ගාල්ලට මාළු කඩේ සදහටම අහිමිවෙයි.

0
1041

ගාල්ල මාළු කඩේ තොරණ පළාතේම ප්‍රකටය. එමෙන් ම මාළු කඩේ දන්සැළ ද ඒ තරමට ම ගාල්ලේ ප්‍රසිද්ධව පවතී. එහි රස නෙදාන්න අයකු ගාල්ලේ නැති තරම්ය. අදින් වසර ගණනාවකට පෙර ගාල්ල මාළුකඩේ පාපන්දු කණ්ඩායම ගාලු මහජන ක්‍රීඩාංගණයේ දී (දැන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය) පාපන්දුවෙන් ජය කෙහෙළි නැංවූහ.

ගාල්ලේ මාළු කඩේ වටා ගොඩනැගුණු අපූරු ජන සමාජයක්, කතා ගොඩක් සහ රසවත් අතීතයක් තිබේ. නමුත් ඒ සියල්ල තවත් නොබෝ දිනකින් අතීත මතකයක්ම පමණක් වනු ඇත. දශක ගණනාවක් ගාල්ල නගර මධ්‍යයේ පළතුරු වෙළඳ සැළට ආසන්නව පිහිටි ගාල්ල නාගරික මාළු වෙළඳ සැළ එතැනින් ඉවත් කිරීමට ගාල්ල මහ නගර සභාව කටයුතු යෙදා ඇත.

ගාල්ල නාගරික මාළු වෙළෙඳ සැළ දැනට පවතින ස්ථානයෙන් ඉවත් කර බාලදක්ෂ මාවතේ පිහිටි රත්ගම වැල්ලේ තාවකාලික වෙළඳ කුටිවලට ගෙන යාමට කටයුතු කිරීමෙන් නීත්‍යානුකූල වෙළෙඳාමේ යෙදී සිටි තමන් දැඩි අසීරුතාවකට ලක්ව ඇතැයි ගාල්ලේ මාළු වෙළෙන්දෝ කියති.

ඕලන්ද යුගයේ දී අශ්ව ඉස්ථාලයක් ලෙස භාවිතා කරන ලද ගොඩනැගිල්ලක් පසු කාලීනව නාගරික මාළු වෙළෙඳ සැළ ලෙස භාවිතයට ගෙන තිබූ අතර එය 2004 දෙසැම්බර් 26 වැනි දා සුනාමියට සම්පූර්ණයෙන් ම විනාශ වී ගියේය. ඉන් අනතුරුව එම ස්ථානයේ ම නව ගොඩනැගිල්ලක් ඉදිකර නාගරික ‍මාළු වෙළෙඳ සැළ ලෙස භාවිතයට ගන්නා ලදී.

සුනාමියෙන් පසු ගාල්ල කොටුව අසළ රත්ගම වැල්ලේ සහ ධීවර වරාය අසළ ජාකොටුව වැල්ලේ තාවකාලික මාළු වෙළෙඳ සැල් ආරම්භ වූ අතර එම වෙළෙඳාම නීත්‍යානුකූළ නොවන බව පවසමින් ගාල්ල මහ නගර සභාව අවස්ථා කිහිපයක දී ම එම තාවකාලික වෙළෙඳ සැල් ඉවත්කිරීමට උත්සාහ කළ ද එය ප්‍රතිපත්තිමය වශයෙන් දීර්ඝකාලීනව ක්‍රියාත්මක වූයේ නැත. එබැවින් දිගින් දිගටම රත්ගම වැල්ලේ සහ ජාකොටුවේ මාළු වෙළෙඳාම සිදුවිය. නාගරික මාළු වෙළෙඳ සැලේ ව්‍යාපාරිකයන් දිගින් දිගටම ඉල්ලා සිටියේ එම අනවසර වෙළෙඳාම නතර කර දෙන ලෙසයි.

