ප්ලාස්ටික් හා පොලිතීන් පාලනයේ බොරුව හා මිත්‍යාව

0
247

පොලිතීන් සහ ප්ලාස්ටික් සමස්ථ ලෝකයේ ම ගහකොළ සතා සීපාවාට පමණක් නොව මිනිස් වර්ගයාටම තර්ජනයක් වන තත්ත්වයට පත්ව තිබේ. මිනිසා විසින් ම නිපදවා පරිසරයට මුදාහරින ලද ප්ලාස්ටික් සහ පොලිතීන් දැන් මිනිසාගේ සිරුරට පවා ක්ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස ඇතුළු වී තිබෙන්නේ නොදන්නා අවසානයක් කරා මිනිසාද රැගෙන යනු ඇතැයි විදයාඥයන් පවා මවිතයට පත්කරමිනි.

ශ්‍රී ලංකාවේ ද ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය අවම කිරීමේ සහ ඒවා නිසි පරිදි බැහැර කිරීමේත් ප්‍රතිචක්‍රීකරණය කිරීමේත් බලාපොරොත්තුවෙන් නීති සැකසිණි. නමුත් මේ නීති නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත් ඒවා ද ලේඛනගත ව්‍යාපෘති කිහිපයක් බවට පමණක් පවත්ව ඇති බවත් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද වාර්තාවලින්ම තහවුරු වේ.

රජයේ සංඛ්‍යාලේඛන අනුව 2012 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා වසර 07ක කාලයේ දී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ප්ලාස්ටික් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් ලක්ෂ 33,539 කි. ඒ සඳහා රුපියල් කෝටි 18,430ට වැඩි මුදලක් මෙරටින් පිටරටට යවා ඇත.

මේවා පොලිතීන් හා ප්ලාස්ටික් ලෙස, අමුද්‍රව්‍ය ලෙස, නිමි භාණ්ඩ ලෙස, ගෘහ භාණ්ඩ ලෙස සහ සෙල්ලම් බඩු ලෙස ප්‍රධාන කොටස් හතරක් යටතේ ගෙන්වා තිබේ. 2018 වර්ෂයේ දී පමණක් මෙරටට ගෙන්වූ සම්පූර්ණ පොලිතීන් හා ප්ලාස්ටික් අතරින් සියයට 64ක් ම ගෙන්වා ඇත්තේ අමුද්‍රව්‍ය ලෙසිනි.

ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ථ ලෝකයම ප්ලාස්ටික් නිමවුම් භාණ්ඩ භාවිතයට විශාල නැඹුරුවක් දක්වයි. විශේෂයෙන් ම විද්‍යුත් උපකරණ හා මෝටර් වාහන නිෂ්පාදනයේ දී ප්ලාස්ටික්වින් නිමවූ උපාංග වැඩිවශයෙන් භාවිතා කරයි. මිනිසාගේ ජීවන රටාව නවීකරණය වීමත් සමග ප්ලාස්ටික් භාණ්ඩ පරිහරණය ඉහළ ගොස් ඇත.

අප විසින් භාවිතා කරන ප්ලාස්ටියක් බොහොමයක් නිපදවන්නේ බොරතෙල් නිෂ්පාදනවල අතුරුඵල ලෙසිනි. මේ සඳහා වර්ණක, ස්ථායීබව ඇතිකරණ රසායනිකයන් එකතු කිරීමෙන් විවිධ හැඩයෙන් හා ගුණයෙන් යුතු ප්ලාස්ටික් නිපදවනු ලැබේ. ප්ලාස්ටික් ජලය සමග ප්‍රතික්‍රියා නොකරන අතර ශක්තිමත් භාවයෙන් වැඩිය. අඩු මිලකට මිලදී ගැනීමේ පහසුව ඇත. එමෙන්ම ආහාර ද්‍රව්‍ය සඳහා භාවිතා කිරීමේ දී පහසුවෙන් මුද්‍රා තැබීමට හැකිවීම වාසියකි. මේ හේතූන් නිසා ප්ලාස්ටික් වර්ග සමාජයේ වේගයෙන් ව්‍යාප්ත වෙයි.

