spot_img
spot_imgspot_img

මේසන් බාස්ගේ ධම්මික පැණිය, ආණ්ඩුව කළ අපරාධමය වරදක්

පුවත්

විදෙස්

මංගලනාත් ලියනආරච්චි විසිනි

කොළඹ පදිංචි, වෘත්තීය සංචාරක මග පෙන්වන්නෙකු 2020 මාර්තු 03 වන දා ඉතාලි ජාතික සංචාරකයින් සිව් දෙනෙකු සමග දඹුල්ල ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියේය. ඒ අතරතුර මතු වූ ආගන්තුක රෝග ලක්ෂණ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගත්තද, සුව නොවීම නිසා ඔහු තම පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් මත කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් විය. ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මාර්තු 09 වන දින තහවුරු විය. ඔහු මෙරටදී හමු වූ පළමු ශ්‍රී ලංකික කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයාය.සමස්ත ලෝකයම වේගයෙන් ගිල ගනිමින් තිබූ ව්‍යසනයක ආරම්භය මෙරටින් සනිටුහන් වන්නේ එසේය.

‘මේක ජාතික ගැටලුවක්. සියලු දෙනා ජාතිය ගැන හිතල වැඩ කරන්න ඕනෑ. මේ තත්ත්වය අවස්ථා හතරක් අනුව සලකා බලනවා. විෂබීජය රටට ඇතුළු වීම, එය පැතිරීම වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ විශාල වශයෙන් රෝගය පැතිරුණොත් ඊට මුහුණ දීම යන අවස්ථා හතරෙන් දැන් දෙවන අවස්ථාවේ අපි ඉන්නේ. වෛරසය පැතිරීම වැළැක්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා.යම් හෙයකින් කොරෝනා වෛරසය පැතිර යාම ඉතාලියේ මෙන් වේගවත්ව සිදුවුවහොත්, ඉතා අමාරු තත්ත්වයක් නිර්මාණය වනු ඇති.’

මාර්තු 11 වන දා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එවකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ එසේ පැවසීය.

https://www.youtube.com/watch?v=Tfsz_FDnRU8

කෝවිඩ් මරණ

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් පිටුවෙහි කොවිඩ් 19 තත්ත්ව වාර්තාව 2022 දෙසැම්බර් 13 වන දායින් යාවත්කාලීන කිරීම නවතා තිබේ. ඒ අනුව දෙසැම්බර් 13 වන තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව (සමුච්චිත) 671,756 කි. ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 38 කි. නව රෝගීන් සංඛ්‍යාව 4 කි. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 654,910 කි. මරණ සංඛ්‍යාව 16,808 කි.

https://www.hpb.health.gov.lk/si

මෙවැනි ආපදාවකදී මහජනයා වෙනුවෙන් සේවා සැපයීම ආණ්ඩුවේ වගකීමය. සංඛ්‍යා දත්තවලට අනුව මේ වන විට ආණ්ඩුවේ වගකීම ඉටු කර තිබෙන බව පෙනෙන්නට තිබේ. ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව සහ නව රෝගීන් සංඛ්‍යාව පිළිබඳ දත්ත ඒ බව තහවුරු කරයි. 2022 දෙසැම්බර් 13 වන දා සිට දත්ත යාවත්කාලීන කිරීම නවතා දැමීම තුළින්ද කොවිඩ් වෛරසය ප්‍රමාණාත්මකව පාලනය කළ බව අනුමාණ කළ හැකිය.කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් වන වගකීම අවසන් වුවත් එය පාලනය කිරීම සඳහා භාවිත කළ උපාය, උපක්‍රම පිළිබඳ ආණ්ඩුවේ වග වීම තවමත් අවසන් වී නැත.

ආණ්ඩුව නිසි කලට ඇතැම් ක්‍රියාමාර්ග ගත්තේ නම්,  වගකීම් සහගත ලෙස හැසිරුණේ නම්, ඇතැම් අඥාන ක්‍රියාමාර්ග නොගත්තේ නම්, මේ මියගිය පුරවැසියන් 16,808 න් යම් පිරිසකගේ ජීවිත හෝ බේරා ගැනීමට අවස්ථාව නොතිබුනේ දැයි සාධාරණ සැකයක් ඇතිවීම වැලැක්විය නොහැක. ඒ මරණ සංඛ්‍යාව යනු නිකම්ම ඉලක්කම් නොව වටිනා මිනිස් ජීවිත බැවිනි.

