“නාඩගම්කාරයෝ” නාඩගමකට එහා යයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය කලාව කෙරෙහි විචාරකයා සතුව ඇත්තේ ආචීර්ණ කල්පික විචාරයකිි. එයට ප්‍රධාන හේතුව ලෙසින් එම විචාරක පර්ශදය ඉදිරිපත් කරන්නේ එම නිර්මාණවල කතා සාරයේ හරසුන් බව හා ටෙලි නිර්මාණයේ තාක්ෂණික වශයෙන් පවතින දුබලතාය. කෙසේ වුවද මෙවන් විවේචන මධ්‍යයේ පුළුල් පොදු ජන කතිකාවතක් සහ විවේචනාත්මක සමාජ සන්දර්භ කතිකාවට ලක් කරමින් නාඩගම්කාරයෝ මේ වන විට ශ්‍රී ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය අතරේ ප්‍රමුඛ පෙළේ පසුවේ.

මෙම ටෙලි නිර්මාණය අවශේෂ මෙගා ටෙලි නාට්‍ය අතරින් සුවිශේෂී වන්නේ මෙහි රංගනයේ නියුක්ත ජනප්‍රිය නළුනිලි කැළ නිසා පමණක්ම නොවේ. මෙහි වස්තුවිෂය හා කතාවේ ගලා බැස්ම තුළ දී දැක ගත හැකි ඇතැම් විරෝධාකල්ප මතවාද හේතුවෙන් සජීවී ලෝකය තුළ සක්‍රීය සමාජ කතිකාවත් ඇතිව තිබේ. මෑත කාලීන ශ්‍රී ලාංකේය ටෙලි නිර්මාණ දෙස හැරී බැලීමේදී මෙවන් සමාජ කතිකාවත් සමාජය තුළ ඇති කරන ලද්දේ සීමිත කොටස් ප්‍රමාණයක් සහිත විකල්ප ධාරාව නියෝජනය කරන ලද ටෙලි නිර්මාණ කිහිපයක් පමණි.

ඒ අතර පෙරමුණේ පවතින සාර්ථක ටෙලි නිර්මාණ ලෙස කූඹියෝ, සහෝදරයා, සුදු ඇඳගෙන කළු ඇවිදින්, වීරයා ගෙදර ඇවිත් හා ත්‍රෙලෝකා යන ටෙලි නිර්මාණ දැක්විය හැකිය. නමුත් ඒ සියල්ල යම් නිශ්ච්ත ඉලක්කගත අරමුණ උදෙසා නිර්මිත පූර්ව සැලසුම් සහගත අවසානයක් සහිත ටෙලි නිර්මාණ වූ අතර තත්කාලීනව පැන නඟින සාමාන්‍ය ජනජීවිතයට ඍජුව බලපාන සමාජ ගැටලු කෙරෙහි ක්ෂණිකව විවේචනයක් ඉදිරිපත් කළ හැකි නොවීය. එසේම නාඩගම්කාරයෝ තරම් මේ කිසිදු නිර්මාණයක් සාමාන්‍ය ජනයා තුළ මෑත ඉතිහාසයේ අඛණ්ඩ සංවාදයකට හෝ විවාදයකට අවකාශ ඇති නොකළේය.

එසේම විකල්ප ධාරාව නියෝජනය කරන ලද එම ටෙලිනාට්‍ය වටා  වටා රොද බැඳ ගන්නා ලද බොහෝ ප්‍රේක්ෂක කණ්ඩායම් පුහුණු රසවින්දනයක් සහිත සීමිත පිරිසක්ය. නමුත් ඒ අතර මෙගා ගණයේ ටෙලි නාට්‍යයක් ලෙසින් නාඩගම්කාරයෝ තත්කාලීන සමාජ සංසිද්ධිවලින් කතා සාරය පුරවා ගනිමින් අවැසි තැන්වලදී ඒවා දැඩි ලෙස විවේනයට බඳුන් කරමින් ප්‍රේක්ෂකාගාරයේ ආදරයට සේම විවේචනයටද බඳුන් වෙමින් අඛණ්ඩව විකාශය වෙමින් පවතියි. එය සනාථ කළ හැකි වන්නේ මෙසේය.

