spot_img
spot_imgspot_img

බංග්ලාදේශ තරඟයේ දි තුන්වැනි විනිසුරුගේ තීරණය වැරදුණා ද ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවැති තරඟයේ දී ක්‍රිකට් නීතියේ ප්‍රහේලිකාවක් බඳු තීන්දුවක් දක්නට ලැබිණි. මෙහි දී ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් පවා විස්මයට පත්කළ තුන්වැනි විනිසුරුවරයාගේ තීරණය නිවැරදි බව ජාත්‍යන්ත විස්ඩන් සඟරවා පැහැදිළි කරයි.

ආසියානු කුසලාන තරඟවාලියේ සුපිරි 04 දෙනාගේ වටයේ තරඟයක් වූ මෙහි දී තරඟය ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායමට පන්දු 16ක දී ලකුණු 31ක් අවශ්‍යව තිබිණි. ඒ වනවිට බංග්ලාදේශයේ අවසන් පිතිකරුවන් දෙදෙනා පිටියේ සිටියහ.

මහීෂ් තීක්ෂණගේ පන්දුවකට නසුම් අහමඩ් ගැසූ දැවැන්ත පහර හතරේ සීමා ආසන්නයේ සිටි දුෂාන් හේමන්තගේ හිසට ඉහළින් යද්දී පන්දුවේ ඉලක්කය බලා ගුවනට නැගුණු හේමන්ත එම පන්දුවට අතින් පහර දී හතරේ සීමාවෙන් ඇතුළට පන්දුව පතිත කළේ ගුවනේ සිටිමිනි. ඉන් අනතුරුව බිම පතිත වූ හේමන්ත පන්දුව රැගෙන එල්ල කළේය. ජාත්‍යන්තර විස්තර විචාරකයන් කියා සියේ දුෂාන් හේමන්ත විශිෂ්ට පන්දු රැකීමක නිරත වෙමින් හයේ පහරක් වැළැක්වූ බවයි.

නමුත් පිටියේ සිටි විනිසුරුවරයා එය තුන්වැනි විනිසුරුවරයා වෙත යොමු කළ අතර පුනරූපන නැරඹූ තුන්වැනි විනිසුරුවරයාගේ තීරණය වූයේ ලකුණු 06ක් බවයි.

විස්තර විචාරක රොෂාන් අබේසිංහ

“ඇයි හය ද ?” ප්‍රශ්න කළේය.  “මට කියන්න, එය හයක් වන්නේ කෙසේ ද ? මට පැහැදිළි කරන්න.” ඔහු තම සඟයා අනෙක් විස්තර විචාරක ඩොමිනික් කෝක්ගෙන් විමසුවේය.

පුනරූපන බැලීමේ දී පැහැදිළිව දර්ශනය වන්නේ දුෂාන් හේමන්තගේ අතේ පන්දුව වදින අවස්ථාවේ ඔහු සම්පූර්ණයෙන් ම ගුවනේ සිටි බවයි. ඉන් පසු පන්දුව පතිත වන්නේ ද හතරේ සීමාවෙන් ඇතුළත පිටියටය. රොෂාන් අබේසිංහ ප්‍රශ්න කරන්නේ ඒ නිසාය.

“මට ඔබට පැහැදිළි කළ නොහැකියි.”කෝක් හට ද තෙවැනි විනිසුරුවරයාගේ තීරණය පිළිගත නොහැකි අයුරක් දිස්විය.

“මම හිතන්නේ නැහැ එය හයේ පහරක් කියා. ඔහු සීමාවට කකුල තැබුවත්, ඔහු පන්දුවට අතින් ගසන විට ඔහු සිටියේ ගුවනේ. එය හොඳ පන්දු රැකීමක් ලෙසයි මා දකින්නේ” කෝක් එසේ පවසයි.

අබේසිංහ මේ තීරණය විස්තර කළේ ගැටලුකාරී තීන්දුවක් ලෙසිනි.

“මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ හයේ පහරක් වුණේ කියලා. පන්දුව ආපසු හරවන විට කිසිම අවස්ථාවක ඔහු හතරේ සීමාව සමඟ ස්පර්ශ වී සිටියේ නෑ කියා මම සිතනවා.” අබේසිංහ කීවේය.

“මෙය තීරණාත්මක විය හැකියි” කියමින් කෝක් ද ප්‍රකාශ කර සුළු මොහොතකින් ශ්‍රී ලංකාව තරඟය ජයග්‍රහණය කළේය.

නමුත් විස්ඩන් සඟරවා පෙන්වා දෙන්නේ ක්‍රිකට් නීතියේ 19.5.2 වගන්තිය අනුව තුන්වැනි විනිසුරුවරයා නිවැරදි බවයි.

එම නීතිය අනුව බිම සමඟ ස්පර්ශ නොවන පන්දු රකින්නෙකු තමන්ගේ අවසන් සම්බන්ධතාව බිම සමඟ පැවැත්වූ අවස්ථාවේ දී සිටි ස්ථානය අනුව සැළකිය යුතු බවයි. එනම් හතරේ සීමාවේ දී පන්දුවක් රැකගන්නා විට පන්දුරකින්නා ගුවනට මුසුවන අවස්ථාවේ අවසන් ස්පර්ශය තිබූ ස්ථානය වැදගත් වේ. මේ අවස්ථාවේ දුෂාන් හේමන්ත ගුවනට මුසුවීමට පෙර ඔහුගේ පාදය හතරේ සීමාවේ ස්පර්ශ වූ බැවින් තුන්වැනි විනිසුරුවරයා එය හයේ පහරක් ලෙස සළකුණු කරනු ලැබීය.

2 COMMENTS

  1. පන්දුව රැකගැනීමට පෙර, ක්‍රීඩකයාගේ පාදය හතරේ සීමවේ ගෑවෙනවා, නමුත් පන්දුව තවම අජීවී තත්වයේ නෙමෙයි. මොකද තවමත් උඩපන්දුවක් ලෙස රැකගැනීමට අවස්තාවය තිබෙන බැවින්. යම් හෙයකින් බිම පතිතවුවානම් එය ලකුනු 6කි. පන්දුව හා සමානවම ක්‍රීප්ඩකයාත් ජීවී තත්වයෙන් සිටිය යුතුයි. නමුත් මේ අවස්ථාව බලපානුයේ උඩපන්දුවකට සහ ලකුණු 6 කට පමනකි. නමුත් මා දැක ඇති අවස්ථා අපමන ඇතත්, 4 සීමවෙන් එලියට ගොසින් නැවතත් උඩපන්දුවක් ලෙස එම පන්දුවම, රැකගැනිම ලකුනු 6ක් වියයුතුයි. යම්හෙයකින් වෙනත් ක්‍රිඩකයෙක් රැකගත්තානම් එය දැවීයමකි.

  2. මෙම තීරණය තව දුරටත් අභියෝග යට ලක් කල හැකිය. Volleyball ක්‍රීඩාව දී මෙන්( පන්දුව මුලුමනින්ම සීමාවෙන් ඉවතද යන්න බලනවා මෙන්) අවසන්
    මොහොතේ පාදය boundary line එකෙන් එලියට සම්පූර්ණයෙන්ම නොගොස්, පාදයේ කොටසක් හෝ ක්‍රිඩා පිටියේ ස්පර්ශ වී තිබේ නම්, පාද දෙකම අවසන් මොහොතේ ක්‍රීඩා පිටියේ ස්පර්ශ වී තිබූ බැවින්,3 වන විනිසුරු ගේ තීරණයට හා එම වගන්තියට අභියෝග කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!