පොළොන්නරුව පැරණි නගරයේ දැනට නටඹුන් දක්නට ලැබෙන පස් ස්ථරයට මීටර 03ක් පමණ යටින් තවත් පැරණි යුගයක ඉදිකිරීම් දක්නට ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පවසයි.
මහාචාර්ය වරයා වැඩිදුරටත් කියා සිටියේ Ground Penetrating Radar (GRP) යන්ත්‍රයක් භාවිත කරමින් මෙම පර්යේෂණය කළ බවයි. එම යන්ත්‍රය මගින් පොළොව විනිවිද ගවේෂණ කිරීමේ හැකියාව ඇත. පොළොව අභ්‍යන්තරයේ මීටර 4.5ක් පමණ ගැඹුරක් දක්වා මේ යන්ත්‍රය මගින් නිරීක්ෂණය කළ හැකිවෙයි.
අනුරාධපුර රාජධානිය බිඳ වැටීමෙන් පසු මහා විජයපාහු රජතුමා විසින් පොළොන්නරුව රාජධානිය කරගත් අතර පොළොන්නරුවේ රජ මාළිගා, රාජ සභා මණ්ඩප ආදී ගොඩනැගිලි තිබූ හෙක්ටයාර 8.6ක පමණ භූමිය ඇතුළු නුවර වශයෙයන් හැඳින්වේ. එම ප්‍රදේශය ගඩොලින් ඉදිකරන ලද ප්‍රාකාරයකින් වට කර ඇත.
මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පවසන්නේ රේඩාර් යන්ත්‍රය මඟින් එම ප්‍රදේශය පරීක්ෂාවට ලක්කළ බවයි.
එම ප්‍රදේශයේ පොළොව අභ්‍යන්තරයේ පැරණි ගොඩනැගිලිවල පාදම්, පොකුණු, උඳුන් ඇතුළු අවශේෂ ඇති බව මෙම ගවේෂණයේ දී තහවරු කරගෙන ඇත. පොළොන්නරුව යුගයේ දී ඇතුළු නුවර ලෙස භාවිතා කළ කොටසේ ඊට පෙර අනුරාධපුර යුගයේ දී ද කිසියම් දියණු ඉදිකිරීම් තිබෙන්නට ඇතැයි පර්යේෂකයෝ විශ්වාස කරති.
”පොළොන්නරුවේ පොළව යට වැළලී ඇති පෞරාණික ඉදිකිරීම්වල නටඹුන් හෙළිකර ගැනීමට අපට හැකිවී තිබෙන්නේ පොළව විනිවිද බලන රේඩාර් යන්ත්‍රයෙන් ලැබුණු සංඥා වලින්. ඉන් අපට එහි සැකසුම් පිළිබඳව හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. කිසිම කැණීමකින් හෝ හානි කිරීමකින් තොරව මේ තාක්ෂණය මඟින් අපිට පැරණි ගොඩනැගිලි, පොකුණු වගේම උඳුන් වගේ දේවල් පවා වෙන්කර හඳුනාගන්න පුළුවන් වුණා.” යැයි මෙම පර්යේෂණයට සහය වූ ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය කියේර් ස්ට්‍රික්ලන් පවසයි.
”නව තාක්ෂණය හැටියට පොළව විනිවිද සොයා බැලීමේ රේඩාර් යන්ත්‍රය පාවිච්චි කිරීමෙන් පර්යේෂණ කටයුතු සිදුකළා. මේ සොයාගැනීම තුළින් අපිට කිසියම් විදියක පොළොන්නරු යුගයටත් වඩා ඈත යුගයක පිළිබඳ සාක්ෂි තාවකාලිකව අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම මේ සොයාගැනීම්වලින් පසුව අපි පුරාවිද්‍යා කැණීමට භාජනය කිරීමෙන් අනාගතයේදී පොළොන්නරුව නගරය පිළිබඳ නිබඳව සංචාරකයන්ට විදිමත් ආකාරයෙන් දැකබලා ගැනීමේ කටයුතු සලසන්න බලාපොරොත්තු වෙනවා.” කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පවසයි.
වත්මන් රථගාල ලෙස පවත්වාගෙන යන ස්ථානයේ පොළව අභ්‍යන්තරයෙන් ද පෞරාණික ඉදිකිරීම්වල ශේෂයන් රැසක් සොයාගත් බව ද පර්යේෂකයන් පවසති.
කැළණිය විශ්ව විද්‍යාලය. ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්ව විද්‍යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ යාපනය විශ්ව විද්‍යාලය ඒකාබද්ධව මෙම පර්යේෂණය ක්‍රියාත්මක කර ඇත.
පෙබරවාරි 26 වැනිදා ස්කෑන් පරීක්ෂණ කටයුතු අවසන් කෙරෙන අතර, ජුලි මාසයේදී එහි දෙවැනි කැණීම් ආරම්භ කිරීමට නියමිතය.