2018 වසරේදී ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ සහෝදරයා, කූඹියෝ සහ ත්‍රෙලෝකා යන ටෙලි නිර්මාණවලටදල ජාතික රූපවාහිනී නාලිකාවේ 2019 වසරේ විකාශනය සුදු ඇඳගෙන කළු ඇවිදින් සහ වීරයා ගෙදර ඇවිත් යන ටෙලි නිර්මාණවල ප්‍රථම කොටස්වලට ද,  2021 වසරේ ජනවාරි මස විකාශනය වූ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ මුල් කොටස්වලටද දැනට ගණනය වී ඇති  YouTube නැරඹුම් වාර සසන විට නාඩගම්කාරයෝ ඉදිරියෙන්ම සිටියි.

මෙම දත්ත ලබාගන්නා ලද්දේ 2022 ජනවාරි 04 දිනයේ දී ය. එහි දී සළකා බලා ඇත්තේ නැරඹුම් වාර ගණන පමණි.
නාට්‍යයපළමු කොටස විකාශය වූ වර්ෂය 2022 ජනවාරි 04 වනවිට එම පළමු කොටසට YouTube හි
ලැබී ඇති නැරඹුම් වාර ගණන
නාඩගම්කාරයෝ 20214,079,041
සහෝදරයෝ2018415,762
කූඹියෝ2018886,778
ත්‍රෙලෝකා2018415,659
සුදු ඇඳගෙන කළුු ඇවිදින් 201920,172
වීරයා ගෙදර ඇවිත් 2019347,198

2021 ජනවාරි මස 18 දින සිට පුරා වසරකට ආසන්න කාලයක් තිස්සේ සෑම ටෙලි නාට්‍ය කොටසක් සඳහාම YouTube නැරඹුම් වාර මිලියනය ඉක්මවාලන මෙම ටෙලි නාට්‍යය අද වන විය සාමාන්‍ය ජන ජීවිතයටම බද්ධ වූ මෙගා මාදිලියේ ටෙලි නිර්මාණයක් ලෙසින් සැලකිය හැකිය. එසේම Hootsuite නම් ආයතනය මගින් නිකුත් කරන ලද දත්ත වාර්තාවකට අනුව 2021 ජනවාරී මස වන විට ශ්‍රී ලංකාවේ සක්‍රීය සමාජජාල පරිශීලක ප්‍රජාව මිලියන 7.90 කි.  ඉහත දක්වා ඇති දත්ත අනුව නාඩගම්කාරයෝහි 2021 ජනවාරී 18 දින විකාශනය වූ එහි ප්‍රථම කොටස මේ වන විට 4,079,041 කට වැඩි පිරිසක් YouTube ඔස්සේ නරඹා ඇත.  ඒ අනුව දැනට නාඩගම්කාරයෝහි ප්‍රථම කොටස ශ්‍රී ලංකාවේ සක්‍රීය සමාජ ජාල පරිශීලක ප්‍රජාවෙන් 50% වඩා නරඹා ඇති බවට උපකල්පනය කළ හැකිය.