සමස්ත ලෝකයටම හිටි හැටියේ මරු පහරක් එල්ල කළ කොවිඩ් 19 වෛරසයේ ආගමනයත් සමග එයින් ආරක්ෂාවන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට සියලු රටවල ජනතාව හැකි සෑම අයුරින්ම පිළියම් සොයන්නට පටන්ගෙන තිබුණි.සංවර්ධිත රටවල් මේ සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් සොයා පර්යේෂණ කිරීම ආරම්භ කර තිබුණද,ඇතැම් රටවල් ඒ ඒ රටවල සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පමණක් නොව, ඇදහිලි විස්වාස පිළිබඳ පවා අවධානය යොමු කල බව අපට අමතක නැත.එවැනි වගකීම් සහගත බවින් මිදුනු රටවල් අතරින් අප රටටද හිමිවන්නේ,ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රී ලංකාවේ ජනයාද දේශීය වෙදකම, හෙල වෙදකම, ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ විස්වාසයෙනුත් ඔබ්බට ගොස් , ඇතැම් ඇදහිලි විස්වාසයන් මත හිඳ කටයුතු කිරීම සුලබ දසුනක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස බොර දියේ මාළු බාන හොර වෙදුන්,දේවාල කපුවන් ද කරලියට පැමිණියේය. ඒ හොර වෙඳුන්ට කපුවන්ට දේශපාලනඥයින්ගේ මෙන්ම ජනමාධ්‍ය හි අනුග්‍රහයද නොමදව ලැබෙන අයුරු දක්නට ලැබුණි.

කොවිඩ් 19 වසංගත තත්වය සමයේ ආණ්ඩුවේ බොහෝ කටයුතු මිලිටරි බලය යොදා ගනිමින් පාලනය කලද,අවිද්‍යාත්මක දෑ පැතිරීම හා ඊට ආණ්ඩුවේ අනුග්‍රහය ලබාදීම සම්බන්දයෙන් පාලනයක් නොතිබුණි. කෙසේ වෙතත්,එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘’අපි තමයි හොදටම කලේ’’යනුවෙන් කොවිඩ් සමයේ ආණ්ඩුවේ  ක්‍රියාකාරිත්වය පිලිබද පම්පෝරි ගැසුවද,ඉතාමත් කෙටි කලකින් එම තත්වය අහිමිකර ගත් බවක් දක්නට ලැබුණි.කොවිඩ් සමයේ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය තුල විනිවිද භාවය හා වගවීම පිලිබද එය කදිම කියවීමකි.

මේසන් බාස්ගේ ධම්මික පැණිය

වෘත්තීයෙන් පෙදරේරුවෙකු වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර නිෂ්පාදනය කළ “ධම්මික පැණිය” මේ තත්ත්වය තුළ වඩාත් කතාබහට සහ ආන්දෝලනයට තුඩුදුන් කාරණාවක් විය. විශේෂයෙන් විෂය භාර අමාත්‍යවරිය, අමාත්‍යවරුන් ධම්මික පැණිය සම්බන්ධයෙන් දක්වන ලද සහයෝගය නිසා කොවිඩ් 19 වෛරසය පිළිබඳ බියෙන් ඇලලීගොස් සිටි ජනතාව ධම්මික පැණිය පස්සේ යන්නට පටන් ගත්තේ ‘දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවාය’ කියන කියමන සනාථ කරමිනි.

ධම්මික පැණිය ප්‍රවර්ධනය හේතුවෙන් මහජනයාට අහිතකර තත්ත්වයන් දෙකක් නිර්මාණය විය. එකක් රෝගය නිවාරණයට කිසිදු බලපෑමක් නැති ධම්මික පැණිය පිළිබඳ විශ්වාස කරමින් රෝගීන් එය පානය කර රෝග සුවය ප්‍රාර්ථනා කිරීමය.

