spot_img
spot_imgspot_img

අවිස්සාවේල්ල රෝහලේ ලෙඩ්ඩු මැරෙන හැටි කියූ වෛද්‍ය නජිත්ගේ මානසිකත්වය ගැන බලන්න CID ගිහින්

පුවත්

විදෙස්

අවිස්සාවේල්ල රෝහලේ කොරෝනා වාට්ටුවේ රෝගීන් පත්ව ඇති අසීරුතාවත් ආසාදිතයන් මියයන ආකාරයත් පිළිබඳ විස්තර කරමින් ජනතාව දැනුම්වත් කිරීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තැබූ එම ඒකකයේ වෛවද්‍යවරයකු වන නජිත් ඉන්දික හමුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු පැමිණ තිබේ.

රජය මීට පෙර නිවේදනය කළේ සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු සමාජගත කරන පුද්ගලයන් සොයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ඉන් පසු ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය පිළිබඳ පුරෝකථනයක් කළ ‍සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය චමල් සංජීවට එරෙහිව එම අමාත්‍යාංශයේ ම හදිසි වැටලීම් ඒකකය විසින් පරීක්ෂණයක් පවත්වන ලදී.

නමුත් මේ වනවිට වෛද්‍ය චමල් සංජීව සිදුකළ පුරෝකථනය පවා ඉකමවමින් මෙරට කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව වැඩි වී තිබේ.

එමෙන් ම වෛද්‍ය නජිත් ඉන්දික විසින් සටහන් කර තිබුණේ තමන් සේවය කරන වාට්ටුවේ සත්‍ය විස්තරයක් වන අතර ඒ ඔහුගේ පුද්ගලික අත්දැකීමයි.

කොරෝනා සම්බන්ධ අසත්‍ය තොරතුරු සමාජගත කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව පවසන පොලිසිය දෛනිකව කොරෝනා රෝගීන් පිළිබඳ වැරදි තොරතුරු නිකුත් කරමින් රජයත්, ජනාධිපතිවරයාත් නොමඟ යවන සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිළිබඳ කිසිදු පරීක්ෂණයක් සිදුකරන බවක් පෙනෙන්නට නැත.

ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව යන දිස්ත්‍රික්ක 07 තුළින් දෛනිකව වාර්තාවන රෝගීන් ගණනටත් වඩා අඩු රෝගීන් පිරිසක් සමස්ත දිවයිනෙන් ම වාර්තා වන බවට සෑම දිනකම රාත්‍රී අසත්‍ය තොරතුරු සහිත නිවේදන නිකුත් කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

වෛද්‍ය නජිත් ඉන්දික හමුවීමට අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් පැමණීම සම්බන්ධයෙන් ඔහු තවත් සටහනක් තබා තිබිණි. මේ එයයි.

මම දැනට කොරෝනා තත්වය ගැන සටහනක් ලියුවේ ඒ වෙලාවේ තිබූ හිතේ අමාරුවට. ඒක ලිව්වා කියලා ප්‍රශ‍්නය විසඳන්න බෑ කියලා දන්නවා. ඒත් විශාල අසරණකමක් දැනෙන වෙලාවට ඵලදායී නෑ කියලා දැන දැනත් අපි සමහර දේවල් කරනවා. එහෙම සටහනක් දැම්මේ හිත හදාගන්න විතරයි.

ඒත් ඒක දවසක් ඇතුළත අසීමිතව ප්‍රසිද්ධ වුණා. මේක අපේ රටේ ජනතාවට දැනුම්වත් වෙන්න හොඳ සටහනක් වෙන්න ඇති. මාරාන්තික තත්වය ගොඩක් අය නොදන් නිසා ඒක හැමෝටම වැදගත් වෙන්න ඇති. ඒක නිසා එක්කෙනෙකුගේ හරි ජීවිතය බේරගන්න පුළුවන් වේවි කියලා මට ඒ ගැන සතුටක් ඇති වුණා.

ඊට පස්සේ වෙච්ච දේ තමයි මේ.

මම සුපුරුදු පරිදි වාට්ටුවේ වැඩ කරමින් සිටියා. වැල නොකැඩී ලෙඩ්ඩු. එක්කෙනෙක් පස්සේ එක්කෙනෙක් එනවා. බලනවා. අමාරුනම් කොහෙන් හරි හොයාගෙන ඔක්සිජන් දෙනවා. අමාරු නැති යන්න පුළුවන් අය යවනවා. යන්න බැරි අය ඇඳක් නැත්නම් ඇඳක් යටට හරි යවනවා.

