spot_img
spot_imgspot_img

රාජ්‍ය බලයේ, සැබෑ අරුත ප්‍රායෝගික කළ, පැරණි ශ්‍රී ලංකාවේ දේශපාලන යාන්ත්‍රණය

පුවත්

විදෙස්

පුරාණ ලංකාව සමාජ ආර්ථික සහ සංස්කෘතික වශයෙන් අත්පත් කරගන්නා ලද බොහෝ ජයග්‍රහණ කෙරෙහි ප්‍රබල වශයෙන් රටේ දේශපාලන යාන්ත්‍රණය අභ්‍යන්තර සහ බාහිර අවුල් වියවුල් වලින් වියුක්ත වී එය ක්‍රියාත්මක වීමේදී ශක්තිමත් පදනමක පැවතීම කැපී පෙනෙන කරුණක් වී තිබුණි.

විශේෂයෙන් පැරණි ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස පැවැති කාල පරිච්ඡේදවල සහ සදේශපාලන බලය එක්සත් කර ගැනීමට හැකි වූ බොහෝ අවස්ථාවල දී රටේ අභිවෘද්ධිය ඉහළ කලයක පැවැති බව පෙතේ.

මධ්‍යයේ සිට පරිදිය දක්වා තම අණසක ව්‍යාප්ත කොට රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී පැරණි රාජ්‍ය පාලකයන් බලය ඒ සඳහා යෙදවිය යුතු ආකාරය මැනවින් අධ්‍යයනය කොට තිබුණි. එහිදී රාජ්‍ය කටයුතු ගෙන ගිය ප්‍රධාන මධ්‍යස්ථානයේ සිට වඩා ඈත ප්‍රදේශවල ජීවත් වූ විශාල ප්‍රමාණයක ජනතාව සංවිධානය කිරීමට තිබූ විස්තෘත බලය (Extensive power) සහ රාජ්‍යයේ උන්නතිය සඳහා ජනතා සහභාගීත්වය ලබා ගැනීම සඳහා විධාන නිකුත් කිරීමේ සියුම් බලය (Intensive power) යන ප්‍රධාන මුලෝපායික කරුණ පැරණි දේශපාලන භාවිතයේ කැපී පෙනේ.

කාල් විට්ෆෝගල් පවසන පරිදි ලංකාව ද ඇතුළු පෙරදිග රාජ්‍ය පාලකයන් ඒකාධිපති පාලකයන් පිරිසක් විය. එහෙත් එම අදහස බොහෝ ඉතිහාසඥයන් ප්‍රතික්ෂේප ඇත. ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය  ජනතාවාදී එසේ නැතහොත් පරාර්ථකාමී චින්තනයකින් යුතු විය.

පණ්ඩුකාභය රජතුමා රජරට දේශපාලන බලය අත්පත් කර ගැනීමෙන් ඉක්බිතිව කාලීන වශයෙන් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට දායක වී ඇති අයුරු පැරණි මූලාශ්‍ර විස්තර කර ඇත. එහිදී මෙම ධනාත්මක කාර්යය ළඟාකර ගැනීම සඳහා රට එක්සත්ව පැවතීම අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකු රජතුමා මුළු දිවයින පුරා, තම අණසක ව්‍යාප්ත කිරීම උදෙසා ආර්ය. අනාර්ය ජනතාවගේ සහාය ලබාගත්තේ ය.

මෙම දේශපාලන ප්‍රවේශය රාජ්‍ය පාලන ක්‍රියාවලියේදී ප්‍රධානියා හැටියට කටයුතු කිරීමේ පදනම සැකසීය. එහි දී පැරණි ලංකාවේ ගම් සීමා සකස් කිරීම, මහජනතාවට අවශ්‍ය නිවාස ඉදිකිරීම, ආගමික සිද්ධස්ථාන පිහිටුවීම. සුසාන භුමි සඳහා ඉඩම් වෙන් කිරීම, රට කෘෂිකාර්මික වශයෙන් සංවර්ධනය කිරීම සඳහා වාරිමාර්ග ඉදිකිරීම ආදී ධනාත්මක කාර්යයන් රාශියක් සිදුකරන ලදී.

