4.6 C
New York
Home Blog Page 29

නව කොරෝනා ප්‍රභේදය ලංකාවට ඇවිත්

0

මේ දිනවල ආසියාවේ රටවල පැතිරයන නව කෙ‍ාරෝනා වයිරසය ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වී ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතන පවසයි.

වයිරස් රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ කියා සිටියේ, ඔමික්‍රෝන් වයිරස ප්‍රභේදයට අදාල අනු ප්‍රභේදයන් වන LF.7 සහ XFG යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවයි.

මෙරට රෝහල් කිහිපයකින් කොරෝනා බවට සැකසහිත රෝගීන් කිහිප දෙනෙකුගෙන් ලබාගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීමෙන් මේ බව තහවරු කරනෙ ඇත.

විශේෂඥ වෛද්‍ය ජයමහ වැඩිදුරටත් කියා සිටියේ මෙම නව කොරෝනා වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවයි.

ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටී, අත් නිතර සේදීම යන යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

“කොරෝනා වයිරසයේ නව ප්‍රභේද වරින් වර පැති යනවා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිතර අවධානයෙන් පසුවනවා. අනවශ්‍ය බියක් ඇතිකරගන්න එපා.” යනුවෙන් ‍ද විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

-Advertisement-

ගංවතුර හේතුවෙන් 110කට දිවි අහිමි වෙයි

0

නයිජීරියාවේ මධ්‍යම හටගත් ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 110 දෙනෙකු මිය ගොස් තිබේ.

වර්ෂාපතනය පැය කිහිපයක් පැවති බව නයිජර් ප්‍රාන්ත හදිසි කළමනාකරණ ඒජන්සිය පවසයි.

“ඉහළ යන ගංවතුරින් නිවාස 50 කට අධික සංඛ්‍යාවක් ජලයෙන් යටවී ඒවායේ පදිංචිකරුවන් සමඟ ගසාගෙන ගොස් ඇති” බව ඔවුහු තවදුරටත් පැවසූහ.

මොක්වා නගරයේ ටිෆින් මාසා සහ අඟුවාන් හවුසාවා දිස්ත්‍රික්කවලට වඩාත්ම බලපෑම් එල්ල විය.

සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින අතර තවත් බොහෝ පිරිසක් තවමත් අවදානමට ලක්ව සිටින බව බලධාරීන් පවසයි.

මේ නයිජීරියාවේ වැසි සමයේ ආරම්භයයි. බලධාරීන් පවසන්නේ මෙවැනි ගංවතුර තත්ත්වයක් මෑත ඉතිහාසයේ ඇතිවී නොමැති බවයි.

2024 දී උතුරු නයිජීරියාවේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් සහ ගංවතුරක් ඇති වූ අතර එමඟින් මරණ, අවතැන්වීම් සහ නිවාස හා යටිතල පහසුකම් විනාශ විය.

2022 දී රට දරුණු ගංවතුරකට ද ගොදුරු වූ අතර, එමඟින් මිලියන 1.3 ක පමණ ජනතාවක් නිවාස වලින් ඉවත් කිරීමට සිදු වූ අතර 600 කට වැඩි පිරිසක් මිය ගියහ.

-Advertisement-

විෂ එන්නත් බෙදන්න යැයි, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් දීලා

0

සජීව විජේවීර

බැක්ටීරියා විෂ සහ ඇසට පෙනෙන කැබිලිති එන්නත් කුප්පිවල අඩංගු බව කියමින් භාවිතයෙන් ඉවත්කරන ලද හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් තොගයක් නැවත භාවිතා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ‘ස්වස්ථා’ පද්ධතිය මගින් සියලුම රජයේ රෝහල්වෙත දැනුම් දී තිබේ.

ප්‍රමිතියෙන් තොර  හියුමන් ඉමි‍යුනෝග්ලොබියුලින් සැපයීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා චෝදනා ලැබීමෙන් කළකට පසු මෙම ඖෂධ තොගය ගෙන්වා ඇත්තේ ඉන්දියාවේ හෙලන්ගානා ප්‍රදේශයේ කර්මාන්තශාලාවකිනි. එක් ඖෂධ කුප්පියක වටිනාකම රුපියල් 50,000.00ක් පමණ වන අතර එක ඖෂධ කුප්පියක් එක් රෝගියකු සඳහා භාවිතා කරන්නේ එක් වරක් පමණි. ඇතැම් රෝගීන්ට ඖෂධ කුප්පි 20-30ක් පමණ භාවිතා කිරීමට සිදුවන අවස්ථා ද ඇත.

විවිධ ආසාදනවලට, මාරාන්තික ස්නායුරෝගවලට සහ ප්‍රතිශක්තීකරණ ඌණතා ඇති අවස්ථාවල දී ප්‍රතිදේහ ප්‍රතිස්ථාපනය සඳහා ලබාදෙන ඖෂධයක් වන හියුමන් ඉමි‍යුනෝග්ලොබියුලින් එම ඖෂධ තොගය ශ්‍රී ලංකාවේ රෝහල්වල භාවිතයට ගැනීමෙන් පසු රෝගීන්ට විවිධ ආසාත්මිකතා සහ සංකූලතා ඇතිවීම හේතුවෙන් 2024-09-10 වැනි දින වෛද්‍ය සැපයුම් අංශයේ චක්‍රලේඛයක් මගින් එය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර තිබිණි.

ඉන්පසු විවිධ රෝහල්වලින් එම ඖෂ‍ධයේ සාම්පල වෛද්‍ය සැපයුම් අංශයට ගෙන්වා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ අවදානම් තක්සේරු අනු කමිටුව විසින් ජාතික ඖෂධ තත්ව පරීක්ෂණාගාරයේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව තීරණය කර ඇත්තේ මෙම ඖෂධ කුප්පිවල බැක්ටීරියා විෂ සහ ඇසට පෙනෙන කැබිලිති තිබෙන බවයි. ඒ අනුව බ්‍රිතාන්‍ය ඖෂධ නීති සංග්‍රහයේ නිර්ණායක අනුව එය භාවිතයට නුසුදුසු ලෙස තීරණය කර තිබිණි.

ඒ හේතුවෙන්, එම ඖෂධය ස්ථිර වශයෙන් ම භාවිතයෙන් ඉවත්කරන්න යැයි වෛද්‍ය සැපයුම් අංශය විසින් 2024-10-23 වැනි දින චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබිණි. මෙම උපදෙස් අනුව හියුමන් ඉමි‍යුනෝග්ලොබියුලින් ඖෂධයේ ඉන්දියාවේ හෙලන්ගානා කර්මාන්තශාලාවකින් ගෙන්වූ තොගය භාවිත‍යෙන් ස්ථිරව ම ඉවත්කළ නමුත් ඖෂධ අපහරණ මණ්ඩලයෙන් පැමිණ ඒවා නිසි පරිදි ලේඛනගත කර රැගෙන යනතුරු ඒ ඒ රෝහල්වල ගෙනවිත් තිබූ තොග සුරක්ෂිතව තිබිණි.

