ඩුප්ලිකේට් ”සිරිසේන” හෙළිකරන රහස්

0
351

“සුදු සරම හැඳ සුදු කමිසයෙහි උඩ බොත්තම දමා තිබේ. කන්නාඩියත් පැළැඳ සිටී. ඔහු හිටපු ග්‍රාම නිලධාරීවරයෙකි. නමින් සිරිසේනය. පෙනුමෙන් පමණක් නොව කඩහඬින් ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා සමානය. නමුත් මේ ඔහු නොවේ. රටම ඔහු හඳුනන්නේ ඩුප්ලිකේට් සිරිසේන යන නමිනි. මේ පොළොන්නරුවේ සිරිසේන නොව වීරකැටියේ ආර්. සිරිසේන ය. මේ ඔහු සමඟ කළ විශේෂ සාකච්ඡාවකි.

යැයි කියූ සැණින් ඔබේ මතකයට නැගෙන්නේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. එහෙත් අද අපේ කතා නායකයා පොලොන්නරුවේ සිරිසේන නොව වීරකැටියේ සිරිසේනය. ඔහු නමින් ආර්.සිරිසේන මහතායි . මේ ඔහු සමඟ කළ විශේෂ සාකච්ඡාවයි.

ඔබ ගැන හැඳින්වීමක් කළොත් ?

මම රත්නායක ආරච්චිගේ සිරිසේන. මගේ බිරිය වික්‍රමගේ සෝමාවතී. මට සහෝදරයෝ ඉන්නවා. දියණියන් තුන්දෙනෙක් ඉන්නවා. තුන්දෙනාම විවාහකයි. අපි පදිංචිවෙලා ඉන්නේ වීරකැටියේ මණ්ණාඩුවේ. මම විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙක්. අ.පො.ස. උසස්පෙළ විභාගය දක්වා මම ඉගෙනගෙන තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී ඔබ වෙනත් පක්ෂයකින් ජනාධිපතිවරණයට තරඟ කළේ ඇයි?

මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමයි ඡන්දය ඉල්ලුවේ. රූපවාහිණී නාලිකාවක වැඩසටහනක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වගේ රඟපෑවට පස්සේ ගොඩක් අය කිව්වා ඡන්දෙත් ඉල්ලන්න කියලා. දේශපාලන පක්ෂවලිනුත් ඉල්ලීම් ලැබුණා. මට ඡන්ද දහඅටදාහක් ගන්නත් පුළුවන් වුණා.

මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වගේ ජනතාව ඉදිරියේ පෙනීසිටින්න හිතුවේ කාගේ හෝ බලපෑමකටද? එහෙමත් නැත්නම් රඟපෑමකටද?

මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අනුකරණය කිරීමක් තමයි මම කළේ.  කාගෙවත් බලපෑමක් ආවෙ නැහැ. බිස්නස් වැඩවලට යද්දි හඳුනන මුදලාලිලා කිව්වා රූපවාහිනී නාලිකාවක දැන්වීමක් ගැන. රඟපාන්න ඉදිරිපත් වෙන්න කිව්වා. මමත් තව කිහිප දෙනකුත් එදා සම්මුඛ පරීක්ෂණයට ඇවිත් හිටියා. මම තමයි එදා තෝරාගත්තේ. එදා ඉඳලා මෛත්‍රීපාල මහත්තයා වගේ රඟපෑවා.

මහින්ද රාජපක්ෂ මහතා එක්ක මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ගියේ ඇයි?

මට ඡන්දය ප්‍රකාශ කරන්න තිබුණේ අත්තනයාල විද්‍යාලයේයි. මමත් මැතිවරණයට ඉදිරිපත් වුණ නිසා ඡන්ද මධ්‍යස්ථානවලට යන්න පුළුවන්නේ. ඉතින් මම ඡන්දය ප්‍රකාශ කරලා මට හිතුණා මැදමුලන ඡන්ද මධ්‍යස්ථානයටත් යන්න. මම ගිහින් ටික වේලාවකින් තමයි මහින්ද මහත්තයාත් ආවේ.

ඔබේ ඡන්ද ව්‍යාපාරය සාර්ථකයිද?

