-0.1 C
New York
Home Blog Page 24

ගවයකුගේ කඹයක පැටලී දරුවකුට දිවි අහිමි වෙයි

0

ගවයකුගේ ගෙල බැඳ තිබූ කඹයක පැටලීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි පාසල් සිසුවකු මියගොස් ඇතැයි අනුරාධපුර ‍ශික්ෂණ රෝහල් ආරංචිමාර්ග පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර, විහාරපාළුගම, විද්‍යාරාජ විද්‍යාලයේ 04 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.

පසුගිය 13 වැනි දා ඔහු තම නිවස අසළ යහළුවන් සමඟ එක් වී අසල්වැසි නිවසක ඇතිකරන ගවයකු සමඟ සෙල්ලම් කරමින් සිට ඇත. එම අවස්ථාවේ දී කුලප්පු වූ ගවයා මාාර්ගය දිගේ දිවගොස් ඇති අතර ගවයාගේ ගෙල බැඳි කඹයේ පැටලුණු සිසුවා ද මීටර 900ක පමණ දුරක් ගවයා සමඟ ඇදී ගොස් තිබිණි.

බරපතල තුවාල ලැබූ දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (14) මියගිය බව පොලිසිය පවසයි.

-Advertisement-

ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටේ

0

ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබූ හෙලික‍ොප්ටරයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් දරුවකු ඇතුළු 07 දෙනකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම හෙලිකොප්ටරය කඩා වැටී ඇත්තේ වනාන්තර ප්‍රදේශයකට ය.

උත්තරාකන්ඩි සිවිල් ගුවන් සේවා අධිකාරිය අනතුර සම්බන්ධව පවසා ඇත්තේ මෙම අනතුර සිදුව ඇත්තේ අද අලුයම 5.20ට පමණ බවයි. අනතුර සිදුවන අවස්ථාවේ දී  නියමුවා ඇතුළු මියගිය පිරිස උත්තරාකණ්ඩි, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට සහ ගුජරාටි ප්‍රදේශවල අය බව ද අනාවරණය වී ඇත.

තාක්ෂණික දෝෂයක් සහ කාලගුණික තත්වයන් මෙම අනතුරට හේතුවන්නට ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය මාධ්‍යයට පවසා ඇත.

-Advertisement-

පුද්ගලයකු කපා කොටා ඝාතනය කරලා

0

යාපනය, ඉරුපලේ, මඩතඩි ප්‍රදේශයේ දී ඊයේ (14) සවස පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි කෝපායි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක තිදරු පියෙකි. දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළේය.

ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහ‍ලේ දී සිදුකිරීමට නියමිතය.

කෝපායි පොලිසිය පවසන්නේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කර ඇති බවයි.

ප්‍රසන්න ප්‍රදීප් විසිනි

-Advertisement-

වෛද්‍යවරු දන්සැල් වන්දනාවේ ගිහින්, ප්‍රතිකාර නැතිව තිදරු මවක් මරුට

0

වෛද්‍යවරුන් දන්සැල් වඳින්න යාම හේතුවෙන් තම මවට ජීවිතය අහිමිවූවා යැයි හලාවත දිස්ත්‍රික් රෝහලේ දී මියගිය තිදරු මවකගේ දියණිය චෝදනා කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ කේ.අනූෂා විතාන නමැති (46) නමැති නාත්තණ්ඩිය යටකලාන ප්‍රදේශයේ පදිංචි තිදරු මවකි.

හලාවත දිස්ත්‍රික් රෝහලේ 05 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි ඇයගේ තත්වය අසාධ්‍ය වී හුස්ම ගැනීමේ අපහසුතා සහ ආහාර ගැනීමට නොහැකි තත්වයක් උදා වූ අවස්ථාවේ දී ඇගේ දියණිය ඒ බව වාට්ටුවේ වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ට කීව ද ඔවුන් කිසිවකු රෝගියා පරීක්ෂා කර නැත.

මියගිය කාන්තාවගේ දියණිය වෛද්‍යවරුන්ට තම මවට අසාධ්‍ය බව කියමින් ඇවිටිලි කරන අවස්ථාවේ දී එම වෛද්‍යවරු දන්සැල් වන්දනාවේ යාම සම්බන්ධ කතිකා කරමින් සිට දන්සැල් වෙත පිටත්ව ගිය බවයි.

එමෙන් ම සිය මව රෝහල්ගතව සිටි දින කිහිපයේ දී ම තම මවට නිසි ප්‍රතිකාරයක් නොලැබුණු බවත් හෙදියන්ට මවගේ තත්වය පවසන සෑම අවස්ථාවක දී ම අමානුෂික ලෙස බැන වදින බවත් දියණිය පවසයි.