මේ අතර දැනට දින කිහිපයකට පෙර වෛද්‍ය සැපයුම් අංශයේ ‘ස්වස්ථා’ දත්ත පද්ධතිය මගින් දැනුම් දී ඇත්තේ භාවිතයෙන් ඉවත්කර තිබූ ඖෂධ තොගය නැවත භාවිතයට ගන්නා ලෙසයි. නමුත් ඒවා භාවිතයට ගැනීම සඳහා තීරණය කර ඇත්තේ කවර පදනමකින්ද යන්න දක්වා නැත.

මේ පිළිබඳ අප සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගෙන් විමසූ විට ඔහු මේ පිළිබඳ සොයා බලා පිළිතුරක් දෙන බව කීවේය.

පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා ම නැවත අප අමතමින් කියා සිටියේ තමන් මේ පිළිබඳ වෛද්‍ය සැපයුම් අංශයෙන් විමසූ විට අප සඳහන් කර ඇත්තේ තහනම් කළ ඖෂධ කාණ්ඩය නොවන බවත් පසුව ගෙන්වන ලද ඖෂධයක් ද ආසාත්මිකතා ඇතිවීම හේතුවෙන් තාවකාලිකව ඉවත්කර තිබී නැවත භාවිතයට  අනුමත කර ඇති බැවින් එය භාවිතා කිරීමට උපදෙස් දුන් බවයි.

එයින් පෙනී යන්නේ වෛද්‍ය සැපයුම් අංශය විසින් නියෝජ්‍ය අමාත්‍යවරයාව නොමග යැවීමට උත්සාහ ගෙන ඇති බවයි. 2024-10-23 වැනි දින MSD/QP/2024/41 දරණ චක්‍රලේඛය මගින් ඖෂධය භාවිතයෙන් වළකින ලෙස දැනුම් දී තිබිණි. දැනට දින කිහිපයකට පෙර වෛද්‍ය සැපයුම් අංශය මගින් සිදුකර ඇත්තේ එම චක්‍රලේඛයේ සඳහන් ඖෂධය භාවිතයට ගන්නා ලෙස දැනුම් දීමයි. එයට අදාළ ලේඛන දෙකම අපි නියෝජ්‍ය අමාත්‍යවරයාට ලබාදුන් විට හෙතෙම නැවත සොයා බලා අප අමතන බව කීවේය.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන් මොහොතකට පසු අප අමතමින් නැවත කීවේ.

“ඔව් ඔබ කියන දේ හරි 2024-10-23 වැනි දා චක්‍රලේඛයක් මගින් ස්ථිරව ම භාවිතය අත්හිටවූ ඖෂධ කාණ්ඩයම තමයි නැවත භාවිතා කරන්න කියලා පසුගිය දා දැන්වීමක් යොමුකරලා තියෙන්නේ. නිලධාරීන්ගෙන් මේ ගැන විමසුව ඔවුන් කියනවා මේ ඖෂධය භාවිතය නැවැත්තුවා ම ඒ ඖෂධ සැපයූ සමාගමට 25%ක අධිභාරයක් ද සහිතව සම්පූර්ණ මුදල ගෙවන්න යැයි දැනුම් දී වසර 05කට අසාදු ලේඛන ගත කරනවා කියලා. ඒ සමාගමට මේ කරුණ දැනුම් දුන්නාම ඔවුන් අපේ වෛද්‍ය සැපයුම් අංශයට කියා තිබෙනවා අපේ රසායානාගාරයේ ඖෂධය පරීක්ෂා කර බලලා ති‍බෙන ක්‍රමය වැරදි අපි බලලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ඖෂධ නීති සංග්‍රහය අනුව. මේ ඖෂධය නිෂ්පාදනය කර තිබෙන්නේ ඊට වඩා වෙනස් ක්‍රමයකට කියලා. ඒ ඖෂධ නිෂ්පාදන සමාගම විසින් ඉන්දීය ඖෂධ නීති සංග්‍රහය අනුව ඖෂධ පරීක්ෂා කරන රසායනාගාරයකට එය යවා පරීක්ෂා කරලා එහි බැක්ටීරියා විෂ අඩංගු නෑ කියලා වාර්තාවක් එවලා තිබෙනවා. අපේ ඖෂධ සැපයුම් අංශය කරලා තියෙන්නේ මේ වාර්තාව එවූ ආයතනය සම්බන්ධ කරගෙන මෙය සත්‍ය වාර්තාවක් ද කියා සොයා බලලා ඒක සත්‍ය්‍යක් බව දැනගෙන තමයි ඖෂධය නැවත භාවිතා කරන්න කියා තිබෙන්නේ.”

අමාත්‍යවරයාගේ පිළිතුර එවැන්නකි. එමනේම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ දී ඖෂධ මාත්‍රා 30,000කින් එකක් ආසාත්මක වුව ද ඒ පිළිබඳ පවා සොයා බලන බවයි. එබැවින් මෙම රජය යටතේ කිසිදු බාල ඖෂධයක් භාවිතා කිරීමට ඉඩ නොතබන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

නමුත්, 2024 සැප්තැම්බර් මාසයේ දී මෙම ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවත්කර එය ඔක්තෝබර් 23 වැනි දා ස්ථිරව ම භාවිතයෙන් ඉවත්කර ඇත්තේ එක් අයකුට හෝ දෙදෙනකුට හෝ සිදු වූ ආසාත්මිකතා හේතුවෙන් නොවේ. ශ්‍රී ලංකාව පුරාම රෝහල්වල සිටින විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙම ‍ඖෂධය නිසා ආසාත්මිකතා සහ සංකූලතා ඇතිවන බවට නැගුණු චෝදනා රැසක් පරීක්ෂාකර බැලීමෙන් අනතුරුවය.

එමෙන් ම ඖෂධය භාවිතයෙන් ඉවත්කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ම පත්කරන ලද ඖෂධ අවදානම් තක්සේරු කමිටුව විසින් විධිමත් රසායනාගාර පරීක්ෂණයකින් අනතුරුවය. එලෙස ඉවත්කරන ලද ඖෂධයක් නැවත භාවිතා කිරීමේ දී එවැනි අවදානම් කමිටුවකින් අනුමත විය යුතු නොවේ ද ? එමෙන් ම එදා සිටි ඖෂධ අවදානම් තක්සේරු කමිටුව විද්‍යාව සහ පරීක්ෂණ පිළිබඳ නොදන්නා අඳ බාලයන් ලෙස වර්තමාන නිලධාරීන් විසින් සළකන්නේ ද ?