මෙම සංසන්දනයට කෙනෙකුට පහසුවෙන්ම නැඟිය හැකි ප්‍රතිතර්කය වන්නේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය විකල්ප ධාරාවේ උක්ත ටෙලි නාට්‍ය සමඟ සැසඳිය හැකිද යන්නයි. එයට ලබා දිය හැකි සරලම පිළිතුර නම් “නැත” යන්නය. එසේ වුවද විකල්ප ධාරාවේ නාට්‍යයක සාකච්ඡා කෙරෙන ගැඹුරු සමාජ හා දේශපාලනික ගැටලූ සරල හා සුගම ලෙසින් ආමන්ත්‍රණයට නාඩගම්කාරයෝ සමස්තව ඇත. සාම්ප්‍රදායික ආදර අන්දරයක් වටා නාඩගම්කාරයෝ ගෙතුණ ද එහි යටි පෙළ රසවත් කිරීමට සියලූ දෙනාට බුද්ධිගෝචර උත්ප්‍රාසයක් එහි තිර රචකයා පවත්වා ගෙන යයි. විශේෂයෙන්ම බහුතර සිංහල භාෂක සමාජයක ග්‍රාහක ප්‍රජාවක් දිනා ගෙන සිටින මෙම ටෙලි නිර්මාණය තුළ ජාතිවාදී මතවාදවලට සහ සාම්ප්‍රදායික සිංහල බෞද්ධ සංස්කෘතියේ අන්තර්ගත අවිචාරාත්මක ඇගයුම් පද්ධති ඍජුව විවේචනයට හා උපහාසයට ලක් කෙරේ. එසේම දේශපාලනඥයාගේ සිට පහළම මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරියා දක්වා වූ දේශපාලන හා පාලන තන්ත්‍රය සෝපහාසයෙන් යුතුව නිර්දය ලෙසින් විවේචනයට ලක් කෙරේ. එසේම මෙම ටෙලිනාට්‍යය ඔස්සේ එලෙසින් ගොඩනඟන මතවාද පොදු ජන සමාජය අනුමත කරන මට්ටමට පත්ව ඇත.

මෙවන් ලක්ෂණ සහිත වෙනත් මෙගා නාට්‍ය ගණයේ ටෙලි නාට්‍යයක් ශ්‍රී ලංකාව තුළ දී සොයා ගත නොහැකි වුවද ශ්‍රී ලංකාවේ විකාශිත ඉන්දීය මෙගා නාට්‍ය අතර මෙයට ගැළපෙන සුසමාදර්ශයක් වේ. එය නම්න් “දියා ඕර් භාතී හම්” හෙවත් “ස්වප්නා” ය.  එය විකාශනය වූයේ සිරස නාලිකාවෙනි.

එම ටෙලි නාට්‍ය නිර්දය ලෙසින් ලාංකේය විචාරකයන් අතින් විවේචනයට බඳුන් වුව ද ඒ තුළ ද ඇත්තේ නාඩගම්කාරයෝ ආකෘතිය හා සමාන ආකෘතියකි. එකම වෙනස ස්වප්නාහි ප්‍රධාන චරිතය පුරුෂාධිපති සමාජ ඇගයුම්වලින් බැට කන කාන්තාවක් වීම හා නාඩගම්කාරයෝ හි ප්‍රධාන චරිතය ආර්ථීක දුෂ්කරතාවලින් පෙලෙන තරුණයෙකු වීමත්ය. ස්වප්නා හි සාම්ප්‍රදායික බොළඳ ආදර අන්දරය ඉවත් කොට එහි ඇතැම් සිද්ධි ඉන්දීය සංස්කෘතික දෘෂ්ටිකෝණයෙන් විමසා බලන කල එම සමාජය තුළ පවතින ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්ව තුළින් කාන්තාව සේම පුරුෂයාද පීඩාවට පත් වන අයුරු විද්‍යාමාන වේ. නාඩගම්කාරයෝහි පෙළද එසේමය. සාම්ප්‍රදායික ආදර අන්දරය ඔස්සේ ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගෙන යටි පෙළ ඔස්සේ නිර්මාණකරුගේ පණිඩිඩ පිළිබඳ සමාජ කතිකාවක් ඇති කිරීම මෙහිදී සිදුව ඇත.

සත්‍ය වශයෙන්ම නාඩගම්කාරයෝ ඒ අතින් සාර්ථකය. කොතරම් සාර්ථකද කියන්නේ නම් නාඩගම්කාරයෝහි ඇතැම් චරිත හා ප්‍රකාශනවලට එරෙහිව ශ්‍රී ලංකාව තුළ ජනමත නායකයින් ලෙස සලකන පිරිස් හා කණ්ඩායම් ඇතැම් අවස්ථාවල දෙබරවලට ගල් ගැසුවා සේ කලබලයට පත් වූ අවස්ථා ඇත. මෙවන් පිරිස් අතර වඩාත් කැපී පෙනුණ චරිත ලෙස ඩෑන් ප්‍රියසාද්, අමිත් වීරසිංහ හා මාවරලේ භද්දිය හිමි යන පුද්ගලයින් හඳුන්වා දිය හැකිය. මොවුන් සියලූදෙනාගේ පොදු විවේචනය එල්ල වූයේ මෙම නාට්‍යයේ එන කරඬුතැන්න ග්‍රාමයේ විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේගේ චරිතයටය.