මිනිසාගේ ජීවන රටාවට ප්ලාස්ටික් හා පොලිතීන් වඩාත් පහසුවක් ගෙන ආවද මේවා දිරාපත්වන්නේ නැත. එමෙන්ම විනාශ කිරීම සඳහා ගිනි තැබුව ද සම්පූර්ණයෙන්ම දහනය කිරීමට නම් සෙල්සියස් අංශක 1000-1200ත් අතර උෂ්ණත්වයක් ලබාදිය යුතුය. නැතිනම් කාබනික කොටස් ඉතිරිවේ. එයින් පිටවන වාතය ද අතිෂය විෂ සහිතය. ගෘහස්ථ වශයෙන් ප්ලාස්ටික් හා පොලිතීන් පිලිස්සීමේ දී යෙදිය හැකි එවැනි උෂ්ණත්වයක් ලැබෙන්නේ නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ විශාල පාරිසරික අර්බුදයක් නිර්මාණය වීමයි.

මේ අර්බුදයෙන් මිදීමට නම් සිදුකළ හැක්කේ හැකිතරම් පරිහරණය අඩුකිරීම, නැවත නැවත භාවිතා කිරීම සහ නිසි පරිදි ප්‍රතිචක්‍රීකරණය කිරීමයි.

ප්ලාස්ටික් නිසි පරිදි බැහැර නොකිරීමේ වැඩිම හානිය සිදුවෙන්නේ ජල මූලාශ්‍රවලටය. ඉන් පසු පසට සහ වාතයට ද මේ හානිය සිදුවෙයි. ගොඩබිම සහ සාගරයේ ඇතුළු ජලයේ සිටින බොහෝ ජීවීන් ප්ලාස්ටික් තම ආහාර සමග සිරුර ඇතුළට ගන්නා බව පෙනෙන්නට තිබේ. ප්ලාස්ටික් හා පොලිතීන් ශරීරගත වීම හේතුවෙන් දැවැන්ත තල්මසුන්, අලි මෙන්ම කුඩා කුරුල්ලෝ ද මියයති.

පොලිතීන් හා ප්ලාස්ටික් දහනය කිරීම හේතුවෙන් ඩයොක්සීන් හා ෆියුරීන් වායු පිටවීම මෙන්ම පොලිතීන් අසුරනවල ඇති රසායනික ද්‍රව්‍ය ආහාරවලට කාන්දු වීම මගින් පිළිකා, චර්ම රෝග, ප්‍රතිශක්ති ඌනතා, අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත ගැටලු වර්ධනය වන අතර අලුත්ම සොයා ගැනීම වන්නේ ප්‍රජනක ක්‍රියාවලියට ද මේ බලපෑම එල්ලවන බවයි.

ජාතික ජලජ සම්පත් පර්යේෂණායතනය නෝර්වේ රාජ්‍යයට අයත් නෞකාවක් සමග කළ ගවේෂණයකට අනුව රට අවට සාගර පත්ලෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් කැළි කසළ රැස්වීමෙන් දූෂණයට ලක්ව ඇත. එහි වඩාත් දරුණුම තත්ත්වය ඇත්තේ බස්නාහිර මුහුදු තීරයේය. මේ දූෂණයට වැඩි පුරම හේතුවී ඇත්තේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් බව ද තහවුරු වී ඇත. මේ හේතුවෙන් සාගර මත්ස්‍ය සම්පත ද අඩුවෙමින් පවතී.

ජාත්‍යන්තර පර්යේෂකයන් පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාවට ඊසාන දිගින් බෙංගාල බොක්කේ පොලිතීන් හා ප්ලාස්ටික් එකතුවෙමින් වර්ග කිලෝ මීටර 80,000ක් පමණ විශාල මල මුහුදක් නිර්මාණය වන බවයි.

රජයේ දත්ත අනුව පැහැදිලිවන්නේ මෙරටට ආනයනය කරන ප්ලාස්ටික් හා පොලිතීන් අතරින් ක්‍රමවත් ලෙස යළි භාවිතයට ගන්නේ හෝ ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදවන්නේ 30% ප්‍රමාණයක් බවයි. ඉතිරි 70%න් 30%ක් සෘජුවම අප විසින් ස්වභාවික පරිසරයට මුදා හැරෙයි.