මේ අතරෙ තමයි වාට්ටුවට කෝල් එකක් ආවේ. මේ වාට්ටුවට වැඩිපුරම කෝල් එන්නේ රෝගීන්ට. මිස් කෙනෙක් කියනවා “ඩොක්ටර්ට කෝල් එකක්” කියලා. බැලුවම අපේ එක්ස්චේන්ජ් එකෙන්

“සර්, මේ සීයඅයිඩී එකෙන් කියල දෙන්නෙක් ඇවිත් සර්ව අහනවා. මොනවද කියන්න ඕනේ”

මට වැඩේ තේරුණා. මේ අය මේ තරම් මහන්සි වෙන්නේ ඇයි කියලා හේතුව හොයා බලන්න.

“මම දැන් වාට්ටුවේ වැඩ. ඒ දෙනන්නට මෙහෙට එන්න කියන්න. මම කතා කරන්නම්.” මම කිව්වා.

නැවත ගිහින් මම මගේ වැඩ පටන් ගත්තා. අර කවුලුවෙන් දෑත් ඔබාගෙන අලුතෙන් ආපු ලෙඩ්ඩු පෝළිම ප්‍රෙෂර්, ඔක්සිජන් මට්ටම බල බල ඉද්දී වාට්ටුවෙන් එළියේ ටිකක් ඈතට වෙලා තරුණයන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් හිනාවෙලා අත වැනුවා. මම ඔවුන්ට ටිකක් ඉන්න කියලා ලෙඩ්ඩු බළලා ඉවරවෙලා එළියට ගිහින් කතා කළා.

කතාව මෙන්න මෙහෙමයි.

මම – ඔයාල දෙන්නද අර සීඅයිඩී එකෙන් කියල කිව්වේ

ඔවුන් – (සිනාසෙමින්) ඔව් සර්

මම – (සිනාසෙමින්) ආ. ඉතින් අර මම ෆේස්බුක් එකේ දාපු එක නිසා වෙන්න ඇති නේ ආවේ ?

ඔවුන් – (සිනාසෙමින්) ඔව් සර්

මම – කොළඹින් ද නැත්නම් මෙහෙ අවිස්සාවේල්ලෙන් ද ?

ඔවුන් – මෙහේ සර්

මම  – (සිනාසෙමින්) දැන් ඒක බලන්න කිව්වේ මෙහෙන් ද ? නැත්නම් කොළඹින් ද ? ඕඩරේ ආවේ

ඔවුන් – මෙහෙන් නෙමෙයි සර්

මම – හරි. දැන් මොනවද ඔයාලට හොයන්න කිව්වේ ? ඒ ලියපුව බොරු කියල ද ?

ඔවුන් – අනේ නෑ සර්. ඩීඅයිජී මහත්තයා කිව්වෙ, මේක ලිව්ව ඩොක්ටර්ගේ මානසික තත්වය පොඩ්ඩක් බලන්න කියල. ඒ ඩොක්ටර් ආතතියෙන් ද ඉන්නේ කියලා බලන්න කිව්වා. (අහිංසක ලෙස සිනාසෙයි)

මම – (හොඳින් සිනාසෙයි) හරි ඉතින් ඒක ඔයාල ලියල යවන්න. මම කියන්න ඕන නෑනේ නේද ? ඕව කෙරෙන හැටි අපි දෙගොල්ලොම දන්නවනෙ නේ ? ඊට අමතරව මොනවත් දැනගන්න තියෙනව ද ?

ඔවුන් – සර් ඇත්තටම අවිස්සාවේල්ලේ කොරෝනා තත්වය ඔච්චරටම දරුණුයි ද සර් ? අපිත් මේවයේ ජීවත් වෙන මිනිස්සුනේ (අවංක මුහුණක්)

මම පසුගිය මාසය තුළ කොරෝනා රෝගීන් වාර්තාවීම හා මරණ වැඩි වූ හැටි වාට්ටුවේ පහසුකම් දියුණු ඇති ආකාරය, පසුගිය සතියේ සිදු වූ ලොකු වෙනස්කම් ආදී සියල්ල විනාඩි 10ක් පමණ කාලයක දී ඔවුන් දෙදෙනාට පැහැදි කර දුන්නා. ඊට පස්සේ ඔවුන් දෙන්නා මට ස්තූති කරලා යන්න ගියා.

මමත් ඔවුන්ට සමුදීලා ඊළඟට ආවා ලෙඩ්ඩු පොළිම බලන්න. මේ වෙනකොට සවස 6.45 විතර ඇති.

ඉතින් මේ සටහන තියන අද උදේ වෙන‍ොකාට තවත් හත් දෙනෙක් ඇස් පියාගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!