“අම්මා හැම තිස්සේම කිව්වා මට අමාරුයි. මොනවා හරි කරන්න කියලා. නර්ස් කෙනෙකුට කියන්න කිව්වා. නර්ස්ලාට කිව්වාම එයාලා අහනවා මම විතර ද ඉන්නේ වෙන කාටහරි කියන්න කියලා. අන්තිමේ දී අම්මා කිව්වා දුවේ මේ අය මාව බලන්නේ නෑ මම කැඳ එකක් බීලා හරි සුප් එකක් බීලා හරි පන ගන්නම් කියලා. අම්මාගේ ඇඟටට පන නැතිව වෙව්ලමින් හිටියේ. අම්මා වෙව්ලනවා. මට බලාගෙන ඉන්න බැරිව දොස්තරලාට පින්සෙණ්ඩු වුණා. ඒත් එයාලා බැලුවේ නෑ. දොස්තරලා දන්සැල් වදින්න යන්න කතා කර කර ඉදලා දන්සැල්වලට යනවා කියලා පිටත්වෙලා ගියා. මගේ අම්මාව බැලුවේ නෑ. එක දොස්තර කෙනෙක් නම් දවසක් අම්මාව පොඩ්ඩක් බලලා පැනඩෝල් බිව්වම හරියාවි කියලා පැනඩෝල් දුන්නා.”

ඇය පවසන්නේ තම වමගේ අතේ සේලයින් දැමීමට අවශ්‍ය උපාංග සවිකර තිබුණ ද සේලයින් ලබා නොදුන් බවයි.

මෙම කාන්තාව මැයි මාසයේ දී කුඩා සැත්කමකට භාජනය වී ඇති අතර ඉන්පසු ජුනි මස 06 වැනි දා සිරුරට දැඩි වෙහෙසක් සහ පණ නැති ගතියක් ඇතිවීම නිසා මාරවිල මූලික රෝහලට ගොස් තිබිණි. එහි දී මාරවිල රෝහලෙන් පවසා තිබුණේ ඇගේ රුධිරයේ ප්‍රශ්නයක් තිබිය හැකි බැවින් හලාවත දිස්ත්‍රික් රෝහලේ සායනයට යන ලෙසයි. ඒ අනුව ඇය හලාවත රෝහලේ සායනයට පැමිණි විට රෝහලේ නතර කරගෙන තිබිණි.

මියගිය කාන්තාවගේ දියණිය පවසන්නේ සිය මවට දැඩි කැස්සක් තිබූ අතර සෙම සමඟ රුධිරය ද වරින් වර පිටවූ බවයි. එමෙන් ම පපුවේ පැත්තක් රිදෙන බව පවසමින් සිය මව වේදනාවෙන් සිටි බවත් ඇය කියයි.

වෛද්‍යවරුන් දන්සැල් වන්දනාවේ යද්දී සිය මව කිසිම ආහාරයක් ගැනීමට නොහැකි තත්වයට පත්ව තිබූ බවත් එවිට හෙදියන් කීවේ ගැස්ට්‍රයිටිස් විය හැකි බවත් දියණිය පවසයි.

හලාවත රෝහලේ දී ඇගේ හෘදයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා ඊසීජී වාර්තාවක් ලබාගෙන ඇති අතර එහි ගැටලුවක් නැති බව ද පවසා කිසිදු ප්‍රතිකාරයක් ලබා දී නැත.

“මගේ අම්මා බෙහෙත් ඉල්ලන වෙලාවට, කෙඳිරිගාන වෙලාවට දොස්තරලත්, නර්ස්ලත් අම්මටත් මටත් බණිනවා. එයාලා බෙහෙත් දුන්නේ නෑ. වෛද්‍යවරු දන්සැල් වදින්න යනවා කියලා ගියපු දවසේ අම්මා ගාව හිටියේ මගේ ලොකු අම්මා.”

මියගිය කාන්තාවගේ සැමියා නන්දන නානායක්කාර මෙසේ කීවේය.

“මාරවිල මූලික රෝහලටට ගියේ කැරකිල්ල ගතියක් නිසා. ඒ රෝහලෙන් කිව්වා පිටින් ලේ වාර්තාවක් අරගෙන එන්න කියලා. ඒ වාර්තාව අරගෙන ගියාම ලේ අඩුයි කියලා හලාවතට යන්න කිව්වා. ඒ නිසා තමයි අපි හලාවතට ආවේ. හලාවත රෝහලෙන් ම‍ගේ නෝනාට හරියට ප්‍රතිකාර ලබාදුන්නේ නෑ. මම මේ වාට්ටුවේ ඉන්න වෛද්‍යවරුන්ට වැඳ වැටෙමින් කිව්වා මට නෝනාව කොළඹ අරගෙන යන්න දෙන්න කියලා. ඒත් ඒකට ඉඩ දුන්නේ නෑ. එයාව කොළඹ අරගෙන ගියානම් බේරාගන්න තිබුණා. බොරු කිය කියා වාට්ටුවේම තියාගෙන හිටියත් ප්‍රධාන වෛද්‍යවරු කවුරුවත් මගේ නෝනාව පරීක්ෂා කළේ නෑ. 11 වැනි දා උදේ මම එයාව බලන්න රෝහලට යනවිට ඔක්සිජන් දීලා  තිබුණා. නර්ස්ලා නෝනාට කිව්වා ඇස් ඇරගෙන ඉන්න කියලා. මගේ නෝනා ඇස් ඇරලා මට මොනවාද කියන්න හැදුවා. ඒත් කියපු දේ තේරුණේ නෑ. ටිකකින් ඇස් පියාගත්තා. නර්ස්ලා දෙන්නෙක් ඇවිත් කෘතිම ශ්වසනය දුන්නා. ඒ කෘතිම ශ්වසනය දෙද්දී මම කෑ ගැහුවා දොස්තරලා බලන්නේ නැද්ද කියලා. දොස්තර කෙනෙක් එන්න පැය භාගයකට වඩා ගියා. දොස්තර නෝනා කෙනෙක් ඇවිත් කිව්වා දැන් එයා මියගිහින්, ඒ නිසා වැඩක් නෑ කියලා.”

