spot_img
spot_imgspot_img

වෛද්‍ය රමේෂ්ගෙන්, සෞඛ්‍ය උපදෙස් රැසක්

පුවත්

විදෙස්

ලෝකය පුරා නැවතත් වේගයෙන් පැතිරයමින් පවතින JN.1 නමැති කොරෝනා ප්‍රභේදය තවමත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැතත් ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය අවදානයෙන් සිටින බවත්, කොරෝනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම නැවත අනුගමනය කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” යනුවෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

අමාත්‍යවරයා සඳහන් කළේ මේ දිනවල වාර්තාවන කොරෝනා ආසාදිතයන්ට වැළඳී ඇත්තේ JN.1 ප්‍රභේදය දැයි සෙවිමට පරීක්ෂණ කළත් එම ප්‍රභේදය ආසාදනය වූ කිසිවෙකුත් මෙතෙක් හමු නොවූ බවයි.

මීට අමතරව රට පුරා නැවත පැතිර යමින් තිබෙන සරම්ප රෝගය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ලබන සතියේ සිට දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද රමේෂ් පතිරණ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙසේ ද කී‍වේ ය.

මෙරට ජනතාවට අවශ්‍ය ගුණාත්මකභාවයෙන් සහ උසස් ප්‍රමිතියෙන් යුත් ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. කොවිඩ් අර්බුදයෙන් පසුව ඇති වූ රටේ ආර්ථික කඩාවැටීම හමුවේ යම් යම් ඖෂධවල හිඟයක් මතුව තිබුණා. මේ වන විට රටේ මූල්‍ය තත්ත්වය ක්‍රමානුකූලව යහපත් වෙමින් පවතින නිසා අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් වූ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කර තිබෙනවා. රෝහල්වලට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් සිදු කිරීමේ අරමුණින් එම ප්‍රසම්පාදන කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් තිබෙන අතර ඒ සඳහා කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලයන්හි පරිගණක අංශවල සහය ලබා ගැනීම සිදු වෙනවා. මේ අනුව ඉදිරියේදී අදාළ ප්‍රසම්පාදන කටයුතු ඩිජිටල්කරණය තුළින් සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.

ඒ වගේම ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පර්යේෂණාගාරය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර අයවැය තුළින් වෙන් කර දී තිබෙනවා. එහි ධාරිතාව, මානව සම්පත මෙන්ම ව්‍යාහුහාත්මක වෙනස්කම් සිදුකිරීමට මේ වසරේ හැකියාව ලැබෙනු ඇතියි. එසේම ‌අපේ රටට අවශ්‍ය ඖෂධ වර්ග 850ක ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. එම ඖෂධ අතරින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට අත්‍යාවශ්‍ය ඖෂධ සියල්ලම අප සතුව පවතිනවා. අක්ෂි කාච, හෘද රෝගීන්ට අවශ්‍ය සැත්කම් උපකරණ (ස්ටෙන්ස්), විකලාංග ශල්‍යකර්ම උපකරණ ඇතුළු අනිකුත් උපකරණ සම්බන්ධවත් අප එහිදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

පසුගිය වසරේ ඩෙංගු රෝගයෙන් මරණ 50ක් පමණ වාර්තා වී තිබෙනවා. එය ඉතා කණගාටුදායක තත්ත්වයක්. ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට තනිවම කරන්න බැහැ. සමස්ත සමාජයේම සහාය ඒ සඳහා හිමිවිය යුතුයි. ඒ වගේම ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. හැකි සෑම අවස්ථාවකම තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම තුළින් ඩෙංගු රෝගය පාලනය කළ හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස හඳුනාගෙන තිබෙනවා. නමුත් පසුගිය වසරේ සරම්ප රෝගීන් 700ක් පමණ වාර්තා වීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව ජනවාරි මස දෙවැනි සතියේ සිට දිවයින පුරා සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා එම ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. සරම්ප රෝගයෙන් වැළකීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ඇති කරන එම එන්නත තම දරුවන්ට ලබාදීමට පියවර ගන්නා ලෙස මම සියලු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!