spot_img
spot_imgspot_img

කොරෝනා බෙහෙත් හැදූ බව කියන වෛද්‍යවරුන්ට වැඩ වරදියි

පුවත්

විදෙස්

කොරෝනා සඳහා ඖෂධ සොයාගත් බවට ප්‍රචාරය කරමින් ඒවා අළෙවි කරන වෛද්‍යවරු ඇතුළු කණ්ඩායම් ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමැතියක් ගෙන නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක පවසයි.

පසුගිය දිනවල කොරෝනාවලට සුදුසු ඖෂධයක් සොයාගත් බවට කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණතිලක නමැති අයකු විසින් කරගෙන ගිය ප්‍රචාරයක් හේතුවෙන් මෙවැනි ඖෂධ පිළිබඳ විමසීමේ දී ඖෂධ නියාමන අධිකාරිය කියා සිටියේ එවැනි කිසිදු ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියක් ලබා දී නැති බවයි.

එම වෛද්‍යවරයා විසින් තමන් නිෂ්පාදනය කළ ඖෂධයට අනුමැතිය ඇතැයි ඇතැම් පුවත්පත් සහ යූ ටියුබ් නාලිකා ඔස්සේ දැවැන්ත ප්‍රචාරයක් ලබා දුන් අතර අප කරන ලද විමර්ශනයක දී අනාවරණය වූයේ එම ඖෂධය සඳහා අනුමැතිය නොව එවැනි සොයාගැනීමක් සිදුකළ බවට හෝ සාධක නොමැති බවයි. මේ කරුණු හෙළිකිරීමෙන් පසු එම නිෂ්පදානය සිදුකරන්නේ තමන් විසින් නොව ඖෂධී හේවාමද්දුම හා ඇගේ සැමියා විසින් බව වෛද්‍යවරයා අප සමඟ කීවේය.

වෛද්‍යවරයාගේ එම ප්‍රකාශය අනුව ඖෂධී හේවාමද්දුමගෙන් විමසූ විට ඇය කියා සිටියේ වෛද්‍යවරයා ඖෂධය නිෂ්පාදනය කරන බවයි. මෙම පරස්පර විරෝධී ප්‍රකාශ සම්බන්ධයෙන් කරනලද අනාවරණයන් හේතුවෙන් ගාල්ල මූලස්ථාන පොලිසිය ද මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඉන්පසු උදාර සම්පත් ගුණවර්ධන නම් වෛද්‍යවරයා මෙය ඖෂධයක් නොවන බවත් ආහාර අතිරේකයක් බවත් ප්‍රචාරයක් ගෙන යන අතර යම් අයකු කොරෝනා ආසාදිත බවට තහවුරු කර පීසීආර් පරීක්ෂණයේ පිටපතක් ලබාදෙන්නේ නම් එම පුද්ගලයන්ට ඔහුගේ නිෂ්පාදනය නොමිළයේ ලබාදෙන බවට ප්‍රචාරයක් ද ගෙන යයි.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක පවසන්නේ කොරෝනා සුවකිරීම සඳහා යැයි පවසමින් විවිධ නිෂ්පාදන ප්‍රචාරය කරනු ලබන හා එම ප්‍රචාරයන්ට දායකවන වෛද්‍යවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙවැනි වෛද්‍යවරුන් පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිලි කරන ලෙස ද එම පැමිණිලි [email protected] යන විද්‍යුත් ලිපිනයනට යොමුකරන ලෙස ද මහාචාර්යවරයා ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!