මෙම මරණය සම්බන්ධයෙන් අප හලාවත දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායකගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බවයි.

“මම මේ ගැන සොයා බැලුවා. වෛද්‍යවරු නිසි ප්‍රතිකාර නොකළා කියා රෝගියාගේ ඥාතීන්ගේ චෝදනාවක් තියෙනවා. ඒ නිනසා අපි සියලු පාර්ශව සමඟ කතා කරලා විධිමත් පරීක්ෂණයක් කරනවා.”

මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණයක් පවත්වා තිබේ. එම වාර්තාවේ දැක්වෙන්නේ රෝගියා නිව්මෝනියා තත්වයකින් මියගොස් ඇති බවයි. කෙසේ වෙතත් රුධිරයේ ගැටලුවක් ඇති බව සඳහන් වූ බැවින් මියගිය තැනැත්තියගේ පටක සාම්පල වෛද්‍ය රසායනාගාරය වෙත යවා ඇති බව ද අධ්‍යක්ෂවරයා කීවේය.

එම වාර්තා ද ලැබුණු පසු අවසන් නිගමනයකට එළැඹීමට හැකිවනු ඇතැයි වෛද්‍ය අත්තනායක පවසයි.

මේ සම්බන්ධයෙන් Moj onews Youtube නාලිකාවේ පළකර ඇති වීඩියෝව පහතින්

-Advertisement-

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දකුණු අප්‍රිකාවට

0

ලෝක ටෙස්ට් ශූරතාව දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (14) සමත්විය. ඔවුන් හමුවේ ඕස්ට්‍රේලියාව කඩුලු 05ක පරාජයක් ලබමින් 2023-2025 ලෝක ටෙස්ට් අනුශූරයන් බවට පත්විය.

මෙම තරඟය පැවැතියේ එංගලන්තයේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් කොතරම් දක්ෂතා දැක්වුව ද ඔවුන්ට මේ දක්වා ම කිසිම ලෝක කුසලානයක් දිනා ගැනීමට නොහැකි වූ බැවින් “ක්‍රිකට් ලෝක කුසලාන ශාපය” ලැබූ රටක් ලෙස දකුණු අප්‍රිකාව ප්‍රචලිතව තිබිණි.

පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 212ක් රැස්කළ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලු දෙනා ම ලකුණු 138කට දැවී ගියේ ඕස්ට්‍රේලියානු බලාපොරොත්තු ඉහළ නංවමිනි.

පළමු ඉනිමේ ලකුණු 74ක වාසියත් සමඟ දෙවැනි ඉනිම ආරම්භ කළ ද ඕස්ට්‍රේලියාවට එම ඉනිමේ දී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 207ක් පමණි. ඒ අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 282ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය.

තුන්වැනි දිනය වූ ඊයේ (12)  තරඟය අවසන් කරනවිට දකුණු අප්‍රිකාව කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 213ක් ලබා සිටියේ පහසු ජයග්‍රහණයක් වෙත ගමන් කරමිනි.

අද සිව්වැනි දිනයේ දී තවත් ලකුණු 69ක් ලබාගැනීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඒඩියන් මාක්‍රම් පන්දු 207කින් ලකුණු 136කි ලබාගනිමින් ජයග්‍රහණයේ නියමුවා වුව ද ජයග්‍රහණය පෙනි පෙනී ඔහු දැවී ගියේය. ඔහු දැවීයන විට තුන්වැනි කඩුල්ල සඳහා ටෙම්බා බවුමා සමඟ ලකුණු 147ක සම්බන්ධතාවක් පවත්වා තිබිණි.

ඉන් අනතුරුව මුම්බා ද ලකුණු 66කට පිටියෙන් ඉවත්කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත්වුව ද දකුණු අප්‍රිකාවේ ජයග්‍රහණය වැළැක්වීමට එය ප්‍රමාණවත් වූයේ නැත.

ටෙස්ට් ලෝක ශූරයන් සඳහා පිරිිනමන ඇමෙරිකානු ඩොලර් මිලියන 3.66ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කේටි 108කට ආසන්න මුදල දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමිවිය.

දකුණු අප්‍රිකාව ක්‍රිකට් ආකෘති ත්‍රිත්වය යටතේම ලෝක කුසලාන අවසන් මහා තරගයක්, අවසන් පූර්ව තරග 12ක් හා අර්ධ අවසන් පූර්ව තරග 2ක් ක්‍රීඩාකර තිබුණි නමුත් ඔවුන්ට ලෝක කුසලානයක ජයග්‍රහණය හිමිවූයේ මෙම තරඟයෙනි.

-Advertisement-

ඉරානයෙන්, ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක්

0

ඊශ්‍රායලයේ හමුදා කඳවුරු සහ ගුවන්තොටුපොළ ඉලක්ක කරගනිමින් ඉරානය විසින් බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත.