කාලීන වශයෙන් ඇති වූ දේශපාලන එක්සත් බව නිසා දශක ගණනාවක් ගැමි පසුබිමක පැවැති සමාජය සඳහා නාගරික මුහුණුවරක් හිමි විය. නගර සංකල්පයක් සකස් කරමින් එහි පුරෝගාමියා ලෙස නගරයේ සියලු කටයුතු සාර්ථකව පවත්වා ගෙන යෑම සඳහා නගර ගුත්තික නමින් නුතන නගරාධිපති තනතුරට සමාන නිලධාරියෙක් රජතුමා විසින් පත්කර ඇති අයුරු පැහැදිලි වේ.

දේවානම් පියතිස්ස රාජ්‍ය සමයේදී සමාජ ආර්ථික සහ සංස්කෘතික ක්‍ෂේත්‍රයන්හි ඇති වූ ප්‍රබෝධය මීට පෙර කාල පරිච්ඡේද වලට වඩා ශීඝ්‍ර සංවර්ධනයක් පෙන්නුම් කර තිබේ. මෙබඳු නව ගතිකයන් රට තුළ ඇති කිරීම් කේන්ද්‍රීය ලක්ෂණයක් වූයේ දේශපාලන වශයෙන් බලය එක්සත් කිරීමට හැකි වූ බැවිනි.

අසල්වැසි රාජ්‍යයේ පාලකයා වූ ද දේවානම් පියතිස්ස රජුගේ සමකාලීන මිත්‍රයා වූ ද අශෝක රජතුමා මෙරට දේශපාලන බලය ස්ථාවරව පවත්වා ගැනීමට අවශ්‍ය වූ සාර්ථක මුලධර්ම හඳුන්වාදීමේ අනූපමේය සහයෝගය ලබාදුන්නේය. රාජාභිෂේකය ලබාගැනීමෙන් ඉක්බිතිව ‘දෙවනපිය’ නාමය පවරාගත් තිස්ස රජතුමා මුළු දිවයිනටම දේශපාලන වශයෙන් ආධිපත්‍ය දැරීමට සමත් විය.

සංඝමිත්තා තෙරණියගේ සම්ප්‍රාප්තිය බොධි ශාඛාවක් රෝපණය කිරීම ඇතුළු බෞද්ධ සංඝයා උදෙසා පාචීන විහාර ආදී විහාරාරාම උතුරු ප්‍රදේශයේ ඉදිකිරීම් ආදී විස්තර මගින් විශද කරන ප්‍රධාන කරුණ වන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ බලය මුළු දිවයින පුරා ව්‍යාප්තව තිබූ බඩයි. රුහුණු පළාත පැවැතියේ ද අනුරාධපුර රජතුමාගේ අණසක යටතේය. එකල රාජ්‍ය බලය උරුම වූයේ පියාගෙන් පුතාට නොව සහෝදර අනුපිළිවෙලටය. මේ අනුව දේවානම් පියතිස්ස රජුගේ පුතාට රාජ්‍ය බලය හිමිවිය යුතුව තිබුණේ මහානාග, උත්තිය, මහා සිව සහ සුරතිස්ස ආදී රජතුමාගේ සහෝදර පාර්ශවය රාජ්‍ය බලය ලැබීමෙන් පසුවය.

මේ නිසා මහානාග රජතුමා බියෙන් පලා ඇවිත් රුහුණේ වෙනම පාලනය කළ බව දැක්වෙන ප්‍රවෘත්තිය පිළිගත නොහැකිය. එහිදී සිදුවුයේ තත්කාලීනව රුහුණු ප්‍රදේශයේ පාලන බලය ලබාගෙන ඉදිරියට එමින් සිටි කතරගම ක්ෂත්‍රීයවරුන්ගේ එක්සත් දේශපාලනය සඳහා ඉදිරි කාලයේ දී සිදු විය හැකි අභියෝගයන්ට මුහුණ දීමේ මුලෝපායික දේශපාලන තීන්දුවක් සඳහා අවතීර්ණවීමකි. එනම් මහානාග රජතුමා රුහුණේ බලය අත්පත් කරගෙන රට එක්සත් කිරීමට ප්‍රයත්න දැරීමකි. අනුරාධපුර මහාබෝධි උත්සවයට පවා සහභාගී වූ කතරගම ක්ෂත්‍රියවරු දේවානම් පියතිස්ස රජුගේ බලය පිළිගත් බව සිතිය නොහැක. මේ නිසා කුසලාකන්ද සෙල්ලිපියේ සඳහන් උපරාජ වූ කලී රුහුණු ප්‍රදේශය කතරගම ක්ෂත්‍රීයවරුන් වෙතින් නැවත අත්පත් කරගෙන මධ්‍ය රජය ශක්තිමත් කිරීම සඳහා යන්න දැරූ තත්ත්වයකි.