මම කිසිම වේදිකාවකට නැග්ගේ නැහැ. නාමයෝජනා බාර දුන්නාට පස්සේ ගොඩක් අය මට දුරකතනයෙන් කතා කළා. මම වෙනුවෙන් සමහරු දැන්වීම් පළකර තිබුණා. ඒ මැතිවරණයෙන් තුන්වැනි ස්ථානයට ඡන්ද ලබා ගන්න මට පුළුවන් වුණා. මම හිතන්නේ මගේ ඡන්ද ව්‍යාපාරය සාර්ථකයි. ජයග්‍රහණය ගන්න බලාගෙනම නෙවෙයි මම මැතිවරණයට ඉදිරිපත් වුණේ.

2015 ජනාධිපතිවරණයෙන් පොළොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණාම වීරකැටියේ ආර්. සිරිසේනට මොකද හිතුණේ?

මගේ යාළුවෙක් හිටියා මෛත්‍රීපාල මහත්තයා ළඟ. මම එයාට කතා කළා. මේ බව ඒ යාළුවා මෛත්‍රීපාල මහත්තයාට කියලා. එතකොට මෛත්‍රීපාල මහත්තයාට තරග ගිහින් මම ගැන මතක් කරන්නත් එපා කිව්වාලු.

මෛත්‍රී වගේ රඟපෑවාට එතුමා ඔබ හඳුනනවාද?

මගේ දෙවැනි දුව හෙද නිලධාරිනියක්. මම එකසැරයක් ඇයගේ රැකියාව හදාගන්න එතුමා හමුවෙන්න ගියා.වැඩ තහනම්වෙලා තිබුණේ. එතකොට මෛත්‍රීපාල මහත්තයා සෞඛ්‍ය ඇමැති.අපේ වාරය ආවාම මම ඇතුළට ගිහින් ඇහුවා “සර් මාව අඳුරන්න පුළුවන්ද” කියලා. මොකද බැරි කියල කිව්වා. මගේ චරිතය ඝාතනය කරනවා කිව්වා. දානව කිව්වා නඩු. හිනාවෙවී මගෙන් විස්තර අහලා දුවගේ වැඩේ කරල දුන්නා. අපි දෙන්නා එක වගේ කිව්වා. දෙන්නම ග්‍රාමසේවකලා. කටහඩත් එකවගේ.

මෛත්‍රී වගේ රඟපානවට බිරිය, දරුවන්, යහළුවන් මොනවද කිව්වේ ?

යාළුවෝ එහෙම නම් ගොඩක් කැමැතියි. සමහරු ජනාධිපතිතුමා කියලත් කතා කරනවා. ගෙදර අයගෙනුත් අකැමැත්තක් තිබුණේ නැහැ. ආයතනවලින් පවා විශේෂ සැලකිල්ලක් ලැබුණා මට.

රූගත කිරීම්වලට ගියාම තර්ජන එහෙම ඇවිත් තිබෙනවාද?

එක් සැරයක් අපි රූගත කිරීම්වලට ගියා කණ්ඩලම වැව ළඟට. එතකොට ආරංචියක් ආවා කට්ටියක් එනව කියලා. අපි ඉක්මනට මඟඇරල එතනින් ආවා.

මෛත්‍රීපාල මහත්තයාගේ රූපයට සමාන රූපයක් තිබුණ නිසා සාමාන්‍ය ජීවිතයේදී කවුරුවත් රැවටුණේ නැද්ද?

2015 මැදමුලන ඡන්ද මධ්‍යස්ථානය ගියාම මහින්ද මහත්තයාත් එතැනට ආවනේ. මට එතන හිටිය අය බුලත් අතක් දුන්නා එතුමාව පිළිගන්න. වාහනෙන් බැස්ස ගමන් මහින්ද මහත්තයා කිව්වා ආ මේ පොළොන්නරුවේ සිරිසේන මහත්තයාත් ඇවිත් තියෙන්නේ කියලා විහිළුවට කිව්වා. මේක ලෝකේ පුරා ප්‍රසිද්ධ වුණා. එතුමාත් රැවටිලා නෙවෙයි විහිළුවට කිව්වේ. එහෙම නැතුව කවුරුවත් මට රැවටිලා නැහැ.