ඊයේ (13) රාත්‍රී ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ලකරන්නේ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බව ඉරානයේ නායකයා වන අයතුල්ලා අල් කමෙනි කියා සිටියේ ය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ඊයේ (13) ඉරාන අගනුවර වන ටෙහරාන හා නටාන්ස් න්‍යෂ්ටික භූමිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන හමුදා ප්‍රධානීන් තිදෙනෙකු, විද්‍යාඥයින් හය දෙනෙකු මියගොස් තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා විය.

ඉරානය එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් ජෙරුසලමේ පිපිරීම් කිහිපයක් සිදුව සිදු වූ බවත්, ඊශ්‍රායල් අගනුවර වන ටෙල්අවිව්හි අහස උසට කළු දුමාරයක් නැඟී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 40කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවත්, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ දැනට තොරතුරු ලැබී ඇත.

ඊශ්‍රායලයේ රාමත්ගාන් නගරයට එල්ල වූ ඉරාන මිසයිලයකින් එහි ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

මෙම ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු ඉරාන වැසියන් වීදි බැස සිය සතුට ප්‍රකාශ කරන ආකාරය ද විදෙස් මාධ්‍යවල ප්‍රචාරය කෙරිණි.

-Advertisement-

රජයේ රෝහල්වල දැඩි ඖෂධ හිගයක්, පිළිකා ප්‍රතිකාර සීමා කරයි. වකුගඩු, දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ නෑ

0

රජයේ රෝහල්වල ඖෂධ වර්ග රැසක් මේ වනවිටට නොමැති බව රජයේ ‍ඖෂධවේදීන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරන්ගේ සංගමය (GMOA) චෝදනා කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසා සිටියේ, මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 180ක හිඟයක් පවතින බවයි. මෙම ඖෂධ මේ වනවිට රෝහල්වල ද හිග වී තිබේ.

ප්‍රතිජීවක ඖෂධ, අධි රුධිර පීඩනයට, දියවැඩියාවට, වකුගඩු රෝගීන්ට සහ පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධවල දැඩි හිඟයක් පවතී.

පිළිකා රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ්‍යක් වන ග්‍රැනියුලෝසයිට් කොලනි ස්ටිමියුරේටින් ෆැක්ටර් කියන ලේ වර්ධනය දෙන ඖධධය මේ වනවිට රජයේ කිසිම රෝහලක හෝ ඖෂධ ගබඩාවක මාසයක කාලයක් සිට නොමැත. මේ හේතුවෙන් පිළිකා රෝගීන්ට කිමෝ තෙරපි ප්‍රතිකාරය ලබාදීම පවා නතර වී තිබේ. ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාර ලබාදෙන සියලු රෝහල්වල ප්‍රතිකාර කටයුතු මේ නිසා සීමා කර ඇති බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එමෙන් ම පිළිකා රෝගීන්ට ලබාදෙන 5FU කාණ්ඩයේ ඇතැම් ඖෂධ වල ඇති විෂ සහිත බව දුරු කිරීමට ලබා දෙන ෆොලනික් ඇසිඩ් ද මේ වනිවට රජයේ රෝහල්වල නොමැත. ෆොලනික් ඇසිඩ් ලබාදෙන්නේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් පසු ඇතිවන සංකූලතා මඟහැරීම සඳහාය. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අවසන්වරටට ගෙන්වා තිබූ ෆොලනික් ඇසිඩ් මාර්තු මාසයේ කල් ඉකුත්වීමට නියමිතව තිබූ අතර ඊට පෙර එහි තොග අවසන් විය. නමුත් මේ දක්වාම එම ඖෂධය යළි ගෙන්වා නැත.

දියැවඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලින් වර්ග තුනක් රජයේ රෝහල්වල භාවිතා කරයි. සොලියුබල් ඉන්සියුලින් (වහා ක්‍රියාත්මක වෙන) ලෙන්ටේ ඉන්සුලින් (හෙමින් ක්‍රියාත්මක වෙන) මික්ස්ටාර්ට් ඉන්සියුලින් (අතරමැද ක්‍රියාකාරීත්වය) යන ඉන්සුයිලින් වර්ග තුනම මේ වනවිට රජයේ රෝහල්වල නොමැතිවීමෙන් දියවැඩියා රෝගීන් දැඩි අසීරුතාවකට පත්ව සිටියි.

එමෙන් ම වකුගඩු රෝගීන් ඇතුළු රුධිර සෛල ජනනය වීමේ අඩුවක් ඇති රෝගීන් සඳහා ලබාදෙන එරිත්‍රොප්‍රොයටීන් නමැති එන්නත ද මේ වනවිට රෝහල්වල නොමැත.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරන වෛද්‍ය චමිල් විජේසිංහ මෙසේ කීවේය.

“මේ වනවිට සෞඛ්‍ය පද්ධතිය තුළ මේ ඖෂධ මෙන්ම වෛද්‍ය සහ ශල්‍ය උපකරණ ගණනාවකත් හිඟයක් තිබෙනවා. පසුගිය මැයි මාසය පමණ වනවිට තිබුණු නිල දත්ත වාර්තා අනුව මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවලින් 180ක ප්‍රමාණයක තොග හිඟතාවක් දක්නට ලැබුණා. අපට වාර්තාවන තොරතුරු අනුව මේ තත්ත්වය තවත් උග්‍ර වෙමින් තිබෙන්නේ.