දෙවැන්න මෙයට පක්ෂව හා විපක්ෂව ප්‍රවෘත්ති නිර්මාණය වන්නට පටන් ගැනීම නිසා කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීමේ ක්‍රමවෙද පිළිබඳ දැනුවත් කිරීමට තිබූ මාධ්‍ය අවකාශය ඒ පිළිබඳ පක්ෂ හා විපක්ෂ ප්‍රවෘත්තිවලින් පිරී යාමය.ඒ පිළිබඳ මෙතෙක් විධිමත් පර්යේෂණයක් සිදු වී නොමැති වුවත් මේ කාරණා දෙක නිසා සැලකිය යුතු රෝගීන් සංක්‍යාවක් මිය ගිය බව අනුමාණ කිරීම සාධාරණය. ධම්මික පැණිය පිළිබඳ රජයේ වගවීම අප ප්‍රශ්න කරන්නේ එවැනි සාධාරණ අනුමානයක සිටය.

ජනමාධ්‍ය සහ ධම්මික පැණිය

සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත කරමින් තිබූ ධම්මික පැණිය පළමුවෙන් ප්‍රසිද්ධ මාධ්‍ය මගින් මහජනයාගේ අවධානයට ලක් කරන්නේ දෙරණ නාලිකාවේ අද දෙරණ ප්‍රවෘත්ති විකාශයෙනි. ඒ 2020 නොවැම්බර් 29 දාය.

https://www.youtube.com/watch?v=xMziNitaLuY&t=114s

’කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන් මැඩ පැවැත්විය හැකි දේශීය ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබෙනවා. මෙම ඖෂධය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යානුකූලව සිදු කළ පරීක්ෂණ මට්ටම් දෙකකදී 100% කොවිඩ් රෝගයෙන් සුවය ලබා ඇති බව පර්යේෂණය සිදු කළ වෛද්‍ය කණ්ඩායම පෙන්වා දෙනවා…’ යනුවෙන් ප්‍රවෘත්තිය ආරම්භ විය.

ප්‍රවෘත්තියේ සඳහන් දේශීය ඖෂධය ධම්මික පැණියයි

පීසීආර් පරීක්ෂණවලින් කොවිඩ් ආසාධිත බවට තහවුරු වී දින හයක් ගත වූ රෝගීන්ට මෙලෙස දින තුනක් අඛණ්ඩව දවසට දෙවරක් බැගින් එම ඖෂධය පානය කිරීමට අවස්ථාව ලබා දීමෙන් අනතුරුව එම ඖෂධය පානය කළ රෝගීන් අතුරින් අහඹු ලෙස තෝරා ගත් දස දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට වෛද්‍ය කණ්ඩායම කටුයුතු කරනු ලැබූ බවත්, ඒ අනුව පළමු පර්යේෂණය යටතේ සිදු කළ අත් හදා බැලීමට අනුව පීසීආර් පරීක්ෂණ සිදු කළ රෝගීන් දස දෙනාගේම ශරීරවලින් කොවිඩ් වෛරසය ඉවත් වී ඇති බව නොවැම්බර් 16 වන දා තහවුරු තහවුරු වූ බවත් වැඩි දුරටත් එහිදී සඳහන් විය.

‘මම දන්න තරමින් පන්දාස් ගණනක රෝගීන් ඉන්නවා. මේ රෝගීන්ට ඖෂධ ටික දීලා දින තුනකදී මේ අය නිට්ටාවට සුව කරලා දෙන්න පුළුවන් කියලත් මට දිවුරලා කියන්න පුළුවන්’ ධම්මික බණ්ඩාර නමැති පෙදරේරුවා ද මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේය.

ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගේ අදහස් දැක්වීමක් ප්‍රවෘත්තිය අගට එක් කර තිබුණේ, මෙම ප්‍රවෘත්තියට නිල පිළිගැනීමක් එක් කිරීම සඳහා ය. නමුත් ප්‍රවෘත්තියේ සඳහන්වන කාරණය සම්පූර්ණයෙන් සත්‍ය බව පැවසීමට අමාත්‍යවරයා හදිසි නොවූ බව පෙනෙන්නට තිබිණි.