නාඩගම්කාරයෝ නාට්‍යයේ නිර්මාණවේදීන් මෙම චරිතය සාමාන්‍යයෙන් යොදා ගන්නේ බුදු දහම තුළ මුල් බැස ගන්නා ලද සාම්ප්‍රදායික දුර්මත ඛණ්ඩණය උදෙසාය. උදාහරණ ලෙස සෑම මංසන්දියක් පාසාම බුදු පිළිම ඉදිකිරීම හා බුදු කුටි සෑදීම, පන්සල්වල සල්පිල් පැවැත්වීම, රෝග සුවවීම උදෙසා පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදේශන පැවතියදී ඒවාට ප්‍රමුඛත්වය නොදී පිරිත් සජ්ඣායනා වැනි ආගමික පිළිවෙත්වලට ප්‍රමුඛතාව ලබාදීම වැනි සංසිද්ධි මෙම චරිතය ඔස්සේ එහි නිර්මාණවේදීන් විසින් සමාජ උපහාසයට ලකකර ඇත. එසේම එහි නිර්මාණකරුවාගේ දෘෂ්ටිය අනුව සැබෑ බුද්ධ පුත්‍රයෙකු සතු විය යුතු පරමාදර්ශී ගතිගුණ මෙම ටෙලිනාට්‍ය තුළින් එළි දැක්වීමට  මෙම චරිතය උපයෝගී වේ.  මෙලෙසින් මෙම නාට්‍යයෙන් ගොඩනගන මතවාදවලට එරෙහිව මාවරලේ භද්දිය හිමි පවසන්නේ නාට්‍යයේ නිරූපනය වන පරමාදර්ශී භික්ෂු ජීවිතය තුළ ප්‍රායෝගිකව බෞද්ධ භික්ෂුවකට සිටිය නොහැකි බවයි (සබැඳිය බලන්න)

මාවරලේ බද්ධිය හිමි

අමිත් වීරසිංහ පවසන්නේ මෙලෙසින් ගොඩනැගෙන මතවාද ඔස්සේ සිංහල බෞද්ධ සංස්කෘතියේ මූලික හරයන් බිඳ වට්ටන බවයි. එසේම ඩෑන් ප්‍රියසාද් විසින් එම භික්ෂු චරිතය ඔස්සේ සැබෑ සඟ පරපුරට නිග්‍රහයක් වන බවට පවසමින් ජනමාධ්‍ය අමාත්‍යංශයට ලිපියක් පවා භාරදීම සිදු විය.