ගැටලුව ඇත්තේ ප්ලාස්ටික් ගෙන්වීමේ හා ඒවා බැහැර කිරීමේ පමණක් නොවේ. මේවා ගෙන්වා පරිභෝජනය කිරීමෙන් පසු යළි ප්‍රතිචක්‍රීකරණය හෝ කළමනාකරණය කරනු ලබන ක්‍රියාවලියේ පටන් සියලු ස්ථානයන්හි බරපතල ප්‍රශ්නාර්ථ ඉතිරිව ඇත. මේ සඳහා වහාම විසඳුම් ලබා නොදුනහොත් මෙරට මිනිසුන්ට ජීවත්වීම සඳහා ඇති විශාලතම තර්ජනය බවට පොලිතීන් හා ප්ලාස්ටික් පත්වනු ඇත.

ඉදිරියේ අත්විය හැකි මේ ඛේදජනක තත්ත්වයට කෙටිකාලීන හා දීර්ඝකාලීන විසඳුම් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදනය, වෙළෙඳාම, භාවිතය අවමකිරීම හා පසුභාවිත කළමනාකරණ පරිසර හිතකාමී ආකාරයෙන් සිදුකිරීමේ පරමාර්ථයෙන් මධ්‍යම පරිරසර අධිකාරිය විසින් 2017 වර්ෂයේ දී ගැසට් නිවේදන 06ක් නිකුත්කරන ලදී. එයට අමතරව ඒ සම්බන්ධව ඇති අනෙකුත් අණ පනත් ද බලාත්මක කිරීමට රජය කටයුතු කළේ.

එසේ වුව ද රේගුවෙන් ලබාගත් දත්ත අනුව පැහැදිලි වන්නේ 2012 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා මෙරට පොලිතීන් හා ප්ලාස්ටික් ගෙන්වීම විශාල වශයෙන් වැඩිවී තිබෙන ආකාරයකි. 2012 දී මෙරට ප්ලාස්ටික් කිලෝ ග්‍රෑම් ලක්ෂ 525ක් ගෙන්වා ඇති අතර 2018 වර්ෂයේ දී ගෙන්වූ ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රමාණය 2012 ට සාපේක්ෂව 10 ගුණයකින් වැඩි වී ඇත්තේ කිලෝ ග්‍රෑම් ලක්ෂ 5,352කට අධික ප්‍රමාණයක් ගෙන්වීමෙනි. රජය ප්ලාස්ටික් හා පොලිතීන් ගෙන්වීම තහනම් කරන බවට නීති පනවන බව පැවසූ 2017 වර්ෂයේ දී මෙරටට රේගුව හරහා ප්ලාස්ටික් හා පොලිතීන් කිලෝ ග්‍රෑම් 9,228ක් ගෙන්වා ඇත. එය ප්ලාස්ටික් ආනයනයේ වාර්තාවකි.

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙරටට ගෙන්වන ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රමාණය මෙරට පරිසරයට දැරිය හැකි නොහැකි තරම් විශාල බවයි.

පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මෙසේ පැවසීය

”අද අපි මහා සාගරයට පොලිතීන් ප්ලාස්ටික් මුදාහරින රටවල් අතර පස්වැනි තැනට පත්වෙලා. 2009 වර්ෂයේ පරිසර අධිකාරිය විසින් ම ආරම්භ කරපු ‘පිළිසරු’ ව්‍යාපෘතිය අත්හිටුවලා තිබෙනවා. පොලිතීන් ප්ලාස්ටික්වලට වැට බැඳීම රජයේ ආයතන පැත්තෙන් නිසිපරිදි සිදුවන්නේ නැහැ. තවමත් නොදිරන ප්ලාස්ටික් ගෙන්වීමට අවශ්‍ය බලපත්‍රය රජය විසින්ම නිකුත් කරනවා. මේක ඉතාත් ඛේදජනක තත්ත්වයක්. මේ සඳහා වහාම පරිසර සංවිධාන, පරිසර ක්‍රියාකාරිකයන් විතරක් නෙවෙයි සමස්ථ සමාජයම මැදහත්වී කටයුතු කළ යුතුයි. නැත්නම් ශ්‍රී ලංකාව කියන මේ ජෛව විවිධත්වයෙන් පොහොසත් දේශය ඉතා විශාල විනාශයකට ඇදී යාම වළක්වන්න බැහැ. “

ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මකව ඇති නීති රීති අනුව මෙරටට ගෙන්වන පොලිතීන් දේශීය වෙළෙඳ පොළට ඇතුළත් කිරීම සඳහා යෝග්‍යද යන්න පිළිබඳ පරීක්ෂාවක් මගින් තහවුරු කිරීමට අවශ්‍යය. නමුත් එවැනි පහසුකමක් මේ දක්වා රේගුව සතුව නැත. රේගුවට කිරීමට සිදුව ඇත්තේ ආනයනකරුවා විසින් ඉදිරිපත් කරන තොරතුරු සහ පිටරටින් පැමිණෙන පොලිතීන්වල ඇති ලේඛනවල ඇති තොරතුරු මත පමණක් කටයුතු කිරීමටය.

ආහාර සැපයීමේ දී අලෙවි සැල්වල භාවිතා කරනු ලබන ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු හා කෝප්ප ආදිය හානිකර ප්ලාස්ටික් වර්ගවලින් යුක්ත ද යන්න පරීක්ෂාව සඳහා අවශ්‍ය උපකරණ පාරිභෝගික අධිකාරිය සතුව හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සතුව නොමැත. එබැවින් ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ද නැත.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් දිරායන ආහාර දවටන සඳහා ප්‍රමිති කෙටුම්පත් පිළියෙල කර තිබුණ ද 2019 සැප්තැම්බර් 30 වැනි දින දක්වාම ඒවා නීතිගත වී නැතැයි රජයේ විගණකාධිපති වාර්තාවේ දැක්වේ. අප දන්නාතරමින් මේ දක්වාම මෙම කෙටුම්පත නීතිගත වී නැත. මේ හේතුවෙන් දිරායන පොලිතීන් නිෂ්පාදනය ආනයනයේ දී හෝ නිෂ්පාදනයේ දී තිබිය යුතු ප්‍රමිතීන් පිරික්සීමේ ක්‍රමවේදයක් මේ දක්වාම මෙරට තුළ ක්‍රියාත්මක වී නැත.

නිසි ප්‍රමිතියකට නොමැති පොලිතීන් හා ප්ලාස්ටික් භාවිත කරන අවස්ථාවල දී ඒවා වටලා අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය හිමිවන්නේ පාරිභෝගික සේවා අධිකාරියටයි. නමුත් මේ සම්බන්ධ ප්‍රමිතීන් මෙතෙක් නීතිගත වී නොමැතිවීමේ ගැටලුව හේතුවෙන් නිසි ප්‍රමිතියෙන් තොර පොලිතීන් හා ප්ලාස්ටික් සම්බන්ධ වැටලීම් කිරීම එම අධිකාරියට අපහසු වී ඇත. ඔවුන්ට සිදුවන්නේ ආහාර එතුම්වල හෝ දවටනයේ දක්වා ඇති මයික්‍රෝන ප්‍රමාණය ගැන ලේබලය මගින් ඉදිරිපත් කර ඇති දත්ත අනුව පමණක් කටයුතු කිරීමටය. මේව සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂාවක් මෙරට තවමත් සිදු කෙරෙන්නේ නැත.

එසේ වුවද ප්ලාස්ටික් හා පොලිතීන් නියාමනය කිරීමට අදාලව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රමිති 25ක් හඳුන්වා දී තිබේ. නමුත් රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා 2020 ජනවාරි 21 වැනි දින නිකුත් කළ වර්තාවක දක්වා ඇත්තේ මෙම නියාමනයන් ක්‍රියාත්මක කිරිමේ දී ඒ හා සම්බන්ධිත ආයතනවලින් නිසි දායකත්වයක් නොලැබෙන බැවින් නියාමන කාර්යය සාර්ථකව ඉටු නොවන බවයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය මෙසේ කීවාය.

