spot_img
spot_imgspot_img

විද්‍යාව පසෙක ලා, අවිද්‍යාවෙන් කොරෝනා මර්ධනයට ගොස්, ශ්‍රී ලංකාව වැඩ වරද්දා ගනී

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය මර්දනය කිරීමේ දී රාජ්‍ය මට්ටමින්නිශ්චිත විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරන ලද්දේ ද? යන්න පිළිබඳ වන විමසුමකි.

සිරංගිකා ලොකුකරවිට විසිනි

වසංගතයක් පැතිර යන විට නිවසේ බිත්තියක හෑරූ බිලයකින් රෝගයට ගොදුරු නොවූවන් රිංගා පැන යාම ගැන කියවුණේ බෞද්ධ සාහිත්‍යයේ ය. පැපොල, සරම්ප වැනි ලෙඩ හැදුණු විට ඒවා ‘දෙයියන්ගේ ලෙඩ’ නමින් හැඳින්වීම ද තවමත් අපේ ගම්තුලානවල දක්නට ලැබෙන්නකි. ඇතැම් අවස්ථාවල සමහර ලෙඩ රෝගවලින් සුවය පතා විවිධාකාර වූ කෙම්පහන් හා අභිචාර විධි අනුගමනය අද ද අප අත්දකින සමාජ චර්යාවකි.

රෝගියෙක්, ආතුරයෙක් ලෙස නම් කර තොවිල් පවිල් සිදුකර, නූල් ගැටගසා, දෙහි කපා, බලි යවා, බෝධි පූජා කර නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන ජන සමාජයකට නූතන විද්‍යාත්මක ක්‍රම අනුව රෝග පාලනය පුරුදු කිරීම පහසු කටයුත්තක් නොවේ.

මුළු ලෝකයම කොරෝනා රෝගයෙන් පීඩා විඳිද්දී විදෙස් රටවල කොරෝනා මර්දනය කිරීමට ක්‍රම සොයා  පර්යේෂණ කරද්දී එවක අපේ රටේ සෞඛ්‍ය ඇමතිනිය ආශිර්වාද ජලය සහිත මුට්ටි ග‍ඟේ පා කළා ය. තවත් පිරිසක් දුම් මුට්ටි හිස තබාගෙන ගිය හ. කාලි අම්මා හීනෙන් කියූ බෙහෙතකින් කොරෝනා සුවවන බවට රටකරවන තැන දී ප්‍රකාශ කෙරිණි. බටහිර වෛද්‍යවරයකුගේ දේශීය බෙහෙත් කරලකට ද ඇතැම්හු මුළා වූහ.

ලෝකය ඉදිරියට යද්දී අපේ රට තවමත් සිටින්නේ සියවස් ගණනාවක් පසු පසින් ද යන සැකය මතුවන තරමට ම ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනය සඳහා විවිධාකාර වූ කෙම්පහන් හා අභිචාර විධි අනුගමනය කිරීමේ හා ඒවා කෙරෙහි දැඩි අන්ධ භක්තියකින් පෙළීමේ ඉතිහාසයකට අපි උරුමකරුවෝ වෙමු. 

කොරෝනා වසංගතයේ  ශ්‍රී ලංකා ව්‍යාප්තිය

ලංකාවේ දී වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා සංචාරයක් සඳහා මෙරටට ආ චීන ජාතික කාන්තාවකි. ඇය කොරෝනා ආසාදිතයකු බව  සෞඛ්‍ය අමාත්‍යාංශය 2020 ජනවාරි 27 වැනි දින තහවුරු කළේ ය. මෙරටින් වාර්තා වූ පළමු ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයා වූයේ කොළඹ පදිංචි සංචාරක මඟ පෙන්වන්නෙකි. ඒ 2020 මාර්තු 09 වැනි දා ය.

ඉන් මසක පමණ කාලයක් ඉක්ම යත් ම 2020 අප්‍රේල් 16 වැනි දා වන විට  ශ්‍රී ලංකාව වසංගතය පැතිරීමේ අවදානම වැඩි ම රටවල් අතර 16 වැනි මට්ටමට පත්ව තිබිණි.

ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්ත වූ ආකාරය සම්බන්ධ ව 2020 අප්‍රේල් 28දා නිකුත් කළ මහ බැංකු වාර්තාව මෙලෙස පවසයි.

“2020 මාර්තු මස 11 වන දින දක්වා ශ්‍රී ලංකාවේ ආසාදිතයින් ගණන එකක් වූ නමුත් එම සංඛ්‍යාව වේගයෙන් 50 දක්වාත්, පසුව අප්‍රේල් මැද භාගය වනවිට තහවුරු වූ රෝගීන් 300 දක්වාත් වැඩි වූ අතර ජීවිත හානි 07ක් වාර්තා විය.