‘කෝවිඩ් 19 රෝගය සඳහා හෙළ වෙදකම ඇසුරින් නිෂ්පාදනය වුන ඖෂධය පිළිබඳ අප යම් ආකාරයකට දැනුම්වත් වුණා. මේ පිළිබඳ තවදුරටත් පරීක්ෂණාත්මකව සොයා බැලිය යුතුයි කියන අදහසේ අප සිටිනවා. ඒ වගේම මේ ඖෂධයේ ඵලදායීතාව පිළිබඳ නිශ්චිත වශයෙන්ම අදහසක් ලබා ගැනීම සඳහා ඉදිරිකාලයේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.’ අමාත්‍යවරයා පවසා සිටියේය.

ධම්මික පැණියට ආණ්ඩුව වගවීම

2023 දෙසැම්බර් 01 වන දා දෙරණ නාලිකාවේ බිග් ෆෝකස් වැඩසටහනට පැමිණි ධම්මික බණ්ඩාර හා දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ධම්මික පැණිය ගැන නැවතත් ජනතාව දැනුම්වත් කළේය.

https://www.youtube.com/watch?v=Fv7YjbpmTz4&t=474s

‘මේ පිළිබඳව අපට තොරතුරු ලැබුණා. විශේෂයෙන්ම වතුපිටිවල රෝහලේ වෛද්‍ය ධම්මික මැතිතුමා, ඔහු සායනික පරීක්ෂණයක් සිදු කරලා තිබ්බා. කිහිප විටක් කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් ලබා දීලා තුන් වෙනි දවසෙදී කරන නැවත පීසීආර් පරීක්ෂණයේදී රෝගය නැති තත්ත්වයක් වාර්තා වුණා. ඉන් පස්සේ එවැනිම කණ්ඩායමක් පරීක්ෂණයක් කළා, ඊ ලඟට නියැදි පරීක්ෂණයක් කළා. කොටසකට බෙහෙත් ලබා දෙමින් සහ තවත් පිරිසකට බෙහෙත් ලබා නොදෙමින් පොසිටිව්, නෙගටිව් තත්ත්වය අධ්‍යයනය කළා. එහිදීත් එහිදී 100% ක් ප්‍රතිපල වාර්තාගත වුණා. මේ පරීක්ෂණයේ දෙවෙනි අදියරේ තමයි අපට මේ තොරතුරු පිළිබඳව සොයා බලන්න යන්න ඕනෑ කියන අදහස පැන නැගුණේ. එතුමා (ධම්මික බණ්ඩාර) හමුවෙන්න ගියේ අපි ඒ පරීක්ෂණයේ ප්‍රතිපලත් එක්ක.’ එහිදී රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වා සිටියේ, ඒ අන්දමනි.. .

මෙවැනි අර්බුදකාරී අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරයෙක් ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සිදු කරන ප්‍රකාශයක් රජයේ ස්ථාවරය ලෙස ජනතාව සලකීම වැලැක්විය නොහැකිය. එපමණක් නොව 2020 දෙසැම්බර් 02 වන දා එවකට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ධම්මික පැණිය මාධ්‍ය ඉදිරියේ පානය කර පෙන්වන්නට කටයුතු කළාය. 

2020 දෙසැම්බර් 10 වන දා ධම්මික බණ්ඩාර පාර්ලිමේන්තුවට කැඳවාගෙන ගිය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි එය පාර්ලිමේන්තුවේ කතානායකවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරන්ට හඳුන්වා දුන් අතර කතානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් මාධ්‍ය ඉදිරියේ ධම්මික පැණිය පානය කරමින් එයට විශාල අනුග්‍රහයක් ලබා දෙන්නට කටයුතු කළේය. ඔවුන් බලාපොරොත්තු වූ පරිදිම එයට විශාල මාධ්‍ය අවධානයක් ලැබී තිබුණේය.

