spot_img
spot_imgspot_img

“කොළඹට පැමිණීම හැකිතාක් සීමා කරන්න” – නගරාධිපතිනි රෝසි සේනානායක

පුවත්

විදෙස්

ඉතාමත් අත්‍යාවශ්‍ය ම කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙසත්, හැකිතාක් නිවෙස්වලටම වී සිටින ලෙසත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය කොළඹ පදිංචි ජනතාවගෙන් සහ දෛනිකව කොළඹට පැමිණෙන පිටපළාත්වල ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නගරාධිපතිනිය මේ බව ප්‍රකාශ කර තිබේ.

ඇය පවසන්නේ මේ වනවිට කොළඹ නගර පුරා කොරෝනා වයිරසය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වී සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයන් වාර්තාවන බවයි. කොළඹ නගරයේ ව්‍යාපාරික ස්ථානවලින් පවා කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති අතර දිනකට කොරෝනා ආසාදිතයන් ඉතාමත් විශාල පිරිසක් මියයන බව ද ඇය පෙන්වා දෙයි.

නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“ජනාධිපතිතුමාගේ උපදෙස් මත කොරෝනා මර්ධන කමිටුව ප්‍රධානව සෞඛ්‍ය අංශයේ සෑම දෙනෙක්ම දැන් වසරකට වැඩි කාලයක් පුරා කොරෝනා මර්ධනයට ඉතාමත් විශාල මෙහෙවරක නියැලී සිටිනවා. නමුත් මේ වනවිට අපි ගමන් කරමින් සිටින්නේ ඉතිහාසයේ කවදාවත් නොදැකපු නොසිතපු තරම් භයානක තත්වයකට. දිනෙන් දින රට පුරාම, විශේෂයෙන් ම කොළඹ නගරයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවත් සිදුවන මරණ සංඛ්‍යාවත් වැඩි වෙමින් පවතිනවා. දැනට මාස කිහිපයකට පෙර දිනකට වාර්තා වූ මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ සඛ්‍යාවක් දැන් පැයක දී සිදුවන බව පෙනෙන්නට තිබෙනවා. මෙය ඉතාමත් දරුණු තත්වයක්. මෙය පාලනය කරන්න පුළුවන් වෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමෙන් පමණක් බව සෞඛ්‍ය අංශ දිගින් දිගටම පවසනවා. ඒ නිසා මම කොළඹ පදිංචි සියලුම දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා නිවෙස්වලට ම වී සිටින්න. ඒ වගේම කොළඹ නගරයට දිනකට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසගෙන් ඉල්ලා සිටිනවා අත්‍යාවශ්‍යම කාරණයකට හැර කොළඹට එන්න එපා. ඔබ කොළඹට එනවා කියන්නේ දැඩි ජීවිත අවදානමකට ලක්වීමක්. ඒ නිසා කොළඹට එන්න පෙර එක්වරක්, දෙවරක් නොවෙයි කිහිප වරක්ම හිතන්න මා මේ සඳහා යා යුතු ද ? මට මේ කාර්යය කරගන්න වෙනත් ක්‍රමයක් නැද්ද ? මම කොළඹ ගියොත් මගේ දරුවන්ට, මගේ අම්මා තාත්තට කොරෝනා බෝවිය හැකියි නේද ? යන කරුණු නැවත නැවතත් හිතන්න. ඔබේ සේවා ස්ථානය තිබෙන්නේ කොළඹ නම් සේවා ස්ථානයේ ප්‍රධානියා සමඟ සාකච්ඡා කරන්න. නිවසේ සිට වැඩ කිරීමට කටයුතු යොදාගන්න.”

මේ අතර රෝසි සේනානායක මහත්මිය පවසන්නේ කොළඹ නගර සීමාවේ සෑම ප්‍රදේශයකින් ම කොරෝනා ආසාදිතයන් වාර්තාවී ඇති අතර ව්‍යාපාරික හා සේවා ස්ථාන රැසක ද ආසාදියන් වාර්තා වී ඇති බවයි.