මෙහි තවත් ගැටලුවක් තිබේ 2024-10-23 වැනි දින නිකුත්කරන ලද චක්‍රලේඛයේ පැහැදිලිව සඳහන් කරන්නේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නමැති ඖෂධ‍ කුප්පිවල බැක්ටීරියා විෂ පැහැදිලිව හඳුනාගත් බවයි. වෙනත් පරීක්ෂණයකින් එය නැතැයි කියා තහවරු කර ඇත්නම් මීට පෙර ද භාවිතයෙන් ඉවත්කරන ලද ඖෂධ ගැන නැවත සළකා බැලිය යුතුය. එපමණක් නොව දැනටත් එම ඖෂධ කුප්පිවල දක්නට ඇති හඳුනානොගත් කැබිලිති කිසිදු එන්නතක නොතිබිය යුතු බව බ්‍රිතාන්‍යයේ මෙන්ම ඉන්දියාවේ ඖෂධ ප්‍රතිපත්තිය අනුව ද පැහදිළි කරුණකි.

නමුත් මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් කුප්පිවල ඇසට පෙනෙන කැබිලිති තිබිය දී ඒවා නැවත භාවිතා කරන්න යැයි කීම විහිළුවට කරුණක් නොවේ ද ?

මේ පිළිබඳ අපි වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරියකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ දොස්තරලා ඖෂධ සමාගම් සමඟ එක්ව යම් යම් සමාගම්වලට පහර ගැසීම සඳහා ඖෂධ ප්‍රතික්ෂේප කරන බවයි.

නමුත් එහි තවත් පැත්තක් ඇත. එදා ඖෂධ ගෙන්වීමේ දී මිලියන ගණන් සන්තෝෂම් ලැබූ නිලධාරීන් ඒ බාල ඖෂධයම අපේ රටේ රෝගීන්ට ලබා දී තමන්ගේ ගතමනාව බේරාගැනීමේ උත්සාහයක යෙදෙන ‍බවට අපටත් තර්ක කළ හැකිය.

මේ පිළිබඳ තවදුරටත් විමසූ විට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා කියා සිටියේ එම ඖෂධය පිළිබඳ තමන් පුද්ගලිකව සොයා බලන බවයි.

2024-09-10 දින මෙම ඖෂධය තාවකාලිකව ඉවත්කරමින් නිකුත්කළ චක්‍රලේඛය
මෙමඖෂධය සම්පූර්ණයෙන් ම භාවිතයෙන් ඉවත්කරන ලෙස 2024-10-23 දින නිකුත්කරන ලද 2024/43 චක්‍රලේඛය
2024-10-23 දිනැතිව 2024/41 දරණ චක්‍රලේඛය මගින් ඉවත්කරන ලද ඖෂධය නැවත භාවිතා කරන්න යැයි ‘ස්වස්ථා’ පද්ධතියට යොමුකර තිබූ පණිවිඩය

-Advertisement-

හපුගල ඉංජිනේරු පීඨයේ, ගෘහස්ථ ක්‍රීඩාගාරය විනාශයි

0

රුහුණ විශ්වවිද්‍යාලයේ, ගාල්ල, හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය සුළඟින් දැඩි අලාභහානි සිදුව තිබේ.

අද (30) උදෑසන 10.30ට පමණ වර්ෂාව සමඟ ඇති වූ සුළඟින් එම ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැති බිත්ති දෙකක් සම්පූර්ණයෙන් ම බිමට සමතලා වී තිබිණි.

මෙම ගෘහස්ථ ක්‍රීඩාගාරයේ විශ්වවවිද්‍යාල සිසුන්ගේ තරඟ සහ පාසල් තරඟාවලි පවා පැවැත්වෙන අතර පසුගිය සතියේ ද පාසල් බැට්මින්ටන් තරඟාවලියක් එහි පැවැත්විණි. කෙසේ වුව ද අද අනතුර සිදුවන අවස්ථාවේ දී කිසිවකු ගෘහස්ථ ක්‍රීඩාගාරයේ නොසිටි බව විශ්වවිද්‍යාල බලධාරීහු කියති.

-Advertisement-

ගැරඬිඇල්ලේ බස් අනතුරට හේතුව හෙළිවෙයි

0

ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී පුද්ගලයන් 23 දෙනකුට මරු කැඳවමින් සහ 60 දෙනකුට තුවාල සිදුකරමින් බස් රථයක් පෙරැළීයාමේ සිද්ධියට එම බසයේ රියදුරා සහ තවත් පිරිසක් වගකිව යුතු බව එම අනතුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාවෙන් අනාවරණය කර තිබේ.

පසුගිය 11 වැනි දා කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ NC-1144 අංක දරණ බස් රථ එදින අලුයම 4:45ට පමණ නුවරඑළිය – මහනුවර මාර්ගයේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවිය.

කතරගම ඩිපෝවට අයත් මෙම බසයේ රියදුරා ලෙස සේවය කළේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි. අනතුරින් ඔහු ද ජීවිතක්ෂයට පත්වූයේ ය.

එම අනතුර සම්බන්ධයෙන් පත්කළ පරීක්ෂණ මණ්ඩලයට 06 දෙනකු සිටි අතර ඔවුන් කරන ලද විමර්ශන වාර්තාව මේ වනවිට එළිදක්වා තිබේ.

එම විමර්ශනයේ දී පාරිසරික සහ කාලගුණික තත්ත්වය, මාර්ගයේ ස්වභාවය, අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයේ පිහිටීම සහ රියදුරුවරයාගේ සෞඛ්‍ය තත්ත්වය මෙන් ම නීත්‍යානුකූලභාවය පිළිබඳව ද ‍සොයා බලා තිබූ අතර අනතුරට ලක් වූ බස් රථයේ කොටස් ද පරීක්ෂා කර තිබිණි.

දුර ධාවනයේ දී පැය හතරහමාරක ධාවන කාලයක් සඳහා පැය භාගයක විවේකයක් රියදුරා විසින් ලබාගත යුතුයැයි නිර්දේශයක් ඇතත් මෙම රියදුරා වැලිමඩ ප්‍රදේශයේ දී විවේක ගෙන ඇත්තේ විනාඩි 15ක පමණ කාලයක් බවයි. අනතුර සිදුවන අවස්ථාව වනවිට එම රියදුරා පැය හයහමාරකට අධික කාලයක් අඛණ්ඩව බසය ධාවනය කර ඇති බව ද අනාවරණය වී තිබේ.