මෙලෙසින් ශ්‍රී ලංකාවේ විකාශය වූ ටෙලි නාට්‍යයකට එරෙහිව ජනමත නායකයින් හා ප්‍රාථමික මට්ටමේ සුළුතර පක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් පෙරට ඒම මෙම ටෙලි නාට්‍යයට ම ආවේණික වූ සංසිද්ධියකි. වෙනත් කිසිදු නාට්‍යයකට එවැන්නක් සිදුව නැත. උදාහරණ ලෙස අමිත් වීරසිංහ හා ඩෑන් ප්‍රියසාද් යන දෙපළ විසින් මෙම නාට්‍යයට එරෙහිව උක්ත ප්‍රකාශ ස්වකීය සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධ කිරීම සිදු විය. ඒ අවස්ථාවේදී වෙනදාට ඔවුන්ගේ මතවලට හූ මිටි තැබූ ඔවුන්ගේ සමාජජාලවල සරණ පරිශිලකයින්ම, ඔවුන්ව නිර්දය ලෙස විවේචනය කරන අයුරු දැක ගත හැකි විය. එසේම වෙනත් සමාජජාල ගිණුම් ඔස්සේද ඔවුන්ගේ එම විවේචන හාස්‍යයට බඳුන් කළේය. මෙය අතිශයෙන් ම සුවිශේෂී වූ නිරීක්ෂණයකි. එයට හේතුවන්නේ මෙම දේශපාලන ක්‍රියාකාරීන් දෙපළගේ ඉලක්කගත ඡන්දදායක ප්‍රජාව වන ජාතිවාදය අදහන පිරිස්, මෙම දෙපළට දක්වන කැමැත්තට වඩා මෙම ටෙලි නිර්මාණයෙන් ජනගත කරන පණිවිඩයට හෝ එහි චරිතවලට ඇළුම් කිරීමය. නමුත් බෞද්ධ භික්ෂුවක් වන මාවරලේ භද්දිය හිමිට උන්වහන්සේගේ විවේචනවලට උක්ත දේශපාලනඥයින් දෙදෙනාට සාපේක්ෂව අඩු ප්‍රතිරෝදයක් එල්ලවීම විශේෂ වේ. එයට ප්‍රධාන හේතු ලෙසින් උන්වහන්සේගේ සමාජජාලවල සිටින පරිශීලකයින් බෞද්ධ භික්ෂුවක් ලෙසින් උන්වහන්සේට දක්වන ගෞරවය හා උන්වහන්සේ සමාජය තුළ ගොඩනඟා ගෙන ඇති ධනාත්මක පෞරුෂය යන සාධකය යන්න උපකල්පනය කළ හැකිය.

තවද මෑතක සිට මෙම ටෙලි නාට්‍ය ඔස්සේ රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂම හා ඵලදායී නොවන රාජ්‍ය සේවය පිළිබඳ දැඩි විවේචනයක් ගොඩනගමින් සිටියි. ඒ තුළ සුවිශේෂි ලෙසින් ඉස්මතු කර දක්වන්නේ ග්‍රාමීය ආර්ථීක සංවර්ධන නිලධාරීන්වය. මෙම විවේචනයේ ප්‍රබලත්වය පිළිඹිබු කරමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය මෙම නාට්‍යයෙන් ඔවුන්ගේ නිලධාරීන්ට එල්ලවන විවේචනවලට එරෙහිව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. කෙසේ වුවද අදාළ පැමිණිල්ලට විෂය වූ ටෙලි නාට්‍ය කොටස දින තුනක් ඇතුළත ශ්‍රී ලංකාවේ YouTube Trending List හි දහ හතර වැනි ස්ථානයට පත් විය. එසේම මෙම පැමිණිල්ල කරන ලද නිලධාරීන්ට දැඩි අප්‍රසාදයක් සමාජජාල පරිශීලකයින් වෙතින් එල්ල විය.

සංවර්ධන නිලධාරී සේවා සංගමය ස්වදේශ කටයුතු රාජා්‍ය අමාත්‍යාංශයට යවා ඇති ලිපිය

තවද මෑතක සිට මෙම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන සරා නමැති ගැමි තරුණයා විසින් මෙම නිර්මාණය තුළ පොල් ලෙලි එකතු කර විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සිදුවිය. ඒ සමගම ශ්‍රී ලංකාවේ ඇතැම් ග්‍රාමිය ප්‍රදේශවල පොල් ලෙලි එකතු කර විකිණීමේ කර්මාන්තයට වැඩි අවධානයක් යොමු වී ඇති බව ක්ෂේත්‍ර නිරීක්ෂණය වේ. එසේම ශ්‍රී ලංකා පොල් සංවර්ධන මණ්ඩලය ද මෑතක සිට මෙවන් ක්ෂුද්‍ර මට්ටමේ ව්‍යාපාර දිරි ගන්වමින් ඇත. නමුත් රජයේ එම තීරණය හා ටෙලි නාට්‍ය පිටපත සමග ඍජු සබඳතාවක් සනාථ කරන සාක්ෂියක් නොමැති වුවද රජයේ එම තීරණය උදෙසා අභිප්‍රේරණයක් ජනතාව තුළ ඇති කිරීමට මෙම ටෙලි නාට්‍ය යම් බලපෑමක් සිදු කර ඇති බව පෙනී යයි. එසේම කිතුල් ආශ්‍රිත නිෂ්පාදනවලට ප්‍රේක්ෂක අවධානය යොමු කරවන සුළු නාට්‍ය කොටස් මෑතකදී අතරින් පතර හමුවේ. ඒවා නාට්‍යයේ ගලා යෑමට අත්‍යවශ්‍ය නොවන අතුරු කතා ලෙසින් පෙළ තුළ ඔබ්බවා ඇති බව පෙනී යයි.