”ප්‍රමිති නීතිගත කර නොතිබීම අපේ විතරක් ප්‍රශ්නයක් නොවෙයි. මේ සඳහා විද්වත් කමිටුවක් පත්කරලා අවශ්‍ය ප්‍රමිතීන් මොනවාද කියා තීරණය කරනවා. ඒ තීරණය කරන දේ රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කරලා තහවුරු කළ යුතුයි. මෙය දීර්ඝ කාර්යයක්. ඒ සඳහා ඉන්නේ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක්. මේ පිරිස එකම දිනයක රැස්වීම පවා ඉතා අපහසුයි. දැනට කෙටුම්පත් කරලා නීතිගත කිරීම සඳහා තිබෙන්නේ. මෙය ඉක්මණින්ම අවසන් කරනවා.”

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය, පසු භාවිතය සහ කළමනාකරණය සම්බන්ධයෙන් වූ පරිසර විගණන වාර්තාවේ දක්වා ඇත්තේ පොලිතීන් හා ප්ලාස්ටික් මෙරට භාවිතා කිරීම සම්බන්ධයෙන් 2017 වර්ෂයෙ ගැසට් නිවේදන හයක් නිකුත් කර තිබුණ ද ඒවායෙන් අපෙක්ෂිත අරමුණු දිනා ගැනීමට හැකිවී නැති බවයි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබූ අමාත්‍ය මණ්ඩල තීරණවල කාර්යසාධනය ද සතුටුදායක මට්ටමක නැත.

ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය හා එහි වැදගත්කම පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමට හා ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමුවීම දිරිමත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව ද එම වාර්තාවේ දැක්වේ. එහි දී විගණකාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේ නිරත පුද්ගලයන් දිරි ගැන්වීමක් සිදු නොකිරීම හා මෙවැනි මධ්‍යස්ථානවලින් සිදුකරන අතුරු නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් වෙළෙඳ පොළක් නොමැතිවීම ද ගැටලුවක් බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවකට අනුව ඕනෑම භාණ්ඩයක් සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන බහාලුම් මලු හෝ එතුම් සඳහා අතිරේක මුදලක් පාරිභෝගිකයාගෙන් අය කිරීමට නොහැකිවීම ද මෙම ගැසට් නිවේදන ක්‍රියාත්මක කිරීමේ බාධාවක් බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තිබේ.

එවැනි තත්වයක් රටතුළ තිබිය දී පොලිතීන් අමුද්‍රව්‍යයක් ලෙස යොදා නිෂ්පාදිත ආහාර දවටන රටතුළ විකිණීම, විකිණීම සඳහා තබා තිබීම හා ප්‍රදර්ශනය හා භාවිතය තහනම් කිරීම සඳහා නිකුත් කරන ගැසට් පත්‍රයට අනුව 2017 සිට 2019 අවසානය දක්වා එලෙස කටයුතුකළ ආයතන 810කට එරෙහිව නඩු පවරා තිබිණි.

ප්ලාස්ටික් හා පොලිතීන් එළිමහනේ පිළිස්සීම තහනම් ක්‍රියාවකි. මේ පිළිබඳ මෙරට සියලුම නිවාස දැනුම්වත් කිරීම සඳහා ආදර්ශ ලිපියක් පළාත් පාලන ආයතන වෙත නිකුත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල ඇති බව ද එහි දැක්වේ. ඒ ගැන සෑම නිවසක්ම දැනුම්වත් කිරීමේ වගකීම ඒ ඒ පළාත් පාලන ආයතන සතුවුව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසන්නේ ගැසට් නිවේදන නිකුත්කර වසර දෙකක කාලයක් ගතවනතුරුම පළාත් පාලන ආයතනවලින් මහජනතාව දැනුම්වත් කර නොමැති බවයි. එපමණක් නොව පොලිතීන් හා ප්ලාස්ටික් පරිසර හිතකාමී ලෙස ඉවත්කිරීම හා ඒවා එකතුකිරීම පළාත් පාලන ආයතන නිසි ලෙස ක්‍රියාත්මක කර නැත. මේ නිසා ජනතාව පොලිතීන් හා ප්ලාස්ටික එළිමහනේ පුළුස්සයි. එවැනි අවස්ථාවක නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබුණ ද ඒ නීතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත.

