spot_img
spot_imgspot_img

කරාපිටිය රෝහලේ නම විකුණා මුදල් ගරන හොරුන්ට රැවටෙන්න එපා. වෛද්‍යවරුන්ගේ නම් පවා ගාවලා

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ට ආහාර ඇතුළු උපකරණ සහ රෝහලට අවශ්‍ය උපකරණ ලබාදීමට බව පවසමින් ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගෙන යමින් කරනු ලබන මුදල් එකතුකිරීම්වලට නොරැවටෙන ලෙස කාරාපිටිය ශික්ෂණ රෝහලේ බලධාරීන් ඉල්ලා සිටියි.

කරාපිටිය රෝහල් කමිටු සාමාාජිකයකු මගින් රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ මෙවැනි ජාවාරම් කිහිපයක් සම්බන්ධයෙන් මේ වනවිට අනාවරණය වී තිබෙන බවයි. විවිධ පුද්ගලයන් බුදුන්ගේ සහ දෙවිවරුන්ගේ පිළිම දමාගෙන කරාපිටිය ශික්ෂණ රෝහලට උපකරණ ලබාදීමට බව පමසමින් තමන්ගේ පුද්ගලික ගිනුම්වලට මුදල් යොමුකරගන්නා බව අනාවරණය වී අතැයි ද ඔවුහු කියති.

විවිද ව්‍යාපාරිකයන් විසින් රෝහලට කරන ලද පරිත්‍යාගයන් තම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් එම ජාවාරම් කරුවන් විසින් මෙය සිදුකරන බව ද රෝහල් කමිටුව පවසයි.

එක්තරා පුද්ගලයකු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණේ කරාපිටියේ නේවාසිකව සිටින කොරෝනා ආසාදිතයන්ට ආහාර පවා නොමැති බවයි. ඒ නිසා එම රෝගීන්ට පිහිටවීමට දායක වන ලෙස ඔහු සඳහන් කර තිබිණි.

එම පුද්ගලයාට අප ඇමතූ විට ඔහු කීවේ ආහාර සඳහා අවශ්‍ය භාණ්ඩ ඇති බැවින් දැන් රෝහලට වතුර ෆිල්ටරයක් ලබාදීමට කටයුතු සංවිධානය කරමින් සිටින බවකි. ඒ සඳහා තම පුද්ගලික ගිනුම් අංකය ද ලබාදිය හැකි බව හෙතෙම කීවේය. එමෙන්ම ඔහු පවසා සිටියේ කරාපිටිය ශික්ෂණ රෝහලේ සුබ සාධන අංශය භාරව කටයුතු කරන වෛද්‍ය කේසර දුලන්ත කුමාර සහ කොරෝනා වාට්ටුව භාරව සිටින වෛද්‍ය කමල් කොඩිකාර යන දෙදනාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘති දියත් කරන බවයි.

අප දන්නා පරිදි කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකය භාරව වෛද්‍ය කමල් කොඩිකාර කටයුතු කරන්නේ නැත. යම් ඒකකයක් භාරව කටයුතු කරන්නේ විශේෂඥ වෛද්‍යවරයකු පමණි. ඔහු නම් සඳහන් කරන වෛද්‍ය කොඩිකාර විශේෂඥ වෛද්‍යවරයකු නොවේ.

අපි මේ පිළිබද රෝහල් බලධාරීන්ගෙන් පැවසූ විට ඔවුන් කීවේ රෝහලේ සියලුම නේවාසික රෝගීන්ට රෝහලෙන් ම සියලු ආහාර සපයන අතර යම් උපකරණ හෝ මුදල් පරිත්‍යාග කරන්නේ නම් කිසිවකුගේ පුද්ගලික ගිනුම්වලට බැර නොකර එම මුදල් රෝහල් අධ්‍යක්ෂ මගින් ගිනුමකට බැර කරන ලෙසයි.

මේ දිනවල කොරෝනා රෝගීන් විඳින අපහසුතා සඳහන් කරමින් විවිධ පුද්ගලයන් මුදල් එකතුකිරීමේ ජාවාරමක් කරගෙන යන බවට තොරතුරු ලැබී ඇති බැවින් රෝහල් අධ්‍යක්ෂවරයාගේ අවධානය ද ඒ පිළිබඳ යොමු වි තිබේ.

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකු ද තම facebook ගිනුමක විවිධ පරිත්‍යාගයන් පිළබඳ සඳහන් කර ඇති අතර ඔහුට ද මෙරට සහ විදෙස්ගතව සිටින පුද්ලයන් පරිත්‍යාග ලබා දී ඇති බව අපට අනාවරණය වී තිබේ. අප දන්නා හඳුනන කිහිප දෙනකු ද ඔහුට මුදල් පරිත්‍යාගයන් කර ඇතිඅතර කිසි දිනක වෛද්‍යමය කරුණු ගැන සාකච්ඡා නොකරන එම වෛද්‍යවරයාගෙන් යම් පරිත්‍යාගයක් කිරිමට කැමතියැයි යමකු ඇසූ ක්ෂණයකින් ඔහුගේ පුද්ගලික ගිනුම් අංකය inbox එකට ලැබෙයි.