අත්‍යාවශ්‍ය සේවාවන් සහ සැපයුම් අඛණ්ඩව පවත්වාගන යාමෙ අවශ්‍යතාව හේතුවෙන් රට විවෘතව තබා පළාත් අතර දැඩි සංචරණ සීමා පනවා ඇති නමුත් දිස්ත්‍රික්කය තුළ සහ නගර සභා බලප්‍රදේශයේ සංචරණ සීමා නැතැයි සිතා නිවසින් බැහැරව ගමන් කිරීම නොකරන ලෙස ද ඇය කොළඹ පදිංචිකරුවන්ගෙන් සහ කොළඹට පැමිණෙන සියලු දෙනාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

“මේ වනවිට වෛද්‍ය විශේෂඥයන් වසනවා දැනට ශ්‍රී ලංකාවේ පැතිරයන කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය තත්පර 15ක් වැනි ඉතාමත් කෙටි කාලයක දී පුද්ගලයකුගෙන් තවත් පුද්ගලකුට බෝවෙන්න පුළුවන් කියා. මුල් අවස්ථාවේ තිබූ වයිරස ප්‍රභේදය ආසාදනයවීමට විනාඩි 10ක් පමණ ගියා. එයින්ම පැහැදිලි වෙනවා මේ වනවිට අපි කොතරම් භයානක අවස්ථාවකට එළඹිලා සිටිනවා ද කියා. මේ නිසා මම ඉතාමත් ඕනෑකමින් කාරුණිකව සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ කොහේවත් යන්න එපා. ගෙරටම වෙලා ඉන්න. කොළඹට එන්න එපා. කොළඹ තත්වය ඉතාමත් දරුණුයි. අපි අපේ කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැන් වසරකට වැඩි කාලයක් පැය 24ම වෙහෙසෙමින් මේ වසංගතය පාලනය කිරීමට කටයුතු කරනවා. අපේ සෞඛ්‍ය අංශවලට ඊට ශක්තිය තිබෙනවා. නමුත් අවශ්‍ය වන්නේ ඔබේ සහයෝගය. මේ දරුණු වසංගතය පාලනය කිරීමටනම් සෞඛ්‍ය අංශ කොතරම් වෙහෙස වුණත් ඔබ සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැතිනම් එය පාලනය කළ නොහැකියි. නිවසේ හොඳින් නිරෝගීව සිටින ඔබ ගෙදරින් එළිය බහිනවා කියන්නේ, නැතිනම් වෙනත් ස්ථානයක සිට කොළඹ නගරයට පැමිණෙනවා කියන්නේ ඔබ බොහෝ විට කොරෝන වයිරසය සමඟ නැවත නිවසට යනවා කියන එකයි.”

කොළඹ නගරයෙන් කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තාවීම හේතුවෙන් මේ වනවිට අතිවිශාල පිරිසක් නිරෝධායනය සඳහා යොමුකිරීමට සිදුව ඇති බව ද නගරාධිපතිය පෙන්වාදෙයි. රෝහල්ගත කිරීමට සිදුවන ආසාදිතයන් අතරින් වැඩි පිරිසක් දරුණු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඔවුන්ට ශ්වසන ආධාරක ලබාදීමට ද සිදුව ඇති බව ද ඇය පවසයි.

මේ වනවිට රෝහල්වල මෙන්ම නිවෙස්වල ද කොරෝනා ආසාදිතව මියයන සංඛ්‍යාව වෙන කවරදාටත් වඩා ඉහළ ගොස් ඇත. මෙම භයානක තත්වය තේරුම්ගෙන තමන්ගේ ජීවිතයත් තම ආදරණීයයන්ගේ ජීවිතයත් ආරක්ෂා කරගැනීම සඳහා නිවසේම රැඳී සිටින ලෙස ඇය අවධාරණය කරන්නේ තවදුරටත් වසංගතය පාලනය කිරීමට ජනතා සහයෝගය දැඩිව අවශ්‍ය බව පවසමිනි.

එමෙන්ම මෙතෙක් කොරෝනා මර්ධන එන්නත ලබානොගත් කවරකු හෝ සිටින්නේ නම් හැකි ඉක්මණින් එන්නත ලබාගන්නා ලෙසත් එන්නත ලබාගත් පමණින් කොරෝනාවලින් සුරක්ෂිත වේයැයි නොසිතා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් නගරාධිපතිනිය පවසයි.

ඇය පහත සඳහන් කරුණු කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමුකර තිබේ.

  • අත්‍යාවශ්‍යම කරුණකට හැර නිවසින් බැහැරව නොයන්න. නිවසින් බැහැරව යන්නේ නම් සෑඹ විටම හොඳින් ගැලපෙන මුඛ ආරවණයක් හෝ ආවරණ දෙකක් පැළද සිටින්න. කිසිදු අවස්ථාවවක එම මුඛ ආවරණය ඉවත් නොකරන්න. (ඩෙල්ටා ප්‍රභේදය ශරීරගතවීමට තත්පර 05ක කාලයක් ප්‍රමාණවත්ය)
  • සෑම අවස්ථාවක දී ම සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්න
  • ඔබට යම් සේවාවක් ලබාගැනීමට අවශ්‍යනම් එය හැකිතාක් ඔන්ලයින් ක්‍රමයට ලබාගැනීමට උත්සාහ ගන්න. (කොළඹ නගර සභාවට අදාළ බොහෝ සේවා ඔන්ලයින් ක්‍රමයට ලබාගැනීමට හැකියාව සළසා ඇත)
  • අත්‍යාවශ්‍යම කරුණකට ඔබ නිවසින් බැහැරව යන්නේ නම් නිවසින් පිටත ගත කරන කාලය හැකිතාක් අවම කරගන්න
  • කිසිදු අමුත්තෙකුට අත්‍යාවශ්‍යම අවස්ථාවක දී හැර ඔබේ නිවසට පැමිණීමට ඉඩ නොදෙන්න
  • රජය විසින්, අත්‍යාවශ්‍ය සේවාවන් සීමිත ප්‍රමාණයක් පවත්වාගෙන යාමට අවසර ලබා දී ඇති බව ඔබ දන්නා කරුණකි. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන වෙනත් කිසිදු කාර්යයක නියැළීමෙන් වළකින ලෙස ද ඉල්ලා සිටිමි.
  • ආපනශාලා, හෝටල්, වෙළඳ සැල් සහ සුපිරි වෙළෙඳ සැල්වල ඇතුළු ව්‍යාපරික ස්ථාන සහ ඒවායේ ඉඩ පහසුකම් පිළිබඳ සැළකිලිමත්වන්න. එම ස්ථාන සියල්ලේම සමාජ දුරස්ථභාවය ගැන සැළකිලිමත්වීම, පැමිණෙන අයගේ තොරතුරු තබාගැනීම සහ ඔවුන්ගේ උෂ්ණත්වය පරීක්ෂාකිරීම අත්‍යාවශ්‍යම අතර සෑම විටම දෑත් පිරිසිදුකර මුඛ ආවරණ සහිතව පැමිණෙන අය පමණක් එම ස්ථානයන්ට ඇතුළුකරගැනීමට වගබලා ගත යුතුය. එක් අයකු හෝ මේ පියවර අනුගමනය නොකළ හොත් හෝ නෙසළකා හැරයහොත් සමාජ වගකීම පැහැර හරිනවා පමණක් නොව තවත් කිහිප දෙනකුගේ ජීවිත ද අවදානමේ දමනු ඇත.
  • සෑම අවස්ථාවක දී ම ඔබේ රැකියාව කරගෙන යාම ද නිවසේ සිටිමින් සිදුකරන්නේ නම් එය වඩාත් සුුදුසු වනු ඇත. නමුත් ඔබ කාර්යාලයට හෝ සේවා ස්ථානයට යාම අත්‍යාවශ්‍යම නම් ඒ සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සුරක්ෂිතව ගමන් කරන ලෙසත් ඉල්ලා සිටින අතර ඔබේ සේවා ස්ථානයේ සේවක සේවිකාවන් හැකිතාක් නිවසේ සිට සේවය කරන ලෙස දිරිමත් කරන්න යැයි ද ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරමින් සේවා මුර ක්‍රමයට අවම සේවක සේවිකාවන් පිරිසක් සේවයට කැඳවන ලෙසත් ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිමි.
  • මෙම වසංගත කාලයේ දී රැකියාවට යාමට නොහැකි වුවහොත් තම රැකියාව අහිමිවී යනු ඇතැයි සිතමින් ඇතැම් සේවක සේවිකාවන් අනවශ්‍ය අවදානම් දැරීමට කටයුතු කරන බව ද අපට නිරීක්ෂණය වී තිබේ. මේ නිසා ඔවුන්ට එවැනි එවැනි හැඟීමක් ඇති නොවන ආකාරයෙන් ඔවුන්ගේ සේවා පරිසරය සුරක්ෂිත කිරීම සේවා යෝජකයන්ගේ වගකීම වන බව ද මේ අවස්ථාවේ සිහිපත් කරන්නෙමු.

“නැවත වරක් මම කොළඹ පදිංචි සහ කොළඹට පැමිණෙන ඔබ සමගෙනුත් ව්‍යාපාරික ආයතනවලිනුත් ඉල්ලා සිටින්නේ දැනට පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදින ලෙසයි. මේ සඳහා කළ යුතු වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති නිල මාර්ගෝපදේශ පදනමක් ලෙස ගෙන තමන්ගේ සහ තම සමීපතමයන්ගේ ආරක්ෂාව සහතික කරලීම සඳහා ඊටත් වඩා දැඩි ආරක්ෂිත ක්‍රම ඔබ සැම විසින් අනුගමනය කළ යුතු බවයි. අපි මීට පෙර කිසිදු දිනක අත් නොදුටු අතිශය භයංකාර අත්දැකීමක් වෙත ගමන් කරමින් සිටින්නෙමු. තත්වය තවදුරටත් දරුණු වීමට කිසිසේත්ම ඉඩදිය නොහැක. දැනටමත් එය අප දැඩි අපහසුතාවකට පත්කර ඇතත් මෙය තාවකාලික ගැටලුවක් බවත් සාමූහිකව එකාවන්ව දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් මේ භියකරු අවස්ථාව පරාජය කිරීමට වගකීමෙන් හා පරාර්ථකාමීව කටයුතු කරමු.”

1 COMMENT

  1. දැන් සියලු දේම පරක්කුයි අප්පිරියෙල් වල සිටම දැඩි අවදානමක් ඇති බව විශේසඥ වෛද්ය වරු මහජන පරීෂකවරු කියූ දේවල්
    කණකට නොගත් පාලකයෝ අද නිදිවදිති ලංකාවේ බාගෙට බාගයක් වත් ඉතිරි වූවොත් තමා පුදුමේ දැන් තවමත් ඇගලුම් කර්මාන්ත වල ලමුන් වැඩ කරති උන්ගේ වගකීම පාලකයෝ නොගන්නා බවයි උන් සීත කාමරවල සිට පනත් ගැසට් එලිදක්වයි අද මැරෙන්නේ බල්ලෝ බළල්ලු නොව තාත්ත අම්ම සහෝදර සහෝදරියෝය දූ පුතුන්ය අධම මුග්ධ පාලකයිනි තොපි මේ කල අපරාධයට පරම්පරා හතකටම හෙණ

Leave a Reply to කැලිස්ටා Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!