spot_img
spot_imgspot_img

“ඇත්ත තාත්තා වුණත්, අවිවාහක නම් දරුවන් දෙන්න බෑ” – නිවුන් දරුවන් ගැන මහේස්ත්‍රාත්ගේ තීරණය

පුවත්

විදෙස්

දරුවන්ගේ පියා තමන් යැයි ප්‍රකාශ කළ ද මව් පියන් අවිවාහක බැවින් දරුවන් දෙදෙනාගේ භාරකාරත්වය ජීව විද්‍යාත්මක පියාට භාරදිය නොහැකියැයි කී අධිකරණය නිවුන් දරුවන් දෙදෙනා ප්‍රේම් ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත භාර දීමට කටයුතු කළේය.

මේ නියෝගය නිකුත් කළේ වැලිසර මහේස්ත්‍රාත් ධම්මික උඩුවේ විසිනි.

කාන්තාවක විසින් බිහිකරන ලද නිවුන් දරුවන් දෙදෙනකු රුපියල් 25,000.00 බැගින් වෙනත් කාන්තාවන් දෙදෙනකුට අළෙවි කරන ලදැයි චෝදනාව යටතේ එම දරුවන් බිහිකළ මව සහ දරුවන් ලබාගත් බව කියන කාන්තාවන් දෙදෙනා පසුගිය සිකුරාදා (08) අධිකරණයට ඉදිරිිපත් කළ අවස්ථාවේ එම නියෝගය නිකුත් කෙරිණි.

අධිකරණයෙන් විශේෂ අවසරයක් ගත් තරුණයකු මෙම නඩුව විභාග වූ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටිමින් කියා සිටියේ තමන් මෙම දරුවන් දෙදෙනාගේ පියා බවයි. අධිකරණයේ දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තම පීතෘත්වයෙන් බිහි වූ දරුවන් දෙදෙනා අන් සතුව ඇති බව දැනගත්තේ මාධ්‍ය මගින් ප්‍රචාරය වූ විට බවයි. තමන්ට තම ඥාතීන්ගේ ද උදව්වෙන් මේ දරුවන් දෙදෙනා ඇතිදැඩි කරමින් රැකවරණය ලබාදිය හැකි බව ප්‍රකාශ කරමින් ඔහු දරුවන් දෙදෙනා තම භාරයට පත්කරන්න යැයි අධිකරණයෙන් අයැද සිටියේය.

එම අවස්ථාවේ දී මහේස්ත්‍රාත් ධම්මික උඩුවේ විමසා සිටියේ ඔහු දරුවන්ගේ මව සමඟ විවාහ වී සිටින්නේ ද යන්නයි. නමුත් ඔවුන් අවිවාහක බව ප්‍රකාශ කළෙන් නීත්‍යානුකූල නොවන පියකුට දරුවන් භාරදිය නොහැකි බව අධිකරණයේ තීරණය විය.

දරුවන් දෙදෙනාගේ මව දරුවන් භාරගැනීමට නොහැකි බවත්, තමාට දරුවන් දෙදෙනකු පෝෂණය කළ නොහැකි බවත් ප්‍රකාශ කර ඇති බැවින් දරුවන් දෙදෙනා මොරටුව රාවතාවත්තේ පිහිටි ප්‍රේම් ළමා සංවර්ධන ආයතනයට භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම දරුවන් දෙදෙනා අධිකරණයට ගෙන ආ අවස්ථාවේ දී ඔවුන් දෙදෙනාගේ පියා බව පැවසූ තරුණයා දරුවන් දෙදෙනා තුරුලට ගෙන මද වේලාවක් ගත කර නැවත දරුවන් පිරිවාස නිලධාරීන් භාරයට පත්කළේය.

දරුවන් දෙදෙනා තමන් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනා සහ දරුවාගේ මව එක් අයකුට රුපියල් ලක්ෂ 500,000 බැගින් වූශරීර ඇප මත මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියේාග කළේ ය.

දරුවන් තම සන්තකයේ තබාගත් කාන්තාවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශ්‍යාමලී පෙරේරා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම කාන්තාව්න දෙදෙනාට දරුවන් නොමැති අතර දරුවන් බිහිකිරීමේ හැකියාවක් ද නොමැති බවයි. ඔවුන් දරුවන් දෙදෙනා ලබාගැනීමට ක්‍රියාකර ඇත්තේ කිසිදු මුදල් ගනුදෙනුවකට නොවන බවත් දරුවන්ගේ මවට අවශ්‍ය කළමනා ගැනීමට උපකාර කර ඇති බවත් නීතිඥවරිය කීවාය.

දරුවන්ගේ මව ගර්භණීව සිටිය දී ඔක්තෝබර් මාසයේ සිට එක් කාන්තවක් විසින් ඇගේ නිවසේ එම ගැබිනිය නවතාගෙන අවශ්‍ය සියලු දේ ඉටුකර දී ඇති බවත් පසුව කොළඹ කාසල් රෝහලට ඇතුළත් කර නොවැම්බර් 29 වැනි දා දරුවන් දෙදෙනාට උපත ලබා දී ඇති බවත් ප්‍රකාශ කෙරිණි. නීතිඥවරිය කියා සිටියේ දරුවන් ඇති දැඩි කිරීමට ගත්තා මිස මිනිස් වෙළෙඳාමක් සිදුව නැති බවයි.

මේ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ දරුවන් හදා ගැනීමට අවශ්‍යනම් ඒ සඳහා රටේ පවතින නීතිය අනුව කටයුතු කරන ලෙසයි.

මෙම නඩුව නැවත ජනවාරි 12 වැනි දා කැඳවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!