ධීවර කර්මාන්තය බේරාගන්න යැයි රජයෙන් ඉල්ලයි

0
419

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දැනට ධීවරයන් විසින් මුහුදෙන් අල්ලා ඇති මාළු තොග මිල දී ගෙන ගබඩා කිරීමට හෝ බෙදා හැරීමට වැඩ පිළිවෙලක් කඩිනමින් සකසන ලෙස සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය රජයෙන් ඉල්ලා සිටියි.

එම සම්මේලනයේ ජාතික සංවිධායක දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී රත්න ගමගේ මහතා පවසන්නේ මේ වනවිට රටපුරා ධීවරයන් විසින් නෙලාගන්නා ලද මත්ස්‍ය අස්වැන්න කිලෝ ලක්ෂ 10ක් පමණ යාත්‍රාවලම හිරවී තිබෙන බවිය. ගාල්ල ධීවර වරායේ පමණක් එලෙස හිරවී ඇති ප්‍රමාණය කිලෝ ග්‍රෑම් ලක්ෂ 02ක් බව ද ඒ මහතා කියා සිටියේය.

මෙම මත්ස්‍ය අස්වැන්න බෝට්ටු තුළ ම කල් ඉකුත් වී නරක්වී යාමට පෙර ශීතාගාර පහසුකම් බදු පදනම යටතේ හෝ ලබාගෙන ඒවා ගබඩා කිරීමට නිශ්චිත වැඩපිළිවෙලක් සකස් නොකරන්නේ නම් ඉදිරියේ දී මත්ස්‍ය මිල අධික ලෙස ඉහළ යාම වැළැක්විය නොහැකියැයි ද රත්න ගමගේ මහතා පැවසීය.

ඔහු වැඩිදුරත් මෙසේ ද කීවේය.

“ කොරෝනා වසංගතය නිසා මේ රටේ ධීවර ප්‍රජාව බපරතල අර්බුදයකට ගොදුරු වී ඉන්නවා. ආණ්ඩුවේ බලධාරීන් කියනවා මෙය සමාජගත වෙලා නැහැ කියලා. අපිට තියෙන ප්‍රශ්නය ඔවුන් කියන මේ සමාජය කොතැන ද තියෙන්නේ ? සමාජය යනුවෙන් ඔවුන් අර්ථ දක්වන්නේ කුමක් ද ? ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව මේ කරන අර්ථ දැක්වීම් අපේ රටට යථාර්ථයක් ද ? මේ වනවිට රට වටේ ම තියෙන ධීවර වරායන් වැඩි ප්‍රමාණයක් වසා දමා තිබෙනවා. ධීවර කර්මාන්තයත්, මත්ස්‍ය වෙළෙඳාමත් සම්පූර්ණයෙන් ම අකර්මන්‍ය වෙලා. මේ විනාශ වෙන්නේ රටේ ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවයට වැඩිම දායකත්වයක් දුන් දේශීය කර්මාන්තයක්. ඒ වගේම විදේශ විනිමය ගෙනාපු කර්මාන්තයක්. අපිට කොරෝනා නිසා මේ කර්මාන්තය විනාශ වෙන්න දෙන්න බැහැ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා ධීවර අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාශයත් ඒකාබද්ධව මේ අර්බුදය ජයගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් හදන්න කියා අපි යෝජනා කරනවා.”

සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය පවසන්නේ මේ වනවිට කොරෝනා ආසාදිතය යැයි හඳුනාගත් බහුතරය ධීවර ප්‍රජාව බැවින් මෙරට සියලුම ධීවර වරායන්හි ධීවර කර්මාන්තයේ නිරත ධීවරයන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර එහි ප්‍රතිඵල කඩිනමින් ලබාගෙන මේ ගැටලුකාරි තත්ත්වය විසදන ලෙස රජයට යෝජනා කරන බවයි.

ධීවර කර්මාන්තය කරගෙන යාමට ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබා දීම ඇතුළු අවශ්‍ය පියවර කඩිනමින් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයත් ධීවර අමාත්‍යාංශයත් අතර සම්බන්ධීකරණයෙන් සැදුම්ලත් මධ්‍යස්ථානයක් ගොඩනගන ලෙස සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය රජයට දන්වා සිටියි.

රත්න ගමගේ මහතා පවසන්නේ මීගමුවේ කරවල ව්‍යාපාරිකයන් මාළු අස්වැන්න මිල දී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති නමුත් නිරෝධායන ඇඳිරිනීතිය හා සෞඛ්‍ය රෙගුලාසි හේතුවෙන් එය ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති බවයි. මේ සඳහා මැදහත් වී යම් වැඩපිළිවෙලක් සකසා මාළු අස්වැන්න මීගමුවේ කරවල නිෂාපදකයන් වෙත ලාබදීමට කටයුතු යෙදාන ලෙස ද සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය රජයෙන් ඉල්ලා සිටියි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here