spot_img
spot_imgspot_img

“ෂාෆ්ටර්ගේ මරණය, ඝාතනයක්” යැයි කී හැටි මෙන්න

පුවත්

විදෙස්

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මියගොස් ඇත්තේ කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් සිදුකරන ලද ඝාතනයකින් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (01) අධිකරණයේ දී දැනුම් දුන්නාය.

එම මරණය සම්බන්ධයෙන් නැවත පරීක්ෂා කිරීම සඳහා පත්කළ විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ වාර්තාව ඊයේ (31) අධිකරණයට භාර දී තිබූ අතර එම වාර්තාව අනුව මහේස්ත්‍රාත්වරිය මෙම තීරණයට එළැඹ තිබිණි.

පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ වාර්තාව අනුව ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් හේතුවෙන් සිදු වී ඇති බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මෙම සිද්ධිය තුළින් අපරාධයක් අනාවරණය වන බව පැවසූ මහේස්ත්‍රාත්වරිය, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළාය.

මෙහි දී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මරණයට හේතුව සෙවීම සඳහා අධිකරණය විසින් පත්කරන ලද විශේෂඥ වෛද්‍යවරුන්ගේ කමිටුවේ වෛද්‍යවරු බහුතර මතය එය බවයි. එම මතය 04 ට 01ක් ලෙස බෙදුණු තීරණයක් යැයි ද මහේස්ත්‍රාත්වරිය අද (01) විවෘත අධිකරණයට කියා සිටියාය.

පංච පුද්ගල කමිටුවේ වැඩි අවධානය යොමුව ඇත්තේ ෂාෆ්ටර්ගේ මරණය සයනයිඩ් ශරීරගතවීමෙන් සිදුවූවක් ද නැතිනම් ගෙල සිරකිරීමෙන් සිදුවූවක් ද යන්න සොයා බැලීම කෙරෙහි ය. එහි දී අනාවරණය වී ඇත්තේ ෂාෆ්ටර් රෝහල්ගත කරනවිටත් ඔහුගේ හෘදය අකර්මන්‍යව තිබී ඇති බවයි. එමෙන් ම හෘදය අකර්මන්‍ය වී ඇත්තේ සයනයිඩ් ශරීරගතවීමෙන් නොවේ යැයි ද විශේෂඥ කමිටුවේ තීරණය වී ඇත.

ෂාෆ්ටර් ගේ දේහය ගොඩගෙන සිදු කළ පටක පරීක්ෂාවේ දී ගෙලෙහි හා මුහුණෙහි වූ සීරීම් තුවාල හේතුවෙන් කමිටුව තීරණය කර ඇත්තේ, ගෙලෙහි ඇති වූ පීඩනයක් හේතුවෙන් හෘදය වස්තුව අකර්මණ්‍ය වී ඇති බවයි.

ෂාෆ්ටර් ගේ මුඛයෙන් සයනයිඩ් ශරීරගත වී ඇති නමුත් මරණය සිදුවීම සඳහා ප්‍රමාණවත් සයනයිඩ් ප්‍රමාණයක් ශරීරගත වී නොමැති බවත් අදාළ වාර්තාවේ සඳහන්ව ඇත. කෙසේ වෙතත් ෂාෆ්ටර් ගේ ගෙල සිරකිරීම තන්තුවක් යොදා ගනිමින් සිදු කළේ ද නැතහොත් අතකින් සිදු කළේ ද යන්න නිශ්චිත ව සඳහන් කළ නොහැකි බව ද එම කමිටුව සඳහන් කර තිිබේ.

එබැවින් මේ මරණය සිදුකර ඇත්තේ වෙනත් පාර්ශවයක් විසින් බැවින් එය ඝාතනයක් බවත් සිරුරට ඔක්සිජන් අඩුවීම මරණයට හේතුව බවත් විශේෂඥ කමිටුව තීරණය කර ඇත.

මෙම පැමිණිල්ලේ ඉදිරි විභාගය මාර්තු මස 20 වැනි දින පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!