ඒ අනුව රියදුරා මෝටර් වාහන පනතේ වගන්ති උල්ලංඝනය කර ඇති බවත් නමුත් අනතුරට හේතු වූ සියලු කරුණු සඳහා රියදුරා තනිව වගකිවයුතු නොවන බවත් පරීක්ෂණ මණ්ඩලය පවසයි.

-Advertisement-

හිටපු ඇමතිවරු දෙදෙනකු දඟගෙට

0

හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු දෙදෙනා බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමට මහේන් වීරමන් ප්‍රමුඛ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (29) නියෝග කළේය.

2015 වර්ෂයේ ජනාධිපතිවරණය පැවැති කාලයේ දී සතොස ආයතනය මගින් කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිල දී ගෙන ක්‍රීඩා සංගම් වෙත බෙදාහැරීමෙන් රජයට රුපියල් ලක්ෂ 530ක පාඩුවක් සිදුකරන ලදැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබිණි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව සිටිය දී මෙම නඩුව විභාග කිරීම ආරම්භ වූ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ධූර කාලයේ දී නඩුව විභාග කර අවසන් කර තිබිණි. ඉන් පසු තීන්දුව ප්‍රකාශ කිරීමට අද (29) දිනය ලබා දී තිබිණි.

මෙම මිලදී ගැනීම සිදුවන කාලයේ දී මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර නලි්න ප්‍රනාන්දු සතොස ආයතනයේ සභාපති සහ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබිණි.

හිටපු වෙළඳාමැති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිරදඬුවම් නියම කළ අතර හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත් ගමගේට බරපතළ වැඩසහිත වසර 20 සිර දඬුවම් නියම කෙරිණි.

අල්ලස් හෝ දූෂණ කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා තිබුණේ මෙම විත්තිකරුවන් තම ධූරයේ බලතල අයුතු ලෙස පරිහරණය කරමින් වැරදි ක්‍රියාවක් සිදුකර ඇති බවයි.

-Advertisement-

ගාලු කොටුවේ හමුදා කඳවුර ඉවතට. ආයෝජන සැළැස්ම ක්‍රියාත්මකයි

0

ගාල්ල කොටුවේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත්කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය කැමැත්ත පළකර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී එහි සභාපති අමාත්‍ය නලින් හේවගේ කීවේය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අමාත්‍ය නලින් හේවගේ සහ දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ මෙම රැස්වීම පැවැත්විණි.

කොටුවේ ඇති සියලු රජයේ කාර්යාල එම කොටුවෙන් ඉවත්කර ගාල්ල කොටුව සංචාරකයන්ගේ ආකර්ශනය සඳහා සුදුසු ආයෝජන වෙනුවෙන් ලබාදීමේ වැඩපිළිවෙල යටතේ මෙම තීරණය ගනු ලබන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ගාල්ල නගරයේ විශාල නාවික කඳවුරක් පිහිටා තිබීම, මූලස්ථාන පොලිසියක් පිහිටා තිබීම යන කරුණු හේතුවෙන් හමුදා කඳවුරක් ගාල්ල කොටුවට අනවශ්‍ය බවත් එය හමුදා මුරපොළක් දක්වා කුඩා කර කඳවුර ඉවත්කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය කැමැත්ත පළකර ඇති බැවින් කොටුවේ ආයෝජන සැළැස්ම ක්‍රියාත්ක කළ හැකි බව ද හෙතෙම කීවේය.

ඒ සඳහා අවශ්‍ය ඉල්ලීම ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ඉල්ලීමක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයට යොමමුකළ යුතුයැයි ද අමාත්‍ය නලින් හේවගේ කීවේය.

-Advertisement-

පළාත් පාලනය තුළ කාන්තා නියෝජනය සැබැවින් ම ප්‍රායෝගික ද

0

සජීව විජේවීර

“තොටිල්ල පදවන අත, ලොව පාලනය කරයි” යනුවෙන් කියමනක් මේ රටේ මුල්බැසගෙන ඇත. එහෙත්, ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරියත්, ලොව ප්‍රථම විධායක ජනාධිපතිවරියත් බිහිකළ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට මෙරට දේශපාලනය තුළ සාධාරණ අයිතියක් තවමත් ලැබී තිබේ ද යන්න ගැටලුවකි.

පළාත් පාලන ආයතනවල නියෝජිතත්වයෙන් 25%ක් කාන්තාවන්ට ලැබිය යුතුයැයි නීතියක් සම්මත වී තිබුණ ද මේ තත්වයට ශ්‍රී ලංකා දේශපාලන තුළ කාන්තාවන් පැමිණියේ ඉතා අසීරු කඩඉම් කිහිපයක් ජයග්‍රහණය කරමිනි.

1912 දී ශ්‍රී ලංකාවට සීමාන්තික ඡන්ද අයිතිය හිමිවුව ද එම අයිතිය කාන්තාවන්ට හිමිවූයේ නැත. ඒ නිසාම පිරිමින්ට මෙන්ම කාන්තාවන්ට ද ඡන්ද අයිතිය අවශ්‍යයැයි අරගල ආරම්භ විය. 1920 දී ලංකා ජාතික කොන්ග්‍රසයේ දී මේ ගැන යෝජනා ඉදිරිපත් වුව ද ඒ සඳහා අවස්ථාවක් නොලැබිණි. නැවත 1925 දී මල්ලිකා කුලඟන සමිතිය සීමාන්තික ඡන්ද බලය මුළු රටේම කාන්තාවන සඳහා දීර්ඝ කරන්න යැයි යෝජනා කළ ද එම උත්සාහය ද සාර්ථක වූයේ නැත.

පාලකයන් ඊට කිසිසේත්ම කැමති වූයේ නැත. එසේ වුව ද දේශපාලනයට සම්බන්ධ පිරිමින්ගේ බිරින්දෑවරුන් සහ ඥාති කාන්තාවන් එක්ව 1927 දී කාන්තා සමජන සංගමය පිහිටුවන ලද අතර 1928 දී එම සංවිධානය ඩොනමෝර් කොමිසම හමුවට ගොස් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පදනම් කරගෙන සියලු කාන්තාවන්ට ඡන්ද අයිතිය දෙන්න යැයි ඉල්ලා තිබිණි.

එම කණ්ඩායමේ නියෝජිතවරියක වූ ඇග්නස් ද සිල්වා පසුව වාර්තා කර ඇත්තේ මේ ආකාරයෙනි.