කෝවිඩ් රැල්ල දරුණු අතට

ධම්මික පැණිය පිළිබඳ මේ මාධ්‍ය ප්‍රචාරයන් සිදු වන විට කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වී රටේ තත්ත්වය දිනෙන් දින අර්බුදකාරී තත්වයකට පරිවර්තනය වී පැවැත්විණි. කොළඹ නගරයේ කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වී තිබුණේය. වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා රටේ විවිධ ප්‍රදේශ තුළ පිහිටා ඇති බන්ධනාගාරවල පහසුකම් නොමැති වීමෙන් භීතියට පත් බන්ධනාගාර රැඳවියන් නොසන්සුන් වී සිටි අතර ඇතැම් බන්ධනාගාරවල කලහකාරී තත්ත්වයන්ද ඇති විය. එසේ කලහකාරී වූ මහර බන්ධනාගාරයේ රැඳෙවියන් පිරිසකට ආරක්ෂක අංශ වෙඩි තබා තිබුණේ ද ධම්මික පැණිය පිළිබඳ ප්‍රවෘත්තිය විකාශ කළ දිනය වන නොවැම්බර් 29 වන දා වීම විශේෂිතය. එම වෙඩි තැබීමෙන් රැඳෙවියන් 8 දෙනෙකු මිය ගිය අතර 60 කට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා තිබිණි. තුවාලකරුන්ගෙන් 10 දෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය විය.

රෝගීන් හඳුනාගැනීමට පරීක්ෂණ කිරීම සඳහා පහසුකම් නොමැති කමින් හුදකලා කළ ප්‍රදේශවලින් මෙන්ම නොකළ ප්‍රදේශවලින් ද රෝගීන් වාර්තා වෙමින් තිබුණේය. මේ වන විට රෝගීන් 200 කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව හඳුනාගනිමින් තිබිණි. 2020 නොවැම්බර් 30 වන දා වන විට රටේ වාර්තාගත සමස්ථ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 23,662 ක් වූ අතර 116 ක් මරණ වාර්තා වී තිබිණි.

ධම්මික පැණියට දිගු පෝලිම්

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම පිළිබඳ මේ ව්‍යාජ බලාපොරොත්තුව සමාජගත කරන්නේ ඇයිද යන කාරණාව වටහා ගැනීම සඳහා ඒ අවස්ථාවේ රටේ පැවැති වාතාවරණය තේරුම් ගැනීම වැදගත්ය. ධම්මික පැණිය සම්බන්ධයෙන් ලබා දුන් රාජ්‍ය අනුග්‍රහය සහ මාධ්‍ය අනුග්‍රහය කොතරම් බලවත් වූයේද කියන්නේ නම්, 2020 දෙසැම්බර් මුල වන විට ධම්මික පැණිය ලබා ගැනීමට විශාල සෙනගක් කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ නිවස ඉදිරිපිට පොර කන්නට පටන් ගෙන තිබුණේ උමතුවෙන් මෙනි. පැණිය ලබා ගැනීමට පැමිණෙන ජනයා පාලනය කිරීමට පොලීසිය පවා යොදවන්නට සිදු වී තිබිණි.

ධම්මික පැණිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හැසිරීම පිළිබිඹු කරන පර්යේෂණ වාර්තාවක් හෑෂ්ටැග් පරපුර එළි දක්වා තිබේ. දම්මික බන්ඩාරගේ නිවස ඉදිරිපිටට සෙනග ඒකරාශිවීම පෙන්වන ජායාරූප හා වීඩියෝ දර්ශන හරහා ධම්මික බණ්ඩාර සැලකිය යුතු ප්‍රසිද්ධියක් අත්කරගත් බව එම වාර්තාවේ සඳහන්ය. 

හැෂ්ටැග් පරපුර නිකුත් කළ වාර්ථාවට අනූව ධම්මික පැණිය සම්බන්ඳයෙන් 2020 දෙසැම්බර් 4 සිට 31 දක්වා සමාජ මාධ්‍ය තුළ පළකිරීම් (Post) 2,848 ක් සහ ඒ හා බැදුනු ප්‍රතිචාරයන් (comment) 3,172  නිරීක්ෂණය කර ඇත.