මධ්‍ය රජයට බාහිර ආක්‍රමණ මගින් එල්ල වූ තර්ජනවල දී එය මැඩපැවැත්වීම සඳහා පරිධිය වෙතින් ක්‍රමවත් ආධාර නොලැබී යෑමට හේතුව වූයේ ඔවුන් ස්වාධීන වී බලය වර්ධනය කොට මධ්‍යයට අභියෝග එල්ල කිරීමට ඉදිරිපත් වීමයි. සේන, ගුත්තික ද්‍රවිඩයන් සුරතිස්ස රජු පහ කොට බලය ලබා ගැනීමේදී මෙබඳු සහයක් පරිටිය වෙතින් හිමි වූ බවක් නොපෙනේ.

මුළු දිවයිනම එක්සත් කොට රට සංවර්ධනය කිරීමේ දී ඒකීය රාජ්‍යයක වැදගත්කම ගැඹුරින් අධ්‍යයනය කළ රාජ්‍ය පාලකයෙකු වශයෙන් දුටුගැමුණු රජතුමා කැපී පෙනේ. දුටුගැමුණු රජතුමාට අවශ්‍ය වූ අනාගත ඒකීය රාජ්‍ය පාලන තන්ත්‍රය ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ පුරෝගාමී මෙහෙය කළේ ඔහුගේ පියා වූ කාවන්තිස්ස රජතුමා විසිනි. එහිදී ඔහු විවාහ කරගත් සවෙර කුමරිය (විහාරමහා දේවි) වූයේ කතරගම ක්ෂත්‍රීය පරම්පරාවේ දම රජගේ පුත්‍රයා වූ මහ තිශගේ දියණියයි. මෙම ආවාහ විවාහ ගනුදෙනුව මගින් රජ පෙළපත් දෙක සමගි සංධාන වීම මගින් එක්සත් පාලනයකට අවශ්‍ය කොන්දේසි සම්පූර්ණ කළේය.

රජරට සිටි සිංහල පාලකයන්ගේ ක්‍රියාකාරිත්වය අහිමි වී ගිය නිසා රජ රට සහ රුහුණු දේශපාලන බලය මධ්‍යගක කිරීම මගින් රටේ සමෘද්ධිය ඇති කළ හැකි බව දුටුගැමුණු රජතුමා වටහාගෙන සිටියේය. මෙය වූ කලී රට සියලු බාහිර හා අභ්‍යන්තර උපද්‍රව වලින් මිදී ආඪ්‍ය වීමේ ක්‍රමවේදය ස්පර්ශ කිරීමකි.

දේශපාලන එක්සත් බව රඳවා ගැනීමට හැකි වීම නිසා මහාථූපය, මිරිසවැටිය, ලෝවාමහාපාය වැනි බෞද්ධ ගොඩනැගිලි ඉදි කිරීම, සංඝයාට අවශ්‍ය බො‍හෝ සේවාවන්හි යෙදීමට හැකි වීම ආදී සංස්කෘතික වශයෙන් ධනාත්මක කාර්යයන් රැසක් ඉටුසිරිමට හැකි විය. මෙලෙස ජාතික අනන්‍යතාව ගැනීමට වූ රජතුමා දීඝවාපි ආදී ප්‍රදේශ වල කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීමට අවශ්‍ය නායකත්වය ලබාදීමෙන් රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කළේය. ඇත්තවශයෙන් තත්කාලීන සමාජය තුළ සංස්කෘතික වශයෙන් වැදගත් වන්නා වූ විශාල ආරාම පද්ධතියක් හා ආර්ථිකය නගා සිටුවීමේ ක්‍රම‍වේදය මගින් විශද කරන්නේ රට සංවර්ධනය කිරිමේ දී ඒකීය රාජ්‍ය සංකල්පය රජවරු ඉතා හොදින් වටහාගෙන සිටි බවකි.