කොරෝනා ආසාදිතයන් වාර්තා වන ප්‍රදේශ සඳහා සංචරණ සීමා පැනවීම, වරින් වර පාසල් නිවාඩු ලබාදීම, නිරෝධායන ඇඳිරිනීතිය ඒ ඒ ප්‍රදේශවලට පැනවීම වැනි ක්‍රියාත්මක වීම් හමුවේ කොරෝනා පළමු රැල්ල මැඬ පැවැත්වීමට ශ්‍රී ලංකා රජය සමත්වුව ද ඉනික්බිති දිනකට වාර්තා වන මරණ සංඛ්‍යාව 200  ඉක්මවා යාමත් සමඟ රටපුරා අගුළු දැමීම දිනෙන් දින දීර්ඝ කිරීමට සිදුවිය.

වසංගතය ආරම්භයේ සිට 2023 ජූලි මාසය දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 672,554කි. ඒ අතරින් මරණ 16,880ක් සිදු ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ දැක්වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ වසංගතය අඩු වැඩිවීමේ පැහැදිලි අවස්ථා (කොරෝනා රැලි) 04ක් නිරීක්ෂණය වූ බවයි.

ශ්‍රී ලංකාවේ ඇති වූ කොරෝනා රැළි පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය සතු දත්ත

කොරෝනා මර්දනයට ලංකාවේ භාවිත කළ ක්‍රමවේද

කොරෝනා මර්දනය කිරීම සඳහා ලොව රටවල් පර්යේෂණ  කඩිනම් කරමින් විද්‍යාත්මක ක්‍රම කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරද්දී ශ්‍රී ලංකාව විවිධාකාර වූ කෙම්පහන් හා අභිචාර විධි අනුගමනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව පෙනෙන්නට තිබිණි.

කොරෝනාවලින් ජනතාව ආරක්ෂා කර ගැනීමට බව කියමින් එවකට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි ඇතුළු පිරිසක් ගංගා කිහිපයක පිරිත් පැන් සහිත මුට්ටි පා කළා ය. මුට්ටි දැමීමේ ක්‍රියාවලියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්දයක් ඇත්ද යන්න සහ ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කළේද යන්න සම්බන්ධ ව කළ විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අරුණි සෝමරත්න මහත්මිය එයට කිසිදු පිළිතුරක් ලබා දීම ප්‍රතික්ෂේපකර තිබේ.  

එවක අගමැති මහින්ද රාජපක්ෂ, බුද්ධශාසන අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකාවේ සියලු බෞද්ධ විහාරස්ථානවලට දැනුම් දී  තිබුණේ අවම වශයෙන් සතියක කාලක් රතන සූත්‍රය දේශනා කරන ලෙස ය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ද කොරෝනා මර්දනය සඳහා සත් පත්තිනි පූජා සහ රතන සූත්‍රය දේශනාකර විහාරස්ථානවල ඝණ්ඨා නාද කරවමින් ද දේවස්ථාන සහ අන්‍ය සිද්ධස්ථානවල ආශිර්වාද පූජා පවත්වන ලෙස දිසාපතිවරුන්ට දැනුම් දී තිබිණි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධානත්වයෙන්, හෙලිකොප්ටර් යොදාගෙන රටපුරා පිරිත් පැන් ඉසීමේ වැඩසටහනක් ද සිදු කෙරිණි.

ඒ අතරතුර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් කොරෝනා මර්දනය කළ හැකි බටහිර වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයක් ගැන කිසිදු පර්යේෂණයක් සිදු ‍කළ බවට තොරතුරු වාර්තා වූයේ නැත.

කොරෝනා මර්දනය කිරීමට හෝ පාලනය කිරීමට හැකි දේශීය හෝ ආයුර්වේද ඖෂධයක් නිෂ්පාදනයට දේශීය වෛද්‍ය අංශය උත්සාහයක් ගෙන නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී 2023-07-18 දිනැතිව නිකුත් කළ MIM/AD/16/05 අංක දරණ ලිපියෙන් සනාථ වෙයි.

රජරට විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ වර්තමානයේ දකුණු කොරියාවේ ජාත්‍යන්තර එන්නත් පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ සුනෙත් අගම්පොඩි මහතා ඒ පිළිබඳ මෙසේ සිය අදහස ගෙනහැර දක්වයි.

“අපේ රටේ කොරෝනා මර්දනය සම්බන්ධයෙන් කිසිම පර්යේෂණයක් සිදුවුණේ නැහැ. අපට එවැනි පර්යේෂණ සඳහා තිබෙන දැනුම අඩුයි. පර්යේෂකයන්ට උනන්දුව තිබුණත් ඒ සඳහා හිතකර අයුරින් රජයේ ප්‍රතිපත්ති සම්පාදනය වෙන්න ඕනේ. රජය ඊට පහසුකම් සපයන්න ඕනේ. දැනට ශ්‍රී ලංකාව, මාලදිවයින සහ භූතානය හැර දකුණු ආසියාවේ සියලුම රටවල එන්නත් පිළිබඳ, පර්යේෂණ සිදු කරනවා. දකුණු අප්‍රිකානු රටවල් පවා සැලසුම් කරලා තියෙනවා ඒ ඒ රටවලට ඉදිරි වසර 10ක කාලයේ දී අවශ්‍ය එන්නත්වලින් 50%ක් තම රටේ ම නිපදවා ගැනීමට. ඒ අනුව අපි ඉන්නේ ලෝකයේ ඉතාමත් දුර්වල තැනක.”

කෙසේවුවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඒ වනවිටත් භාවිතයේ තිබූ “දෙසඳුන් කල්කය” නමැති ඖෂධයක සපලතාව සෙවීම සඳහා දේශීය වෛද්‍ය අංශය පර්යේෂණයක් කළ බව ය. මෙම පර්යේෂණය සඳහා  ආයුර්වේද දෙපාර්තමේන්තුව රුපියල් 154,810.00ක මුදලක් ද වියදම් කර ඇත.

ඒ අතරතුර සිදුවූයේ කොරෝනා මර්දනයට සුදුසුයැයි කියමින් විවිධ දේශීය බෙහෙත් වට්ටෝරු සහ පැණි වර්ග වෙළෙඳපොළට පැමිණීම ය.  මේවා රාජ්‍ය අනුග්‍රහය ද ඇතිව ජනමාධ්‍ය සහ සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් ප්‍රවර්ධනය කෙරිණි. 

එලෙස ප්‍රචාරය වූ ඖෂධ අතර ධම්මික පැණිය, කරාපිටියේ කොරෝනා කරල, අලුත්වල ලංකා වෙදමැදුරේ EPIREPIES, රාවණ පැණිය, නාථ දෙවියන්ගේ දුම්මුට්ටිය සහ සුදර්ශන පැනිය වැනි දේ විය.

අලුත්වල නිෂ්පාදනය
කරාපිටිය කොරෝනා කරල ලෙස ප්‍රසිද්ධියට පත් වූ ව්‍යාජ නිෂ්පාදනය

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මෙන්ම කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ධම්මික පැණිය ලබා ගන්නා ආකාරය මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය විය.

ධම්මික පැණියෙන් කොරෝනා මර්දනය කළ හැකි බවට ගෙනගිය පුළුල් ප්‍රචාර හේතුවෙන් ඒ සම්බන්ධයෙන් රජරට විශ්වවිද්‍යාලයේ දී පර්යේෂණයක් ද සිදු කෙරිණි. එම පර්යේෂණය සිදු කළ කමිටුව අවසානයේ තීරණය කළේ ධම්මික පැණියේ කිසිදු ඖෂධීය ගුණාංගයක් නොමැති බව ය.

රජරට විශ්වවිද්‍යාලයේ එවකට හිටපු මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසන්නේ රජය විශ්වවිද්‍යාල 05කින් මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ධම්මික පැණිය ගැන පරීක්ෂණ කරන්නට කියූ බව ය.

“ඒ වගේ නිෂ්පාදනයක් පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් කරන්න කියලා රජය කමිටු පත්කළාම රටේ ජනතාවට වක්‍රාකාරයෙන් අදහසක් එනවා එය කොරෝනාවලට සුදුසු ඇති කියලා. මේවා එදා රජය සංවිධානාත්මකව කරපු වැඩ. ඒ නිසා විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාථ නොකරපු විවිධ පාන වර්ග බෙහෙත් ව‍ට්ටෝරු සමාජය පුරා පැතිරුණා. මේකට ඒ රජයත් වගකිව යුතුයි. ඒ වනවිට රජයට කිසිම අදහසක් තිබුණේ නැහැ වසංගතය පාලනය කිරීමට. ඒ නිසා සිදුවෙන දෙයක් වෙන්න ඉඩ දීලා ආධ්‍යාත්මික දේවල්, අපේ දේවල් කියමින් ඒවා ප්‍රවර්ධනය කළා. මේ ක්‍රමය වැරදියි. අවසානයේ අපේ පරීක්ෂණවලින් ‍තහවරු වුණා ධම්මික පැණිය වැඩකට නැති  නිෂ්පාදනයක් බව.“

මේවා අතරින් ප්‍රතිශක්තීකරණ ඖෂධ ලෙස හෝ භාවිතයට සුදුසු යැයි ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කර ඇත්තේ සුදර්ශන පැණිය සහ අලුත්වල ලංකා වෙදමැදුරේ  ‘EPIREPIES’ පමණි. ඒවා ද කොරෝනා මර්දනය සඳහා සුදුසු ලෙස අනුමත කර නැත. සිදු කළ තොරතුරු විමසීමට පිළිතුරු වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ කොරෝනා වසංගතය මර්දනය කිරීම හෝ පාලනය කිරීම සඳහා සුදුසු බවට කිසිදු ඖෂධ නිශ්පාදනයක් අනුමතකර නොමැති බවයි.

