spot_img
spot_imgspot_img

දකුණේ ආණ්ඩුකාරයා, රාජ්‍ය නිලධාරීන් සහ මුදල් වැරදි වැඩට යොදවලා

පුවත්

විදෙස්

දකුණු පළාත් ආණ්ඩුකාර ගිනුමෙන් රුපියල් ලක්ෂ ගණනක් වැය කර පුද්ගලික හෝටල් පරිශ්‍රයන්හි සිටින විදේශිකයන් පිනවීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ කාලය සහ ශ්‍රමය අවභාවිතා කර ඇතැයි තොරතුරු දැනගැනීමේ පනත අනුව කරන ලද විමසීමකින් තහවරු වෙයි.

මෙය සිදුකර ඇත්තේ දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ විසින් ලබාදී ඇති උපදෙස් අනුව භක්ති ගීත වැඩසටහනක් සංවිධානය කරමිනි.

2023 වර්ෂයේ ජාතික වෙසක් උත්සවයට සමගාමීව දකුණු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් යොදා ගනිමින්, රජයේ මුදල් භාවිතා කරමින් උණවටුන ප්‍රදේශයේ පිහිටි කියුපිඩ් නමැති සංචාරක ‍හෝටලයක භක්ති ගීත වැඩසටහනනක් පවත්වා සංචාරකයන් පිනවීමට කටයුතු කර ඇත.

මෙය රටේ පවතින නීතිය අනුව රාජ්‍ය නිලධාරීන්ගේ කාලය, ශ්‍රමය මෙන්ම රජයේ මුදල් අවභාවිතා කිරීමක් ද වෙයි.

මේ සම්බන්ධයෙන් අප 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත අනුව අවස්ථා දෙකක දී කරන ලද විමසීම්වලට ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරී ජයන්ත ජී. ලියනගේ පිළිිතුරු ලබා දී ඇත.

එම පිළිතුරු අනුව පැහැදිළි වන්නේ ජාතික වෙසක් උත්සවයට සමගාමීව එම කාර්යාලයේ නිලධාරීන් සහ රජයේ මුදල් වැයකරමින් උණවටුන කියුපිඩ් බීච් ක්ලබ් හෝටලයේ භක්තිගීත වැඩසටහනක් පවත්වා ඇති බවයි. එයට අමතරව දඩල්ල මහ මුදලින්දාරාමයේ ද, ගාල්ල කෙටුව යුද හමුදා කඳවුර අසළ ක්‍රීඩාංගණයේ සහ සීනිගම ශ්‍රී දෙවොල් දේවාල පරිශ්‍රයේ ද භක්ති ගීත වැඩසටහන් පව්තවා තිබේ.

ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරී සඳහන් කරන්නේ කියුපිඩ් බීච් හෝටලයේ භක්ති ගීත වැඩසටහන පවත්වා ඇත්තේ  දකුණු පළාත් සංචාරක ‍හෝටල් හිමියන්ගේ සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව බවයි. නමුත් එම ඉල්ලීමට අදාල ලිපිගොණු තොරතුරු පනත යටතේ ඉල්ලා සිටිය ද එයට පිළිතුරු වශයෙන් දක්වා ඇත්තේ එම ඉල්ලීම කර ඇත්තේ ආණ්ඩුකාරවරයාගෙන් ලිඛිතව නොව වාචිකව බවයි.

ශ්‍රී ලංකාවේ පළාතක පිහිටි ඉහළම රාජ්‍ය ආයතනයේ රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුකාරවරයාගෙන් නිකමට මෙන් වාචිකව කරන ලද ඉල්ලීමක් අනුව ගීත ගායනයට යොදවන්නේ නම් ශ්‍රී ලංකාවේ පළාත් රාජ්‍ය පාලනය පත්ව ඇති තත්වය මේ කාරණයෙන් ම පැහැදිළි වෙයි.

පළාත් සභාව යනු මහජන නියෝජිතයන්ගෙන් පාලනය විය යුතු ආයතනයකි. දැන් සිදුව ඇත්තේ ජනාධිපතිවරයා (ජනතාව විසින් බලයෙන් පහකරන ලද ජනාධිපතිවරයකු විසින්) පත්කරන ලද තනි පුද්ගලයකුගේ පුද්ගලික ඕනෑ එපාකම් අනුව දකුණු පළාතේ රාජ්‍ය නිලධාරීන්ට කටයුතු කීරීමට සිදුව තිබීමයි.

