spot_img
spot_imgspot_img

දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධියේ ම අල්ලස් ගන්න හැටි මෙන්න

පුවත්

විදෙස්

දකුණු පළාත් ආදායම් දෙපාර්ත‍මේන්තුවේ 30 වැනි සංවත්සර උත්සවය සැමරීම සඳහා තක්සේරු නිලධාරියකු මාර්ගයෙන් රුපියල් 50,000.00 බැගින් මුදලක් එකතු කරන බවට චෝදනාවක් එල්ල වී තිබේ. රාජ්‍ය ආයතනයක සවත්සර උත්සව පැවැත්වීම සඳහා මෙලෙස මුදල් එකතුකිරීම අල්ලස් ගැනීමකට සමාන වේ.

කොමසාරිස්වරයාගේ අනුමැතියෙන් ක්‍රියාත්මක වන මෙම මුදල් එකතුකිරීමේ වැඩසටහන හේතුවෙන් පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් පුද්ගලයන්ට 50,000.00 ට අධික මුදලක් එකතු කර තම මඩිය තරකර ගැනීමේ අවස්ථාව ද හිමිව ඇත. මේ නිසා එහි සේවකයෝ තම දෙපාර්තමේන්තුව ප්‍රධානියාගේ අනුමැතිය ද ඇතිව අල්ලස් ගැනීමේ ව්‍යපෘතිය දැනටමත් ආරම්භ කර ඇත.

මේ පිළිබඳ දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කේ.එල්.රංජිත් සූරසේනගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ආදායම් බදු ගැටලුවලට සම්බන්ධතාවක් නොමැති අයගෙන් පමණක් මෙම මුදල් එකතුකිරීම සිදුකරන බවයි.

කොමසාරිස්වරයා පවසන පරිදි දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවෝ 22ක් සිටිති. ඔවුන් එක් අයකුගෙන් 50,000.00 බැගින් උත්සවයට එකතුකරන්නේ නම් ඒ සඳහා එකතුවන අවම මුදල ලක්ෂ 11කි. කොමසාරිස්වරයා කියා සිටියේ මැයි මාසයේ දී පැවැත්වීමට නියමිත මෙම 30 වැනි සංවත්සරික උත්සවය සඳහා රුපියල් ලක්ෂ 10කට වඩා මුදලක් වැයවන බව තීරණය කර ඇති බවයි.

දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආදායම් ප්‍රභවය වන්නේ ඉඩම් ඔප්පු ලියාපදිංචියේ දී ලබාගන්නා මුද්දර ගාස්තුවයි. ඉඩම් සඳහා අඩු වටිනාකම් සඳහන් කරමින් රජයට ලැබිය යුතු ආදායම් අහිමිකරන පුද්ගලයන් සොයා අදාල දඩ මුදල් අයකරගැනීම තක්සේරුකරුවන්ගේ ප්‍රධාන රාජකාරියක් වෙයි. ඔසු සැල්වලින් ආදායම් එකතුකිරීම, ඛනිජ සම්පත් අළෙවිකරුවන්ගෙන් ආදායම් එකතුකිරීම සහ හිඟ ආදායම් මුදල් එකතු කිරීම පළාත් ආදායම් දෙපාර්ත‍මේන්තුවේ අනෙකුත් ආදායම් මාර්ග වෙයි.

එවැනි වතාවරණයක් තුළ උත්සවය සඳහා මුදල් එකතුකරනු ලබන්නේ කවර ආකාරයේ පුද්ගලයන්ගෙන් දැයි විමසූ විට කොමසාරිස්වරයා කියා සිටියේ මේ වනවිට ආදායම් බදු ගෙවීමේ ගැටලුවලට මුහුණ දී නොමැති තම දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ව්‍යාපාරිකයන් හා නීතිඥයන්ගෙන් මුදල් එකතු කරන බවයි.

පළාත් ආදායම් දෙපාර්ත‍මේන්තුවේ ම නිලධාරීන් පිරිසක් චෝදනා කරන්නේ මෙලෙස මුදල් එකතුකිරීමට කොමසාරිස්වරයා විසින්ම උපදෙස් දීම ආදායම් ගෙවීම් පැහැර හැර ඇති අයගෙන් අල්ලස් ගැනීමකට සමාන කාර්යයක් බවයි. එමෙන්ම දැනට වාර්තාවන ආකාරයට මේ උත්සවයට මුදල් එකතුකරන බව පවසමින් ආදායම් ගෙවීමේ ගැටලු ඇති අයගෙන් අල්ලස් ගෙන ඔවුන් මුදල් ගෙවූ බව කාර්යාලයට දන්වා ඔවුන් නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් ද සැළසුම් වෙමින් පවතී. කොමසාරිස්වරයාගේ අනුදැනුම මත ක්‍රියාත්මකවන මෙම මුදල් එකතුකිරීමේ වැඩසටහන හේතුවෙන් තක්සේරුකරුවන්ට ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන්, නීතිඥයන් හා පොළී කරුවන් වැනි පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනක අල්ලස් ගැනීමට මාර්ගයක් සැළසී ඇත.

මේ පිළිබඳ විමසූ අවස්ථාවේ දී කොමසාරිස් රංජිත් සූරසේන වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මේ උත්සවයට පළාත් සභාවෙන් සල්ලි ලැබෙන්නේ නැහැ. 30 වැනි සංවත්සරයට ඉහළින් සමරන්න තීරණය කළේ අපේ සුබ සාධක සංගමය. මුදල් නොලැබෙන නිසා අපි සල්ලි එකතුකරන්න කියා උපදෙස් දුන්නා. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් සල්ලි නැත්නම් උත්සව තියන්න එපා කියලා. ඒ වගේම මේක අනවශ්‍ය වියදමක් කියලා කියන්නත් පුළුවන්. ඔබ ඇසුවාට මෙය අල්ලස් ගැනීමක් නේද කියා අපි එසේ සිතන්නේ නැහැ. අපි මේ මුදල් එකතු කරන්නේ අපෙ දෙපාර්තමේන්තුවට උදව් කරන්න සූදානම් අපේ හිතවතුන්ගෙන් විතරයි.”

රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් රටේ ඇති සාමාන්‍ය නීතිය පවා තුට්ටුවකට මායිම් නොකරමින් තම නිලධාරීන් අල්ලස් ගැනීම සඳහා මේ ආකාරයෙන් පෙළඹවීම පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අවධානය යොමුවිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!