සුදර්ශන පැණිය

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ නිල බලයෙන් ලේකම්වරිය වන ශිල්පීය කොමසාරිස් වෛද්‍යය ශාන්ති කුඹුරේගෙදර මහත්මිය පවසන්නේ ශ්‍රී ලංකාව තුළ ආයුර්වේද හෝ දේශීය හෝ ඖෂධය කිසිවක් කොරෝනා මර්ධනය සඳහා සුදුසු යැයි නිර්දේශ කර නොතිබූ බවයි

“කිසිම ඖෂධයක් එහි නිෂ්පාදකයන්ට මාධ්‍ය මගින් හෝ වෙනයම් ආකාරයකින් හෝ ප්‍රචාරය කිරීම නොකළ යුතු දෙයක් අපි මේ දේශීය බෙහෙත් හැදුවාය, ආයුර්වේද බෙහෙත් හැදුවාය කියන හැමෝටම ඒ බව දැනුම් දී තිබෙනවා. කොරෝනාවලට සුදුසුයි කියා කිසිම ඖෂධයක් හෝ වට්ටෝරුවක් ‍‍හෝ ප්‍රචාරය නොකළ යුතුයි. නමුත් කිසිම වග විභාගයක් නැතිව ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වෙනවා. එයින් සිදුවන්නේ ජනතාව නොමඟ යාම”

ඇය පවසන්නේ ව්‍යාජ බෙහෙත්වලට නොරැවටෙන ලෙස ජනතාව වෙත නිවේදන පවා නිකුත් කිරීමට සිදුවූ බවයි.

 ‘ඉවර්මෙක්ටින්’ (Ivermectin) නමැති බටහිර ඖෂධය කොරෝනා සඳහා සුදුසු බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ද මෙය විශාල වශයෙන් භාවිත වන බවට වාර්තා විය. සමහර සෞඛ්‍ය නිලධාරීන් COVID-19 සඳහා ප්‍රතිකාර කිරීමේදී ඖෂධයක් ලෙස එය නිර්දේශ කර තිබූ බැවින්, එම ඖෂධය ඉහළ මිලකට අලෙවි විය. සතුන්ගේ පරපෝෂිතයන් මර්දනයට යොදා ගන්නා, පූර්ව සායනික මට්ටමේ පවතින ඖෂධයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ කිසිදු දැනුම්වත් කිරීමක් සිදුකළේ නැත.

සතුන්ට දුන් ඖෂධය

කොරෝනා එන්නත්කරණය

ලෝක සෞඛය සංවිධානය අනුමත කිරීමටත් පෙර බලවත් සහ ධනවත් රටවල් එන්නත් නිෂ්පාදන සමාගම්වලින් මිලියන ගණනක් මාත්‍රා ඇණවුම් කර තිබිණි. ඉන්දියාව ප්‍රකාශ කළේ තම රටේ නිෂ්පාදනය කරන එන්නත් රට වැසියන්ට ලබාදීමෙන් අනතුරු ව ඉතිරි වුවහොත් පමණක් වෙනත් රටවලට අළෙවි කරන බවයි. ඒ නිසා අපට පරිත්‍යාග ලෙස එන්නත් ලැබෙන තුරු බලා සිටීමට සිදුවිය.

ශ්‍රී ලංකාවේ රජය කොරෝනා එන්නත් වැඩසටහන ආරම්භ කළේ ලෝකයේ බොහෝ රටවල් එන්නත් කිරීම ආරම්භකර මාස දෙකකටත් වැඩි කාලයක් ගත වූ පසු එනම් 2021 පෙබරවාරි මාසයේ මුල් සතියේ දී ය. නිසි කළමනාකරණයක් නොමැතිකම සහ අවිධිමත් සැලසුම් හමුවේ එන්නත් ගෙන්වීම, බෙදාහැරීම සහ එන්නත්කරණ ක්‍රියාවලිය බොහෝසෙයින් ගැටලු සහගත විය.

ඉන්දීය රජය ලංකාවට පරිත්‍යාග කළ Oxford-AstraZeneca  එන්නත් මාත්‍රා 500,000ක් 2021 ජනවාරි 28 වැනි දින ලැබිණි.

පෙබරවාරි 16 වැනි දා රටේ අවදානම් කණ්ඩායම් එන්නත් කර අවසන් කිරීමටත් පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම එන්නත් ලබාදීමට රජය කටයුතු කළේ ය.

2021 පෙබරවාරි මාසයේ දී කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ‍රුවන් විජේමුණි කියා සිටියේ වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන්ට එන්නත් මාත්‍රා 450,000ක් ලබා දීමට හැකිනම් වසංගතය මර්ධනය කළ හැකි බවයි.

මිලියන 2.3ක් එන්නත් කළොත් වසංගතය පාලනය කළ හැකි බව එවකර ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කීවේය.