නමුත් සිදුව ඇත්තේ නාගරික මාළු වෙළෙඳ සැළේ සිටි මාළු වෙළෙන්දන් එම ස්ථානයෙන් ඉවත්කර ඔවුන් ද බාලදක්ෂ මාවත පසෙක රත්ගම වැල්ලේ තාවකාලික වෙළඳ සැල් වෙත යොමු කිරීමට කටයුතු කරමින් සිටීමයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ ගාල්ල නාගරික මාළු වෙළෙඳ සැලේ ව්‍යාපාරික සුජිත් වසන්ත කුමාර මෙසේ පවසයි.

සුජිත් වසන්ත

“මගේ තාත්තා පවා මේ ස්ථානයේ නීත්‍යානුකූළ වෙළෙදාමේ යෙදුනා. ඉංග්‍රීසි ආණ්ඩු කාලේ ඉදලා මෙතැන නාගරික මාළු වෙළෙඳ සැල තිබුණා. පස්සේ නගරයේ වෙරළ දිගේ අනවසර මාළු වෙළෙඳාම නිසා අපිට ව්‍යාපාර කරගෙන යන්න බැරි තත්ත්වයට පත්වුණා. නගර සභාවම කියනවා ජාවත්ත වැල්ලේ අනවසර වෙළෙන්දන් හත් දෙනෙක් ඉන්නවා රත්ගම වැල්ලේ අට දෙනෙක් ඉන්නවා කියලා. සුනාමියෙන් පස්සේ රාජ්‍ය නොවන සංවිධානවලින් එයාලට මාළු ලෑලි හදලා දුන්නා. අපේ මාළු වෙළෙඳ සැලේ හිටපු ව්‍යාපාරිකයන් ටික ටික අඩුවෙලා දැන් ඉතිරිවෙලා ඉන්නේ අපි තුන්දෙනයි. නමුත් මෙතැන මාළු ලෑළි 20ක් හදල තියෙනවා. අපි හැමදාම ඉල්ලුවේ තැන් තැන්වල ඉන්න අයත් මෙතැනට දාන්න කියලා. නමුත් ඒක කළේ නැහැ. දැන් අපිවත් අර අනවසර වෙළෙන්දන් ඉන්න තැනට දාලා මේ ගොඩනැගිල්ල වෙන දේවල්වලට යොදාගන්න හදනවා. මේක අපිට කරන ලොකු අසාධාරණයක්.”

ඔහු පවසන ආකාරයට ගාල්ල නාගරික මාළු වෙළඳ සැලේ ව්‍යාපාරිකය්න 20 දෙනකුට ඉඩ තිබේ. කළකට ඉහතදී සිටි ව්‍යාපාරිකයන් දැන් ව්‍යාපාරකටයුතු නවතා දමා තිබේ. ඔවුන් පවසන්නේ අනවසර මාළු වෙළෙඳාම නිසා තම ව්‍යාපාර නවතා දැමීමට සිදුවූ බවයි. නාගරික මාළු වෙළෙඳ සැලේ අළෙවි ස්ථාන සඳහා පැරණි ගල්ලෑලි තබා ඇති අතර එක් ගල් ලෑල්ලක් පැරණි භාණ්ඩ එකතුකරන්නන් විසින් රුපියල් ලක්ෂ දෙක බැගින් ඉල්ලා සිටින බවත් බිමට අතුරා ඇති හතරැස් ගලක් රුපියල් 500කට ඉල්ලන බවත් ඔවුහු කියති. ඉදිරියේ දී තමන් මෙතැනින් ඉවත් කර එම ගල් පවා විකුණා දමනු ඇතැයි ඔවුහු චෝදනා කරති.

ඒ.ජී.ඩග්ලස් මෙසේ කිවේය.

ඒ.ජී.ඩග්ලස්

”අපිට යන්න කියනවානම් ස්ථිර තැනක් දීලා අපිව ඉවත් කරන්න කියා තමයි ඉල්ලන්නේ. අනවසර වෙළෙඳ සැල් ගොඩ අපිවත් දාන්න එපා. නැත්නම් මරා දැම්මත් අපි මෙතැනින් ඉවත්වෙන්නේ නැහැ. රත්ගම වැල්ල කියන්නේ තොටුපොළක්. පැරණි වරාය ළඟ තියෙන එතැනට රත්ගම ධීවරයන් ආවේ එයාලට වෙනත් තැන්වල ඔරු නවත්වන්න ඉඩ නොදීපු නිසා. එයාලගේ බෝට්ටු අදින්න ආපු අය දැන් මාළු ලෑලි දාගෙන ව්‍යාපාරිකයන් වෙලා.”

ඒ.ජී.සෝමදාස පවසන්නේ මෙවැන්නකි.

ඒ.ජී.සෝමදාස

” මේ ගාල්ලේ මාළු වෙළෙඳ සැළ. ගාල්ල කිව්වොත් මතක් වෙන්නේ මාළු වෙළෙඳාමයි වරායයි. දැන් නගර සභාව මාළු වෙළඳාම විනාශ කරන්න හදන්නේ. මේක කඩලා වෙනත් කඩ දාන්න සැළැස්මක් තියෙනවා කියා කියනවා. “

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මෙ‍සේ කීවේය.

”මේ ස්ථානයේ ඉන්නේ එක ව්‍යාපාරිකයයි. ඔහු පවා අවුරුදු 10කින් පමණ නගර සභාවට බදු ගෙවා නැහැ. නමුත් 20 දෙනෛකුට මේ ස්ථානයේ වෙළඳාම කරන්න පුළුවන්. රාත්‍රී කාලයේ මෙතැන විවිධ අපචාර සිදුවනවා. ඒ නිසා සභාවෙන් තීරණයක් ගත්තා මාළු වෙළෙඳාම මේ ගොඩනැගිල්ලෙන් ඉවත් කරලා රත්ගම වැල්ලේ ඔවුන්ට සුදුසු ස්ථානයක් සාදා දෙන්න. දැනට ක්‍රියාත්මක ගාල්ල නගරය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉවත්කිරීමට සිදුවන වෙළෙඳ සැල් කිහිපයකට මේ ස්ථානයේ ව්‍යාපාර කරගෙන යාමට ඉඩ ලබාදීමට තීරණය කර තිබෙනවා. “

නාගරික මාළු වෙළෙඳ සැළේ ව්‍යාපාරිකයන් පවසන්නේ ද මේ ස්ථානයේ රාත්‍රී කාලයෙ විවිධ අපචාර සිදුවන බවයි. නගර සභාවෙන් කිසිදු සොයා බැලීමක් නොකරන බැවින් එවැනි දේ සිදුවන බවට ඔවුහු කියති.

ගාල්ල නාගරික මාළු වෙළෙඳ සැල සංවිධානය කිරීමෙන් විශාල ප්‍රමාණයේ වෙසක් තොරණ 28ක් පසුගිය වර්ෂවල නිර්මාණය වී ඇති අතර වාර්ෂිකව පැවැත්වෙන මාළු කඩේ දන්සැළ ද ගාල්ල ප්‍රදේශයේ ම සුප්‍රසිද්ධ ආගමික සිද්ධියකි. එමෙන්ම ගාල්ලේ මාළු ක‍ඩේ පාපන්දු කණ්ඩායම ද කළකට ඉහත ප්‍රදේශයේ කීර්තිමත් නාමයක් දිනූ කණ්ඩායමක් විය. මාර්ගයේ කණු සිටුවීමට අවසර නොලැබෙන බැවින් වෙසක් තොරණ ඉදිනොකළ ද වාර්ෂික දන්සැළ පැවැත්වෙයි. මේ වනවිට මාළු කඩේ පාපන්දු කණ්ඩායමක් නැත. 

සටහන – සජීව විජේවීර

(මෙම ලිපිය උපුටා දක්වන්නේ නම් කරුණාකර rata.lk වෙබ් අඩවියේ මෙම ලිපියට අදාල සබැඳිය ද පළකිරීමට කාරුණික වන්න. ලිපිය පිළිබඳ කර්තෘ අයිතිය සුරක්ෂිතයි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here