රෝහල්වල නොමැති ඖෂධ වර්ග අතරින් කිහිපයක් පහත සඳහන් කර ඇත.

Pneumococal vaccine Xylocaine spray Chloral Hydrate crystals / liquid Bisacodyl suppository Alprazolam tablets Alandronate

Quetipine

Cefuroxime

Glyceryl Trinitrate injection Metachlorpramide

Lignocaine with Adrenaline

Glucagon

Ceftriaxone

Letrazole tablets Pizotifen

Lamotrigine

Clomipramin

Ceftacidima

Vancomycin

Linazolid

Imipenam

Tigecycline

Erythropoetine

Filgrastim

Lyposomal Amphotericin

Flumezanil

Leveteracetam

Dexmeditomidine

Glycopyrolate

Fuoxetine capsules Thalidomide

Gabapentin 100 mg

Oxcarbazepine

Abirrterone

Tramadol

Protamin sulphate

-Advertisement-

සත්ව සංගණනයේ වාර්තාව

0

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පසුගිය මාර්තු 15 වැනි දා විනාඩි 05 කාලයක් ඇතුළත රටපුරා සිදුකළ සත්ව සංගණ‍නයේ වාර්තාව අනුව භෝග හානි සිදුකරන රිලවුන්, වඳුරන්, මොණරුන් සහ දඬු ලේනුන් සංඛ්‍යාව එක්කෝටි තිස් ලක්ෂයකට අධික බව එම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙම සතුන්ගේ ගහණය පාලනය කිරීම සඳහා අමාත්‍යාංශය නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත.

නිසි ලෙස කසළ කළමනාකරණය කිරීම, වන්ධ්‍යාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වනජීවී කළමනාකරණයට අවශ්‍ය නීති රෙගුලාසි පැනවීම, ප්‍රජා බෝග ආරක්ෂක කමිටු පිහිටුවීම එම ප්‍රධාන නිර්දේශ අතර වෙයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ වන සත්ත්ව හානි අවම කිරීමට අදාළ කමිටුව ප්‍රකාශ කරන්නේ මෙම සංගණනය සිදුකළේ බ්‍රිතාන්‍ය‍ය සතුන් සංගණනය සඳහා භාවිතා කරන පොයින්ට් කවුන්ටින් නමැති ක්‍රමවේදයට අනුව බවයි.

මෙම වාර්තාවට අනුව රිලව් 5,170,000කට වැඩි ප්‍රමාණයක්, වඳුරන් 1,740,000කට වැඩි ප්‍රමාණයක්, මොණරුන් 4,240,000කට වැඩි ප්‍රමාණයක් සහ දඬු ලේනුන් 2,260,000කට අධික ප්‍රමාණයක් සිටින බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය නීල් සංදික කී‍වේ ය.

අතිරේක ලේකම් (කෘෂි සංවර්ධන) ආර්.ඩී.චිත්‍ර නයනා පවසන්නේ රාත්‍රී නිරාහාරව සිටි සතුන් උදෑසන ආහාර සොයා යන නිසා ඕනෑම පරිශ්‍රයක දී විනාඩි 05ක කාලයේ දී මෙම සතුන් ගණනය කිරීමට හැකි බවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත්) ආචාර්ය පාලිකා ප්‍රනාන්දු පවසා සිටියේ, කසළ කලමනාකරණය නිසි පරිදි නොකිරීම හේතුවෙන් සත්ත්ව ගහණය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද ඇය කීවාය.

මෙම සංගණනයට අනුව වැඩිම රිලා ගහණයක් වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 634,668 දෙනෙකි. වැඩිම වඳුරු ගහණයක් වාර්තා වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එය සංඛ්‍යාත්මකව 160,315කි. මොණරුන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 546,715ක් වෙයි. දඬුලේනුන් ද වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යව 621,517කි.

-Advertisement-

භික්ෂුවක්, කාන්තාවකගේ අසභ්‍ය දර්ශන සැමියාට යවලා හිරේ යයි

0

විවාහක කාන්තාවක් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වමින් ලබාගත් ඡායාරූප ඇගේ සැමියාට සහ ඥාතීන්ට යැවූ බෞද්ධ භික්ෂුවකට මාස 06ක ලිහිල් සිර දඬුවමකට සහ රුපියල් 2500.00ක දඩයක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (12) නියෝග කළාය.

ඊට අමතරව කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කෙරිණි.

මෙලෙස දඬුවම් නියම වූයේ රාජාංගණය ප්‍රදේශයේ  විහාරස්ථානයක බෞද්ධ භික්ෂුවයකට ය.

එම විවාහක කාන්තාවගේ සැමියා විදේශගතව රැකියාවක නිරතව සිටිය දී ඇය සහ බෞද්ධ භික්ෂුව සමීප ඇසුරක් පවත්වා ඇත. මේ ඇසුර සම්බන්ධයෙන් කාන්තාවගේ සැමියා දැනගත් පසු ඇය එම සම්බන්ධය නතර කර තිබේ.

කාන්තාව සම්බන්ධය නතර කිරීම පිළිබඳ උරණ වූ බෞද්ධ භික්ෂුව ඇය ඇසුරු කළ කාලයේ ලබාගත් ලිංගික දර්ශන සහ ඡායාරූප ඇගේ සැමියාට සහ ඥාතීන්ට යවා ඇත.