රජයේ වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් කීවේ වසංගතය පාලනය සඳහා ජනගහනයෙන් 60%ක් එන්නත් කළ යුතු බව ය.

මේ එකිනෙකට වෙනස් ප්‍රකාශවලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට, එන්නත්කරණය මඟින් වසංගතය පාලනය කිරීම පිළිබඳ නිසි අවබෝධයක් හෝ විධීමත් සැලැස්මක් හෝ නොතිබූ බව ය.

මහාචාර්ය සුනෙත් අගම්පොඩි ඒ බව සනාථ කරයි. රජය වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ගත්ත ද ඒ උපදෙස් ලබාගත්තේ වසංගත පාලනය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අයගෙන් නොවන බව ඔහු පෙන්වා දෙයි.

“රජයට උපදෙස් දෙන අය වැරදි උපදෙස් දුන්නා. රජය හොඳ වෙලාවේ දී නරක තීරණ ගත්තා. නරක වෙලාවෙදී හොඳ තීරණ ගත්තා. මේ නිසා වසංගතය පාලනය කිරීම නිසි පරිදි සිදුකරන්න බැරි වුණා. අඩුම ගණනේ මේ වසංගතය පාලනය කරන්නේ කොහ‍ොමද කියන එක විතරක් නෙවෙයි වසංගතය සමඟ ඉදිරියට යන්නේ කොහ‍ොමද කියලවත් අපිට නිසි සැලැස්මක් තිබුණේ නැහැ.”

තොරතුරු විමසීමට අනුව COVAX වැඩසටහන යටතේ ලංකාවට පරිත්‍යාග ලෙස එන්නත් 4,308,360ක් ලැබී තිබෙන අතර සෘජු පරිත්‍යාග ලෙස මාත්‍රා 3,505,000ක් ලැබී තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවට පරිත්‍යාග වශයෙන් පමණක් එන්නත් මාත්‍රා 7,813,360ක් ලැබී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය එන්නත් මිල දී ගෙන ඇත්තේ පහත සඳහන් ආකාරයෙනි.

එන්නතමිල දී ගත් රටමිල දී ගත් මාත්‍රා ගණන
ඇස්ට්‍රාසෙනිකාඉන්දියාව500,000
ස්පුට්නික් 5රුසියාව330,000
ෆයිසර්නෙදර්ලන්තය18,999,630
සයිනොෆාම්චීනය23,000,000
එකතුව 42,334,630

ඒ අනුව පරිත්‍යාග වශයෙන් සහ මිලදී ගැනීම් මගින් කොරෝනා එන්නත් මාත්‍රා 50,147,990 ක් ලංකාවට ලැබී තිබිණි.

ශ්‍රී ලංකාවේ එන්නත් ලබා දුන්නේ අවුරුදු 18ට වැඩි පුද්ගලයන්ට එන්නත් මාත්‍රා දෙකක් සහ අවුරුදු 12-18ත් අතර ළමයින්ට එක් මාත්‍රාවක් වශයෙනි.

2020 ජන හා සංඛ්‍යා ලේඛන දත්ත අනුව ශ්‍රී ලංකාවේ එවකට අවුරුදු 12ට වැඩි පුද්ගලයන් සංඛ්‍යාව 17,269,000කි. ඒ සංඛ්‍යාවෙන් වයස අවුරුදු 12-18ත් අතර පසුවන 1,769,500කට ලැබිය යුතු වන්නේ එක් එන්නත් මාත්‍රාවක් පමණි. එන්නත් මාත්‍රා දෙක බැගින් ලබාගත යුතු සංඛ්‍යාව 15,499,500කි. ඒ අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සමස්ත එන්නත් සංඛ්‍යාව වන්නේ එන්නත් මාත්‍රා 32,768,500කි.  පරිත්‍යාග ලෙස ලැබුණු සහ රජය විසින් මිල දී ගත් එන්නත්වල සමස්ත එකතුව 50,147,990ක් වන බැවින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ම නිර්දේශ කළ එන්නත්කරණ වැඩසටහනට අනුව අවශ්‍යකරන එන්නත් ප්‍රමාණයට වඩා එන්නත් විශාල ප්‍රමාණයක් (17379490) අතිරේක ව ගෙන්වා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුව එන්නත් මාත්‍රා 03ක් ලබාගැනීම නිර්දේශ කළේ ය. ඒ අනුව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ද ඇති තරම් එන්නත් ප්‍රමාණයක් තිබූ බැවින් එන්නත් මාත්‍රා තුනක් ජනතාවට ලබා දීම නිර්දේශ කෙරිණි.

කිසිම සැලැස්මක් නොතිබුණ ද රටේ වසංගතය පාලනය කළ බවට රජය ගෙන ගිය ව්‍යාජ ප්‍රචාරය සහ වෙනත් නිෂ්පාදන සහ අවිද්‍යාත්මක ‍ක්‍රම කෙරෙහි ජනතාව නැඹුරුවීමට පෙලැඹවීම යන කරුණු හේතුවෙන් අදටත් තුන්වැනි මාත්‍රාව සහ හතරවැනි මාත්‍රාව ලබා නොගත් බොහෝ පිරිසක් සමාජයේ වෙසෙති.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ නවතම යාවත්කාලීන තොරතුරු අනුව  ශ්‍රී ලාංකිකයන් සඳහා එන්නත් මාත්‍රා 40,116,590ක් ලබාදී තිබෙන අතර මාත්‍රා 10,031,400ක් තවමත් ඉතිරිව තිබේ. කොරෝනා එන්නත් මිල දී ගැනීම සඳහා රජය අමෙරිකානු ඩොලර්  327,156,003ක මුදලක් වැය කර ඇත.

තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ 2023 ජූලි වනවිට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 75ක් කල් ඉකුත්වීම නිසා භාවිතයට ගත නොහැකි තත්වයට පත්ව ඇති බවයි.

ෆයිසර් එක් එන්නත් මාත්‍රාවක් සඳහා ශ්‍රී ලංකා රජය අඅමෙරිකානු ඩොලර් 6.75ක පිරිවැයක් දරා ඇති අතර එන්නත් ලක්ෂ 75ක් කල් ඉකුත්වීම නිසා සිදුව ඇති පාඩුව අඅමෙරිකානු ඩොලර් 50,625,000කි.

මීට අමතරව ශ්‍රී ලංකාව මිල දී ගත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 17ක් ද තවමත් ඉතිරි ව තිබේ.

සයිනොෆාම් එන්නත් මාත්‍රාවක් සඳහා ශ්‍රී ලංකා රජය වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් 8.391කි. ඒ අනුව ඉතිරිව ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 17හි වටිනාකම අමෙරිකානු ඩොලර් 14,264,700කි.

එන්නතේ නමඑක් එන්නතක් සඳහා පිරිවැය (ඇමෙරිකානු ඩොලර්)
ඇස්ට්‍රාසෙනිකා5.25
ෆයිසර්6.75
සයිනොෆාම්8.391
ස්පුට්නික් 59.95

කරුණු විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ ශ්‍රී ලංකා රජය ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් එන්නත් වඩා අඩු මුදලකට මිල දී ගැනීමට හැකියාව තිබිය දී චීනයෙන් සයිනොෆාර්ම් එන්නත් ගෙන්වාගෙන ඇති බව ය. නෙදර්ලන්තයෙන් ගෙන්වූ ෆයිසර් එන්නත් ගබඩාවල කල් ඉකුත්වීමට ඉඩ හැර, වැඩි මුදලක් ගෙවා චීනයෙන් ගෙන්වූ එන්නත් ද තවමත් ඉතිරි ව තිබේ.

කොරෝනා මර්දනය සම්බන්ධයෙන් සිදු කළ එන්නත්කරණ ක්‍රියාවලියට නිසි සැලැස්මක් නොතිබූ බවට එය ම හොඳ උදාහරණයකි.

කොරෝනා මර්දනය කිරීම පිළිබඳ ජනතා මතය

 කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක් ඔස්සේ ජනතා මතය විමසීමට අපි කටයුතු කළෙමු. එම ප්‍රශ්නාවලියට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචි විවිධ තරාතිරම් හා වයස් කාණ්ඩවල පසුවූ  237 දෙනකු පිළිතුරු ලබා දී තිබුණු අතර පිළිතුරු විශ්ලේෂණයේ දී පහත සඳහන් කරුණු අනාවරණය විය.

කොරෝනා මර්දනය සඳහා අනුගමනය කළ ක්‍රියා පිළිවෙත් පිළිබඳ විමසීමේ දී අදහස් දක්වා තිබූ 237දෙනා අතරින් 211දෙනකු තමන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ බව කියයි.

එන්නත් ලබාගෙන ඇති පිරිස 195 දෙනකු පමණි. සමීක්ෂණයට සම්බන්ධ වූ 237 දෙනා අතරින් 42ක් කිසිම එන්නත් ලබාගෙන නැත.

සමීක්ෂණයට ලක්වූ පිරිස අතරින් 44 දෙනකු ආයුර්වේද හෝ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති අතර ධම්මික පැණිය පානය කළ 05 දෙනකු, කරාපිටියේ කොරෝනා කරල භාවිත කළ 05 දෙනකු සහ අළුත්වල  ලංකා වෙද මැදුරේ ප්‍රතිජීවක පානය ලබාගත් 07 දෙනකු අපට හමුවිය. පුද්ගලයන් 46 දෙනකු දුම් මුට්ටිය ඇල්ලීම ද සිදුකර තිබිණි. ආගමික වත්පිළිවෙත් විශ්වාස කර එයින් කොරෝනා ආසාදනයෙන් වැලකී සිටීමට හැකියැයි සිතා ඒවාට යොමු වූ පිරිස 12 දෙනෙකි. ඊට අමතරව වෙනත් ආයුර්වේද සහ දේශීය ඖෂධ වට්ටෝරු භාවිත කළ 16 දෙනෙක් ද සිටියහ.

