින් පවතී.

යුද හමුදා නිලධාරීන් රාත්‍රීයේ වීදිවල ගමන් කරන වීඩියෝ දර්ශන දෙකක් ද වේගයෙන් සංසරණය වෙයි. මේ අතර බත්තරමුල්ල යුද හමුදා මූලස්ථානය අසළ විශාල භට පිරිස් රැඳී සිටින බව ද ඔවුන් වාහන රැසක් සූදානමින් තබා ඇතැයි ද ඇතැම් පිරිස් කියති.

මේ සම්බන්ධ ෆේස් බුක් ඔස්සේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා වෙත විවෘත ලිපියක් යොමුකරමින් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති, මහින්ද දේශප්‍රිය ඉල්ලා ඇත්තේ ජූළි 13 වැනි දින තෙක් වූ මේ සංක්‍රාන්ති කාලයේ දී කොළඹ නගරය තුළ ගෝල්ෆේස් අරගලකරුවන් සාමකාමීව රැඳී සිටින ස්ථානවල අවිබලය යොදා භට පිරිස් ඇතළු කිරීමට ප්‍රයත්න නොකරන ලෙසයි.

එවැනි දෙයක් කරන්නේ නම් එය ඉතාමත් අමනෝඥ ක්‍රියාවක් බවත්, එමගින් රට ලේ විලක් වීම වැළැක්වීමට නොහැකි වනු ඇතැයි ද මහින්ද දේශප්‍රිය පෙන්වා දෙයි.

“ජනරජයේ හා එහි පුරවැසියන්ගේ ආරක්ෂාව බාරව සිටින ඉහළම නිලධරයනි,

මේ අවස්ථාවේ සාමකාමීව රැඳී සිටින යව්වන යව්වනියන්ට තරුණ තරුණියන්ට හා සෙසු පුරවැසියන්ට එරෙහිව බාහුබලය හා අවිබලය භාවිතා කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙනු මැනවි. එමෙන්ම මේ ස්ථාන වෙත සිවිල් ඇඳුමෙන් පැමිණ යම් කණ්ඩා‍යම් විසින් මැයි 09 දින මෙන් ප්‍රහාර එල්ල කිරීමේ තැතක් වෙතොත් එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා වැළක්වීමේ වගකීම ද ආරක්ෂක බලධාරීන් වෙත පැවරෙන හෙයින් ඒ පිළිබඳවද නිසි අවධානය යොමු කරනු මැනවි” යනුවෙන් ද එම ලිපියේ සඳහන් කර ඇත.

මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනයක් නිකුත්කරමින් කියා ඇත්තේ කොළඹ අරගලකරුවන්ට පහරදීමට සූදානම් යැයි පතිරයන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. හමුදාව එවැනි සූදානමක් නොමැති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවන වීඩියෝව සත්‍යයෙන් තොර බවත් හෙතෙම පවසයි.

මේ අතර අරගල භූමියේ සිටින කිහිප දෙනකුගෙන්ම අප මේ ගැන විමසා සිටි අවස්ථාවල දී ඔවුන් කීවේ ද හමුදා භට කණ්ඩායම් අරගලකරුවන් පළවාහැරීම සඳහා පැමිණෙන බවට ප්‍රචාරයක් ගිය ද තමන් එහි සත්‍ය අසත්‍යතාව නොදන්නා බවයි. මේ දක්වාම එවැනි සූදානමක් දැක නැති බව ද ඔවුහු කීහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!