දේශපාලන බලය සඳහා විවිධ අය හිමිකම් කියා පෑම. බාහිර ආක්‍රමණ, වැනි සිද්ධීන්ගේ ප්‍රතිඵලය වූදේ දුටුගැමුණු රතුමා විසින් ගොඩනගන ලද දේශපාලන සථාවර බව අර්ධ ශත වර්ෂයකින් ඉක්බිතිව දුර්වල තත්ත්වයකට පත් වීමය. මෙය රටේ සමාජ ආර්ථික හා සංස්කෘතික වර්ධනය සඳහා සුවදායී තත්ත්වයක් නොවීය. ඉක්බිතිව මේ සියලුම උපද්‍රව මැඩපවත්වා ඵෙතිහාසික ශ්‍රි ලංකාවේ දේශපාලන බලය එක්සත් කිරීමේ පදනම සකස් කළේ වළගම්බා රජු විසිනි. මේ නිසා බුද්ධ ශාසනයේ දියුණුවට හිත කර වූ සමයක් නැවත උදා විය. විදේශයන්හි පවා ප්‍රචලිත වු අභයගිරි විහාරය ඉදිකිරීමට සිය කාලය මිඩංගු කළ අතර චීන දේශාටන පාහියන් භික්ෂුව පවසන පරිදි මෙම විහාරයේ භික්ෂුන් වහන්සේලා 5,000ක ප්‍රමාණයක් වාසය කළහ. සමස්තයක් වශයෙන් භික්ෂුන් 10,000 ට වඩා ප්‍රමාණයක් කාලීන වශයෙන් ලංකාවේ සිටි බව වාර්තා වීමෙන් සංස්කෘතික වශයෙන් බෞද්ධ සමාජය තුළ වූ අනුග්‍රහය තහවුරු කරයි.

ඉක්බිතිව වසඟ රජතුමා විසින් සමාජ ආර්ථික හා සංස්කෘතික වශයෙන් ඇති කරන ලද අභිවෘද්ධිය කෙරෙහි රටේ එක්සත් බව ආරක්ෂා කරමින් ඔහු අනුගමනය කළ දේශපාලන සම්ප්‍රදාය කැපී පෙනේ. යාපනය ප්‍රදේශයෙහි වල්ලිපුරම් හි සොයා ගන්නා ලද සෙල්ලිපය මගින් එම ප්‍රදේශයේ තත්කාලීන වශයෙන් දේශපාලන ආධිපත්‍ය හා මධ්‍යම ආණ්ඩුවේ පාලනය යටතේ එය පැවති ස්වරූපය පැහැදිළි කරයි. තමා අත්පත් කරගත් බලය මුළු දිවයිනට ම පතුරුවාලීමට හා ආර්ථික අභිවෘද්ධිය හා සෞභාග්‍යය සැලසෙන පරිදි ක්‍රියා කිරීමට මෙන්ම සාමකාමී සමාජ වාතාවරණයක් ගොඩ නැගිමට ආදී විවිධාකාර ක්‍රියාමාර්ග රැසක් මෙහිදී සිදු විය. විශේෂයෙන් බොහෝ ස්ථානවල වාරිමාර්ග කටයුතු කිරීමෙන් කෘෂිකර්මාන්තය නගා සිටු වීම සඳහා සිදු කළ කැපවීම කාලීන වශයෙන් ආර්ථිකය ප්‍රබල සංවර්ධනයක් ඇති කිරීමට හේතු වූ බව පෙනේ. ඔහු විසින් වැව් එකොළහක් සහ වෙතත් වාරිමාර්ග ඇතුළු ඇලවල් දොළහක් ගොඩනගා රටේ සෞභාග්‍ය ඇති කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කර තිබේ.

මහාසේන රජතුමා මහා විහාර සීමාව තුළ සිදු කළ ඇතැම් සිද්ධි නිසා ආගමික වශයෙන් යම් අර්බුද මුල් කාලයේදී මතු වුවද ඔහු විසින් රට සංවර්ධනය සඳහා විශාල වැඩ කොටසක් ඉටු කිරීමෙන් ජන ප්‍රසාදය දිනා ගත්තේය. සංස්කෘතික වශයෙන් වැදගත් වූ අති විශාල වූ ජේතවනය මෙන්ම ආර්ථික සංවර්ධනයට අදාළ වූ මින්නේරිය වැව ආදී විශාල වාරිමාර්ග කිහිපයක් ගොඩනගන ලදී. මෙබඳු ඉදිකිරීම් නිසා විශිෂ්ට පාලකයෙක් වශයෙන් ඔහු කැපී පෙනේ.

අනුරාධපුර අවසාන භාගයේ දී දේශපාලන එක්සත් බව බිඳ වැටිණි. මහා විජයබාහු රජ සමය දක්වාම රටේ සාමකාමී බව අහෝසි වී යාම, දේශපාලන අවුල් වියවුල් ඇති වීම වැනි අනර්ථකාරී තත්ත්වයන් රාශියක් ඇති විය. මේ තත්ත්වය මග හරවා රුහුණු පිහිටි, මායා නමින් වෙතම බිහි වී තිබූ දේශපාලන බෙදීම් ඉවත ලා රට සංවර්ධනය කිරීමේ දී ඒකීය රාජ්‍යයේ වැදගත් කම අවබෝධ කරගත් මහා පරාක්‍රමබාහු රජතුමා පැරණි ලංකාවේ දේශපාලන බලය එක්සත් කිරීමට කටයුතු කළේය.