 කොරෝනා එන්නත් ලබාගැනීම පිළිබඳ විමසීමේ දී අපගේ සමීක්ෂණයට ලක් වූ 237 දෙනා අතරින් පුද්ගලයන් 42 දෙදෙනකු කිසිම එන්නතක් ලබාගෙන තිබුණේ නැත. එය ප්‍රතිශතයක් ලෙස 17.72%කි. එන්නත් ලබාගත් අයගෙන් 05 දෙනකු එක් එන්නත් මාත්‍රාවක් පමණක් ගෙන තිබූ අතර එන්නත් මාත්‍රා දෙකක් ලබාගත් පිරිස 74 දෙනකු විය. පුද්ගලයන් 102ක් එන්නත් මාත්‍රා තුන ම ලබාගෙන තිබූ අතර එන්නත් මාත්‍රා 04ක් ලබාගත් 14 දෙනක් ද සමීක්ෂණයට සම්බන්ධ වූ පිරිස අතර සිටියහ.

කොරෝනා මර්දනයට සුදුසු යැයි පවසමින් දැවැන්ත ප්‍රචාරයක් ගෙනගිය ධම්මික පැණිය, කරාපිටියේ කොරෝනා කරල සහ ‘EPIREPIES’  පිළිබඳව සමීක්ෂණයේ දී පහත අයුරින් ප්‍රතිචාර දක්වා තිබිණි.

අප සමීක්ෂණයට සහභාගී වූ පිරිස අතරින් 26%කට ධම්මික පැණිය ගැන නිශ්චිත අදහස් නැතත් 71%ක් වැනි විශාල පිරිසක් පවසන්නේ එය ව්‍යාජ සහ ප්‍රයෝජනයක් නැති නිෂ්පාදනයක් බවයි. නමුත් 01%ක පිරිසක් එය ඉතාමත් හොඳ නිෂ්පාදනයක් බව කියා ඇති අතර 2%ක් මෙය රජයෙන් වැඩිදියුණු කළ යුතු නිෂ්පාදනයක් ලෙස ද අදහස් දක්වා ඇත. 

කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළ බටහිර වෛද්‍යවරයකු වූ උදාර සම්පත් ගුණවර්ධන විසින් දේශීය ඖෂධ යොදා නිෂ්පාදනය කළා යැයි කියූ කරාපිටියේ කොරෝනා කරල ව්‍යාජ නිෂ්පාදනයක් බව සෘජුව ප්‍රකාශ කරන්නේ 35%ක් වැනි ප්‍රමාණයකි. ඒ ගැන නිශ්චිත අදහසක් නැතැයි 55%ක් පවසන අතර 07%ක පිරිසක් එය ඉතාමත් හොඳ නිෂ්පාදනයක් බව පවසයි. 03%ක පිරිසකගේ අදහස වන්නේ රජයෙන් එය වැඩිදියුණු කළ යුතු බවයි. මේ අනුව ධම්මික පැණියට සාපේක්ෂව කොරෝනා කරල සම්බන්දව ජනතාව තුළ යම් විශ්වාසයක් ජනිත වී ඇති බව පෙනෙන්ට තිබේ.

අලුත්වල ලංකා වෙද මැදුර නම් ස්ථානයක නිෂ්පාදනය කර ඇති ‘EPIREPIES’ පානය ප්‍රතිශක්තීකරණ පානයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇතත්, එය කොරෝනා සඳහා ලබාදීමට නිර්දේශ කර නැත. නමුත් සමීක්ෂණයට ලක්වූ 72%ක පිරිසකට ඒ ගැන නිශ්චිත අදහසක් නැත. 23%ක් පවසන්නේ එය ව්‍යාජ නිෂ්පාදනයක් බවයි. 04%ක් එය හොඳ නිෂ්පාදනයක් බවත් 01%ක රජයේ අවධානය ලැබිය යුතු බවත් පවසා තිබේ. 

කොරෝනා මර්දනය කිරීම සඳහා බව කියමින් හිටපු සෞඛ්‍ය ඇමතිනියගේ ප්‍රධානත්වයෙන් ආශිර්වාද ජලය සහිත මුට්ටි ගංගාවල පාකර යැවීම පිළිබඳව, සමීක්ෂණයට සහභාගී වූ 237 දෙනා අතරින් 197 දෙනකු කියා සිටියේ එය ප්‍රයෝජනයක් නොමැති කාරණයක් බවයි. 40 දෙනකුට ඒ ගැන නිශ්චිත අදහසක් තිබුණේ නැත.

