ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර , විද්‍යුත් මුද්‍රිත සහ නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පිළිබඳව විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කණස්සල්ලට හේතු වී තිබේ.
අන් ප්රජාතන්ත්රවාදී රටවල මෙන් ශ්‍රී ලංකාවෙහිද ජනමාධ්‍ය නියාමනයක් තිබිය යුතු බව අපිද පිළිගනිමු. එසේ නමුත් ඒවා රාජ්‍ය පාලිත නියාමනයක් නොව ජනමාධ්‍ය විසින්ම පවත්වා ගන්නා ස්වයං නියාමනයක් බව වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය අදහස් කරයි. ඒ සඳහා අප විසින් වෙබ් මාධ්‍යවේදී ආචාර ධර්ම පද්ධතියක් සකස්කර ප්‍රසිද්ධ කර තිබේ.
වෙබ් මාධ්‍ය නියාමනය කිරීම සඳහා දෙසතියක් ඇතුළත එම නීති ප්‍රසිද්ධ කරන බව පසුගිය වසර අවසානයෙහි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් ප්‍රකාශ කරන ලද බව අපි සිහිපත් කරමු. තවද එම අවස්ථාවෙහි ඔහු කියා සිටියේ එම නීති සිංගප්පූරුවේ 2019 වසරෙහි පනවන ලද නීති අනුසාරයෙන් සකස් කරන ලද බවයි.
සිංගප්පූරුවෙහි පනවන ලද නීතිය ජනමාධ්‍ය නිදහස මර්ධනය කිරීමක් බව අන්තර් ජාතික ජනමාධ්‍ය සංවිධාන විසින් පෙන්වා දී තිබේ.
ආණ්ඩුව විසින් මෑතකදී පළකරන ලද දැන්වීමේ පුවත්පත් මණ්ඩලය පිළිබද සඳහන් වන්නේ ‘ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබඳව විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමට බලාපොරොත්තු වේ’ යනුවෙනි. එහෙත් මෙලෙස විනිශ්චය ආයතනයක් ලෙස වර්ධනය කිරීමට අදහස් කෙරෙන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කළ යුතු බවට මෙරට ජනමාධ්‍ය සංවිධාන දශකයකටත් වැඩි කාලයක සිට උද්ඝෝෂණය කරමින් සිටියි.
ඊට හේතුව වන්නේ පුවත්පත් මණ්ඩලය ජනාධිපතිවරයාගේ අභිමතය අනුව පත් කෙරෙන ආයතනයක් වීමත් එය සතු අත්තනෝමතික බලතලත්ය. ඒක් නිදසුනක් නම් පුවත්පත් මණ්ඩලයට ජනමාධ්‍යවේදියකු දෙවසරක් තරම් කාලයකට සිරගත කළ හැකි අතර එහි නියෝග කවර හෝ අධිකරණයකදී ප්‍රශ්න කළ නොහැකිය.
වර්ථමානයෙහි දී පුවත්පත් මණ්ඩලයේ සභාපතිගේ දේශපාලන භූමිකාව දෙස බලන විට එවැනි ආයතනයකට තව තවත් බලතල ලබාදීම මෙරට ජනමාධ්‍ය නිදහසට එල්ලවිය හැකි භයානක අනතුරක් ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සළකයි.
ආණ්ඩුවේ මෙම ප්රජාතන්ත්රවාදී විරෝධී උත්සාහයට විරුද්ධවන ලෙස අප මෙරට සියළු ප්රජාතන්ත්රවාදී බලවේගයන්ගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ පුවත්පත් මණ්ඩලය විසුරුවා හැරීමට ඉඩ සළසන ලෙසත්, ජනමාධ්‍ය සඳහා විශ්වසනීය සහ ඵලදායි ස්වයං නියාමන යාන්ත්රනයක් සකස් කර ගැනීමට දායකවන ලෙසය.
පුවත්පත් මණ්ඩලය “ විනිශ්චය ආයතනයක් ” ලෙස වර්ධනය කිරීමට දරන ආණ්ඩුවේ ප්රයත්නයට වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය සිය විරුද්ධත්වය මේ මගින් පළකරයි.