පරිසර අමාත්‍යාංශයේ “පුනරුදය පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන” යටතේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට අදාලව ”දූෂකයා විසින් ගෙවිය යුතුය” මූලධර්මය ක්‍රියාත්මක කිරීම සඳහා 2015 සැප්තැම්බරයේ සිට දෙසැම්බර් දක්වා රුපියල් කෝටි 05 ද , 2016 වර්ෂයට රුපියල් කෝටි 25ක් ද , 2017 වර්ෂයට රුපියල් කෝටි 20ක් ද වශයෙන් කෝටි 50ක් ඇස්තමේන්තුවල සඳහන් කර තිබුණ ද ඒ මුදල් වියදම් කරමින් කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නැතැයි ද සිදුකර ඇත්තේ අදාල ආයතනවල නියෝජිතයන්ගේ වාර්තා සැකසීම පමණක් බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

භාවිතයෙන් පසු ඉවතලන පළිබෝධ නාශක ඇසුරුම් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ජාතික ව්‍යාපෘතිය යනුවෙන් යෝජනාවක් 2016-2018 පුනරුදය පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන සඳහා ඉදිරිපත් වී තිබිණි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් 2018 වර්ෂයේ දී රුපියල් 1,950,000ක ප්‍රතිපාදන ද 2019 වර්ෂය සඳහා රුපියල් 1,200,000ක ප්‍රතිපාදන ද ඉල්ලුම් කර තිබුණ ද මේ වැඩසටහන 2019 අවසානය දක්වාම ක්‍රියාත්මක වී නැතැයි ද වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා පළාත් නවය තුළ ක්‍රියාත්මක වන්නා වූ ප්ලාස්ටික් පොලිතීන් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන 100කි. ඉන් 09ක් රාජ්‍ය අයිතිය යටතේ සහ ඉතිරි මධ්‍යස්ථාන 91 පුද්ගලික අයිතිය යටතේ ඇත. එසේ වුව ද ඉන් රාජ්‍ය මධ්‍යස්ථාන හතරක් ද ඇතුළුව 26ක් ක්‍රියාත්මක වන්නේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිවය.

2007 වර්ෂයේ දී මධ්‍යම පරිසර අධිකාරිය ආරම්භ කරන ලද පසු භාවිත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ජාතික ව්‍යාපෘතිය වෙනුවෙන් 2018 දෙසැම්බර් 31 වනවිට ආයෝජනය කර තිබූ මුදල රුපියල් කෝටි 45.27කි. එම මුදල් යොදා බලංගොඩ, කුරුණෑගල, කඩුවෙල, මාතර, අනුරාධපුරය, මහනුවර, යාපනය සහ නුවරඑළිය යන ප්‍රදේශවල ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන අටක් ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපෘති සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23(ආ) වගන්තිය අනුව ආරක්ෂණ බලපත්‍රයක් ලබාගත යුතු වුවත් එවැනි බලපත්‍ර ලබාගෙන නැත.

රජයේ දැවැන්ත මැදහත්වීමක් හා ප්‍රචාරක කාර්යයක් මධ්‍යයේ ප්ලාස්ටික් හා පොලිතීන්වලින් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමට කොතරම් ව්‍යාපෘති දියත් වුව ද ගතවු පසුගිය වසර පහක කාලයේ දී වෙරළ තීරයේ කිලෝ මීටර 318ක ප්‍රමාණයක දියත් කෙරුණු පිරිසිදු කිරීම් කාර්යයන්හි දී බීම බෝතල් 150,242ක්, ආහාර දවටන 100,875ක්, බීම බට 80,483ක්, බෝතල් පියන් 74,183ක් ප්ලාස්ටික් බෑග් 64,646ක් හා සිගරට් කොට 56,154ක් එකතුවී තිබිණි.

2013 ට සාපේක්ෂව 2017 වර්ෂයේ දී බීම බෝතල් එකතුවීමේ ප්‍රවාණතාව 7,053 % ප්‍රමාණයකින් ද ග්‍රොසරි ද්‍රව්‍ය එකතුවීම 5,456% ද බීම බට එකතුවීම 1,089 % ප්‍රමාණයකින් ද වැඩි වී ඇත. මෙවැනි වැඩිවීමක් තිබීමෙන් පෙන්වන්නේ මේ දක්වාම මෙරට ජනතාව ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතයේ දුර්විපාක ගැන කරනු ලබන දැනුම්වත් කිරීම් සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරන බවයි.

