මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ?

0
1234

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර තමන්ට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් අවශ්‍යයැයි ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගෙන් සහ ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මීට ඉහත දී නිකුත් කළ තීරුබදු රහිත වාහන බලපත්‍රය හා සමාන බලත්‍රයක් ලබාදීමට නොහැකි නම් ඊට අඩු එන්ජින් ධාරිතාවකින් යුතු වාහනයක් හෝ ගෙන්වීමට බලපත්‍රයක් අවශ්‍යයැයි ඔවුහු කියති. 

මෙම කරුණ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ දී සාකච්ඡා කිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉදිරි මැතිවරණවලදී දේශපාලන කටයුතු කිරීමට වාහනයක් නොමැතිවීම විශාල ගැටලුවක් බව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු කියති. මෙතෙක් කිසිදු වාහන බලපත්‍රයක් නොලැබුණු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පාර්ලාමේන්තුවේ සිටින බව වාහන ඉල්ලා සිටින කණ්ඩායම පෙන්වා දෙයි.

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා වාහනයක් මිලදී ගැනීමට හැකි තීරු බදු රහිත  වාහන බලපත්‍රයක් කාලයක් තිස්සේ  ලැබිණ. එහෙත්   රටේ පවතින ආර්ථික තත්වය මත එම වාහන බලපත්‍රය නිකුත් කිරීම මීට වසර කිහිපයකට පමණ පෙර සිට නතර කෙරිණ.  අවසන් වරට බලපත්‍රය නිකුත්කර ඇත්තේ 2015 වර්ෂයේදීය.

මන්ත්‍රීවරුන් තීරු බදු රහිත  වාහන බලපත්‍රය ලබාදෙන්නැයි පසුගිය කාලය පුරා වරින් වර ඉල්ලීම් කළද  රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූයේ නැත.

එසේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න පිරිසක් විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරග නොවැදීමට තීරණය කර ඇතැයි ද පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ විශාල මුදලක් වැයකරමින් බවත්, බොහෝ අය මෙම වියදම් වූ මුදල ආවරණය කර  ගත්තේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන වාහන බලපත්‍රයෙන් බවත්  පැවසේ.

වාහන බලපත්‍රය නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීම නිසා ඡන්ද වියදම් සඳහා මුදල් සොයාගැනීම දුෂ්කරවී ඇතැයි මන්ත්‍රීවරු පෙන්වාදෙති.

මැතිවරණයට පෙර වාහන බලපත්‍රය නොලැබුණහොත් ඉදිරි මැතිවරණවලට තමන් ඉදිරිපත් නොවන බව මන්ත්‍රීවරු කිහිප දෙනෙකු දැනටමත් ප්‍රකාශ කර ඇත.

රටේ ආර්ථික තත්ත්වය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීම සඳහා මුදල් වෙන්කිරීම මුදල් අමාත්‍යංශය තාවකාලික අත්හිටුවා ඇත.

මේ අතර, අධික ඉන්ධන මිල හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට සහ විවිධ උත්සවවලට සහභාගීවීමද සීමාකර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here