වින්දිත කාන්තාව විසින් මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ක‍ොට්ඨාසයට දැනුම් දීමෙන් පසු මූලික පරීක්සණ පවත්වා භික්ෂුවට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය භික්ෂුවට එලෙස දඬුවම් නියම කළාය.

-Advertisement-

ඉන්දීය ගුවන් අනතුර ගැන සම්පූර්ණ විග්‍රහයක්

0

ඉන්දියාවේ අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපොළ දක්වා පියාසැරිය ආරම්භ කළ AI171 යානයේ අනතුරට හේතුව පිළිබඳ නිවැරදි විශ්ලේෂණාත්මක තහවරුවක් නැතත් එය නියමුවන්ගේ අත්වැරදීමක් හේතුවෙන් සිදුවන්ට ඇතැයි මූලික විශ්වාසයක් පවතී.

සර්දාර් වල්ලහ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 200ක් ඉහළිනි. එම යානය ගමන් ආරම්භ කර මුහුදු මට්ටමේ සිට අඩි 600ක් පමණ ඉහළට  (ගුවන්තොටුපොළේ සිට අඩි 400ක් ඉහළට) ගමන් කළ පසු එය නැවත පහතට පැමිණීම ආරම්භ වී තිබිණි.

ඒ මොහොතේ යානයේ නියමුවන් විසින් “අප බේරාගන්න” යන හැඟවුම සහිත “Mayday” පණිවිඩය ද ගුවන් පාලක මැදිරිය වෙත නිකුත් කර තිබිණි. නමුත් තත්පර කිහිපයකින් යානය වෛද්‍යවිද්‍යාලයක නේවාසිකාගාරයක් මතට කඩා වැටී පුපුරාගොස් දැවී අළු වී විනාශ විය.

මේ අනතුර සිදුවූයේ අහමදාබාද් ගුවන්‍තොටුපොළේ සිට කිලෝමීටර් 1.5ක් (සැතපුම් 0.9ක්) දුරිනි.

මෙම යානයේ අනතුර සම්බන්ධයෙන් එම 787-8 Dreamliner යානය නිෂ්පාදනය කළ බොයිං සමාගම ද පුදුමයට පත්ව සිටී. මෙම මාදිලියේ යානා නිෂ්පාදනය 2011 වර්ෂයේ දී ආරම්භ කළ අතර එතැනි් සිට මෙම අනතුර සිදුවනතුරුම එම මාදිලියේ ගුවන් යානා කඩා වැටීමක් ‍සිදුව නොතිබීම ඊට හේතුවයි.

මෙම අනතුරින් ගුවන් යානයේ සිටි මගීන් 229ක් කාර්ය මණ්ඩලයේ 10 දෙනකු සහ නියමුවන් දෙදෙනා මියගිය අතර එක් අයකු දිවි ගලවා‍ගෙන තිබිණි. මේ අතර යානය කඩා වැටුණු ස්ථානයේ ගොඩනැගිලිවල සහ භූමියේ සිටි පිරිසක් ද මියගියහ.

787-8 Dreamliner යානය පදවා ඇත්තේ කපිතාන් සුමීත් සබර්වාල් සහ ඔහුගේ සහය නියමු ක්ලයිව් කුන්දර් විසිනි. ඔවුන් දෙදෙනාම ඉතා පළපුරුදු අය වූ අතර, සබර්වාල් වාණිජ ගුවන් නියමුවෙකු ලෙස වසර 22 කට වැඩි පළපුරුද්දක් සහ පියාසර පැය 8,000 කට වඩා අත්දැකීම් ඇති බව වාර්තා වේ. සහායක නියමුවා ද වාණිජ පියාසර පැය 1000කට වැඩි අත්දැකීම් ඇති අයෙකි.

එයාර් ඉන්දියා සමාගම පවසන්නේ යානය ඊයේ (12) දහවල් 01.39ට ගුවන්ගත වූ බවයි. ලන්ඩන් දක්වා පියාසර කරන බැවින් ගුවන්ගත වන අවස්ථාව වනවිට යානයේ ඉන්ධන ටොන් 100ක් හෙවත් සම්පූර්ණ ඉන්ධන තිබූ බව ද පැවසේ.

ඉන්දීය ගුවන් සේවා නියමාක කාර්යාලය පවසන්නේ යානය ගුවන්ගත වූ වහාම අනතුරු ඇඟවීමේ මේඩේ සංඥාව ලැබුණු බවයි. නමුත් පාලක මැදිරිය යානය සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය ඒ මොහොතේ ම ව්‍යර්ථ වූ බවත් ඉන්පසු ප්‍රතිචාර නොලැබුණු බවත් එම කාර්යාල ප්‍රකාශකයකු කීවේය.

යානයේ ගමන් කරමින් සිට අනතුරින් දිවි ගලවාගත් විශ්වෂ් කුමාර් රමේෂ් පැවසුවේ යානය ඉහළට ගමන් කිරීම සඳහා අරගලයක් කරනවිට තමන්ට විශාල පිපිරීම් ශබ්දයක් ඇසුණු බවයි.