රතන සූත්‍රය දේශනා කිරීම, පිරිත් පැන් ඉසීම සහ වෙනත් ආගමික වතාවත් සිදුකිරීම පිළිබඳ මතය විමසූ විට එවැනි දේවලින් කොරෝනා මර්දනය කළ හැකියැයි විශ්වාස කරන බව 03 දෙනකු කියා තිබිණි. ඒවා ඉතාමත් හොඳ ක්‍රියා බව 28 දෙනකු ප්‍රකාශ කළ අතර අදහසක් ප්‍රකාශ කළ නොහැකි බව කී පිරිස 38කි. මේවා කොරෝනා මර්දනයට කිසිසේත් ඉවහල් නොවන බව කීවේ  අදහස් දැක්වූ අය අතරින් 116 දෙනකු පමණි. ඔවුන් ප්‍රතිශතයක් ලෙස 49%කි. 

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනය සතුටුදායක තත්ත්වයක නැතැයි යන්න අදහස් දැක්වූ අයගෙන් 99 දෙනකුගේ මතය විය. 74 දෙනකු කියා සිටියේ ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය සාර්ථකව මර්දනය කර ඇති බවයි. කොරෝනා මර්දනය කිසිසේත්ම සාර්ථක නැත යනුවෙන් කියූ සංඛ්‍යාව 12 දෙනකු වන අතර ජනතාවගේ කැපවීම සහ උනන්දුව හේතුවෙන් කොරෝනා මර්දනය කරගත හැකි වූ බව 11 දෙනකුගේ මතය වි තිබේ. අදහස් දැක්වූ 41 දෙනකු ම කියා සිටියේ ඒ සම්බන්ධව තමන්ට නිශ්චිත අදහසක් නොමැති බව ය.

හිටපු මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසන්නේ‍ කොරෝනා වසංගතය මේ වනවිට රට තුළ පාලනය වී තිබුණ ද එය පාලනය කිරීමට යාමේ දී සෙඛ්‍ය අංයෙන් සහ රජයේ ප්‍රතිප්තති සම්පාදකයන්ගේ පැත්තෙන් ඉතාමත් දුර්වල ක්‍රියාවලියක් අනුගමනය කළ බව ය.

“අපිට මේ වසංගතය සම්බන්ධයෙන් දුර දැක්මක් තිබුණේ නැහැ. කෙටි කාලීන තීරණ පවා අපි ගත්තේ වැරදි විදියට. ආධාර ලැබෙනකම් බලාගෙන ඉන්න වුණා. වසංගතය හොඳින් පාලනය කිරීමට තිබූ අවස්ථා අපි මඟහැර ගත්තා. රටක් හැටියට අපිට මෙවැනි වසංගතයක් පාලනය කිරීමේ ක්‍රමයක් තියෙන්න ඕන. අදටත් අපි සෞඛ්‍ය සේවාව හොඳයි කියන්නේ වසර 60-70 ඉස්සෙල්ලා හදපු ක්‍රමය තුළ ඉඳගෙන. නවීන ක්‍රමවේදයක් සකස් කරලා නෑ. ඉදිරියේ දී පැමිණිය හැකි මෙවැනි වසංගතයකට මුහුණ දෙන්නේ කොහොමද කියලා සැලසුම් කරලා නැහැ. කොරෝනාවලින් උගත් පාඩම් අපි ප්‍රයෝජනයට නොගන්වානම් ඉදිරියේදීත් ඇතිවිය හැකි වසංගත තත්වයකින් අපි රටක් හැටියට අමාරුවේ වැටීම වලක්වන්න බැහැ.”

ලෝකයේ රටවල් රැසක් කොරෝනා වසංගතයෙන් පසු නැවත එවැනි වසංගතයකට මුහුණ දීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර තිබේ. එමෙන්ම ඒවාට අවශ්‍ය පර්යේෂණ සිදුකරයි. නමුත් අපේ රටේ එවැනි සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැත. උගත් පාඩම් නොමැති වීම හේතුවෙන් තවත් වසංගතයක් පැමිණිය ද ජනතාව අමාරුවේ වැටීම වැලැක්වීමට අපේ රට කරවන ඇත්තන්ට නොහැකි වනු ඇත. ඒ එම කටයුත්ත සඳහා ඔවුන් තවමත් විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කරන්නට පියවර ගෙන නොමැති නිසාවෙනි.

1 COMMENT

  1. ඉතා වැදගත් මෙන්ම හරවත් දේ ලිපියතුලින් මා දුටිමි.තමන්ගේ ධූරය පිලිබඳව අවබෝධයක් නැති ජනතා ජීවිත සමග ක්‍රීඩාකරන මුග්ධ අඥාන නිලධාරීන් සිටින රටක ඉදිරියටත් මෙවන් ව්‍යසනයක් පැමිනියද මට කිවහැක්කේ නොපෙනෙන දෙවියන්ගේ පිහිටයි නොව අපිට පිහිටයි කියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!