spot_img
spot_imgspot_img

ළදරුවන්ට පිළිකා හදන ආහාර රැසක් මෙරට වෙළෙඳ පොළේ. පෝෂක දෙන්න එපා

පුවත්

විදෙස්

රජයෙන් නොමිළයේ බෙදාහරින ත්‍රිපෝෂ හා සමානව නිෂ්පාදනය කර වෙළෙඳ පොළෙහි විකිණීමට ඇති වෙනත් ළදරු අහාරා අතිරේක නිසි අධීක්ෂණයකින් තොරව කුඩා දරුවන්ට ලබාදීමෙන් දරුවන් පිළිකා රෝගවල ගොදුරක් බවට පත්විය හැකියැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මේ බව කියා සිටියේ අද (19) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ශ්‍රී ලංකාවට ගෙන්වන බඩ ඉරිඟු තුළ අඩංගු වන ඇෆ්ලටොක්සීන් දිලීර පිළිකාජනක බව විද්‍යාත්මක පර්යේෂණ මගින් හඳුනාගෙන තිබේ. වෙළෙඳ පොළට ඉදිරිපත් කරන ත්‍රිපෝෂ හා සමාන ආහාර අතිරේක නිෂ්පාදනය සඳහා යොදාගන්නා බඩඉරිඟුවල ප්‍රමිතිය පිළිබඳ කිසිම සොයා බැලීමක් නොකරන බැවින් එමගින් ඇ‍ෆලටොක්සීන් දරුවන්ගේ සිරුරට ඇතුළුවීමේ අවදානමක් ඇති බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

ත්‍රිපෝෂ නිෂ්පාදනයේ දී අනුගමනය කරනු ලබන ප්‍රමිතීන් අනුව වයස අවුරුදු 03ට අඩු දරුවන් සඳහා ඇෆලටොක්සීන් තිබිය හැකි උපරිම ප්‍රමාණය වන්නේ කොටස් බිලියනයකට එකක් පමණි.

නමුත්, මෙම නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවට දැනට ආනයනය කරන බඩඉරිඟු සහ අනෙකුත් ධාන්‍යවර්ගවල ඊට වඩා ඉහළ ප්‍රතිශතයකින් ඇෆලටොක්සීන් අඩුගු බව අනාවරණය වී තිබේ. එම අගය කොටස් බිලියනයකට 30ක් වැනි විශාල අගයක් ගෙන ඇත.

මෙලෙස ධාන්‍ය වර්ගවල ඇෆලටොක්සීන් ඉහළ අගයක් පැවතීම ‍හේතුවෙන් මෙරට වයස අවුරුදු 03ට අඩු දරුවන් සඳහා අවශ්‍ය ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමේ යාන්ත්‍රණය මේ වනවිට අඩාල වී තිබේ. ගුණාත්මක බවින් ඉහළ සහ  හානිකර පිළිකා ජනක වලින් තොර බඩඉරිඟු ඇතුළු ධාන්‍ය වර්ග ආනයනය කිරීමේ දී ඉතා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙරටට ගෙන්වන බඩඉරිගුවල ඇෆලටොක්සීන් අගය පරිසාදන මට්ටම ඉක්මවා ගොස් ඇත.

මේ වනවිට පුද්ගලික අංශයෙන් මෙරට දී නිෂ්පාදනය කර වෙළෙඳ පොළට ඉදිරිපත් කරනු ලබන ත්‍ර‍ිපෝෂ හා සමාන ළදරු ආහාර පෝෂක, ළදරු පිටිකිරි වර්ග, බිස්කට් වර්ග වෙළඳපොළේ අළෙවි කිරීමේ දී එම ඇසුරුම්වල ඇෆලටොක්සීන් මට්ටම සඳහන් කර නැත.

එම ආහාර ද්‍රව්‍ය වයස අවුරුදු 03ට අඩු දරුවන්ට ලබාදීම සුදුසු නොවන බව එම ආහාර ද්‍රව්‍ය ඇසුරුම් සිය්ලලේ ම පාහේ සඳහන් කර ඇතත් එම උපදෙස් සඳහන් කර ඇත්තේ කිසිවෙකුට කියවාගත නොහැකි ස්ථානවලය. නමුත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පෙන්වාදෙන්නේ මෙවැන ආහාර පෝෂක වයස අවුරුදු 03ට අඩු දරුවන් සඳහා නිර්දේශ නොකරන බව ඇසුරුමේ පැහැදිලිව විශාලව පෙනෙන ආකාරයෙන් සඳහන් කර තිබිය යුතු බවයි.

එම උපදෙස් නොදැන මෙරට බොහෝ දෙමාපියෝ තම ළදරුවන්ට මෙවැනි පෝෂක ද්‍රව්‍ය ලබාදීම සිදුකරයි. අවසානයේ සිදුවන්නේ ඔවුන් පිළිකාවලට ගොදුරුවීමයි.

ශ්‍රී ලංකාව තුල දෛනිකව වාර්තා වන පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාමත් ළදරු පිළිකා හා ළමා පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යන බවට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කරන තත්ත්වයක් යටතේ දී ළදරු ආහාරවල ප්‍රමිතිය නිසි පරිදි නියාමනය නොවීම නිසා නොදැනුවත්වම කුඩා දරුවන් පිළිකා රෝග වලට ගොදුරු විය හැකි බවත් මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයත් ජාතික ප්‍රමිති කාර්යාංශය කාර්මික තාක්ෂණ ආයතනය ඒකාබද්ධව නිසි නියාමන වැඩසටහනක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් අවධාරණය කළේය.

වෙළඳපොලේ පවතින මෙම ළදරු ආහාර වල ඇසුරුම් තුළ දෙමව්පියන් දැනුවත් කිරීම සඳහා වන පණිවිඩය අපහැදිලි ලෙස සඳහන් කර තැබීම වංචාවක් බවත් මේ සඳහා නොදැනුවත්වම විශාල වශයෙන් දරුවන් කිරි දෙන මවුවරුන් සහ ගර්භනී මව්වරුන් පිළිකා රෝගවල ගොදුරු බවට පත්වීම නොවැළැක්විය හැකි බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

වෙළඳපොලේ පවතින විවිධ ත්‍රිපෝෂ වර්ග සහ ළදරු ආහාර වල  සාම්පල වර්ග ලබන සතියේ දී ජාතික ප්‍රමිති කාර්යාංශය ට සහ කාර්මික තාක්ෂණ ආයතනයට ලබාදී වාර්තා ලබාගෙන ඒවා ප්‍රකාශයට පත්කිරීමට තම වෘත්තීය සමිති සන්ධානය බලාපොරොත්තු වෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

ළදරු ආහාර සම්බන්ධව ප්‍රචාරණය දී දේව වෙළඳ දැන්වීම් වල දී ද ඇසුරුම් වල දී ද පැවතිය යුතු කරුණු සම්බන්ධයෙන් වෙළඳ ආයතන දැනුවත් වන්නේ දැයි නියාමනයක් සිදු කිරීම රජයේ වගකීම බවත් ප්‍රාදේශීය වශයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහයෝගය ඇතිව සාම්පල පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බව යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පෝෂණ හා පාරිසරික ඒකක මෙවැනි ක්‍රියා සඳහා මැදිහත් නොවන්නේ නම් එය බරපතළ අපරාධයක් බව ද තවදුරටත් සඳහන් කළේය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!