එහිදී රජු වෙනුවෙන් පාලනය ගෙන ගිය ඈපා, මාපා, නමින් හැඳින් වූ නියෝජිතවරුන්ගේ බලතල අවලංගු කොට මුළු දිවයින රජුගේ අණසක යටතට ගෙන ඒකීය පාලන තන්ත්‍රයක් ගොඩ නැගිණි. එයින් සිදු වූ වැදගත් ප්‍රතිඵලය වූයේ, එතෙක් අඩාලව පැවති කෘෂි කර්මාන්තය, වාරි කර්මාන්තය, සංස්කෘතික කටයුතු සුබසාධනය ආදී කාර්යයන් වේගයෙන් සංවර්ධනය කෙරෙහි යොමු වීමයි. පැරණි ලංකාව ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍රය වූ කෘෂිකර්මාන්තය හා වෙළඳාම නගා සිටුවීම සඳහා පෙර රජ දරුවන් ඉටු කළ මෙහෙය අගය කරමින් පරාක්‍රම සමුද්‍රය ගොඩනගා මෙරට පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කළේය. මෙබදු ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමේ දී අවශ්‍ය වූ අහස් ජලය වැව් මත ඒකරාශී කිරීම වාරිමාර්ග ක්‍රමෝපායයන් දියත් කිරීමට අවකාශ සැලසුනේ ඒකීය දේශපාලන සම්ප්‍රදායක් මගින් බය එක්සත් කර තිබූ බැවිනි.

මෙම පසුබිම ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හේතු විය. විශේෂයෙන් සංස්කෘතික වශයෙන් ඇති වූ පුනර්ජීවය විශිෂ්ට තත්වයේ ලා සැලකිය හැකිය. ගල්විහාරය, කිරිවෙහෙර, ලංකාතිලසය, දෙමළ මහා සෑය, තිවංකය ආදී ආගමික ගෙඩනැගිලි ඉදිකිරීම මෙන්ම බුද්ධ ශාසනය නගා සිටුවීම සඳහා රාමඤ්ඤ දේශයෙන් උපසම්පදාව ගෙන්වා උපසම්පදා කටයුතු ආරම්භ කිරීමට කටයුතු කිරීමෙන් පැරණි ලංකාව ආඪ්‍ය කළේය.

ඇත්ත වශයෙන් කෞටිල්‍ය විස්තර කර ඇති පරිදි රාජ්‍ය පාලකයා විසින්, ජනතා අභිවෘද්ධිය සඳහා අවශ්‍ය වැව් අමුණු කරවීම, ජනාවාස පිහිටුවීම වැනි කටයුතු කාර්යක්ෂමව ඉටු කිරීම යහසත් පාලකයෙකු විසින් අනුගමනය කළ යුතු බවට දක්වෙන ප්‍රතිපත්ති පරාක්‍රමබාහු රාජ්‍ය පාලනයේ කැපී පෙනේ. ඒකීය පාලන තන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී දුරස්ථ ප්‍රදේශ වල ඇති විය හැකි සමාජ වෙනස්වීම් සොයා බැලීම සඳහා චරපුරුෂ සේවාවන්ගේ සහයෝගය ලබා ගැනීමට පවා රජතුමා කටයුතු කර තිබේ.

පරාක්‍රමබාහු රජුගේ දේශපාලන න්‍යාය පත්‍රයේ ම ඇති සංවර්ධන ව්‍යාපෘති දෙස බැලීමේ දී ඒවා දුරදර්ශී ලෙස සංවිධානය කර තිබූ බව පෙනේ. පස්දුන් රට කෘෂිකර්මය සඳහා සැකසූ ප්‍රදේශයේ සරුසාර අස්වනු නිරන්තරයෙන් ලැබිණි. සෑම වාරිමාර්ග පද්ධතියක ම ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කිරීම මගින් විශද කරන්නේ ඒකීය දේශපාලන සම්ප්‍රදාය මගින් රට සංවර්ධනය කිරීමේ සිද්ධාන්තය පැරණි රාජ්‍ය පාලකයන් ඉතා හොඳින් අධ්‍යයනය කර තිබූ බවකි. සමුද්‍ර වෙළෙඳ පොළ ශක්තිමත් කර අන්තර්ජාතික වෙළඳාම මගින් රටේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීමට එතුමෝ ක්‍රියා කළා පමණක් නොව දේශපාලන වශයෙන් පැවති මෙම ස්ථාවර බව දක්ෂිණ ඉන්දියාව, බුරුමය ආදී රාජ්‍ය ආක්‍රමණය කිරීමට පවා සමත්ව සිටියහ.