“අපි ඩොනමෝර් සාමිවරයා හමුවුණේ ආගම සඳහා ගෙන යන යුද්ධයකට සැරසුණු කණ්ඩායමක් වගේ. ඩොනමෝර් සාමිවරයා අපගෙන් ප්‍රශ්න කරමින් විමසා සිටියේ වතුවල වැඩකරන ඉන්දියානු කම්කරුවන්ට ඡන්ද බලය ලබාදීමට කැමති ද ? කියායි. මම ඒ වෙලාවේ උත්තර දෙමින් ඔහුගෙන් පෙරළා ප්‍රශ්න කළා ‘ඇත්තටම ඔවුන් කාන්තාවන් නොවේ ද ?’ යනුවෙන්. අපිට අවශ්‍ය වුණේ සියලු කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබාගැනීමට.”

මේ සටන්වලින් අනතුරුව 1931 දී මෙරට ස්ත්‍රීන්ට ප්‍රථම වරට ඡන්ද අයිතිය ලැබිණි. එතැන් පටන් ගෙවීගිය වසර 94ක කාලයේ දී ස්ත්‍රීන්ගේ දේශපාලන භූමිකාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි ද යන්න ගැටලුවක් අපට තවමත් ඉතිරිව තිබේ.

මෙරට ජනගහණයෙන් 53%කට ආසන්න ප්‍රමාණයක් සිටින්නේ ගැහැනුය. ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 54%කට ආසන්න ප්‍රමාණයක් ද කාන්තාවෝ ය. එහෙත් පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන යන දේශපාලන ව්‍යුහයන් තුළ කාන්තාවට ලැබී ඇති නියෝජනය ප්‍රමාණවත් නොවීමේ ගැටලුවක් තවමත් තිබේ.

මෙය හරවත් සමාජ සංවර්ධන ක්‍රියාවලියකට විශාල බාධාවකි. ඕනෑම රටක දේශපාලන ක‍්‍රමය වඩාත් සාර්ථක වීමට නම් මේ සියළු දෙනාගේ නියෝජනයක් ඒ තුළ අනිවාර්යෙන්ම තිබිය යුතුය. නමුත් එය මෙරට දී එසේ සිදු වී නැත. ඒ සඳහා සමාජ, සංස්කෘතික, ආර්ථික සහ දේශපාලනමය ආදී විවිධ හේතු බලපා ඇති බව පෙනෙන්නට තිබේ.

අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) විසින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල් 190ක් අතරින් කාන්තා නියේාජනය සළකා බැලීමේ දී ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 136 වැනි ස්ථානයයි.

 විදේශ රැකියා, ඇඟලුම් හා වැවිළි කර්මාන්තයේ වැඩිම ශ්‍රම දායකත්වය ලැබෙන්නේ කාන්තාවන්නෙි. ගුරු වෘත්තියේ යෙදී සිටින අයගෙන් 73.2%ක් කාන්තාවන් වන නමුත් විදුහල්පතිනියන් සිටින්නේ 20%කට අඩු ප්‍රමාණයකි. මෙරට විශ්වවිද්‍යාල සිසුන් අතරින් 60%කට වඩා කාන්තාවන්ය. රජයේ සේවකයන් ගෙන් 40%ක් කාන්තාවන් වන අතර පළාත් සභා පමණක් සැළකූ විට පළාත් සභාවලට අයත් රජයේ ආයතනවල සේවය කරන කාන්තාවන්ගේ ප්‍රතිශතය 59.7%කි.

වෛද්‍ය, නීතිඥ වැනි වෘත්තීන් තුළ කාන්තා ප්‍ර‍තිශතය පිරිමි ප්‍ර‍තිශතයට ආසන්න මට්ටමක තිබේ. එවැනි පසුබිමක කාන්තාවන්ට තීරණ ගැනීමේ ව්‍යූහයන් තුළ නිසි තැන ලබා දීම අතිශය වැදගත් වේ.

දේශපාලන නියෝජනය සඳහා කාන්තාවට නීතිමය අයිතියක් ලබාදීමේ ප්‍රථම උත්සාහය ගත්තේ  හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වූ රෝසි සේනානායක මහත්මියයි. ඇය 2013-08-07 වැනි දා පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා පුද්ගලික යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. නමුත් එය පාර්ලිමේන්තුවේ දී සළකා බැලුණේ නැත.

1988 අංක 02 දරණ පළාත් සභා ඡන්ද විමසීම් පනතට සංශෝධන එකතු කරමින් පළාත් පාලන ආයතන සඳහා අවම වශයෙන් 25%ක නියෝජනයක් ඇති කිරීම 2016 වර්ෂයේ දී සිදුකෙරිණි.

පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් විය යුතුයැයි පනත සංශෝධනය කිරීමෙන් පසු මුල්වරට පළාත් පාලන මැතිවරණය පැවැතියේ 2018 වර්ෂ‍යේ දී ය. එම කාලයේ දී පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනයේ ස්වභාවය සහ ඔවුන්ගේ නියෝජිතත්වය කොතෙක් දුරට ප්‍රායෝගිකව සාර්ථක වී තිබේ ද යන්න පිළිබඳ මෙම ලිපිය මගින් විමසා බැලීමට අපේක්ෂිතය.

ඒ සඳහා අප විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 05ක් මූලික කරගනිමිින් අධ්‍යයනය සිදුකරන ලද අතර ඒ සඳහා පළාත් පාලන ආයතනවලට පැරණි වාර්තා පරිශීලනය කිරීම සහ එම ආයතන නියෝජනය කළ කාන්තාවන් සමඟ සම්මුඛ සකච්ඡා ද සිදුකරන ලදී.

මෙම අධ්‍යයනය සඳහා ගාල්ල මහ නගර සභාව, හික්කඩුව ප්‍රාදේශීය සභාව, අක්මීමණ ප්‍රාදේශීය සභාව, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව සහ බද්දේගම ප්‍රාදේශීය සභාව යොදාගන්නා ලදී.

එම ප්‍රාදේශීය සභාවල සමස්ත සභික සංඛ්‍යාව 139ක් වූ අතර එයින් කාන්තා සභිකයන් සිටියේ 33 දෙනෙකි. පිරිමි සභිකයන් සංඛ්‍යාව 106කි. මෙම සංඛ්‍යාව සළකා බැලූ විට එම පළාත් පාලන ආයතන 05 තුළ කාන්තා නියෝජනය 23.74%කි.

පළාත් පාලන ආයතනවලට කාන්තා නියෝජිතයන් පත්වීම සම්බන්ධයෙන් පිරිමි නි‍යෝජිතයන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. ඔවුන්ගේ පොදු මතය වූයේ ඔවුන්ට දේශපාලන දැනුම සහ අවබෝධය නොමැති බවයි. එමෙන් ම ඔවුන් ප්‍රායෝගික නොවන බව ද එම නියෝජිතයන්ගෙන් නැගුණු බරපතල චෝදනාවකි. කාන්තා නියෝජිතයන්ට පළාත් පාලන අයතන තුළ කටයුතු කිරීමට සිදු වූයේ ඔවුන්ගේ පැමිණීම විවේචනය කළ නියෝජිතයන් පිරිසක් සමඟ ය.