https://drive.google.com/file/d/1qQKubeK1HtAtom3J5v2BKoQ5hToH9ma_/view

එයින් පසු සිදු වූ කොවිඩ් මරණ සැලකිය යුතු ප්‍රමාණයකට මේ මාධ්‍ය සංදර්ශනය හේතු වී ඇති බව පැහැදිළිය. මේ මාධ්‍ය සංදර්ශනය කොවිඩ් පළමු රැල්ල සාර්ථකව පාලනය කළ බව කියා පාරම්බාමින් සිට දෙවැනි රැල්ලේදී කොවිඩ් වෛරසය ඉදිරියේ අසරණ වූ ආණ්ඩුව මහජන විරෝධය පාලනය කිරීම සඳහා යොදාගත් අපරාධකාරී උපක්‍රමයක් ලෙස පෙනෙන්නට තිබේ. නමුත් ඒ නිසා අහිමි වූ ජීවිත සම්බන්ධයෙන් එයට දායකත්වය දැක්වූ දේෂපාලන අධිකාරය, රාජ්‍ය නිලධාරීන් කිසිවෙක් වග වන බවක් පෙනෙන්නට නැත.

ධම්මික පැණිය බොරුවක්

ධම්මික පැණිය පානය කිරීමෙන් කොවිඩ් වෛරසයෙන් සම්පූර්ණයෙන් සුවය ලැබෙන බව සමාජගත කළ පළමු ප්‍රවෘත්ති විකාශය කළ 2020 නොවැම්බර් 29 වන දා සිට විශේෂඥ කමිටුව විසින් පරීක්ෂණයක් පවත්වා ධම්මික පැණියෙන් රෝග සුව නොවන බව ප්‍රවෘත්ති මගින් දැනුම් දුන් 2021 මැයි දෙවෙනි දා දක්වා කාලය තුළ කොවිඩ් වෛරසය විශාල ලෙස මෙරට තුළ ව්‍යාප්ත විය. මහජනයා වෙත ඉතා අමිහිරි මතකයන් ඉතිරි කළ වඩාත් දරුණුම තත්ත්වය ඇති වන්නේ 2021 අප්‍රේල් මාසයේ කොවිඩ් 19 තුන්වන රැල්ල පටන් ගැනීමත් සමගය.

ධම්මික පැණිය පිළිබඳ මාධ්‍ය සංදර්ශනය මෙරට සමස්ත කොවිඩ් මරණවලින් යම් ප්‍රතිශතයක් සම්බන්ධයෙන් වගකිව යුතු නේදැයි අසා දැන ගැනීමට අප ධම්මික බණ්ඩාර ඇමතුවෙමු.

‘මම අර පහුගිය කාලේත් ඔය වගේ කතා කරලා අපහසුවට පත් වුණානේ. නැත්තං ඔය ලොකු ප්‍රශ්නවලට මට ආයෙත් මුහුණ දෙන්න වෙනවා. ඔබ තුමා එන්න. ඇවිත් කතා කරමු. හොඳයි. බුදු සරණයි.’ ඔහු දුරකතනය විසන්දි කළේය.

ධම්මික පැණිය පිළිබඳ මාධ්‍ය සංදර්ශනය නිසා අහිමි වූ ජීවිත සම්බන්ධයෙන් එයට දායකත්වය දැක්වූ දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් කිසිවෙක් වගවන බවක් පෙනෙන්නට නැත. මේ ව්‍යාජ්‍ය ඖෂධය සමාජය තුළ ප්‍රචලිත කිරීම නිසා අහිමි වූ ජීවිත සම්බන්ධයෙන් එයට දායකත්වය දැක්වූ දේශපාලන අධිකාරය, රාජ්‍ය නිලධාරීන් කිසිවෙක් වගවීමට සූදානම් නැත.

රටක කතානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් මෙසේ ව්‍යාජ්‍ය ඖෂධයක් වෙනුවෙන් පෙනී සිටීම ගැටළු සහගත වූවා සේම එය මහජනයා නොමග යවන සුළු කාරණක් නොවූයේදැයි අප කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් විමසූ විට ඔහු ලබා දුන්නේ,කදිම පිලිතුරකි.