කෙසේ වෙතත් යානය ගුවන්ගත වී මුහුදු මට්ටමේ සිට අඩි 625ක් දක්වා ඉහළට ගමන්කර ඇති නමුත් පසුව ක්‍රමයෙන් පහතට ගමන් කර ගොඩනැගිලි අතරට කඩා වැටී තිබේ. ඒ සමඟම විශාල ගිනිදැල් සහ දුමාරයක් ඇතිකරමින් යානය පුපුරා යයි.

කෙසේ වෙතෙත් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත දර්ශනය වන යානයේ පියාසැරිය සටහන් වූ වීඩියෝ මගින් අනතුර පිළිබඳ ස්ථිර නිගමනයකට එළැඹීමට හැකියාවක් නැත. ඒ සඳහා යානයේ කළු පෙට්ටිය හෙවත් දත්ත සටහන් කොටස විශ්ලේෂණය කළ යුතුව ඇත. ඒ සඳහා ඉන්දීය විශේෂඥයන් සහ ඇමෙරිකා විශේෂඥයන් එක්වන අතර කළු පෙට්ටිය සම්බන්ධ සංකීර්ණ පරීක්ෂණයකින් සහ සුන්බුන් පරීක්ෂාවකින් පසු තවත් දින කිහිපයකින් නිවැරදි නිගමනයකට එළැඹීමට හැකිවනු ඇත.

ගුවන් යානා පිළිබඳ විශේෂඥයන් පවසන්නේ යානයේ එන්ජින් දෙකක් ඇති අතර එන්ජින් දෙකම එකවර ක්‍රියා විරහිත වීම සිදු නොවිය හැකි දෙයක් බවයි. පහතින් ගමන් කරමින් තිබූ නිසා කුරුල්ලන් වැදීමෙන් එන්ජින් දෙකම අක්‍රිය වූවා ද යන්න විශේෂඥ පරීක්ෂණවලින් පමණක් කිව හැකි කාරණයකි.

දකුණු කොරියාවේ ජේජු ගුවන්තොටුපොළේ දී පුද්ගලයන් 179 දෙනකුට මරු කැඳවමින් යානයක් අනතුරට පත්වූයේ කුරුල්ලන් ගැටීම හේතුවෙන් බව අනාවරණය විය. මෙය ඉතාමත් බරපතල තත්වයකි. මෙම යානයේ ද කුරුල්ලන් ගැටුණා ද යන්න තවමත් ස්ථිර වශයෙන් කිව නොහැකි වුවත් එම අනතුර සිදුවන අවස්ථාවේ කුරුල්ලන් ගුවනේ සිටි බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් නැත.

වීඩියෝ දර්ශනවලින් පෙනී යන්නේ යානය ඉහළට එසවීම සඳහා බලය නොමැතිව යානය අරගලයක නිරතවන බවයි.

එන්ජින් දෙක ම ක්‍රියාවිරහිත වීම අතිශය දුර්ලභ වුව ද එවැනි සිදුවීම් ‍ලෝකයේ වාර්තා වී තිබේ.

ද්විත්ව එන්ජින් බිඳවැටීම් ගැන අසා නැති තරම්, වඩාත්ම කැපී පෙනෙන උදාහරණය වන්නේ 2009 “Miracle on the Hudson” ය. එහිදී US Airways Airbus A320 යානයක් නිව්යෝර්ක්හි ලාගාර්ඩියා ගුවන්තොටුපළෙන් ගුවන්ගත වී මොහොතකට පසු කුරුල්ලෙකුගේ ගැටීමෙන් එන්ජින් දෙකම අහිමි වූ නමුත් ආරක්ෂිතව ලිස්සා ගියේය.

2023 දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, අහමදාබාද් පිහිටා ඇති ගුජරාට් ප්‍රාන්තයේ වසර පහක් තුළ කුරුල්ලන් ගැටීමේ සිදුවීම් 462 ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම සිදුවීම් සංඛ්‍යාවක් අහමදාබාද් ගුවන් තොටුපළේදී සිදුවී ඇත.

2023 සැප්තැම්බර් මාසයේ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තාවක, අහමදාබාද්හි 2022–23 කාලය තුළ කුරුළු ගැටීම් 38 ක් වාර්තා වූ බව ගුවන්තොටුපළ අධිකාරියේ දත්ත උපුටා දක්වමින් පෙන්වා දී ඇත. එය පසුගිය වසරට වඩා 35% ක වැඩිවීමකි.

අඩි 2,700ක් ඉහළ අහසේ දී ද මුහුදු කුරුල්ලන් රංචුවක් ගැටීමේ සිදුවීමක් 2009 දී වාර්තා වී තිබිණි.

නමුත් මෙලෙස කුරුල්ලන් ගැටීම එන්ජින් දෙකට ම බලපාන්නේ නැතිනම් ගුවන් යානය විනාශ නොවී අනතුර වළක්වාගත හැකි බව ගුවන් නියමුවෝ කියති.

ඉන්ධන අවහිර වීම හේතුවෙන් ද්විත්ව එන්ජින් ක්‍රියා විරහිත වීමක් සිදුවිය හැකිබව ද පැවසේ. ගුවන් යානා එන්ජින් නිරවද්‍ය ඉන්ධන මිනුම් පද්ධතියක් මත රඳා පවතී – එම පද්ධතිය අවහිර වුවහොත්, එය ඉන්ධන හිඟයට සහ එන්ජිම ක්‍රියා විරහිත වීමට හේතු විය හැකි ය.