ග්‍රාමීය මාර්ග සංවර්ධනය, කසළ කළමනාකරණය,  වීදි පහන් පවත්වාගෙන යාම, ජල නල සහ කාණු පද්ධති සැකසීම, පෙර පාසල් සංවර්ධනය, ඉඩම් සංවර්ධනය, ස්වයං රැකියා සංවර්ධනය ආදී කටයුතු රැසක් අතර කාන්තාවන්ගේ අභිවෘද්ධිය සළස්වන සේවාවන් පිළිබඳ ප්‍රාදේශීය සභාවල දී යෝජනා සහ අදහස් මතු වී ඇත්නම් ඒ ඉතාමත් අල්ප වශයෙනි. කාන්තාවන් ප්‍රාදේශීය සභා නියෝජනය කිරීමට පැමිණිය ද කාන්තාවන්ගේ ගැටලු ගැන අවධානයට හසු වී නැති තරම්ය.

අපගේ නිරීක්ෂණයට ලක්වූ පළාත් පාලන ආයතන 05හි වාර්තා පරිශීලනය කළ විට පෙනී යන්නේ සභා රැස්වීම් අවස්ථාවල දී යෝජනා, අදහස් සහ තර්ක විතර්ක ගෙන එන්නේ පිරිමි නියෝජිතයන් බවයි. එකම පිරිසක් නිතර නිතර කතා කරමින් කාලය ගත කරයි. කාන්තා නියෝජිතයන් සභා රැස්වීම්වල දී දක්වා ඇත්තේ ඉතාමත් අඩු දායකත්වයකි.

එමෙන් ම කාන්තාවන් ගෙන එන ඇතැම් යෝජනා ද සභාවේ දී අනුමත නොවී යටපත් වේ. මෙම පළාත් පාලන ආයතන 05 තුළම කාන්තා කමිටු පත්කිරීමට යේජනා ගෙනවිත් තිබුණ ද ඒ යෝජනා ක්‍රියාත්මක වී නැත. සභාවේ ඇති අනෙකුත් කමිටු සැළකූ විට ඒ කිසිම කමිටුවක සභාපති ධූරයක් කිසිදු කාන්තාවකට හිමිව නොතිබීම ද විශේෂත්වයකි.

සෑම විටම ස්ත්‍රී පක්ෂයේ දුර්වලතා මතු කර පෙන්වන පිරිමි මන්ත්‍රීවරුන් ඇය තුළ ඇති ගුණාත්මක තත්වයක් අගය කිරීමට ලක් නොකරයි. එසේ නම් ප්‍රාදේශීය සභා තුළ ස්ත්‍රී පුරුෂ සමාජ භාවිය සාධාරණත්වය ක්‍රියාත්මක වේ යැයි කීමට හැකියාවක් නැත.

කාන්තාවන් වෙනුවෙන් පළාත් පාලන ආයතනයකට කළ හැකි බොහෝ දේ ඇතත් සභාවේ සිටින කාන්තා නියේජිතයන් හෝ එවැනි ප්‍රශ්න ගැන සංවේදී වී නැත. ඒවා ගැන කිසිදු හඬක් නංවන්නට පළාත් පාලන ආයතන තුළ ඉඩක් ලැබී නැත.

2018 දී එක්සත් ජාතික පක්ෂයෙන් බද්දේගම ප්‍රාදේශීය සභාවට පත්වී නියෝජිතවරියක් ලෙස කටයුතු කළ රන්මලී ආනන්දගොඩ මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එම සභාවට පත්ව සිටියි. ඇය මෙසේ කීවාය.

“මම බද්දේගම ප්‍රාදේශීය සභාව නියෝජනය කළේ. අපේ සභාවේ නියෝජිතවරියන් 07 දෙනෙකු හිටියා. මුල් කාලයේ සභාව තුළ අපි නැගිට්ටත්, ඔන්න පටන් ගත්තා වැඩකට නැති දේවල් කියවන්න කියමින් අපිව පිටිපස්සට තල්ලු කරා. සභාවේ කමිටු පත්කරද්දී ඒ කිසිම කමිටුවක සභාපති උප සභාපති ධූර කාන්තාවන්ට දුන්නේ නෑ. මගේනම් අදහස සභාවක සභාපති ධූරයට, උප සභාපති ධූරයට පවා කාන්තා නියෝජිතවරියන් සුදුසුයි. නමුත් අවස්ථාව දෙන්නේ නෑ. මේකේ තියෙන්නේ පුරුෂාධිපත්‍යයක්. 2018 දී කිව්වේ අපිට අත්දැකීම් නෑ කියලා. දැන් අපිට අත්දැකීම් තියෙනවා. මම මෙවර දෙවැනි වරට සභාව නියෝජනය කරනවා. බද්දේගම සභාවේ ඉතාමත් හොඳින් මුදල් උපයන ඒ වගේ ම පෝෂ්‍යදායී ආහාර සපයන හෙළ බොජුන් හළ මගේ යෝජනාවක්. අපි කාන්තා කමිටු යෝජනා කළා. ඒවාට ඉඩක් ලැබුණේ නැහැ. මම පුද්ගලිකව හිතනවා කාන්තා නියෝජනයට තවමත් ප්‍රාදේශීය සභාවල තියෙන පුරුෂාධිපත්‍යය නිසා ප්‍රමාණවත් අවස්ථාවක් ලැබෙන්නේ නෑ කියලා”

කාන්තාවන්ට සංවේදීව ක්‍රියාත්මක වූ ව්‍යාපෘති වශයෙන් සෞඛ්‍ය, අත්කර්මාන්ත, දේශීය ආහාර අළෙවි සැල්, පෙරපාසැල්, ගෙවතු වගා, වැනි ව්‍යාපෘති ප්‍රාදේශීය සභා තුළ ක්‍රියාත්මක කෙරිණි. එහෙත් ඒම ව්‍යාපෘති කාන්තාවන්ට සංවේදී මට්ටමින් ගොඩනැගුණු ව්‍යාපෘතීම යැයි හැඳුන්වා දිය නොහැක.

ගාල්ල මහ නගර සභාවේ නි‍යෝජිතවරියන් සභා රැස්වීම්වලට සහභාගී වූ මුල් අවස්ථාවල දී කිසියම් පසුගාමී තත්වයක සිටිය ද පසුව ඔවුන් ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටුකළ බව පෙනෙන්නට තිබේ. ඔවුන් ක්‍රම ක්‍රමයෙන් දේශපාලනයට අනුවර්තනය වෙමින් සිටි බවක් නිරීක්ෂණය කළ හැකිය. මුලදී සභාවල කාන්තා නියෝජිතයන් නොතකා කටයුතු කර තිබුණ ද පසුව ඔවුන්ගෙන් එන යෝජනා සළකා බැලීමට පෙරළඹී ඇති බව ද පසුකාලීන සභා වාර්තා පිරික්සීමේ දී පෙනීයන වැදගත් කරුණකි.