මෙම භක්තිගීථ වැඩසහටහන සඳහා ආදායම් වියදම් පිළිබඳ ලේඛනයක් තොරතුරු පනත යටතේ ඉල්ලූ විට එහි තොරතුරු නිලධාරීවරයා එවැනි වියදම් ලේඛනයක් ලබා දී නැත. ඔහු සඳහන් කර ඇත්තේ මෙම භක්ති ගීත වැඩසටහනේ ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා රුපියල් 115,000.00ක්, පුහුණුවීම් සඳහා රුපියල් 20,000.00ක්, වාද්‍ය වෘන්දය සඳහා රුපියල් 120,000.00ක් ඇඳුම් සඳහා රුපියල් 73,100.00ක් වශයෙන් රුපියල් 328,100.00ක් වියදම් වී ඇති බව පමණි.

අයවැය වාර්තාවක් ලෙස ඉදිරිපත් කර ඇත්තේ ඉහත ලේඛනය පමණි

එමෙන් ම මෙම භක්ති ගීත වැඩසටහන සඳහා කාර්ය මණ්ඩලය ප්‍රවාහනය සඳහා යොදාගත් වාහන, නිලධාරීන් ගමන් කළ වාහනවල තොරතුරු ඉල්ලූවිට ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරීවරයා 2016 අංක 12 දරණ තොරතුරු පනතට ප්‍රතිවිරුද්ධ ලෙස කටයුතු කරමින් සරල පිළිතුරක් ලබා දී තිබේ. ඔහු පවසා ඇත්තේ සියලු දෙනාම ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයකින් ගමන් කළ බවයි. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මෙම භක්ති ගීත වැඩසටහටහන සඳහා බස් රථයේ නොගිය බව නම් අප හොදින්ම දන්නා කරුණකි.

කෙසේ වෙතත් තොරතුරු නිලධාරීවරයා පවසන බස් රථය ලබාගෙන ඇත්තේ ගාල්ල ඩිපෝවෙන් නොවේ ගාල්ලේ පැවැත්වෙන වැඩසහන සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථය ගෙන්වාගෙන ඇත්තේ මහරගම ඩිපෝවෙනි

ඒ සඳහා ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් රුපියල් 54,800.00ක මුදලක් ගෙවා ඇති අතර ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇත්තේ 63-2625 දරණ බස් රථයක් බව ද ලේඛනවල සඳහන් වේ.

මේ අනුව අසම්පූර්ණ සහ සවිස්තරාත්මක නොවන වියදම් ලේඛනයේ දත්ත අනුව ආණ්ඩුකාරවරයා විසින් තමන්ගෙන් ව්‍යාපාරිකයන් කරනු ලැබූ පුද්ගලික ඉල්ලීමකට අනුව පුද්ගලික හෝටල්වලට රාජ්‍ය සේවකයන් යොදා බැතිගී සංදර්ශන පැවැත්වීම සඳහා වියදම් කර ඇති රජයේ මුදල් ප්‍රමාණය 382,900.00ක් පමණ වෙයි.

මෙම වැඩසටහන සඳහා කිසිදු පරිත්‍යාගයක් ලැබී නැතැයි ද ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරී ජයන්ත ජී.ලියනගේ අපවෙත ලබාදුන් තොරතුරු අනුව තහවරු වෙයි. එමෙන් ම ඔහු සඳහන් කර ඇත්තේ මේ සඳහා මුදල් ගෙවන ලද්දේ ගාල්ල කොටුවේ පිහිටි ලංකා බැංකු ශාඛාවේ ඇති ආණ්ඩුකාරවර ගිණුමෙන් බවයි.

මෙය සැබැවින් ම රාජ්‍ය සේවකයන්ගේ ශ්‍රමය අවභාවිතා කිරීමක් මෙන්ම රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් ද වෙයි.

මේ මුදල් පරිහරණය සම්බන්ධයෙන් රාජයේ විගණකාධිපතිවරයා විගණනය කරන්නේ ද යන්න අප දන්නේ නැත. නමුත් අල්ලස් හා දූෂණ පිළිබඳ කොමිෂන් සභාව විසින් විමර්ශනය කළ යුතු දූෂණය නමැති වරදට නම් මෙය අදාළ වන බව තතු දන්නෝ කියති.

(සජීව විජේවීර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!