ඉක්බිතිව නිශ්ශංකමල්ල රජු පවා එක්සත් දේශපාලන තත්ත්වයක් රට තුළ ගොඩනගා ගෙන සමාජ ආර්ථික හා සංස්කෘතික වර්ධනය ඇති කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළේය. ඔහු විසින් ඉදිකළ රන්කොත් වෙහෙර, වටදාගෙය. හැටදාගෙන, නිශ්ශංකලතා මණ්ඩපය ඇතුළු විහාරාරාම, දඹුල්ල ඇතුළු බොහෝ ගෘහ නිර්මාණ කටයුතු මගින් රට තුළ ඇති වූ අභිවෘද්ධියට දේශපාලන වශයෙන් පැවති එක්සත් බව ඉවහල් වූ ආකාරය පිළිබිඹු කරයි.

ඉක්බිති කාල පරිච්ඡෙදයේදී පුරාණ රජවරු විසින් ආරක්ෂා කළ දේශපාලන එක්සත් බව ගිලිහී යෑම රට සංවර්ධනය අඩාල වීමට ප්‍රධාන හේතුව විය.

පැරණි ලංකාවේ දේශපාලන වශයෙන් ඉතා වැදගත් වන ඒකීය පාලන සම්ප්‍රදායක නැවත ආරම්භය මතු වන්නේ හයවැනි පරාක්‍රමබාහු (ක්‍රිස්තු වර්ෂ 1411-1460) රාජ්‍ය සමයේදීය. එය වූ කලී යුරෝපියානු ආධිපත්‍යයට පෙර මුළු ලංකාව ඒකීය පාලනයක් යටතේ එක්සත්ව පැවති අවසන් කාල පරිච්ඡේදයයි. සිංහලයේ අන්තිම රජු දක්වා සිංහල රාජ්‍යය බිඳ වැටෙන තෙක් යාපාපටුන ඇතුළු අනෙක් ප්‍රදේශ තනි සිංහල රජකු විසින් පාලනය කළේ එම කාල පරිච්ඡේදයේ දී ය.

මේ කාලයේ දී ජරාජීර්නව පැවති බොහෝ සංස්කෘතික උරුමයන් ප්‍රතිසංස්කරණය කිරීම, සුනේත්‍රාදේවී පිරිවෙන ඉදිකිරීම වැනි පුරෝගාමී කටයුතු රැසක් සිදු විය. තව ද මේ රාජ්‍ය කාලයේ දී වෙළෙඳාම රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්වී ආර්ථික වශයෙන් විශාල පුනර්ජීවනයක් ලබා තිබිණි. ඉක්බිතිව ඒකීය බව ගිලිහී යෑම නිසා දේශපාලන ආරවුල් වලින් පරිපූර්ණ විය. ඉන්පසු කෘෂිකර්මාන්තය හා වෙළෙඳාම අඩපන වීම මගින් රටේ ආර්ථික සංවර්ධනය පසු බැසීමට හේතු විය.

පැරණි දේශපාලනය තුළ එක් කැපී පෙනෙන කරුණක් වූයේ ප්‍රාදේශීය පාලනය බොහෝවිට මධ්‍ය පාලනය වෙත මැදිහත් වී බලය වර්ධනය කර ගැනීමට උත්සාහ කිරීමයි. එය වූ කලි මධ්‍යය ආක්‍රමණය කිරීම සඳහා පරිධිය විසින් නිරන්තරයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ය. එබැවින් රට සංවර්ධනය කිරීමේ දී බලය එක්සත් කොට තබා ගැනීම මගින් ඒකීය පාලන සම්ප්‍රදායේ ඇති වටිනාකම පුරාණ පාලකයින් ඉතා හොඳින් අධ්‍යයනය කර ඓතිහාසික සමාජයේ, දේශපාලන යාන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය වර්තමාන සමාජයේ, දේශපාලන ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා බෙහෙවින් වැදගක් වනු ඇත.

මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන විසිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!