-4.8 C
New York
Home Blog Page 1326

ප්ලාස්ටික් හා පොලිතීන් පාලනයේ බොරුව හා මිත්‍යාව

0

පොලිතීන් සහ ප්ලාස්ටික් සමස්ථ ලෝකයේ ම ගහකොළ සතා සීපාවාට පමණක් නොව මිනිස් වර්ගයාටම තර්ජනයක් වන තත්ත්වයට පත්ව තිබේ. මිනිසා විසින් ම නිපදවා පරිසරයට මුදාහරින ලද ප්ලාස්ටික් සහ පොලිතීන් දැන් මිනිසාගේ සිරුරට පවා ක්ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස ඇතුළු වී තිබෙන්නේ නොදන්නා අවසානයක් කරා මිනිසාද රැගෙන යනු ඇතැයි විදයාඥයන් පවා මවිතයට පත්කරමිනි.

ශ්‍රී ලංකාවේ ද ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය අවම කිරීමේ සහ ඒවා නිසි පරිදි බැහැර කිරීමේත් ප්‍රතිචක්‍රීකරණය කිරීමේත් බලාපොරොත්තුවෙන් නීති සැකසිණි. නමුත් මේ නීති නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත් ඒවා ද ලේඛනගත ව්‍යාපෘති කිහිපයක් බවට පමණක් පවත්ව ඇති බවත් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද වාර්තාවලින්ම තහවුරු වේ.

රජයේ සංඛ්‍යාලේඛන අනුව 2012 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා වසර 07ක කාලයේ දී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ප්ලාස්ටික් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් ලක්ෂ 33,539 කි. ඒ සඳහා රුපියල් කෝටි 18,430ට වැඩි මුදලක් මෙරටින් පිටරටට යවා ඇත.

මේවා පොලිතීන් හා ප්ලාස්ටික් ලෙස, අමුද්‍රව්‍ය ලෙස, නිමි භාණ්ඩ ලෙස, ගෘහ භාණ්ඩ ලෙස සහ සෙල්ලම් බඩු ලෙස ප්‍රධාන කොටස් හතරක් යටතේ ගෙන්වා තිබේ. 2018 වර්ෂයේ දී පමණක් මෙරටට ගෙන්වූ සම්පූර්ණ පොලිතීන් හා ප්ලාස්ටික් අතරින් සියයට 64ක් ම ගෙන්වා ඇත්තේ අමුද්‍රව්‍ය ලෙසිනි.

ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ථ ලෝකයම ප්ලාස්ටික් නිමවුම් භාණ්ඩ භාවිතයට විශාල නැඹුරුවක් දක්වයි. විශේෂයෙන් ම විද්‍යුත් උපකරණ හා මෝටර් වාහන නිෂ්පාදනයේ දී ප්ලාස්ටික්වින් නිමවූ උපාංග වැඩිවශයෙන් භාවිතා කරයි. මිනිසාගේ ජීවන රටාව නවීකරණය වීමත් සමග ප්ලාස්ටික් භාණ්ඩ පරිහරණය ඉහළ ගොස් ඇත.

අප විසින් භාවිතා කරන ප්ලාස්ටියක් බොහොමයක් නිපදවන්නේ බොරතෙල් නිෂ්පාදනවල අතුරුඵල ලෙසිනි. මේ සඳහා වර්ණක, ස්ථායීබව ඇතිකරණ රසායනිකයන් එකතු කිරීමෙන් විවිධ හැඩයෙන් හා ගුණයෙන් යුතු ප්ලාස්ටික් නිපදවනු ලැබේ. ප්ලාස්ටික් ජලය සමග ප්‍රතික්‍රියා නොකරන අතර ශක්තිමත් භාවයෙන් වැඩිය. අඩු මිලකට මිලදී ගැනීමේ පහසුව ඇත. එමෙන්ම ආහාර ද්‍රව්‍ය සඳහා භාවිතා කිරීමේ දී පහසුවෙන් මුද්‍රා තැබීමට හැකිවීම වාසියකි. මේ හේතූන් නිසා ප්ලාස්ටික් වර්ග සමාජයේ වේගයෙන් ව්‍යාප්ත වෙයි.

මිනිසාගේ ජීවන රටාවට ප්ලාස්ටික් හා පොලිතීන් වඩාත් පහසුවක් ගෙන ආවද මේවා දිරාපත්වන්නේ නැත. එමෙන්ම විනාශ කිරීම සඳහා ගිනි තැබුව ද සම්පූර්ණයෙන්ම දහනය කිරීමට නම් සෙල්සියස් අංශක 1000-1200ත් අතර උෂ්ණත්වයක් ලබාදිය යුතුය. නැතිනම් කාබනික කොටස් ඉතිරිවේ. එයින් පිටවන වාතය ද අතිෂය විෂ සහිතය. ගෘහස්ථ වශයෙන් ප්ලාස්ටික් හා පොලිතීන් පිලිස්සීමේ දී යෙදිය හැකි එවැනි උෂ්ණත්වයක් ලැබෙන්නේ නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ විශාල පාරිසරික අර්බුදයක් නිර්මාණය වීමයි.

මේ අර්බුදයෙන් මිදීමට නම් සිදුකළ හැක්කේ හැකිතරම් පරිහරණය අඩුකිරීම, නැවත නැවත භාවිතා කිරීම සහ නිසි පරිදි ප්‍රතිචක්‍රීකරණය කිරීමයි.

ප්ලාස්ටික් නිසි පරිදි බැහැර නොකිරීමේ වැඩිම හානිය සිදුවෙන්නේ ජල මූලාශ්‍රවලටය. ඉන් පසු පසට සහ වාතයට ද මේ හානිය සිදුවෙයි. ගොඩබිම සහ සාගරයේ ඇතුළු ජලයේ සිටින බොහෝ ජීවීන් ප්ලාස්ටික් තම ආහාර සමග සිරුර ඇතුළට ගන්නා බව පෙනෙන්නට තිබේ. ප්ලාස්ටික් හා පොලිතීන් ශරීරගත වීම හේතුවෙන් දැවැන්ත තල්මසුන්, අලි මෙන්ම කුඩා කුරුල්ලෝ ද මියයති.

පොලිතීන් හා ප්ලාස්ටික් දහනය කිරීම හේතුවෙන් ඩයොක්සීන් හා ෆියුරීන් වායු පිටවීම මෙන්ම පොලිතීන් අසුරනවල ඇති රසායනික ද්‍රව්‍ය ආහාරවලට කාන්දු වීම මගින් පිළිකා, චර්ම රෝග, ප්‍රතිශක්ති ඌනතා, අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත ගැටලු වර්ධනය වන අතර අලුත්ම සොයා ගැනීම වන්නේ ප්‍රජනක ක්‍රියාවලියට ද මේ බලපෑම එල්ලවන බවයි.

ජාතික ජලජ සම්පත් පර්යේෂණායතනය නෝර්වේ රාජ්‍යයට අයත් නෞකාවක් සමග කළ ගවේෂණයකට අනුව රට අවට සාගර පත්ලෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් කැළි කසළ රැස්වීමෙන් දූෂණයට ලක්ව ඇත. එහි වඩාත් දරුණුම තත්ත්වය ඇත්තේ බස්නාහිර මුහුදු තීරයේය. මේ දූෂණයට වැඩි පුරම හේතුවී ඇත්තේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් බව ද තහවුරු වී ඇත. මේ හේතුවෙන් සාගර මත්ස්‍ය සම්පත ද අඩුවෙමින් පවතී.

ජාත්‍යන්තර පර්යේෂකයන් පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාවට ඊසාන දිගින් බෙංගාල බොක්කේ පොලිතීන් හා ප්ලාස්ටික් එකතුවෙමින් වර්ග කිලෝ මීටර 80,000ක් පමණ විශාල මල මුහුදක් නිර්මාණය වන බවයි.

