spot_img
spot_imgspot_img

පොලිසිය කෙරුවාව මෙන්න. බෞද්ධ කොඩියක් හොරා ගත්තැයි අවුරුදු දෙකක් රිමාන්ඩ්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) පනත විශාල වශයෙන් අවභාවිතා කරමින් ශ්‍රී ලාංකික පුරවැසියන් අමාරුවේ දමා ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව වෙතින් 2016 අංක 12 දරණ තොරතුරු පනතට අනුව කරන ලද විමසීමකින් තහවරු වෙයි.

සමාජය හා සාමයික කේන්ද්‍රය (CSR) මගින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ඉල්ලීම කරතිබිණි.

එම ඉල්ලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අත්සනින් යුතුව අදාළ තොරතුරු නිකුත් කර තිබේ.

එම තොරතුරු අනුව පැහදිලි වන්නේ 2017 වර්ෂයේ සිට 2023 පළමු මාස 06 අවසානය දක්වා ශ්‍රී ලාංකික පුරවැසියන් 219 දෙනකු අයිසීසීපීආර් පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති  බවයි. නමුත් එලෙස අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් මාස ගණනක් රිමාඩ්භාරයේ රඳවා සිටිය ද අධි චෝදනා ගොනුකර ඇත්තේ 44 දෙනකු සඳහා පමණි.

එයින් පැහැදිළි වන්නේ පොලිස් දෙපාර්තමේන්තුව අයිසීසීපීආර් පනත අවභාවිතා කරමින් මෙරට පුරවැසියන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.

අයිසීසීපීආර් පනත යටතේ 2017 නොවැම්බර් මස 16 වැනි දා පුද්ගලයන් 19 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ලේ, ගිංතොට ප්‍රදේශයේ ඇති වූ සිද්ධියකට අදාලවය. ඔවුන් අයිසීසීපීආර් පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ්කර ඇතත් ඉන්පසු සැකකරුවන් මුදාහරින ලෙස නීතිති උපදෙස් ලැබීම හේතුවෙන් අධි චෝදනා ගොනුකර නැත. එම වර්ෂයේ දී අයිසීසීපීආර් පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම 19 දෙනා පමණි.

එම පනත යටතේ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2018 වර්ෂයේ දී ය. මහනුවර දිගන ප්‍රදේශය සහ ඒ ආශ්‍රිතව ඇති වූ ගැටුම්වලට සමගාමීව 43 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට අදාලව මේ වනවිට මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර ඇතැයි පොලිසිය පවසයි.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ 2019 වර්ෂයේ දී 08 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, නීතිපතිවරයාගේ උපදෙස් මත දෙදෙනකු මුදාහැර ඇත. පොලිසිය පවසන්නේ 2019 සැප්තැම්බර් 05 වැනි දා පුත්තලමේ දී අත්අඩංගුවට ගත් අයකුට විරුද්ධව අධි චෝදනා ගොනු කිරීමට නියමිතව ඇති බවයි. ඔහු අත්අඩංගුවට ගෙන වසර 04ක් ඉක්ම ගිය ද මේ දක්වා ම අධිචෝදනා ගොනුකර නැත.

ආරණ්‍ය සේනාසනයකට යන මාර්ගයේ සවිකර තිබූ බෞද්ධ කොඩියක් සොරාගත් බව කියන දෙදෙනකු ද 2019 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගත් 08 දෙනා අතරට ඇතුළත් වේ. බෞද්ධ කොඩියක් සොරගත්තා යැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අයිසීසීපීආර් පනතයටතේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 2019 මාර්තු මස 28 වැනි දා වන අතර මාර්තු 29 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ්කර ඇත. ඔවුන් දෙදනො වසර දෙකකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිට 2021 ජුනි 07 වැනි දා ඇප ලබා තිබේ.

2020 වර්ෂයේ දී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ 26 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. නමුත් ඒ කිසිම පුද්ගලයකුට එරෙහිව මේ දක්වා ම අධිචෝදනා ගොනුකර නැත. එලෙස අත්අඩංගුවට ගත් 26 දෙනා අතරින්න දෙදෙනකුට එල්ල වී ඇති චෝදනාව වන්නේ නාවික හමුදාවේ දෙදෙනකුට අඩත්තේට්ටම් කිරීම යන්නයි. ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අයිසීසීපීආර් පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ කයිට්ස් පොලිසිය විසිනි.

2021 වර්ෂයේ දී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ එක් පුද්ගලයකු  පමණක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය දැන් පවසන්නේ ඔහුට වෙනත් නීතියක් යටතේ චෝදනා ගොනුකිරීමට නියමිත වයි.

2022 වර්ෂයේ දී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කිසිම පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නැතැයි පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කරන්නේ 2023 වර්ෂයේ පළමු මාස 04 දී තුන් දෙනකු අත්අඩංගුවට ගෙන එක් අයකු වරද පිළිගැනීම හේතුවෙන් නඩුව අවසන් කළබවයි. තවත් අයකුට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇති බව ද පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් කරන ලද තොරතුරු ඉල්ලීමට අනුව ලබා දී ඇති මේ තොරතුරු පරීක්ෂා කිරීමේ දී අනාවරණය වන්නේ අයිසීසීපීආර් පනත හෙවත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ 2019 වර්ෂයේදී අත්අඩංගුවට ගත් බව හොඳින්ම දන්නා ශක්තික සත්කුමාර සහ 2020 වර්ෂයේ දී අත්අඩංගුවට ගත් රම්සි රාසික් යන දෙදෙනාගේ විස්තර පවා මේ ලේඛනයට ඇතුළත්ව නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!