විගණකාධිපතිවරයා සිය වාර්තාවේ ආගමික කටයුතු සඳහා භාවිතා කරන්න වූ ඉටිකොළ මල්මාලා හේතුවෙන් වාර්ෂිකව පරිසරයට එකතුවන්නා වූ අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ද අවධාරණය කර තිබේ. ආගමික කටයුතුවල දී මනුෂ්‍යයා ඇතුලු ජීවීන්ගේ පැවැත්ම කෙරෙහි හානිදායක පොලිතීන් හා ප්ලාස්ටික් බාවිතයෙන් වළකින ලෙස ආගමික සිද්ධස්ථාන මගින් පහසුවෙන් පණිවිඩයක් සමාජගත කළ හැකි බව ඔහු පවසයි.

මැතිවරණ ප්‍රචාරක කටයුතුවල දී ද පොලිතීන් භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතී. මෙමගින් සිදුකරන පාරිසරික බලපෑම සම්බන්ධයෙන් ඡන්ද නියෝජිතයන් හා ඡන්ද දායකයන් විසින් තේරුම්ගත යුතු බවත් ඒ ගැන දැඩි අවධානයක් යොමකළ යුතු බවත් විගණකාධිපති වාර්තාවේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් හා පොලිතීන් සම්බන්ධව දැනට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.යූ.ඉන්ද්‍රරත්න මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.

”බරපතල ඛේදවාචකයක් තියෙන්නේ. අපි නීති ගෙනාවාට ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ජනතාව කොතරම් ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතා කිරීමේ ආදීනව ගැන දැනුම්වත් කරත් මේවා භාවිතය එන්න එන්නම වැඩි වෙනවා. ආනයනකරුවන් හා අළෙවිකරුවන් අල්ලා නඩු පවරා දඩ ගැහුවත් සිදුවෙන්නේ දඩය ගෙවලා යළිත් පෙර වැරැද්දම කරන එක. මේකට මරණ දඬුවම දෙන්න බැහැනේ. රජය යටතේ වගේම පුද්ගලික අංශයේත් තියෙන ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන රැසකට පාරිසරික බලපෑම් වාර්තා නැහැ කියලා චෝදනාවක් තියෙනවා. මේ රජයේ ආයතන අපි මැදහත් වී ඉදිකළත් ඒවා පවත්වාගෙන යන්නේ ඒ ඒ පළාත් පාලන ආයතනය විසින්. පළාත් පාලන ආයතන මේ දේ කළ යුතුයි. ප්‍රතිචක්‍රීකරණය සහ එකතු කිරීම කියන්නේ දෙකක්. බලපත්‍ර නැති පුද්ගලික ආයතන බොහොමයක් ප්‍රතිචක්‍රීකරණය කරන ආයතන නොවෙයි. ඒවා ප්ලාස්ටික්, පොලිතීන් එකතුකරන ආයතන. අපි මේ විෂය සම්බන්ධයෙන් සැළසුම් කළ ඇතැම් ව්‍යාපෘති මුදල් නොලැබීම නිසා සිදුකරන්න බැරිවුණා. ඒ වගේම ඉදිරියට ව්‍යාපෘති ගණනාවක් අපි සැළසුම් කර තිබෙනවා. සිලි සිලි කවර කියන දේත්, පෙට් බෝතල් කියන දේත් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ බලාපොරොත්තුවකුත් තියෙනවා. “

ශ්‍රී ලංකාව ”නිකසළ දේශයක්” කරන බවට පාලකයෝ පරසාරම් දෙඩුව ද ගොඩබිම පමණක් නොව මහ සමුදුරේ ද යථාර්ථ කිසිසේත්ම සුන්දර නැත. මේ තත්ත්වයෙන් රට ගලවාගැනීමට නම් මේ ලිපිය කියවන ඔබ ද ටොෆි කොලයක් තරම් දෙයක් පරිසරයට මුදා නොහරින බවට තරයේ සිත් තබා ගත යුතුය. ඔබ ජීවත් වූ මේ සුන්දර දිවයින ඔබේ දරු පරපුරට අහිමි නොකරන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. පාලකයන් ඔබේ දරුවන් වෙනුවෙන් තම යතුකම ඉටුකරන බවක් පෙනෙන්නට නැත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here