රජයේ දත්ත අනුව පැහැදිලිවන්නේ මෙරටට ආනයනය කරන ප්ලාස්ටික් හා පොලිතීන් අතරින් ක්‍රමවත් ලෙස යළි භාවිතයට ගන්නේ හෝ ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදවන්නේ 30% ප්‍රමාණයක් බවයි. ඉතිරි 70%න් 30%ක් සෘජුවම අප විසින් ස්වභාවික පරිසරයට මුදා හැරෙයි.

ගැටලුව ඇත්තේ ප්ලාස්ටික් ගෙන්වීමේ හා ඒවා බැහැර කිරීමේ පමණක් නොවේ. මේවා ගෙන්වා පරිභෝජනය කිරීමෙන් පසු යළි ප්‍රතිචක්‍රීකරණය හෝ කළමනාකරණය කරනු ලබන ක්‍රියාවලියේ පටන් සියලු ස්ථානයන්හි බරපතල ප්‍රශ්නාර්ථ ඉතිරිව ඇත. මේ සඳහා වහාම විසඳුම් ලබා නොදුනහොත් මෙරට මිනිසුන්ට ජීවත්වීම සඳහා ඇති විශාලතම තර්ජනය බවට පොලිතීන් හා ප්ලාස්ටික් පත්වනු ඇත.

ඉදිරියේ අත්විය හැකි මේ ඛේදජනක තත්ත්වයට කෙටිකාලීන හා දීර්ඝකාලීන විසඳුම් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදනය, වෙළෙඳාම, භාවිතය අවමකිරීම හා පසුභාවිත කළමනාකරණ පරිසර හිතකාමී ආකාරයෙන් සිදුකිරීමේ පරමාර්ථයෙන් මධ්‍යම පරිරසර අධිකාරිය විසින් 2017 වර්ෂයේ දී ගැසට් නිවේදන 06ක් නිකුත්කරන ලදී. එයට අමතරව ඒ සම්බන්ධව ඇති අනෙකුත් අණ පනත් ද බලාත්මක කිරීමට රජය කටයුතු කළේ.

එසේ වුව ද රේගුවෙන් ලබාගත් දත්ත අනුව පැහැදිලි වන්නේ 2012 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා මෙරට පොලිතීන් හා ප්ලාස්ටික් ගෙන්වීම විශාල වශයෙන් වැඩිවී තිබෙන ආකාරයකි. 2012 දී මෙරට ප්ලාස්ටික් කිලෝ ග්‍රෑම් ලක්ෂ 525ක් ගෙන්වා ඇති අතර 2018 වර්ෂයේ දී ගෙන්වූ ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රමාණය 2012 ට සාපේක්ෂව 10 ගුණයකින් වැඩි වී ඇත්තේ කිලෝ ග්‍රෑම් ලක්ෂ 5,352කට අධික ප්‍රමාණයක් ගෙන්වීමෙනි. රජය ප්ලාස්ටික් හා පොලිතීන් ගෙන්වීම තහනම් කරන බවට නීති පනවන බව පැවසූ 2017 වර්ෂයේ දී මෙරටට රේගුව හරහා ප්ලාස්ටික් හා පොලිතීන් කිලෝ ග්‍රෑම් 9,228ක් ගෙන්වා ඇත. එය ප්ලාස්ටික් ආනයනයේ වාර්තාවකි.

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙරටට ගෙන්වන ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රමාණය මෙරට පරිසරයට දැරිය හැකි නොහැකි තරම් විශාල බවයි.

පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මෙසේ පැවසීය

”අද අපි මහා සාගරයට පොලිතීන් ප්ලාස්ටික් මුදාහරින රටවල් අතර පස්වැනි තැනට පත්වෙලා. 2009 වර්ෂයේ පරිසර අධිකාරිය විසින් ම ආරම්භ කරපු ‘පිළිසරු’ ව්‍යාපෘතිය අත්හිටුවලා තිබෙනවා. පොලිතීන් ප්ලාස්ටික්වලට වැට බැඳීම රජයේ ආයතන පැත්තෙන් නිසිපරිදි සිදුවන්නේ නැහැ. තවමත් නොදිරන ප්ලාස්ටික් ගෙන්වීමට අවශ්‍ය බලපත්‍රය රජය විසින්ම නිකුත් කරනවා. මේක ඉතාත් ඛේදජනක තත්ත්වයක්. මේ සඳහා වහාම පරිසර සංවිධාන, පරිසර ක්‍රියාකාරිකයන් විතරක් නෙවෙයි සමස්ථ සමාජයම මැදහත්වී කටයුතු කළ යුතුයි. නැත්නම් ශ්‍රී ලංකාව කියන මේ ජෛව විවිධත්වයෙන් පොහොසත් දේශය ඉතා විශාල විනාශයකට ඇදී යාම වළක්වන්න බැහැ. “

ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මකව ඇති නීති රීති අනුව මෙරටට ගෙන්වන පොලිතීන් දේශීය වෙළෙඳ පොළට ඇතුළත් කිරීම සඳහා යෝග්‍යද යන්න පිළිබඳ පරීක්ෂාවක් මගින් තහවුරු කිරීමට අවශ්‍යය. නමුත් එවැනි පහසුකමක් මේ දක්වා රේගුව සතුව නැත. රේගුවට කිරීමට සිදුව ඇත්තේ ආනයනකරුවා විසින් ඉදිරිපත් කරන තොරතුරු සහ පිටරටින් පැමිණෙන පොලිතීන්වල ඇති ලේඛනවල ඇති තොරතුරු මත පමණක් කටයුතු කිරීමටය.

ආහාර සැපයීමේ දී අලෙවි සැල්වල භාවිතා කරනු ලබන ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු හා කෝප්ප ආදිය හානිකර ප්ලාස්ටික් වර්ගවලින් යුක්ත ද යන්න පරීක්ෂාව සඳහා අවශ්‍ය උපකරණ පාරිභෝගික අධිකාරිය සතුව හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සතුව නොමැත. එබැවින් ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ද නැත.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් දිරායන ආහාර දවටන සඳහා ප්‍රමිති කෙටුම්පත් පිළියෙල කර තිබුණ ද 2019 සැප්තැම්බර් 30 වැනි දින දක්වාම ඒවා නීතිගත වී නැතැයි රජයේ විගණකාධිපති වාර්තාවේ දැක්වේ. අප දන්නාතරමින් මේ දක්වාම මෙම කෙටුම්පත නීතිගත වී නැත. මේ හේතුවෙන් දිරායන පොලිතීන් නිෂ්පාදනය ආනයනයේ දී හෝ නිෂ්පාදනයේ දී තිබිය යුතු ප්‍රමිතීන් පිරික්සීමේ ක්‍රමවේදයක් මේ දක්වාම මෙරට තුළ ක්‍රියාත්මක වී නැත.

නිසි ප්‍රමිතියකට නොමැති පොලිතීන් හා ප්ලාස්ටික් භාවිත කරන අවස්ථාවල දී ඒවා වටලා අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය හිමිවන්නේ පාරිභෝගික සේවා අධිකාරියටයි. නමුත් මේ සම්බන්ධ ප්‍රමිතීන් මෙතෙක් නීතිගත වී නොමැතිවීමේ ගැටලුව හේතුවෙන් නිසි ප්‍රමිතියෙන් තොර පොලිතීන් හා ප්ලාස්ටික් සම්බන්ධ වැටලීම් කිරීම එම අධිකාරියට අපහසු වී ඇත. ඔවුන්ට සිදුවන්නේ ආහාර එතුම්වල හෝ දවටනයේ දක්වා ඇති මයික්‍රෝන ප්‍රමාණය ගැන ලේබලය මගින් ඉදිරිපත් කර ඇති දත්ත අනුව පමණක් කටයුතු කිරීමටය. මේව සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂාවක් මෙරට තවමත් සිදු කෙරෙන්නේ නැත.

එසේ වුවද ප්ලාස්ටික් හා පොලිතීන් නියාමනය කිරීමට අදාලව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රමිති 25ක් හඳුන්වා දී තිබේ. නමුත් රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා 2020 ජනවාරි 21 වැනි දින නිකුත් කළ වර්තාවක දක්වා ඇත්තේ මෙම නියාමනයන් ක්‍රියාත්මක කිරිමේ දී ඒ හා සම්බන්ධිත ආයතනවලින් නිසි දායකත්වයක් නොලැබෙන බැවින් නියාමන කාර්යය සාර්ථකව ඉටු නොවන බවයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය මෙසේ කීවාය.

”ප්‍රමිති නීතිගත කර නොතිබීම අපේ විතරක් ප්‍රශ්නයක් නොවෙයි. මේ සඳහා විද්වත් කමිටුවක් පත්කරලා අවශ්‍ය ප්‍රමිතීන් මොනවාද කියා තීරණය කරනවා. ඒ තීරණය කරන දේ රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කරලා තහවුරු කළ යුතුයි. මෙය දීර්ඝ කාර්යයක්. ඒ සඳහා ඉන්නේ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක්. මේ පිරිස එකම දිනයක රැස්වීම පවා ඉතා අපහසුයි. දැනට කෙටුම්පත් කරලා නීතිගත කිරීම සඳහා තිබෙන්නේ. මෙය ඉක්මණින්ම අවසන් කරනවා.”

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය, පසු භාවිතය සහ කළමනාකරණය සම්බන්ධයෙන් වූ පරිසර විගණන වාර්තාවේ දක්වා ඇත්තේ පොලිතීන් හා ප්ලාස්ටික් මෙරට භාවිතා කිරීම සම්බන්ධයෙන් 2017 වර්ෂයෙ ගැසට් නිවේදන හයක් නිකුත් කර තිබුණ ද ඒවායෙන් අපෙක්ෂිත අරමුණු දිනා ගැනීමට හැකිවී නැති බවයි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබූ අමාත්‍ය මණ්ඩල තීරණවල කාර්යසාධනය ද සතුටුදායක මට්ටමක නැත.

ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය හා එහි වැදගත්කම පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමට හා ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමුවීම දිරිමත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව ද එම වාර්තාවේ දැක්වේ. එහි දී විගණකාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේ නිරත පුද්ගලයන් දිරි ගැන්වීමක් සිදු නොකිරීම හා මෙවැනි මධ්‍යස්ථානවලින් සිදුකරන අතුරු නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් වෙළෙඳ පොළක් නොමැතිවීම ද ගැටලුවක් බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවකට අනුව ඕනෑම භාණ්ඩයක් සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන බහාලුම් මලු හෝ එතුම් සඳහා අතිරේක මුදලක් පාරිභෝගිකයාගෙන් අය කිරීමට නොහැකිවීම ද මෙම ගැසට් නිවේදන ක්‍රියාත්මක කිරීමේ බාධාවක් බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තිබේ.

එවැනි තත්වයක් රටතුළ තිබිය දී පොලිතීන් අමුද්‍රව්‍යයක් ලෙස යොදා නිෂ්පාදිත ආහාර දවටන රටතුළ විකිණීම, විකිණීම සඳහා තබා තිබීම හා ප්‍රදර්ශනය හා භාවිතය තහනම් කිරීම සඳහා නිකුත් කරන ගැසට් පත්‍රයට අනුව 2017 සිට 2019 අවසානය දක්වා එලෙස කටයුතුකළ ආයතන 810කට එරෙහිව නඩු පවරා තිබිණි.

ප්ලාස්ටික් හා පොලිතීන් එළිමහනේ පිළිස්සීම තහනම් ක්‍රියාවකි. මේ පිළිබඳ මෙරට සියලුම නිවාස දැනුම්වත් කිරීම සඳහා ආදර්ශ ලිපියක් පළාත් පාලන ආයතන වෙත නිකුත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල ඇති බව ද එහි දැක්වේ. ඒ ගැන සෑම නිවසක්ම දැනුම්වත් කිරීමේ වගකීම ඒ ඒ පළාත් පාලන ආයතන සතුවුව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසන්නේ ගැසට් නිවේදන නිකුත්කර වසර දෙකක කාලයක් ගතවනතුරුම පළාත් පාලන ආයතනවලින් මහජනතාව දැනුම්වත් කර නොමැති බවයි. එපමණක් නොව පොලිතීන් හා ප්ලාස්ටික් පරිසර හිතකාමී ලෙස ඉවත්කිරීම හා ඒවා එකතුකිරීම පළාත් පාලන ආයතන නිසි ලෙස ක්‍රියාත්මක කර නැත. මේ නිසා ජනතාව පොලිතීන් හා ප්ලාස්ටික එළිමහනේ පුළුස්සයි. එවැනි අවස්ථාවක නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබුණ ද ඒ නීතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත.

පරිසර අමාත්‍යාංශයේ “පුනරුදය පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන” යටතේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට අදාලව ”දූෂකයා විසින් ගෙවිය යුතුය” මූලධර්මය ක්‍රියාත්මක කිරීම සඳහා 2015 සැප්තැම්බරයේ සිට දෙසැම්බර් දක්වා රුපියල් කෝටි 05 ද , 2016 වර්ෂයට රුපියල් කෝටි 25ක් ද , 2017 වර්ෂයට රුපියල් කෝටි 20ක් ද වශයෙන් කෝටි 50ක් ඇස්තමේන්තුවල සඳහන් කර තිබුණ ද ඒ මුදල් වියදම් කරමින් කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නැතැයි ද සිදුකර ඇත්තේ අදාල ආයතනවල නියෝජිතයන්ගේ වාර්තා සැකසීම පමණක් බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

භාවිතයෙන් පසු ඉවතලන පළිබෝධ නාශක ඇසුරුම් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ජාතික ව්‍යාපෘතිය යනුවෙන් යෝජනාවක් 2016-2018 පුනරුදය පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන සඳහා ඉදිරිපත් වී තිබිණි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් 2018 වර්ෂයේ දී රුපියල් 1,950,000ක ප්‍රතිපාදන ද 2019 වර්ෂය සඳහා රුපියල් 1,200,000ක ප්‍රතිපාදන ද ඉල්ලුම් කර තිබුණ ද මේ වැඩසටහන 2019 අවසානය දක්වාම ක්‍රියාත්මක වී නැතැයි ද වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා පළාත් නවය තුළ ක්‍රියාත්මක වන්නා වූ ප්ලාස්ටික් පොලිතීන් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන 100කි. ඉන් 09ක් රාජ්‍ය අයිතිය යටතේ සහ ඉතිරි මධ්‍යස්ථාන 91 පුද්ගලික අයිතිය යටතේ ඇත. එසේ වුව ද ඉන් රාජ්‍ය මධ්‍යස්ථාන හතරක් ද ඇතුළුව 26ක් ක්‍රියාත්මක වන්නේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිවය.

2007 වර්ෂයේ දී මධ්‍යම පරිසර අධිකාරිය ආරම්භ කරන ලද පසු භාවිත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ජාතික ව්‍යාපෘතිය වෙනුවෙන් 2018 දෙසැම්බර් 31 වනවිට ආයෝජනය කර තිබූ මුදල රුපියල් කෝටි 45.27කි. එම මුදල් යොදා බලංගොඩ, කුරුණෑගල, කඩුවෙල, මාතර, අනුරාධපුරය, මහනුවර, යාපනය සහ නුවරඑළිය යන ප්‍රදේශවල ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන අටක් ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපෘති සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23(ආ) වගන්තිය අනුව ආරක්ෂණ බලපත්‍රයක් ලබාගත යුතු වුවත් එවැනි බලපත්‍ර ලබාගෙන නැත.

රජයේ දැවැන්ත මැදහත්වීමක් හා ප්‍රචාරක කාර්යයක් මධ්‍යයේ ප්ලාස්ටික් හා පොලිතීන්වලින් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමට කොතරම් ව්‍යාපෘති දියත් වුව ද ගතවු පසුගිය වසර පහක කාලයේ දී වෙරළ තීරයේ කිලෝ මීටර 318ක ප්‍රමාණයක දියත් කෙරුණු පිරිසිදු කිරීම් කාර්යයන්හි දී බීම බෝතල් 150,242ක්, ආහාර දවටන 100,875ක්, බීම බට 80,483ක්, බෝතල් පියන් 74,183ක් ප්ලාස්ටික් බෑග් 64,646ක් හා සිගරට් කොට 56,154ක් එකතුවී තිබිණි.

2013 ට සාපේක්ෂව 2017 වර්ෂයේ දී බීම බෝතල් එකතුවීමේ ප්‍රවාණතාව 7,053 % ප්‍රමාණයකින් ද ග්‍රොසරි ද්‍රව්‍ය එකතුවීම 5,456% ද බීම බට එකතුවීම 1,089 % ප්‍රමාණයකින් ද වැඩි වී ඇත. මෙවැනි වැඩිවීමක් තිබීමෙන් පෙන්වන්නේ මේ දක්වාම මෙරට ජනතාව ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතයේ දුර්විපාක ගැන කරනු ලබන දැනුම්වත් කිරීම් සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරන බවයි.

විගණකාධිපතිවරයා සිය වාර්තාවේ ආගමික කටයුතු සඳහා භාවිතා කරන්න වූ ඉටිකොළ මල්මාලා හේතුවෙන් වාර්ෂිකව පරිසරයට එකතුවන්නා වූ අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ද අවධාරණය කර තිබේ. ආගමික කටයුතුවල දී මනුෂ්‍යයා ඇතුලු ජීවීන්ගේ පැවැත්ම කෙරෙහි හානිදායක පොලිතීන් හා ප්ලාස්ටික් බාවිතයෙන් වළකින ලෙස ආගමික සිද්ධස්ථාන මගින් පහසුවෙන් පණිවිඩයක් සමාජගත කළ හැකි බව ඔහු පවසයි.

මැතිවරණ ප්‍රචාරක කටයුතුවල දී ද පොලිතීන් භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතී. මෙමගින් සිදුකරන පාරිසරික බලපෑම සම්බන්ධයෙන් ඡන්ද නියෝජිතයන් හා ඡන්ද දායකයන් විසින් තේරුම්ගත යුතු බවත් ඒ ගැන දැඩි අවධානයක් යොමකළ යුතු බවත් විගණකාධිපති වාර්තාවේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් හා පොලිතීන් සම්බන්ධව දැනට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.යූ.ඉන්ද්‍රරත්න මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.

”බරපතල ඛේදවාචකයක් තියෙන්නේ. අපි නීති ගෙනාවාට ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ජනතාව කොතරම් ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතා කිරීමේ ආදීනව ගැන දැනුම්වත් කරත් මේවා භාවිතය එන්න එන්නම වැඩි වෙනවා. ආනයනකරුවන් හා අළෙවිකරුවන් අල්ලා නඩු පවරා දඩ ගැහුවත් සිදුවෙන්නේ දඩය ගෙවලා යළිත් පෙර වැරැද්දම කරන එක. මේකට මරණ දඬුවම දෙන්න බැහැනේ. රජය යටතේ වගේම පුද්ගලික අංශයේත් තියෙන ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන රැසකට පාරිසරික බලපෑම් වාර්තා නැහැ කියලා චෝදනාවක් තියෙනවා. මේ රජයේ ආයතන අපි මැදහත් වී ඉදිකළත් ඒවා පවත්වාගෙන යන්නේ ඒ ඒ පළාත් පාලන ආයතනය විසින්. පළාත් පාලන ආයතන මේ දේ කළ යුතුයි. ප්‍රතිචක්‍රීකරණය සහ එකතු කිරීම කියන්නේ දෙකක්. බලපත්‍ර නැති පුද්ගලික ආයතන බොහොමයක් ප්‍රතිචක්‍රීකරණය කරන ආයතන නොවෙයි. ඒවා ප්ලාස්ටික්, පොලිතීන් එකතුකරන ආයතන. අපි මේ විෂය සම්බන්ධයෙන් සැළසුම් කළ ඇතැම් ව්‍යාපෘති මුදල් නොලැබීම නිසා සිදුකරන්න බැරිවුණා. ඒ වගේම ඉදිරියට ව්‍යාපෘති ගණනාවක් අපි සැළසුම් කර තිබෙනවා. සිලි සිලි කවර කියන දේත්, පෙට් බෝතල් කියන දේත් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ බලාපොරොත්තුවකුත් තියෙනවා. “

ශ්‍රී ලංකාව ”නිකසළ දේශයක්” කරන බවට පාලකයෝ පරසාරම් දෙඩුව ද ගොඩබිම පමණක් නොව මහ සමුදුරේ ද යථාර්ථ කිසිසේත්ම සුන්දර නැත. මේ තත්ත්වයෙන් රට ගලවාගැනීමට නම් මේ ලිපිය කියවන ඔබ ද ටොෆි කොලයක් තරම් දෙයක් පරිසරයට මුදා නොහරින බවට තරයේ සිත් තබා ගත යුතුය. ඔබ ජීවත් වූ මේ සුන්දර දිවයින ඔබේ දරු පරපුරට අහිමි නොකරන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. පාලකයන් ඔබේ දරුවන් වෙනුවෙන් තම යතුකම ඉටුකරන බවක් පෙනෙන්නට නැත. 

-Advertisement-

“20ට ජනමත විචාරණයක් ඕනෑ” – හකීම්

0

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (02) දිනයේ සිදු කිරීමට නියමිතය.

අදාළ පෙත්සම් පිළිබඳ සලකා බැලීම දෙවන දිටත් ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වූ අතර පස්වරු 07.30 දක්වා එය පැවැත්විණි.

එහිදී යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොණුකර තිබු පෙත්සම් 32ක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ දේශන ඉදිරිපත් කිරීම අවසන් කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා කරුණු දක්වමින් කියා සිටියේ යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් කරුණුවලින් අධිකරණයේ ස්වාධිනත්වයට සහ මූලික අයිතිවාසිකම් කෙරෙහි අහිතකර බලපෑමක් සිදු කරන බවය.

ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව සතුවන බවත් එම බලය අධිකරණය හරහා ක්‍රියාත්මක විය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සඳහන් කර ඇති බව පෙන්වා දුන් මුස්තාෆා මහතා සඳහන් කළේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත හරහා ජනතාව සතු අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් ඉවත් කිරීමක් සිදු වන බවය.

එම නිසා අදාළ වගන්තිය සම්මත කිරීමට ජනමත විචාරණයක් සඳහා යොමු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ පැවසීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක නීතිඥ රවුෆ් හකීම් මහතා කරුණු දක්වමින් කියා සිටියේ තමා මෙම පනත් කෙටුම්පතට එරෙහිව පුද්ගලික පෙත්සමක් ඉදිරිපත් කරමින් පෙනී සිටින බවය.

නව ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අහෝසි වන හෙයින් විනිසුරුවරු ඇතුළු උසස් නිල තල සඳහා සිදු කරන පත් කිරිම්වල පාරදෘෂ්‍යභාවය පිළිබඳ බරපතළ ගැටලු මතුවන බව රවුෆ් හකීම් මහතා පෙන්වා දුන්නේය.

එම නිසා යෝජිත පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මතවිම ප්‍රමාණවත් නොවන බවත් අනිවාර්යෙන් ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතු බවත් රවුෆ් හකිම් මහතා අවධාරනය කර තිබේ.

20 වන සංශෝධන පනත්කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොණුකර තිබෙන පෙත්සම් සඳහා මැදිහත්වී කරුණු දැක්විමට අවසර දෙන ලෙස ඉල්ලා අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණි ලොකුගේ, මහාචාර්ය ජී.එල් පිරීස් යන අය විසින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, පූජ්‍ය ඕමාරේ කස්සප, එම් දයාරත්න, ඩබ්ලිව්.ඒ වීරතිලක, පී.ජී.බී අබේරත්න යන අය විසින් ද අතරමැදි පෙත්සම් ගොණුකර තිබේ.

-Advertisement-

කෝප් කමිටුව අඟහරුවාදා වැඩ අරඹයි

0

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු  (කෝප් ) ලබන ඔක්තෝබර් 06 වන දින සිට අරඹන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

ඒඅනුව ලබන ඔක්තෝබර් 06වන දින සිට 23 දින දක්වා දින 05ක් “කෝප්” කමිටු සමාජිකයින් රැස්වනු ඇති.

පළමුවෙන්ම “කෝප්” කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇත්තේ සීමාසහිත ලංකා ගල් අඟුරු සමාගමයි.

2009 වර්ෂයේ සිට නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා සීමාසහිත ලංකා ගල් අඟුරු සමාගම මගින් සිදුකරන ලද ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති විශේෂ විගණන වාර්තාව මත පදනම්ව එහි නිලධාරීන් ඔක්තෝබර් 06 වනදා පස්වරුවේ “කෝප්” කමිටුව වෙත කැඳවා තිබේ.

ඔක්තෝබර් 08 වැනිදා ලක්විජය විදුලි බලාගාරයේ වැදගත්කම සහ එහි පාරිසරික බලපෑම පිළිබඳ විගණකාධිපති විශේෂ වාර්තාව සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා එම ආයතනය “කෝප්” කමිටුව හමුවට කැඳවා ඇති බව මහාචාර්ය හේරත් මහතා පැවසීය.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව සිදුකර ඇති විශේෂ විගණන වාර්තාව අවධානයට ලක් කිරීම සඳහා ලබන ඔක්තෝබර් 20 වනදා මාර්ග සංවර්ධන අධිකාරිය සහ අදාළ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය “කෝප්” කමිටුව හමුවට කැඳවා තිබේ.

ඉන්පසු දිනයේ කැලණි ගඟේ ජලය අපවිත්‍රවීම සම්බන්ධව සිදුකළ පාරිසරික විගණන වාර්තාව සාකච්ඡා කිරීම සඳහා ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය සහ අදාළ පළාත් පාලන ආයතන “කෝප්” කමිටුව හමුවට කැඳවා ඇත.

මෙයට අමතරව ඔක්තෝබර් 23 වැනිදා පොල් සංවර්ධන අධිකාරිය “කෝප්” කමිටුව වෙත කැඳවීමට නියමිතය.

පොල් වගා කිරීමේ අධිකාරිය,පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය එදින “කෝප්” කමිටුව වෙත කැඳවා ඇත.

-Advertisement-

“ජනතා පරමාධිපත්‍යය පුද්ගලකු අතට යනවාට විරුද්ධයි” – අකිල

0

ජනතාව විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ විධායක බලය මිස ව්‍යවස්ථාදායක බලය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමේ අවස්ථාවට අධිකරණයට ඊයේ (29) පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වු ඒ මහතා, 

“එක්සත් ජාතික පක්ෂය 20 වෙනි ව්‍යවස්ථා කෙටුම්පතට පෙත්සම් දෙකක් ගොනු කළා. ඒ වගේම අපි ඒ සඳහා විරෝධතාවය පළ කරනවා. මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පුද්ගලයෙක් වටා එක්වෙනවට අපි විරුද්ධයි. විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් සභා, ඒ වගේම විගණනය, ජනාධිපතිවරයාගේ මුක්තිය ආදි කරුණු ගණනාවක් කෙරෙහි අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය විදියට අපේ විරෝධය පළ කරලා තියෙනවා විතරක් නෙමෙයි. ඒ වෙනුවෙන් අධිකරණයට එන්නත් අපි තීරණය කළා. පාර්ලිමේන්තුවට සංශෝධනය කරන්න එකඟවෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, ආණ්ඩුව කෙටුම්පතක් වශයෙන් ගෙනල්ලා තියෙන දේවල් බැලුවහම අපිට කිසිසේත්ම මේ රටේ නිදහස අගයන, මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය අගයන කිසිවෙකුට එකඟ වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ජනාධිපතිතුමාට බලය දුන්නේ, විධායක බලය මිසක් ව්‍යවස්ථාදායක බලය නෙමෙයි. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තමයි ජනතා පරමාධිපත්‍ය බලය ඒ සඳහා ලබා දීලා තියෙන්නේ.“යනුවෙන් පැවසීය.

-Advertisement-

අපේ විදෙස් ප්‍රතිපත්තිය මිත්‍රශීලීයි

0

ශ්‍රී ලංකාව මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

උපායමාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක පිහිටා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව බොහෝ පාර්ශවයන්ගේ ආකර්ශණයට ලක්ව ඇති අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සංවර්ධන සහයෝගීතාව ශ්‍රී ලංකාවේ පළමු ප්‍රමුඛතාව බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

මෙරටට අලුතින් පත්ව ආ තානාපතිවරුන් සිව් දෙනෙකු ජනාධිපතිවරයා වෙත අක්ත පත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව ඔවුන් සමඟ කෙටි පිළිසදරක නිරත වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

ඉන්දීය සාගරය සියලු රටවලට විවෘත හා නිදහස් කලාපයක් විය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය බව එහිදී පෙන්වාදුන් ජනාධිපතිවරයා ඉන්දීය සාගරය සාම කලාපයක් කළ යුතු බවට ප්‍රථමයෙන් යෝජනා කළේ තම රට බව ද එහිදී පෙන්වාදුනි.

2009 වසරේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ඉක්මන් සංවර්ධනයක් සඳහා විදේශ ආධාර අවශ්‍ය වූ අවස්ථාවේ මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජන සිදු කිරීමට චීනය ඉදිරියට පැමිණි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.

“ත්‍රස්තවාදය නිසා ආර්ථිකය පරිහානියට ගියා.  ඉක්මන් සංවර්ධනයක් සඳහා අපට විදේශ ආධාර අවශ්‍ය වුණා. මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට චීනය ඉදිරියට පැමිණියා. අප දෙරට අතර සිදු වූයේ ගනුදෙනුවක්. එහෙත් ඇතැම් පිරිස් මේ සබඳතාව විග්‍රහ කළේ චීනයට පක්ෂපාතී වීමක් ලෙස.  ශ්‍රී ලංකාව හැම රටක් සමගම මිතුරුයි” යනුවෙන් ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

චීනයේ මූල්‍යාධාර ඇතිව හම්බන්තොට වරාය ඉදිකිරීම ‘ණය උගුලක සිරවීමක්’ ලෙස ඇතැම් පාර්ශ්ව හැඳින්වුවද
හම්බන්තොට වරාය විශාල සංවර්ධන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව ජනාධිපතිවරයා පෙන්වා දුනි. 

පසුගිය රජය හම්බන්තොට වරාය චීනයට බදු දුන් නමුත් එය භාවිත කරන්නේ වාණිජ අරමුණු සඳහා පමණක් යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

සිය අදහස් පළ කළ නව තානාපතිවරු සිව් දෙනාම කොවිඩ් 19 වසංගතය සාර්ථක ලෙස පාලනය කර ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළ කළහ. 

“ශ්‍රී ලංකාව අතිශය සුරක්ෂිත රටක්,“ කොරියානු ජනරයේ තානාපති ජොන්ග් වුන්ජින්ග් මහතා පැවසීය.

කොවිඩ් උවදුර ජයගත් ශ්‍රී ලංකාවට තානාපති ධූරයක් ගෙන පැමිණිමට ලැබීම ගැන ජර්මානු තානාපති හොල්ගර් ලෝතර් මහතා සතුට පළ කළේය.

“අපි ශ්‍රී ලංකාවට පැමිණියේ ඔබට දේශණ පවත්වන්නට නොවෙයි. අපට කළ හැකි උපකාරයක් කරන්නට. කළ යුතු දේ තෝරා ගැනීමට ශ්‍රී ලංකාව සමත් බව අපට විශ්වාසයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා සපුරා ගැනීමට කළ හැකි දේ කරන්නට අපි සූදානම්” යනුවෙන් ජර්මානු තානාපති හා ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් යන දෙදෙනාම සඳහන් කළහ.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ  2015 දී ශ්‍රී ලංකාවේ කළ චාරිකාවට තමාද එක්ව සිටී බව කී බ්‍රයන් උඩයිවේ හිමිපාණෝ ජනාධිපතිවරයා ලැබී ඇති විශාල ජනවරම පිළිබඳව වත්මන් පාප් වහන්සේගේ සුබ පැතුම් එක් කළහ. 

-Advertisement-

අනවසර ඉදිකිරීම් සම්බන්ධ නව පනතක් ඉක්මණින්ම

0

අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නව පනතක් ගෙන එමට ඉදිරියේදී කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ අද(29) මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් නිවසක් කඩාවැටී එකම පවුලේ තිදෙනෙකුට මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

අනවසර ඉදිකිරීම සිදුකර දඩ මුදල් ගෙවා එයින් බේරීයාමට නොහැකි වන පරිදි නව පනතට කරුණු ඇතුළත් කරන බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

මේ අතර, ඉකුත් 20දා මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩාවැටුණු පස්මහල් නිවසේ හිමිකරු වන අනුර ලෙව්කේ ව අපරාධ චෝදනා යටතේ මහනුවර පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අද (29) අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු දොඩම්වල නාථ දේවාලයේ හිටපු බස්නායක නිළමේවරයා වේ.

නොසැලිකිලිමත් ඉදිකිරීම් ක්‍රියාවකින් තිදෙනෙකුට මරණය සිදුකිරීම සහ නිවාස කිහිපයකට අලාභහානි සිදුකිරීම යන චෝදනා යටතේ පොලීසිය සැකකරුට එරෙහිව නඩු පවරා ඇත.

තට්ටු තුනක් පමණක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදී තිබියදී නිවසේ හිමිකරු එම සැළසුම්වලට පිටින් යමින් මහල් පහක ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙන බවත් එහි අත්තිවාරම මහල් පහක බර දරා ගැනීමට නොහැකි මට්ටමේ එකක් බව පරීක්ෂණ මගින් හෙළිවූ බවත් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා සදහන් කළේය.

මෙම සැකකරුට එරෙහිව නඩු පැවරීමට පෙර පොලීසිය මහනුවර මහනගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු ආයතන ගණනාවකින් ගොඩනැල්ල සම්බන්ධ වාර්තා ලබාගෙන තිබිණි.

පස් මහල් ගොඩනැගිල් කඩා වැටීමෙන් අඹුසැමි යුවළක් හා ඔවුන්ගේ දින 49 ක් වයසැති දරුවා මරණයට පත්වූහ.

-Advertisement-

“තනතුරුවලට එන කවුරුත් අපිට එපා” – අගමැති

0

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

එමෙන්ම මේ වන විට රට ආරක්ෂිත බවත් ඒ සම්බන්දයෙන් බොහෝ අවධානය යොමුකර කටයුතු කරන බවත්, අද (29) අරලියගහ මන්දිරයේ දී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සහ පුවත්පත් කතුවරුන් අතර පැවති හමුවේ දී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම හමුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ මතය කුමක්ද ?

අගමැති – ආණ්ඩුවක් වුණාම, ආණ්ඩුව ගන්න මතය තමයි මගේ මතය වෙන්නෙ. 20 වැනි සංශෝධනයට කිසි ගැටලුවක් වෙන්නෙ නැහැ.

මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධව සිටින පක්ෂ විසින් කමිටු පත්කරලා තියෙනවා නේද ?

අගමැති – හැම පක්ෂයකටම ඒ සම්බන්ධයෙන් කමිටු පත්කරන්න අයිතියක් තියෙනවා. නමුත් අවසානයේ අපි එක මතයකට එනවා. විසිවැනි සංශෝධනය ගැන අපි සියලු දෙනා සමඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී කතා කළා. මම දැක්කා විපක්ෂයත් කමිටුවක් පත් කරලා තිබුණා.

මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනයෙන් පසුව අග්‍රාමාත්‍යතුමා නාමික වෙනවා ද ?

අගමැති –  නෑ. නාමික වෙන්නෙ නෑ. අග්‍රාමාත්‍යතුමා අතේ තමයි ඒක තියෙන්නෙ.

මාධ්‍යවේදියා – ඉන්දීය අග්‍රාමාත්‍යතුමා සමඟ පැවැති සාකච්ඡාවේදී 13 වැනි සංශෝධනයට බල කළා කියලා මාධ්‍යයට වාර්තා ඉදිරිපත් වුණා.

අගමැති – දැනට තිබෙන ව්‍යවස්ථාව තමයි ක්‍රියාත්මක වෙන්නෙ. පළාත් සභා මැතිවරණය කල්දැම්මෙ කවුද ? ඡන්ද නොතියා හිටියෙ කවුද කියලා ඔබ දන්නවා. අපි කළේ නියමිත පරිදි ඡන්ද තියපු එක.  

මාධ්‍යවේදියා – අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවාද ?

අමාත්‍ය උදය ගම්මන්පිල – අමාත්‍ය මණ්ඩලය නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ සඳහා ජනමත විචාරණයකට යන්න වෙනවා.

අගමැති – මුළු ව්‍යවස්ථාවම වෙනස් වෙනවා නම් ජනමත විචාරණයකට යන්න අවශ්‍යයයි. හැබැයි අපට ඒ ජනවරම පැහැදිලිව ලැබිලා තියෙනවා.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල – 19 ව්‍යවස්ථාව ඉවත් කළ යුතුයි කියලයි ජනවරම ලැබුණෙ. එය කෙටි කාලින විසඳුම. අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම දිගුකාලීන විසඳුම වෙනවා.

මාධ්‍යවේදියා – අග්‍රාමාත්‍යතුමා දේශපාලනයෙන් විශ්‍රාම යනවා කියලා ප්‍රවෘත්තියක් පළවෙලා තිබුණා ?

අගමැති – දේශපාලඥයො කවුද විශ්‍රාම ගියේ ? මම විශ්‍රාම යන්නෙ නැහැ.

මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්මත වෙන්න දෙන්නෙ නැහැ කියලා එක පැත්තක් කියද්දි විස්සට විස්සක් ගන්නවා කියලා ආණ්ඩුවෙන් කියනවා.

අගමැති – අපට තුනෙන් දෙකක බලයක් ජනතාව දී තිබෙනවා. පක්ෂවලට, පුද්ගලයන්ට තව තව මතවාද තියෙන්න පුළුවන්. ස්ථිර ලෙසම අපට තුනෙන් දෙක තියෙනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා.

මාධ්‍යවේදියා – කොවිඩ්-19 නිසා ලෝකයේ සෑම රටකම ආර්ථිකයට බලපෑම් එල්ල වී තිබෙනවා. ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කීරීමට ගන්න පියවර මොනවාද ? විදෙස් ණය ගෙවා ගත හැකිද ?

අගමැති – දේශීය ආර්ථිකයට මුල්තැන දීම තමයි රජයේ ප්‍රතිපත්තිය. ඒ වෙනුවෙන් ආණ්ඩුව දේශීය කර්මාන්ත නඟාසිටුවීමට දැනටමත් පියවර ගනිමින් සිටිනවා. අපි මොනදේ තිබුණත් වෙලාවට ණය ගෙවලා තිබෙනවා.

මාධ්‍යවේදියා – පොල් ගැන ලොකු ආන්දෝලනයක් තිබෙනවා.

අගමැති –  කවදත් පොල් සම්බන්ධයෙන් මෙවැනි තත්ත්වයන් තිබුණා. අපට පාරිභෝගිකයා වැදගත්. ඒ නිසා පාලන මිලක් සම්බන්ධයෙන් වන යෝජනාව හොඳයි. එය විධිමත්ව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. 

මාධ්‍යවේදියා – ආණ්ඩුව ගැසට් ගහනවා. ආයෙ හකුළ ගන්නවා කියලා චෝදනාවක් තියෙනවා.

අගමැති –  ඒකෙන් පෙනෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙන මොකුත් නෙමෙයි. පොල් පිළිබඳව ප්‍රශ්නය නිරාකරණය කරන්න විෂය භාර අමාත්‍යවරයාට මම ඒ බව දන්වනවා. 

මාධ්‍යවේදියා –  කහ ප්‍රශ්නය නිරාකරණය වනතුරු රටින් කහ ආනයනය කළ නොහැකිද ?

අගමැති – දේශීය ගොවියා දැන් කහ වගා කරමින් සිටින්නෙ. ඔවුන්ව අධෛර්යමත් කරන්න අපට බැහැ. ඒ නිසා දේශිය කහ ගොවියා ධෛර්යමත් කරන්න නම් මේ තත්ත්වයට මුහුණ දෙමින් අප ඉදිරියට යා යුතුයි. පිටරටින් ආයෙමත් කහ ගෙන්නුවොත් ගොවීන් වගාව අත්හරිනවා.

මාධ්‍යවේදියා – වාහන සහ වාහන අමතර කොටස් ඉතා අධික මිලක් යටතේ අලෙවි වීමෙන් දුෂ්කරතා රැසක් මතුවී තිබෙනවා.

අගමැති –  අමතර කොටස් ගෙන්වන්න කියලා තියෙන්නෙ. අමතර කොටස් ගෙන්වීමේ බාධාවක් නැහැ.

මාධ්‍යවේදියා – ගුවන් තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවාද ?

අගමැති – කොවිඩ්-19 තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි එය කළ යුත්තෙ. අපි ඉන්දියාවේ තත්ත්වය යුරෝපයේ තත්ත්වය සැළකිල්ලට ගෙන ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවා.

මාධ්‍යවේදියා – පාසල්වල ළමුන් ඇතුළත් කිරීමේ දී පදිංචියට අදාළව ළමුන් ඇතුළත් නොකර ගැනීමෙන් අසාධාරණයක් වී තිබෙනවා.

අමාත්‍ය විමල් වීරවංශ මහතා – ඡන්ද හිමි නාම ලේඛනයේ නම තිබීම ප්‍රමාණවත් කියලා දැනට කැබිනෙට්ටුවේ මේ ප්‍රශ්නය සාකච්ඡාවට ගෙන තිබෙනවා.

මාධ්‍යවේදියා – අනවසර ඉන්දීය ධීවර ප්‍රශ්නය ගැන විසඳුමක් තිබේ ද ?

අගමැති – අනවසර ඉන්දීය ධීවර ප්‍රශ්නය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කළා. රටක් විදියට ගත යුතු ක්‍රියාමාර්ග අපි නාවික හමුදාවට දැනුම් දී තිබෙනවා.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා – ඉන්දීය අගමැතිතුමාට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නාම පැහැදිලි පිළිතුරක් ලැබුණෙ නැහැ. දකුණු ඉන්දියාවේ මහ ඇමැතිතුමා එක්ක කතා කරලා විසඳුමක් දෙන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලා සිටියා.

මාධ්‍යවේදියා – තිලීපන් සැමරීමට ඉල්ලමින් උතුරේ හර්තාල් ක්‍රියාත්මක වෙනවා ආණ්ඩුව මේ තත්ත්වයට මුහුණ දෙන්නෙ කොහොමද ? පසුගිය කාලයේ වගේ තත්ත්වයක් නැවත ඇතිවෙයිද ?

අගමැති – එහෙම එකක් නැවත ඇතිවෙන්නෙ නැහැ. රට ආරක්ෂිතයි. ආරක්ෂාව සම්බන්ධයෙන් අපි බොහෝ අවධානය යොමුකර කටයුතු කරනවා. නැවත උතුරේ එවැනි තත්ත්වයක් ඇතිවෙනවා නම් පසුගිය කාලේ දුන්න උත්තරේම තමයි උත්තරේ.

මාධ්‍යවේදියා – එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ යටින් යන වැඩපිළිවෙළක් තියෙනවාද ?

අගමැති – අපි යටින් වැඩ කරන්නෙ නැහැ. එම්.සී.සී ගැන අපි යටින් සාකච්ඡා කළේ නැහැ. දැනට එහෙම සාකච්ඡාවක් වෙලත් නැතිව එහෙම ප්‍රශ්නයක් ගැන කතා කරන්නෙ මොකටද ?

මාධ්‍යවේදියා – විස්සට අත උස්සන්න ආණ්ඩුවට ගන්න මන්ත්‍රීවරුන්ට තනතුරු දෙනවාද ?

අගමැති –  අපට 150 තියෙනවා. තනතුරුවලට එන මන්ත්‍රීවරුන් දැන් නෑ. මේකත් කියන්න උවමනායි. මම නම් 19 ට ඡන්දෙ දුන්නෙ නෑ. 

අමාත්‍ය විමල් වීරවංශ – 20ට විරෝධය දක්වන්න පාර්ලිමේන්තු විරෝධයට ආපු නැති අය ගැන හෙව්වොත් කවුද අපට සහය දෙන්නෙ කියලා හොයා ගන්න පුළුවන් වෙයි.

මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනයට ඔබතුමා පත්කළ කමිටුවේ වාර්තාව සමාජගත නොකළේ ඇයි ?

අගමැති – ඒක මට බලාගන්න දීපු එකක්. අවශ්‍ය සංශෝධන කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කළ හැකියි.

අමාත්‍ය විමල් වීරවංශ – කමිටුවේ නිර්දේශ ලැබුණා. ඒවා සාකච්ඡා කරලා. අග්‍රාමාත්‍යතුමාගේ සංශෝධන සහ කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කරන සංශෝධන ගැන ජනාධිපතිතුමා සමඟත් සාකච්ඡා කරලා එකඟත්වයකට පැමිණිලයි තිබෙන්නෙ.

මාධ්‍යවේදියා – මත්කුඩු ජවාරම සමාජයට පිළිලයක් වී තිබෙනවා. මේ සඳහා ස්ථීර විසඳුමක් ගෙන එනවාද ?

අගමැති – අපි මේ උවඳුර හැඳිනගෙන වැටලීම් කරන්න පටන්ගෙන තිබෙනවා. දැන් අපට අහුවෙන්නෙ මේ ජාවාරමේ පොඩි අය. ප්‍රධාන අයයි අල්ලගන්න උවමනා වෙන්නෙ. අප ඒ සඳහා අවශ්‍ය කටයුතු කරනවා. ඒ අය අත්අඩංගුවට ගෙන අපට මෙම මත්කුඩු උවඳුර මර්දනය කළ හැකියි.