මෙවන් ප්‍රතිචාරවලින් පිළිඹිබු වන ප්‍රධාන කාරණය නම් ශ්‍රී ලාංකේය ජන සමාජයේ බලපෑම් කණ්ඩායම් හා බලපෑම් සහගත පුද්ගලයින් අරඹයා ප්‍රතිරෝධි සක්‍රීය සමාජ කතිකාවතක් නිර්මාණයට මෙම ටෙලි නාට්‍යයට ඇති ශක්‍යතාවයි. එය මේතාක් දුරට සාර්ථක වී ඇති අතර ජනතාවගේ දෘෂ්ටිකෝණයට අනුව තත්කාලීන සමාජීය දේශපාලන හා සංස්කෘතික අර්බුද සාධනීයව විවේචනයට ලක්ව ඇත. එසේම තත්කාලයේ ගොඩනැගෙන ජාතිවාදී හා ආගම්වාදී පණිවිඩ මේ නිර්මාණය තුළ විවේචනයට ලක් කරයි. එසේම පොදු ජන ජීවිතයේ ආර්ථීක ක්ෂේත්‍රය කෙරෙහි සුළු හෝ බලපෑමක් මෙමඟින් සිදුව ඇත. මේ හේතුවෙන් මෙම ටෙලි නිර්මාණය ශ්‍රී ලංකාවේ බහුතර පොදුජන ප්‍රජාවට සම්ප්‍රජානනය කරනු ලබන මාධ්‍යයක් ලෙසින් ක්‍රියාත්මක වේ. එසේම මෙම ටෙලිනාට්‍යයට සමගාමිව ක්‍රියාත්මක වන ෆේස්බුක් පිටු ඔස්සේ ප්‍රේක්ෂකාගාරයේ ප්‍රතිචාර මැන ගැනීමද සිදු වේ. එනම් මෙම නිර්මාණය හා ද්වීමාර්ගික සන්නිවේදන ක්‍රියාවලියක් සිදුවෙමින් පවතියි.

උදාහරණ ලෙස https://www.facebook.com/groups/215160263576247/members යන පෞද්ගලික (Private) Facebook කණ්ඩායම තුළ 153,000 කට අධික පිරිසක් මෙම නාට්‍ය වටා සක්‍රියව සම්බන්ධව ඇත. තවද https://www.facebook.com/groups/413360179791980/members යන පොදු (Public) Facebook  කණ්ඩායම තුළ 22,900 කට අධික පිරිසක් සක්‍රීයව සම්බන්ධව ඇතග එසේම මෙහි නිල Facebook පිටුව වන https://www.facebook.com/NadagamkarayoOfficial හි 113,000 කට වඩා පිරිසක් සම්බන්ධව ඇත.