ගාල්ල මහ නගර සභාවට ජාතික ජන බලවේගයෙන් පත්ව සිටින නිශාන්ති ප්‍රදීපිකා මෙසේ කීවාය.

“ඇත්තට ම කාන්තාවන් වන අපිට අවස්ථාවක් දුන්නේම නෑ. අපිට කතා කරන්නවත් අවස්ථාවක් නෑ, අපි ආවේ ලැයිස්තුවෙන් නිසා අපි නැගිටින කොටත් කියන්නේ පිං මන්ත්‍රීලා කියලා. ඒත් ලැයිස්තුවෙන් ආපු පිරිමි නියෝජිතයන්ට එහෙම කිව්වේ නෑ. මේක හරිම අසාධාරණ තත්වයක්. මම ළමා හා කාන්තා කමිටු පිහිටුවන්න අවස්ථා කිහිපයක දී ම යෝජනා කළා. කොමසිරිස්වරු පවා කීවා ඒක කරන්න පුළුවන් කියලා. නමුත් සභාවෙන් ඉඩක් දුන්නේ ම නැහැ. ඇතැම් දේශපාලන පක්ෂවල ඉහළ දේශපාලන නායකත්වයට ඕන වුණේ කාන්තා නියෝජිතයන් එයාලගේ පදයට නටන පිරිසක් බවට පත්කරන්න. අපේම ඇතැම් නියෝජිතයන් හිටියා පළමු අවුරුද්ද ඇවිත් කතා බහ කළා නමුත් පස්සේ එනවා යනවා විතරයි. නමුත් මම නම් අත්දැකීම් ලබමින් බොහෝ දේවල් කරන්න උත්සාහ ගත්තා. මම කාන්තාවන් වෙනුවෙන් කරපු යෝජනාවලට පවා සහයෝගය නොදුන් කාන්තා නියෝජිතවරියන් ගාල්ල මහ නගර සභාවේ සිටියා.”

පළාත් පාලන ආයතන නියෝජනය කළ කාන්තාවන් ම පවසන්නේ ඔවුන්ට පිරිමි නියෝජිතයන් සමඟ කරටකර කටටයුතු කිරීමට නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සැළකිල්ලක් ලැබිය යුතු බවයි. එමේනම දේශපාලන පුහුණුවක්, ඉංග්‍රීස සහ තාක්ෂණික උපකරණ පිළිබඳ පුහුණුවක් අවශ්‍ය බව ද ඔවුහු පෙන්වා දෙති.

ඒ ඒ දේශපාලන පක්ෂවල ඇති පිරිමි මූලික කරගත් ගතානුගතික අදහස්වලින් මිදීමට මේ කාන්තාවන්ට අවශ්‍යව ඇත. සම්ප්‍රදාය බිඳ දමමින් ස්ත්‍රියක ලෙස සමාන සාධාරණ සමාජයක් ගොඩනැගීමේ අභිමතාර්ථය ඔවුන් සතුව ඇත.

පළාත් පාලන ආයතනයක ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව සියලු නියේජිතයන්ට සමාන අවස්ථා හිමිවිය යුතුය. නමුත් මේ සඳහා පරිමි නියෝජතයන් ද දැනුම්වත් කළ යුතුව ඇත.  

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ හිටපු නියෝජිත ටෙක්ලා ශ්‍යාමලී ගීගනගේ මෙසේ කීවාය.

“මම නම් සභාවට ගියපු දවසේ ඉදලා කතා කළා. අපිටත් මුල දී කෑ ගැහුවා ගෑනු මොනවද දන්නේ, අත්දැකීම් නෑ. පිනට ලැබුණු මන්ත්‍රී කම්, පිරිමින්ට විතරයි මේවා කරන්න පුළුවන්. එයාලගේ අවස්ථාව අපි නැති කළා වගේ කතාවල් කියමින්. මමනම් ඒවා කිසිවක් ගණනකට ගත්තේ නෑ, මම අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පවා ප්‍රතිපාදන ඉල්ලගෙන ප්‍රදේශයට වැඩ කළා. මගේ යෝජනා කොහොම හරි සටන් කරලා සම්මත කරගත්තා. අපි බලපෑම් කරනවානම් පිරිමි නියෝජිතවරුන්ගේ සහයෝගය ගන්න පුළුවන් වෙනවා.”

ස්වාධීන කණ්ඩායම්වල සහ සුළුතර පක්ෂවල නියෝජිතයන්ට සභාව තුළ පිළිගැනීම අල්ප බව  ද පෙනෙන්නට තිබේ. එමෙන් ම ලැයිස්තුවෙන් පත්වූ නියෝජිතයන් ද දෙවැනි පෙළට තල්ලුකර දමා ඇත. පළාත් පාලන ආයතනවලට කාන්තාවන් වැඩි ප්‍රමාණයක් පත්ව ඇත්තේ සමගාමී ලැයිස්තුවෙන් බැවින් ඔවුන් සභාව තුළ දෙවැනි පෙළට ඇද දැමීම නිරන්තරව ම සිදුවෙයි. කොට්ඨාසයක් ජයග්‍රහණය කර පැමිණි අය තමන් වැදගත්කොට සැළකීමටත් එසේ පෙනී සිටීමටත් උත්සාහ ගෙන ඇත.

සියලු කාන්තා නියෝජිතයන් ප්‍රධාන පක්ෂවලින් තෝරාගන්නා ලද අය වූ අතර සුළු පක්ෂවලින් කාන්තා නියෝජනයක් පළාත් පාලන ආයතනවල නැත.

ගැමි කාන්තා පෙරමුණ දකුණු පළාතේ පළාත් පාලන ආයතනවල නියෝජිතයන් පුහුණු කිරීම් සහ ඔවුන්ට අවශ්‍ය දැනුම ලබාදීම සිදුකළ ආයතනයකි. එහි විධායක අධ්‍යක්ෂිකා ශ්‍රියානි පතිරගේ මෙසේ පවසයි.

