කෝප් කමිටුව අඟහරුවාදා වැඩ අරඹයි

0
44

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු  (කෝප් ) ලබන ඔක්තෝබර් 06 වන දින සිට අරඹන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

ඒඅනුව ලබන ඔක්තෝබර් 06වන දින සිට 23 දින දක්වා දින 05ක් “කෝප්” කමිටු සමාජිකයින් රැස්වනු ඇති.

පළමුවෙන්ම “කෝප්” කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇත්තේ සීමාසහිත ලංකා ගල් අඟුරු සමාගමයි.

2009 වර්ෂයේ සිට නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා සීමාසහිත ලංකා ගල් අඟුරු සමාගම මගින් සිදුකරන ලද ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති විශේෂ විගණන වාර්තාව මත පදනම්ව එහි නිලධාරීන් ඔක්තෝබර් 06 වනදා පස්වරුවේ “කෝප්” කමිටුව වෙත කැඳවා තිබේ.

ඔක්තෝබර් 08 වැනිදා ලක්විජය විදුලි බලාගාරයේ වැදගත්කම සහ එහි පාරිසරික බලපෑම පිළිබඳ විගණකාධිපති විශේෂ වාර්තාව සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා එම ආයතනය “කෝප්” කමිටුව හමුවට කැඳවා ඇති බව මහාචාර්ය හේරත් මහතා පැවසීය.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව සිදුකර ඇති විශේෂ විගණන වාර්තාව අවධානයට ලක් කිරීම සඳහා ලබන ඔක්තෝබර් 20 වනදා මාර්ග සංවර්ධන අධිකාරිය සහ අදාළ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය “කෝප්” කමිටුව හමුවට කැඳවා තිබේ.

ඉන්පසු දිනයේ කැලණි ගඟේ ජලය අපවිත්‍රවීම සම්බන්ධව සිදුකළ පාරිසරික විගණන වාර්තාව සාකච්ඡා කිරීම සඳහා ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය සහ අදාළ පළාත් පාලන ආයතන “කෝප්” කමිටුව හමුවට කැඳවා ඇත.

මෙයට අමතරව ඔක්තෝබර් 23 වැනිදා පොල් සංවර්ධන අධිකාරිය “කෝප්” කමිටුව වෙත කැඳවීමට නියමිතය.

පොල් වගා කිරීමේ අධිකාරිය,පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය එදින “කෝප්” කමිටුව වෙත කැඳවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here