මේ අනුව සමාජ දේශපාලන පණිවිඩ සමාජගත කිරීම කෙරෙහි ප්‍රබල නාලිකාවක් බවට මෙම ටෙලි නිර්මාණය පත්ව ඇත. මෙම නාට්‍යය විකාශනය කරනු ලබන ස්වර්ණවාහිනී නාලිකාවට විශාල මූල්‍යමය වාසියක් මේ හේතුවෙන් එක්ව ඇත. එසේම YouTube සමාජජාල වේදිකාව තුළ මෙම ටෙලිනාට්‍ය අතිශයෙන්ම ජනප්‍රියවීම නිසා එය විකාශනය කරන රූපවාහිනී නාලිකාවේ YouTube නාලිකාවට ද විශාල මූල්‍යමය ප්‍රතිලාභයක් මෙමඟින් උත්පාදන වේ.  මේ හේතුවෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලනය අතිශයෙන්ම අර්බුදකාරී හා තීරණාත්මක බවකට පත්ව ඇති මෙ සමයේ “නාඩගම්කාරයෝ” ටෙලිනාට්‍ය දේශපාලන තුරුම්පුවක් ලෙස ඇතැම් පාර්ශවයකට භාවිත කිරීමේ යම් සම්භාවිතාවක් පවතියි. උදාහරණ ලෙසින් මැතිවරණයකදී මැතිවරණ ප්‍රචාරණ කටයුතු නවතා දැමීමට නීතියෙන් නියෝග කර ඇති කාල පරාසයක වුව ද මෙම ටෙලි නාට්‍යයේ භාවිත වන එක් දෙබස් ඛණ්ඩයකින් ජන්දදායක චර්යාවේ ප්‍රබල වෙනසක් සිදු කිරීමේ ශක්‍යතාවක් මෙම ටෙලි නිර්මාණය සතුය.

එබැවින් මෙම ටෙලි නිර්මාණය දෙස හුදු තවත් එක් මෙගා ටෙලි නිර්මාණයක් වෙත යොමු කරනවාට වඩා විචාරාත්මක සංවාදයක් ගොඩනැගීම මනා යැයි හැ‍ඟේ එසේම මෙම මාදිලියේ නිර්මාණ සංවර්ධන සන්නිවේදන උපක්‍රම ලෙසින්ද භාවිතයේ ශක්‍යතාව ඇත. අනෙක් අතට මෙරට විකල්ප ධාරාව නියෝජනය කරන නිර්මාණකරුවන්ට තම විකල්ප මතවාද ප්‍රකට ලෙසින් සමාජගත කිරීමට මෙවන් සරල උපක්‍රම භාවිත කළ හැකි බව පෙනී යයි. මන්ද සෝවියට් දේශය ගොඩනැඟීම තුළ ලෙනින්ද සාහිත්‍යය හා නිර්මාණකරණය දේශපාලන මෙවලමක් කරගත් බවට දැනට ඉතිරි වී ඇති සෝවියට් සාහිත්‍ය කෘති පරිශීලනයෙන් අවබෝධ කර ගත හැකිය.

මෙනිසා මෙගා නාට්‍ය ගණයට ගල් ගැසීම නවතා දමා ඒවායේ ඇති උපයෝගීතාව නිර්මාණකරුවා වටහා ගත යුතුය. ඒ තුළ ඉතා ගැඹුරු  සංකීර්ණ පණිවිඩ ඇතුළත් කරනවාට වඩා සමාජය දැනුවත් කරනු වස් මෙවන් නිර්මාණ කිහිපයක් හෝ නිර්මාණය කිරීම යම් පමණකින් හෝ විචාරාත්මක ග්‍රාහකත්වයක් අවුළුවා ලනු ඇත. ඒ තුළ සියලූම ටෙලි නිර්මාණ මේ ආකෘතිය ගත යුතු යැයි මම නොපවසමි. විකල්ප ධාරාවේ ටෙලි නිර්මාණ වැඩි වැඩියෙන් පුහුණු රසිකත්වයක් ඇති ප්‍රේක්ෂකයා වෙත තිළිණ කිරීම අතිශයෙන්ම වැදගත්ය. එසේ වුවද ඒ කුල්ලෙන් හැළෙන බොල් වී බඳු බහුතර පිරිස ඥානනය උදෙසා මෙම ආකෘතියේ නිර්මාණ ද අවැසිය. එයට හේතුව වන්නේ සැවුල් වසුරුද ඛෙහෙතට අවැසි වන අවස්ථාද පවතින හෙයිනි.

කසුන් සංකල්ප

[email protected]

2022 ජනවාරි 05 දින

(ලේඛකයා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යයනාංශයේ දෙවනි පෙළ ගෞරව උපාධිලාභියෙකු වන අතර වෘත්තීය සමාජජාල පර්යේෂකයෙකු ලෙස සේවය කරයි.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!
Bestweb