‘ඒ වෙලාවේ කර කියා ගන්න දෙයක් නැතිව මුළු රටම ඩෙස්පරේට් වෙලා හිටියේ. ආයුර්වේද දෙපාර්තමේන්තුව මොනවා හරි යමක් කිව්වා නම් ඒක ඒ වෙලාවේ බාර ගන්නවා. ජනතාව විතරක් නෙමේ කවුරුත් ව්‍යාකූල වෙලා හිටියේ. ආයුර්වේදය කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව එන්න කලින් ඉඳන් අපේ රටේ තිබිච්ච වෙදකමක්. ඒක හෑල්ලු කරන්න බෑ අපිට. ඒකෙන් අදටත් අපි හිතන්නේ නැති අසනීප සුව කරනවා. ඒ වගේ වෙලාවක ඉංග්‍රීසි වෙදකමේ මේකට බෙහෙතක් තිබුණේ නෑ. සේරම දෙනා පර්යේශන කර කර හිටපු වෙලාව. ඒ වෙලාවේ ආයුර්වේද පැත්ත තමයි අපිට බලන්න තිබුණේ. සමහරු උළු හාල් බොන්න කිව්වා. ඒවායේ ගුණයක් නැතෙයි කියලා කාටවත් කියන්නෙ බෑ. නවීන විද්‍යාව පවා අසරණ වෙලා හිටියේ ඒ වෙලාවේ. බටහිර අහවල් එන්නත නිසා හොඳ වුණා කියලා කියන්න බෑනේ. මිනිසුන්ගේ ශරීරයේ මේකට ප්‍රතිශක්තීකරණය වර්ධනය වුණා. මිනිසුන්ට යම් අනතුරක් ආවාම ස්වභාවධර්මයෙන් මනුෂ්‍ය ශරීරය එක්ට ප්‍රතික්‍රියා කරනවා. ඒ ප්‍රතික්‍රියා කරනකොට ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙනවා. අදටත් ඔය කොවිඩි වසන්ගතට නැත්තේ නෑනේ. විෂ බීජය තියෙනවා. නමුත් මනුෂ්‍යයෝ ඒකට ඔරොත්තු දෙනවා දැන්. අද නෙමෙයි ඉතිහාසයේ ඉඳන් එහෙමයි.’

චන්න ජයසුමන ලිස්සා යයි

එවැනි අර්බුදකාරී අවස්ථාවක ධම්මික පැණිය වෙනුවෙන් වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අමාත්‍යවරයෙකු පෙනී සිටීම සාධාරණදැයි අප මහාචාර්ය චන්න ජයසුමනගෙන් විමසූ විට ඔහු පැවසුවේ මෙවන් අදහසකි.

‘පස්සේ මිනිහා ඒක ලොකු බිස්නස් එකක් කරගත්තා. ඒකට සම්බන්ධ දේශපාලකයොත් හිටියා. මේ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම වැරදියි. දෙරණ නාලිකාවේ දාපු මුල් ප්‍රවෘත්තිය නිසා මම මේක වෙනුවෙන් පෙනී සිටිනවා වාගේ අදහසක් ගියා. හරියට පරීක්ෂණයක් කරන්නේ නැතිව මේ වගේ කතාවක් මාධ්‍යට කියන්න කිසිම අයිතියක් නෑ. හෙළ වෙදකමේ මේ තරම් වටිනා බෙහෙතක් හදලා තියෙනවා කිසිම අනුග්‍රහයක් නෑ, බටහිර වෛද්‍යවරයෙක් මේවා යට ගහනවා කියලා මටත් චොදනා එල්ල වෙන්න පටන් ගත්තා. නමුත් මේකේ කිසිම ගුණයක් නෑ කියලා විද්වත් කණ්ඩායම පැහැදිලව කියලා තිබුණා. ඒතකන් ඒ අය විශාල බිස්නස් එකක් කළා. ඕක මගේ අමාත්‍යාංශයට අයිති දේකුත් නෙමේ. ආයුර්වේද අමාත්‍යාංශයෙන්නේ ඕක කරන්න ඕනෑ. හැබැයි ආයුර්වේද අමාත්‍යංශයට ඒ වගේ පරීක්ෂණයක් කරලා පෙන්නන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. ඒ නිසා තමයි මම මැදිහත් වෙලා මේක කරලා පