පොලිස් වෙඩි තැබීමකින් කොස්ගොඩ තාරක මරුට

පුවත්

විදෙස්

පොලිස් අත්අඩංගුවේ සිටිය දී විශේෂ මෙහෙයුමක් සඳහා රැගෙන ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නමැති 34 හැවිරිදි අයෙකි.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවේ සිටිය දී මීරිගම රේන්දපොළ ප්‍රදේශයට අද (13) අළුයම රැගෙන ගොස් ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ විශේෂ මෙහෙයුමක් සඳහා ඔහු රැගෙන ගොස් සිටිය දී ඇතිවූ සිදුවීමක දී පොලිසියට ගිනි අවි මගින් සිය බලය පාවිච්චි කිරීමට සිදුව ඇති බවයි. එම අවස්ථාවේ දී තුවාල ලැබූ සැකකරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් සිටි බව ද ඔහු පවසයි.

මෙම අවස්ථාවේ දී තුවාල ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ද වතුපිටිවල රෝහලට ඇතුළත් කර සිටියි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතය.

මියගිය මෙම සැකකරු කොස්ගොඩ, මාතර, මොරටුව හා කොට්ඨව පොලිස් වසම්වල මිනිස් ඝාතන 07ක් සහ කොල්ලකෑම් 21ක් සම්බන්ධයෙන් සැකකරුවකු බවත් ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු බවත් කොස්ගොඩ තාරක ලෙස හඳුන්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles