අපේ විදෙස් ප්‍රතිපත්තිය මිත්‍රශීලීයි

0
48

ශ්‍රී ලංකාව මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

උපායමාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක පිහිටා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව බොහෝ පාර්ශවයන්ගේ ආකර්ශණයට ලක්ව ඇති අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සංවර්ධන සහයෝගීතාව ශ්‍රී ලංකාවේ පළමු ප්‍රමුඛතාව බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

මෙරටට අලුතින් පත්ව ආ තානාපතිවරුන් සිව් දෙනෙකු ජනාධිපතිවරයා වෙත අක්ත පත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව ඔවුන් සමඟ කෙටි පිළිසදරක නිරත වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

ඉන්දීය සාගරය සියලු රටවලට විවෘත හා නිදහස් කලාපයක් විය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය බව එහිදී පෙන්වාදුන් ජනාධිපතිවරයා ඉන්දීය සාගරය සාම කලාපයක් කළ යුතු බවට ප්‍රථමයෙන් යෝජනා කළේ තම රට බව ද එහිදී පෙන්වාදුනි.

2009 වසරේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ඉක්මන් සංවර්ධනයක් සඳහා විදේශ ආධාර අවශ්‍ය වූ අවස්ථාවේ මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජන සිදු කිරීමට චීනය ඉදිරියට පැමිණි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.

“ත්‍රස්තවාදය නිසා ආර්ථිකය පරිහානියට ගියා.  ඉක්මන් සංවර්ධනයක් සඳහා අපට විදේශ ආධාර අවශ්‍ය වුණා. මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට චීනය ඉදිරියට පැමිණියා. අප දෙරට අතර සිදු වූයේ ගනුදෙනුවක්. එහෙත් ඇතැම් පිරිස් මේ සබඳතාව විග්‍රහ කළේ චීනයට පක්ෂපාතී වීමක් ලෙස.  ශ්‍රී ලංකාව හැම රටක් සමගම මිතුරුයි” යනුවෙන් ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

චීනයේ මූල්‍යාධාර ඇතිව හම්බන්තොට වරාය ඉදිකිරීම ‘ණය උගුලක සිරවීමක්’ ලෙස ඇතැම් පාර්ශ්ව හැඳින්වුවද
හම්බන්තොට වරාය විශාල සංවර්ධන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව ජනාධිපතිවරයා පෙන්වා දුනි. 

පසුගිය රජය හම්බන්තොට වරාය චීනයට බදු දුන් නමුත් එය භාවිත කරන්නේ වාණිජ අරමුණු සඳහා පමණක් යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

සිය අදහස් පළ කළ නව තානාපතිවරු සිව් දෙනාම කොවිඩ් 19 වසංගතය සාර්ථක ලෙස පාලනය කර ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළ කළහ. 

“ශ්‍රී ලංකාව අතිශය සුරක්ෂිත රටක්,“ කොරියානු ජනරයේ තානාපති ජොන්ග් වුන්ජින්ග් මහතා පැවසීය.

කොවිඩ් උවදුර ජයගත් ශ්‍රී ලංකාවට තානාපති ධූරයක් ගෙන පැමිණිමට ලැබීම ගැන ජර්මානු තානාපති හොල්ගර් ලෝතර් මහතා සතුට පළ කළේය.

“අපි ශ්‍රී ලංකාවට පැමිණියේ ඔබට දේශණ පවත්වන්නට නොවෙයි. අපට කළ හැකි උපකාරයක් කරන්නට. කළ යුතු දේ තෝරා ගැනීමට ශ්‍රී ලංකාව සමත් බව අපට විශ්වාසයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා සපුරා ගැනීමට කළ හැකි දේ කරන්නට අපි සූදානම්” යනුවෙන් ජර්මානු තානාපති හා ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් යන දෙදෙනාම සඳහන් කළහ.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ  2015 දී ශ්‍රී ලංකාවේ කළ චාරිකාවට තමාද එක්ව සිටී බව කී බ්‍රයන් උඩයිවේ හිමිපාණෝ ජනාධිපතිවරයා ලැබී ඇති විශාල ජනවරම පිළිබඳව වත්මන් පාප් වහන්සේගේ සුබ පැතුම් එක් කළහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here