ඔබේ රඟපෑම ඉවර නැද්ද? ඔබේ චරිතය ජනප්‍රිය වීමෙන් ඔබට ලැබුණේ මොනවාද? තවමත් ඒ විදියටම ඉන්නවාද?

මෙවර මැතිවරණයට කලින් රූගත කිරීමක් තිබුණා රූපවාහිණි නාලිකාවක. ඊට පස්සේ නම් ඒ චරිතය වෙනුවෙන් පෙනී හිටියේ නැහැ. චරිතයට පෙනී සිටියාම සුළු මුදලක ගෙවීමක් මට කළා. චරිතය ජනප්‍රිය වුණාට මට ලැබුණ එකම දේ එෆ්සීඅයිඩී ගිය එක තමයි. දැන් නම් මම ඒ චරිතය රඟපාන්නේ නැහැ.

ඔබට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට යන්න වුණේ ඇයි?

මැතිවරණයෙන් පසුව යන්න වුණා මට. පරිසරයට හානි කරන්නේ නැහැ කියලා මැතිවරණ පොරොන්දුවක් දීලා දැන්වීම්වල රඟපෑවට තමයි යන්න වුණේ. මම හොඳටම බයවෙලා ගියේ. පඩිපෙළ නඟිද්දි වතුර ඉල්ලන තරමට මට බය හිතුණා. පහළ බලද්දි බන්ධනාගාර බස් පේනවා. කොහොමහරි මගෙන් පැය තුනහමාරක් වගේ එදා ප්‍රශ්න කළා. ආපහු කැඳවනවා කිව්වට කැඳවූවේ නම් නැහැ.

ඔබ කියනවා ඔබයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයායි එක වගේ කියල. මෛත්‍රීපාල මහතා ජනාධිපති ධුරය දැරූ කාලයේ සිදුවූ සිදුවීම් සහ ඔහුගේ ක්‍රියාකලාපය දිහා බැලීමේදි වීරකැටියේ ආර්. සිරිසේනත් ඒ හා සමානද?

මෝඩ වැඩ අපි කළේ නැහැ. ඒ වැඩත් එක්ක බැලුවාම දෙවිදියක්. එතුමා දැන් කියන දේවල් බැලුවාම කනගාටුවක් හිතෙනවා. ඒ චරිතය රඟපෑවේ අපරාදේ කියලත් සමහරවෙලාවට හිතෙනවා.

ඔබ ඇත්තටම ඒ තනතුරේ හිටියා නම් මොකද කරන්නේ?

ඒ වගේ නම් වැඩ කරන්නේ නැහැ.

ඔබ දුරකතනයක් භාවිතා කරන්නෙ නැත්තේ ඇයි?

දුරකතනයක් තිබෙනවා. වැඩිය පාවිච්චි කරන්නේ නැහැ.

ඔබත් 10.30 වෙද්දී නිදාගන්නවාද? පත්තර එහෙම බලනවාද?

9.30, 10.00 වගේ වෙද්දී නිදාගන්නවා. 6.00 වෙද්දි නැගිටිනවා. පත්තර නම් බලන්නේ නැහැ. ගුවන්විදුලියෙන් හෝ රූපවාහිනියෙන් තමයි රටේ තොරතුරු දැනගන්නේ.

ඔබතුමාගේ මල්ලිලාටත් වී මෝල් තිබෙනවාද?

වී මෝල් තිබෙනවා. හැබැයි ලොකු ඒවා නැහැ.

ඔබේ ඉදිරි වැඩ කටයුතු මොනවාද?

අපේ ව්‍යාපාර කරගෙන සාමාන්‍ය විදියට ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. කතා කළොත් රඟපාන්න යන්නත් කැමැතියි. ඒත් මෛත්‍රීපාල මහත්තයාගේ චරිතයටම තමයි. මෙවර පළාත් සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියා මම හිතනවා.

අනීෂා මානගේ

(උපුටා ගැනීම ඉරිදා ලංකාදීප පුවත්පතෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here