යානයක් ගුවන්ගත වීමේ දී ගුවන් යානයේ පියාපපත් (ෆ්ලැප්) දිගු කළ යුතුය. එමෙන් ම යානය පොළොවෙන් ඉහළට එසවී අඩි 100ක් පමණ යනවිිට යානයේ රෝද ඇතුළට ගත යුතුය. මේ සදහා ඇත්තේ ලීවර දෙකකි. යානයේ ප්‍රධාන ගුවන් නියමුවා තමන් ඉදිරියේ ඇති මීටර පුවරුව දෙස බලා සිටින අතර සහායක නියමුවා විසින් යානයේ රෝද ඇතුළට ගැනීම සහ පියාපත් දිගහැරීමේ ලීවර ක්‍රියාත්මක කිරීම සිදුකරයි. ඒ සඳහා ප්‍රධාන නියමුවා විධානය දෙයි.

යානයේ ෆ්ලැප් මගින් අඩු වේගයකින් උපරිම එසවීමක් ලබාදීම සිදුකරයි. නමුත් ඒවා නිසිලෙස දිගු කරන්නේ නැතිනම් මගීන් සහ ඔවුන්ගේ ගමන් මළු විශාල ප්‍රමාණ්‍යක් සහිතව ඉන්ධන උපරිම ධාරිතාවක් රැගෙන යන යානයකට ඉහළට ගමන් කිරීම අපහසු වනු ඇත.

මෙම යානය ගුවන්ගත වන අවස්ථාව වනවිට අහමදාබාද් ගුවන්තොටුපොළ අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට ආසන්නව තිබී ඇත. ඒ නිසා එහි වාතයේ ඝනත්වය අඩුය. ඒ නිසා යානය ඉහළට එසවීමට නම් ඉහළ ෆ්ලැප් සැකසුමක් සහ වැඩි එන්ජින් තෙරපුමක් අවශ්‍ය වීම පුදුමයක් නොවේ. ඒ නිසා ෆ්ලැප් දිග හැරීමේ කුඩා ප්‍රමාදයක් බව යානය විනාශවීමට හේතුවක් වනු ඇත.

ගුවන් යානය යළි බිමට පතිතවීම දක්වා ඇති කෙටි වීඩියෝව අනුව අඩි 100ක් පමණ වනවිට ඇතුළට ගත යුතු රෝද යානය කඩා වැටෙන මොහ‍ොත දක්වාම ඇත්තේ එළියේ ය. නමුත් ෆ්ලැප් නිවැරදිව දිගහැර තිබේ ද යන්න එම වීඩියෝවල පැහැදිළිව දර්ශනය වන්නේ නැත.

යානය ගුවන්ගත වීමේ දී රෝද ඇතුළට ගැනීම සඳහා නියමුවා විසින් “ජියර් අප්” කියන විධානය ලබාදෙයි. එවිට සහායක නියමුවා ලීවරය දමා රෝද ඇතුළට ගනී. මෙය ප්‍රධාන නියමුවාට ඇස්වල එක් කෙළවරකින් යන්තමින් දර්ශනය වන දෙයකි. නමුත් ඒ අවස්ථාවේ දී සහායක නියමුවා දමා ඇත්තේ කුමන ලීවරය ද යන්න නියමුවා පැහැදිළිව දකින්නේ නැත.

රෝද ඇතුළට ගැනීමේ ලීවරය වෙනුවට ෆ්ලැප් වෙනස් කිරීමේ ලීවරය දැමුවා ද යන්න ප්‍රධාන නියමුවා දකින්නේ නැත. යානය ගුවන්ගත වීමට පෙර ෆ්ලැප් නිවැරදිව සකසා නියමුවන් යානය ගුවන්ගත කරයි. නමුත් එම ලීවරය දැමුවානම් නැවත ෆ්ලැප් කුඩා වෙයි. එවිට යානයට ගුවන්ගත වීමට අවශ්‍ය බලය ලැබෙන්නේ නැත.

එසේ වූවානම් වරද සිදුව ඇත්තේ සහාය නියමුවාගෙන් විය යුතුය. නමුත් මෙය හිතාමතා කරන වරදරක් නොවේ.

එය ඉතාමත් කණගාටුදායක සිද්ධියකි. යානයේ වීඩියෝව හොඳින් පරීක්ෂා කළ විට රෝද උස්සා නැති බවත් තටුවේ එළියේ තිබිය යුතු ෆ්ලැප් ඇතුළට ගොස් ඇති බවත් පෙනෙන්නට තිබේ. මේ අනුව දැනට අනුමාන කළ හැක්කේ සහායක නියමුවා විසින් රෝද ඉහළට ගන්නා ලීවරය වෙනුවට ෆ්ලැප් ඇතුළට යොමුකරන ලීවරය වෙනස් කර ඇති බවයි.

දැන් මේ නියමුවන් දෙදෙනා ම මියගොසිනි. ඒ හේතුවෙන් සිදුවූයේ කුමක් ද යන්න ස්ථිරව දැනගැනීමට නම් යානයේ කළු පෙට්ටිය සහ සුන්බුන් විශ්ලේෂණය කර වාර්තාව ඉදිරිපත් කරන තුරු තවත් දින කිහිපයක් බලා සිටීමට සිදුවනු ඇත.

-Advertisement-