spot_img
spot_imgspot_img

කොස්ගස් කපා, තොරතුරු හංගන ප්‍රාදේශීය ලේකම් ‍රටේ නීති කඩලා

පුවත්

විදෙස්

අනුන්ගේ ඉඩම්වල කොස්ගස් කැපීමට, වෙනත් පුද්ගලයන්ට ආධාර අනුබල දෙන පාතදුම්බර ප්‍රාදේශීය ලේකම්වරිය එම තොරතුරු සඟවාගෙන සිටීමේ සිද්ධියක් වාර්තා වෙයි.

පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වත්තේගම, පිටියේගෙදර, මඩොල්කැලේ පාරේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාගවන නඩුවක් ඇති බව එම කොට්ඨාසය බාර ග්‍රාම නිලධාරීවරිය දැනුම්වත්ව සිටිය දී ඉඩමේ ඇති කොස්ගස් දෙකක් වෙනත් පුද්ගලයකු විසින් කපා ඉවත්කරගෙන තිබිණි.

ඒ බව දැනගත් ඉඩමේ නීත්‍යානුකූළ හිමිකරු මෙම කොස්ගස් කැපීම සම්බන්ධයෙන් බලපත්‍රයක් නිකුත් කරන ලද්දේ කවර පදනමක් යටතේ ද යන්න පාතදුම්බර ප්‍රාදේශීය ලේකම්වරියගෙන් විමසූ විට ඇය කියා ඇත්තේ ඉඩමේ හිමිකාරුට ‍බලපත්‍රයක් ලබාදුන් බවයි.

ඒ අනුව එම කොස්ගස කැපීම සම්බන්ධයෙන් නිකුත්කරන ලද බලපත්‍රයේ පිටපතක් ඉඩමේ හිමිකරු ජයම්පති පලිපාන විසින්, තොරතුරු දැනැගැනීමේ පනත යටතේ ඉල්ලුම් කර ඇත. එවිට ප්‍රාදේශීය ලේකම් පවසා ඇත්තේ තමන් නීතිඥවරියක බවයි. එබැවින් රජයේ බලපත්‍රයක් වුවත් ‍තුන්වැනි පාර්ශවයකට ලබාදිය නොහැකියැයි කියමින් ඉඩමේ අයිතිය තහවරු කරන ලෙස දැනුම් දී ඇත. ඒ අනුව ජයම්පති පලිපාන ඉඩමේ නීත්‍යානුකූළ ඔප්පු, පෙලපත් ලේඛන සහ පත්ඉරු රැගෙන ගොස් නීතිඥ ප්‍රාදේශීය ලේකම්වරිය හමුවේ ඒවා ඉදිරිපත් කර කොස්ගස් කපා බිම හෙළීමට අදාල බලපත්‍රය ඉල්ලා තිබිණි. ඇය පවසා ඇත්තේ ඒ අනුව තොරතුරු ලබාදෙන බවයි.

රජයෙන් යම්කිසි පුද්ගලයකුට නිකුත්කරනු ලබන බලපත්‍රයක පිටපතක් තොරතුරු දැනැගැනීමේ පනත යටතේ ලබාගත හැකි තොරතුරකි. එම බලපත්‍රය ලබාදුන්නා යැයි ‍පුද්ගයකුගේ පෞද්ගලික තොරතුරු අනාවරණය වීමක් සිදුවන්නේ නැත. එවැනි තොරතුරක් ලබාදීමට ඉඩමක අයිතිය තහවරු කරන්න යැයි කරනු ලබන ඉල්ලීම නීති විරෝධී ඉල්ලීමකි.

කෙසේ වුව ද තොරතුරු ලබාගැනීමේ අවශ්‍යතාවට ප්‍රමුඛතාව දෙමින් ජයම්පති පලිපාන ප්‍රාදේශීය ලේකම්වරිය දැනුම් දුන් පරිදි අදාල ඉඩමේ තම අයිතිය තහවරු කර තිබේ. ඒ 2023 ජුනි මස 14 වැනි දින පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් එම කාර්යාලයේ තොරතුරු නිලධාරී ද නම්කළ නිලධාරීවන ප්‍රාදේශීය ලේකම්වරිය ද හමුවී ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරිමෙනි.

එම අවස්ථාවේ දී ප්‍රාදේශීය ලේකම්වරිය පවසා ඇත්තේ ඉතා ඉක්මණින් අදාල තොරතුරු සියල්ල බලපත්‍රවල පිටපත් ද සහිතව ජයම්පති පලිපාන වෙත නිකුත් කරන බවයි. නමුත් දින 14ක කාලයක් ඉක්ම ගිය ද එම තොරතුරු නොලැබුණු බැවින් නැවත ඒ පිළිබඳ ඔහු විසින් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත සිහිපත් කිරීමක් කර ඇත.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම් තක්ෂිලා වීරකෝන් 2023-07-26 වැනි දිනැතිව තැපැල් මගින් ලිපියක් ජයම්පති පලිපාන වෙත යොමුකර ඇති අතර එම පිළිතුරු ලිපිය මගින් නැවත දන්වා ඇත්තේ අදාළ තොරතුරු ලබාදීමට නම් ‍ජයම්පති පලිපාන විසින් තම ඉඩමේ නීත්‍යානුකූළ අයිතිය විධිමත් ලියකියවිලි මගින් සනාථ කළ යුතු බවයි.