“කාන්තාවට දේශපාලනය සඳහා දායක වීමට ඇති අවස්ථාව ප්‍රමාණවත් නැහැ කියන එක තමයි අපේ නම් අදහස. 25%ක කෝටාවක් ලැබීම නිසා සාපේක්ෂව නියෝජනය වැඩි වුණා. ඒක ලොකු ජයග්‍රහණයක්. නමුත් ඒ අවස්ථාව දීම ගැනත් පිරිමි පාර්ශවයෙන් සහ දේශපාලන පක්ෂවලින් විශාල විරෝධයක් ආවා. ඔවුන්ට මුලින් කතා කරන්නවත් දුන්නේ නෑ, ඒ නිසා අපි එම නියෝජිතවරියන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් දිගින් දිගටම පැවැත්වුවා. මේ නිසා ටික කාලයක් යන විිට ඒ කාන්තාවනුත් දේශපාලන කටයුතු සඳහා හොඳින් හුරු වුණා. ප්‍රශ්න අරගෙන ඒවා කොහොමද කතා කරන්නේ, ජනතාව වෙනුවේන වැඩ කරන්න් කොහොමද කියලා ඔවුන්ට දැන් හොඳ අත්දැකීමක් තියෙනවා. නමුත් මේ ලැබී ඇති අවස්ථාවෙන් ඇත්තටම 10%ක් වගේ තමයි ප්‍රයෝජන අරගෙන තියෙන්නේ. දේශපාලනයේ තව ඉස්සරහට මේක තල්ලු කරගෙන යන්න ඕන. ප්‍රජාවගේ ප්‍රශ්න ගැටලු වෙනුවෙන් හරියට පෙනී සිටින්න ඕන. දූෂිත දේශපාලනය වෙනුවට ඒ අය ප්‍රජාව‍ගේ පැත්තෙන් තවත් ශක්තිමත්ව කටයුත ුකරන්න අවශ්‍යයි.”

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ට කතිකාචාර්ය ධම්ම දිසානායක මෙසේ කීවේය.

“ලෝකයේ සෑම රටකම වාගේ ‍දේශපාලනය සඳහා කාන්තා නියෝජනය ඉතාමත් අඩු මට්ටමක තියෙන්නේ. විශේෂයෙන් ම දකුණු ආසියාතික රටවල ඇති ගතානුගතික වැඩවසම් ලක්ෂණ නිසා කාන්තාවට මේ අවස්ථාව අහිමි වෙනවා. පසුකාලීනව ලෝකය පිළිගන්නවා කාන්තාවට දේශපාලනයට වැඩි අවස්ථා ඇතිවිය යුතුයි කියලා ඉන්දියාවේ ද කාන්තාවන් සඳහා කෝටා ක්‍රමයක් ලබාදෙනවා. ලංකාවේත් එවැනිම කෝටා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. පිරිමි හැමදාම කළේ ගැහැනුන්ගේ මාවත් අවහිර කරන එක. දේශපාලනයේ දී ද කාන්තාවන්ට මොළේ නෑ, වැඩ බෑ, අත්දැකීම් නෑ, කියමින් මාර්ගය අවහිර කරන්න උත්සාහ ගත්තා.  දේශපාලනයට ආපු පිරිමි හැමෝටම අත්දැකීම් තිබුණ ද අත්දැකීම් ගන්න දේශපාලන ක්‍රියාවලියට ඇතුළු වෙන්න ඕන. ප්‍රාදේශීය ආණ්ඩුවල පිරිමි කරපු දේවල් සදාචාර විරෝධීයි යහආණ්ඩුකරණයට හිතකර නෑ, ප්‍රාදේශීය සභාවකට මහා නගර සභාවකට වුණත් රාජකාරියක් කරන්න ගියාම සිදුවන නීති විරෝධී ක්‍රියා ගැන රහසක් නෙවෙයි. කාන්තාවන්ට අත්දැකීමක් නෑ කියන එක ඉතාමත් ලාබාල බොළඳ බරක් නැති චෝදනාවක්.”

පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක අවස්ථාවක් ලැබීමෙන් පසු දෙවැනි වරටත් පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන්ව තිබේ. එදා අත්දැකීම් නැතැයි කියූ කාන්තාවෝ රැසක් සමඟ නවක  මුහුණු රැසක් ද දැන් පළාත් පාලනය සඳහා නියෝජිතවරියන් ලෙස සුදුසුකම් ලබා තිබේ.

කාන්තාවට හිමි වූ අවස්ථාවේ වැදගත්කම ලෝකයට පෙන්වා දීමටත් ඉන් නිසි ප්‍රයෝජන ගැනීමටත් නැවත කාන්තාවන්ටම අවස්ථාව උදා වී ඇත. එය යතාර්ථයක් කරගැනීම දේශපාලනයට පිවිසි කාන්තාවනගේ ම කාර්යයක් වනු ඇත.

-Advertisement-

ශෙයික් හසීනාගෙන් යුනුස්ට චෝදනාවක්

0

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ශෙයික් හසීනා එරට අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබේ.

ඇය පවසන්නේ යුනුස් රට අමෙරිකාවට විකුණා අන්තවාදී කණ්ඩායම්වල උදව්වෙන් බලය අල්ලා ගත් බව‍ය.

දෙසැම්බර් මාසය වන විට මැතිවරණය පවත්වන ලෙස බංග්ලාදේශයේ හමුදා ප්‍රධානියා ප්‍රකාශයක් සිදු කර ඇති පසුබිමක හසීනාගේ මෙම ප්‍රකාශය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හසීනා සිය පියා වන ෂෙයික් මුජිබර් රහ්මාන් සම්බන්ධයෙන් ද පවසමින් කියා සිටියේ ශාන්ත මාටින් දූපත එක්සත් ජනපදයට භාර දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට ජීවිතය අහිමි වූ බවය. 

-Advertisement-

බංග්ලාදේශ අර්බුද හමුවේ යුනුස් ධුරයෙන් යයිද ?

0

විවිධ චෝදනාවලට ලක්වී සිටින රජයේ නිලධාරීන් කෙටි විමර්ශනවලින් අනතුරුව සේවයෙන් පහ කිරීමට අවස්ථාව ලබාදෙන නියෝගයක් බංග්ලාදේශ අන්තර්වාර රජය පසුගියදා නිකුත් කළේය.

ඒ එරට පවතින නිලධාරිවාදය මර්දනය කිරීමේ අරමුණින් යුතුවය.

ඊට සමගාමීවම රජයේ දැඩි පියවරවලට එරෙහිව එරට නැවතත් විරෝධතා ආරම්භ වූයේ රජයේ සේවකයින්, ගුරුවරුන්, දේශපාලන පක්ෂ සහ හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.

බංග්ලාදේශ රජයට එරෙහි විරෝධතාවලට පෙරපාසල් ගුරුවරුන් ද සහාය පළකර තිබේ.

මේ අනුව වත්මන් මොහොමඩ් යුනුස් රජය දැඩි අසීරුතාවකට පත්වී සිටින අතර, පවතින අවදානම හමුවේ බංග්ලාදේශ නායකයා ධුරයෙන් ඉවත්වී යාමේ අවධානමක් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

-Advertisement-