spot_img
spot_imgspot_img

තියුණු සටනකින් ජයගත් ශ්‍රී ලංකාව සුපිරි වටයට

පුවත්

විදෙස්

ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව මනාව පෙන්වා දෙමින්, ඇෆගනිස්ථානයේ බලාපොරොත්තු විනාශ කළ ශ්‍රී ලංකා කණ්ඩායම තම අපරාජිත වාර්තාව තවදුරටත් වැඩිදියුණු කරගනිමින් ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි 04 දෙනාගේ වටයට අද (05) සුදුසුකම් ලබාගත්තේය.

පකිස්තානයේ ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟයේ කාසියේ වාසිය ලබා ප්‍රථමයෙන් පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 291ක් ලබාගත්තේය.

සුපිරි 04 දෙනාගේ වටයට  සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එම ඉලක්කය පන්දුවාර 37.1ක දී සම්පූර්ණ කරගත යුතුව තිබිණි. ඇෆ්ගනිස්තාන කණ්ඩායම අනපේක්ෂිත ප්‍රහාරයකින් ඒ ඉලක්කය සමීපයට ම පැමිණියේය. වෙල්ලාලගේ යැවූ 37 වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවට, පස්වැනි පන්දුවට සහ හයවැනි පන්දුවට හතරේ පහර තුනක් එල්ල කළ රශීඩ් කාන් සිය කණ්ඩායම ලකුණු 289ක් දක්වා ඔසවා තැබුවේ ඊළඟ පන්දුවාරයේ පළමු පන්දුවට ලකුණු 03ක් ලබාගතහොත් තරඟයේ ජයග්‍රහණය පමණක් නොව සුපිරි 04 දෙනාගේ වටයේ ස්ථානයක් ද වෙන්කරගත හැකි අයුරිනි.

නමුත්, 38 වැනි පන්දුවාරය යැවීමට පන්දුව අතටගත් ධනංජය යැවූ පන්දුවට ලකුණු 4ක් හෝ 6ක් සොයා මුජීබ් උර් රහ්මාන් එල්ලකළ පහර සධීර සමරවික්‍රම විසින් උඩපන්දුවක් ලෙස රැකගැනීමත් සමඟ ඇෆ්ගනිස්තානයේ සුපිරි 04 දෙනාගේ වටයට පිවිසීමේ බලාපොරාත්තු කඩවිය.  ඊළඟ පන්දු දෙකටම කිසිදු ලකුණක් නොදුන් ධනංජය හතරවැනි පන්දුවේ දී ෆසාල්හක් ෆරුකි කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගනිමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පරාජය ස්ථිර කළේය.

ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 37.4 ක දී ලකුණු 289කට දවා ගනිමින් ලකුණු 02ක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ 12 වැනි එක්දින තරඟ ජයග්‍රහණය ද තම නම ඉදිරියේ සටහන් කරගත්තේය. එමෙන් ම තම ප්‍රතිවාදී කණ්ඩායම අඛණ්ඩව වැඩිම වාර ගණනක් සම්පූර්ණයෙන් ම දවා ගැනීමේ ලෝක වාර්තාව ද ශ්‍රී ලංකාව තවත් තරඟයකින් වැඩිකරගත්තේය.

ඇෆ්ගනිස්තාන කන්ඩයාමේ පළමු කඩුලු 03ම අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ වැටුණේ ශ්‍රී ලංකාවට සටනකින් තොරව ම ජයග්‍රහණය ලැබෙන ලකුණු පළකරමිනි. නමුත් ලකුණු 121කට කඩුලු 04ක් බිඳ වැටුණු අවස්ථාවේ පිටියට එක් වූ මොහොමඩ් නබී, පන්දු 32ක දී හයේ පහර 05ක් සහ හතරේ පහර 06ක් සමඟ ලකුණු 65ක් ද නායක හෂ්මතුල්ලා ශහිදි පන්දු 66ක දී ලකුණු 59ක් රැස් කළේ ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව අවශ්‍ය ඉලක්කය දක්වා මෙහෙයවමිනි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 291ට කුසල් මෙන්ඩිස්ගේ අගනා වටිනා ලකුණු 92 ඉනිමේ කොඳු නාරටිය බවට පත්විය.

පැතුම් නිස්සංක 41, දිමුත් කරුණාරත්න 32 පළමු කඩුල්ලට සාර්ථක ආරම්භයක් ලබාදුන්න ද සධීර සමරවික්‍රමත් වැඩි වේලාවක් නොගොස් ආපසු ක්‍රීඩාගාරයට පියමැනීමත් හේතුවෙන් ලකුණු පුවරුව කඩුලු 03කට ලගුණු 83ක් විය. ඉන් පසු කුසල් සමඟ එක් වූ චරිත් අසලංක ඇෆ්ගනිස්තාන පන්දු යවන්නනට හිස් එසවීමට ඉඩ නොදී ලකුණු 102ක් එකතු කළේ පන්දු 99කිනි. චරිත් අසලංක 32ක් ලබාගත් අතර කුසල් මෙන්ඩිස් සිය ශතකය පෙනි පෙනී දුවද්දී දැවීයාමට හසුවිය. ඉන් පසු ධනංජය හ දසුන් ශානක දෙදෙනාම දවාගත් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ යළි තරඟයේ පාලනය සියතට ගනිමින් සිටිය දී පසුපෙළින් පැමිණි දුනිත් වෙල්ලාලගේ (33) සහ මහීෂ් තීක්ෂණ (28) ශ්‍රී ලංකාව ලකුණු පුවරුව 300 ආසන්නයට ගෙන ගියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!