මෙයින් පෙනී යන්නේ මෙම ඉඩම සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක් තිබෙන බව දැන දැනම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සහ පරිපාලන ග්‍රාම නිලධාාරීගේ නිර්දේශය ද සහිතව ප්‍රාදේශීය ලේකම්වරිය විසින් අනීතිකව ලබාදුන් කොස්ගස් කැපීමේ බලපත්‍රය පිළිබඳ තොරතුරු හෙළිදරව් වීම ඇය හිතාමතා ම මඟහරින බවයි. එමෙන් ම ඒ පිළිබඳ තොරතුරු සැඟවීම සඳහා 2016 අංක 12 දරණ තොරතුරු පනතේ නොමැති කොන්දේසි ඉදිරිපත් කරමින් කටයුතු කරන බව ද පැහැදිළි වෙයි.

අපි මේ බව විමසීම සඳහා පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂිලා වීරකෝන් ගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය.

“ඔය කියන පලිපාන මම දීපු කොස්ගස් කැපීමේ බලපත්‍රයක තොරතුරු ඉල්ලනවා. ඒවා තුන්වැනි පාර්ශවයකට ලබාදෙන්න බැහැ. එයා කියනවා ඉඩමේ අයිතිය එයාට තියෙනවා කියලා. අනිත් පාර්ශවයත් ඉඩමේ අයිතිය තියෙනවා කියලා කියනවා. මැරිච්ච කොස්ගස් දෙකක් කැපුවේ. මම කිව්වා ඉඩමේ අයිතිය තහවරු කරන්න කියලා. පලිපාන කියන කෙනා හදන්නේ අපෙන් තොරතුරු ඉල්ලලා මේ බලපත්‍රයත් නඩුවට සාක්ෂියක් කරගන්න. ඒව කරන්න දෙන්න බෑ. කොස්ගස් කැපුවාට පස්සේ තමයි පලිපාන උසාවියේ නඩුවක් පවරලා තියෙන්නේ. දැන් ඒ කොස්ගස් ඉඩමෙන් ඉවත් කරලා. අපි ඉවත්කරන්න බලපත්‍රයක් දුන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් දාන්න කියලා මම ග්‍රාම නිලධාරීට කියල තියෙන්නේ. තොරතුරු දෙන්නේ නෑ. අවශ්‍යනම් එයාට පුළුවන් තොරතුරු කොමිසමට ගිහින් පුළුවන්නම් ගන්න. අපි තොරතුරු කොමිසමට අවශ්‍ය කරුණු දක්වන්නම්.”

තොරතුරු පනතින් පොදු අධිකාරියක් සන්තකයේ ඇති තොරතුරක් ලබාදීමට ඉඩම් අයිතිය තහවරු කරන ලෙස ඉල්ලා සිටීම වරදක් බවත්, එමෙන්ම තොරතුරු පනතින් ලබාගන්නා තොරතුරු නඩුවක සාක්ෂියක් බවට පත්කරගැනීමට වුව ද පුරවැසියාට අයිතියක් තිබෙනවා යැයි අප පැවසූ විට ප්‍රාදේශීය ‍ ලේකම්වරිය එය පිළිගන්නේ නැත. ඇය පවසන්නේ තමන් නීතිඥවරියක බවයි.

ප්‍රාදේශීය ලේකම්වරිය කියන්නේ බොරුවක් බව ජයම්පති පලිපාන කියයි. ඔහු පවසන්නේ තම ඉඩමට නිරවුල් අයිතියක් තිබිය දී ඒ යාබද ඉඩමක පදිංචිකරුවකු එම තැනැත්තාගේ ඉඩමේ ඔප්පුවක් පෙන්වමින් තම ඉඩමේ ඇති කොස් ගස් කපා ඇති බවයි. එමෙන් ම එම පුද්ලයා තම ඉඩමට අයිතිවාසිකම් කියමින් සිටින බැවින් තමන් ඊට එරෙහිව පොලිසියට පැමිණිලි කර, අධිකරණයේ නඩුවක් පවා පවර තිබෙන බව හොඳින්ම දැන දැන ග්‍රාම නිලධාරී විසින් මේ කොස්ගස් කැපීමට බලපත්‍රය ලබා දීම සඳහා නිර්දේශ කර ඇතැයි ද ජයම්පති පලිපාන පවසයි.

කොස්ගස් කැපීමට ලබාදුන් බලපත්‍ර සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලූ විට ඉඩම්වල ඔප්පු ඉල්ලන ප්‍රාදේශීය ලේකම්වරිය තොරතුරු පනතට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහු මේ වනවිට තොරතුරු කොමිසමට අභියාචනා කර ඇත.

තොරතුරු ඉල්ලීම

පිළිතුරු ලිපිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!