කරාපිටිය ලංකා බැංකු ශාඛාවේ 4145– නමැති ගිනුම් අංකයක් එම වෛදයවරයා විසින් පරිත්‍යාගශීලීන්ට ලබා දෙනු ‍ලැබේ. (මෙම ගිනුමට මුදල් බැරකරන ලද ලදු පත් ද අප සතුව ඇත)

මුදල් පරිත්‍යාග කළ අය දැන් පවසන්නේ ඒ මුදල්වලින් කරන ලද දෙයක් ගැන එම වෛද්‍යවරයා තමන්ව දැනුම්වත් නොකරන බවයි. ඔවුහු දැන් මුදල් දීම ගැන පශ්චාත්තාප වෙති.

මේ ජාවාරම්කාරයන්ට නොරැවටෙන ලෙස ද රෝහලේ වෛද්‍යවරුන්ගේ නම් විකුණමින් සිදුකරන මුදල් එකතුකිරීම්වලට අසු‍ නොවන ලෙස ද රෝහල් පාලන අධිකාරිය ජනතාවගේ ඉල්ලා සිටියි.

අපවෙත සිය පුද්ගලික බැංකු ගිනුම ලබාදීමට හැකි බව පැවසූ පුද්ගලයා අප මේ පිළිිබඳ‍ කරුණු සොයන බව තේරුම් ගෙන පසුව යළි අපට ඇමතුමක් ගත්තේය. ඔහු කියා සිටියේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර සමඟ සම්බන්ධ වී ගාල්ලේ නිරෝධායනය වන අඩු ආදායම්ලාභී පවුල් සඳහා ද ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් තමන් දියත්කළ බවයි.

අපි ඒ පිළිබඳ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම්වරියගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය.

“එක් පුද්ගලයෙක් කෑම පැකට් වගයක් බෙදනවා කියලා මගෙන් තොරතුරු වගයක් ගත්තා. ඒ ඉල්ලීමට තොරතුරු දුන්නා. නමුත් එය දීර්ඝකාලයක් විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා ද කියා මා දන්නේ නැහැ. එය සංවිධානයකින් ක්‍රියාත්මක වෙනවානම් ගැටලුවක් නැහැ. නමන්ට පරිත්‍යාග කරන්න අවශ්‍යනම් පරිත්‍යාගයක් කළත් අපිට ගැටලුවක් නැහැ. නමුත් මෙවැනි වැඩපිළිවෙලක් තියෙනවා කියමින් facebook එකේ වට්ස්ඇප් ගෘෘප්වල සල්ලි හොයනවානම් ඒක වැරදියි. එහෙම සල්ලි හෝ භාණ්ඩ වෙනත් අයගෙන් එකතුකරන කතාවක් අපිට කිව්වෙත් නැහැ.”

මුදල් එකතුකරන පුද්ගලයා පුද්ගලික ආයතනයක සේවය කරයි. ඔහු තමන්ගේ මෙම පරිත්‍යාගවලට දායක වූ පුද්ගලයන් පිළිබද පැවසූ බැවින් අපි එවන් අයකුගෙන් විස්තර විමසූ විට ඔහු මෙසේ කීවේය.

“අපිනම් දන්නේ නෑ එහෙම දෙයක් කරනවා ද කියලා. එයා මොකක්ද කෑම ඩිලිවරි බිස්නස් එකක්නම් කලින් කළා. මේ ඒ බිස්නස් එකේම දිගුවක් වෙන්න ඇති.”

කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් සිටින වාට්ටුවලින් විමසීමේ දී දැනගන්නට ලැබුණේ එවැනි වැඩපිළිවෙලක් නොමැති බවයි. විටින් විට රෝගීන්ගේ ඥාතීන් කෑම ගෙනවිත් දෙන බවත් රෝගීන් සියළු දෙනාට රෝහලේ මුළුතැන් ගේ පිසින ආහාර පාර්සල්කර ලබාදෙන බවත් ඔවුහු කීහ.

දින දෙකක් වෛද්‍ය කමල් කොඩිකාර දන්නා හඳුනන අයකු විසින් කෑම පාර්සල් කිහිපයක් 68 වාට්ටුවට ලබා දී තිබූ බව ද රෝහල් ප්‍රකාශකයකු කීවේය.

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු, හෙද හෙදියන්ගේ පවා සම්බන්ධ කරගනිමින් මුදල් සහ ආධාර එකතුකිරිම්වලට නොරැවටෙන ලෙස රෝහලේ පාලන අධිකාරිය ඉල්ලා සිටියි. යම් මුදල් පරිත්‍යාගයක් හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්නේ නම් එය රෝහල් කමිටුව හරහා හෝ අධ්‍යක්ෂ කාර්යාලය අමතා හෝ සිදුකරන ලෙස ද දැනුම් දෙයි.

(මෙම ලිපිය හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇතැයි යම් පුද්ගලයකු හෝ ආයතනයක් හෝ සංවිධානයක් හෝ සිතන්නේ නම් ඔවුන්ගේ කරුණු පැහැදිළි කිරීම් ද මෙවැනි අවකාශයක් ලබාදෙමින් පළකරන බව කරුණාවෙන් සළකන්න)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!