මාධ්‍යවේදියා – වතු කම්කරුවන්ට රුපියල් දහසේ දීමනාව ලබා දීම ක්‍රියාත්මක කරනවාද ?

අගමැති – අපි ඒ ගැන කතා කළේ. දැනටමත් විෂය භාර අමාත්‍යතුමා එම උපදෙස් දී තිබෙනවා.

මාධ්‍යවේදියා – ජනාධිපතිතුමා ගමින් ගමට යන්නෙ ඇමතිවරුන්ගෙන් වැඩ වෙන්නෙ නැති නිසාද ?

අගමැති –  එහෙම එකක් නැහැ. ජනාධිපතිවරුන් ගමට යන එක අද ඊයේ සිදුවෙච්ච දෙයක් නෙමෙයි. 

අමාත්‍ය විමල් වීරවංශ – ජනාධිපතිතුමා ගමින් ගමට යන එක වැරදිද ? 

මාධ්‍යවේදියා – මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවාද ?

අගමැති – ඒ සම්බන්ධ පරීක්ෂණ අඛණ්වව සිදුවෙනවා. ජාත්‍යන්තර නීතිය අනුවයි ඇතැම් කටයුතු සිදුවන්නෙ.

පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රේමනාත් සී දොලවත්ත – පසුගිය ආණ්ඩුව වගේ අපි අධිකරණ කටයුතු සඳහා පෞද්ගලික මැදිහත්වීම් සිදු කරන්නෙ නැහැ. අධිකරණ කාර්ය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා.

අමාත්‍ය විමල් වීරවංශ – පහුගිය ආණ්ඩුව දූෂණ විරෝධි කමිටුවක් හැදුවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන්ටත් වෙනමම මුදල් දීලා. රුපියල් කෝටි තුනක් අයතා වියදම් කරලා. ඒ අනුව දූෂණ විරෝධි කමිටුවෙත් දූෂණයක් කරලා. අර්ජුන් මහේන්ද්‍රන් ගැන වගකියන්න උවමනා එතුමාව පත්කරපු අයයි. 

මාධ්‍යවේදියා – අග්‍රාමාත්‍යතුමාගේ පවුලේ සාමාජිකයන් මෙන්ම අද අමාත්‍යවරුන්ව සිටින බොහෝ දෙනා නිකරුනේ සිරභාරයට පත් කළ අවස්ථා පසුගිය කාලේ තිබුණා. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවාද ?

අගමැති – පෞද්ගලික ප්‍රශ්න ගැන හිතුවෙ නැහැ. අපි එකට එක කරන්න කැමැති අය නෙමෙයි. අපි ඉතිහාසයේ කවදාවත් පළිගත්තෙ නැහැ. තව දෙයක් අපි ඉදිරියේ දී හැම මැතිවරණ කොට්ඨාශයක්ම නියෝජනය වන පරිදි ගෙවල් 100 යුතු මහල් නිවාස ක්‍රමයක් රටට හඳුන්වා දෙනවා. 

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.

-Advertisement-

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමක්. 11ක් මරුට

0

ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග හැමන්ඩ් පළාතේ හමුදා මුරපොළක් ආසන්නයේ බෝම්බ පිරවූ ට්‍රක් රථයක් පුපුරා යෑම හේතුවෙන් 11 දෙනකු මියගොස් තිබේ.මියගිය අය අතර සොල්දාදුවන් 07දෙනකු සහ සිවිල් වැසියන් 04දෙනකු සිටින බව බලධාරීහු පවසති.ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත් ආරක්ෂක අංශ පවසා ඇත්තේ එය තලේබාන් සංවිධානය විසින් සිදුකරන්නට ඇති බවයි. ගිනිකොන දිග පළාතේ සිදුවූ තවත් පිපිරීමකින් මරාගෙන මැරෙන බෝම්බකරු මියගොස් ඇති අතර හය දෙනකු තුවාල ලබා තිබේ.ඇෆ්ගනිස්ථාන රජය සහ තලේබාන් සංවිධානය අතර සාකච්ඡා කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා නගරයේදී සැප්තැම්බර් මාසයේ ආරම්භ විය.

-Advertisement-

සමූහ දූෂණයට එරෙහිව ඉන්දියාවේ උද්ඝෝෂණ

0

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්තාවක සමූහ දූෂණයට ලක්කර මරාදැමූ සිද්ධියෙන් පසු හත්‍රාස් දිස්ත්‍රක්කයේ විරෝධතාකරුවන් පිරිසක් හා පොලිසිය අතර ගැටුම් ඇතිවී තිබේ.මියගිය කාන්තාවගේ දේහය ආදාහනය කිරීමෙන් පසු විරෝධතා ආරම්භ විය.විරෝධතා අතරතුර කලහකාරීව හැසිරුණු 25 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇත. දිස්ත්‍රික්කයේ හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අතර පස්දෙනකුට වඩා රැස්වීම තහනම් කරමින් නියෝගයක් ද පනවා ඇත.අවුරුදු 19ක් වයසැති මෙම තරුණිය පහරදීමට ද ලක්ව ඇති අතර සිරුරේ ඇතිවූ තුවාල හේතුවෙන් අඟහරුවාදා (29) මියගියේය.අපරාධය සම්බන්දයෙන් පොලිසිය සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.මියගිය කාන්තාව ඉන්දියාවේ පහත් කුලයකට අයත්යැයි සැලකෙන දලිත් ප්‍රජාවට අයත් වන අතර අත්අඩංගුවට පත් සිව්දෙනා ඉහල කුලයකට අයත් අය බව සඳහන් වේ.අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය විසින් පාලනය කරන උත්තර ප්‍රාන්තය ඉන්දියාවේ අනාරක්ෂිතම කළාපය ලෙස සැලකේ.ලෝකයේ රටවල් අතරින් ඉන්දියාව කාන්තාවන් සඳහා අනාරක්ෂිතම රටක් බවත් සෑම විනාඩි 15කට වරක්ම ඉන්දියාවේ ස්ත්‍රී දූෂණයක් සිදුවන බවත් මානව හිමිකම් කණ්ඩායම් පෙන්වා දෙයි. 

-Advertisement-

යුක්රේනයේ ලැව්ගිනි හතරක් මරුට

0

යුක්රේනයේ නැගෙනහිර ලුහාන්ස්ක් කළාපයේ ඇතිවූ ලැව් ගින්නක් හේතුවෙන් 04 දෙනකු මියගොස් 10 දෙනකු තුවාල ලබා තිබේ.යුක්රේන හදිසි සේවා අංශය පවසන්නේ ගින්නෙන් ලුහාන්ස්ක් කළාපයේ නිවාස 22කට පමණ තර්ජන එල්ලවී ඇති බවයි.හෙක්ටයාර 18,000ක පමණ භූමි ප්‍රමාණයකට හානි සිදුවී ඇති අතර 120 දෙනකු පමණ ප්‍රදේශයෙන් ඉවත්කර සුරක්ෂිත ස්ථාන වල රඳවා ඇත.ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ ස්ථාන 146කින් ගිනිගැනීම් වාර්තා වූ බවයි.එයින් ගිනිගැනීම් 82ක් මේ වනවිට නිවා දමා ඇති බවද ඔවුහු පවසති.මෙම ගිනිගැනීම් වාර්තා වන්නේ රුසියානු හිතවාදී බෙදුම්වාදීන් විසින් පාලනය කරනු ලබන ප්‍රදේශ ආසන්නයේ වන අතර බෙදුම්වාදීන් විසින් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන බවද යුක්රේන බලධාරීහු පවසති.ගිකිගැනීම් ඇතිවීමට හේතුව සොයා පරීක්ෂණයක් සිදුකරන ලෙස යුක්රේන ජනාධිපති කාර්යාලය අදාල ආයතන වලින් ඉල්ලා තිබේ.

-Advertisement-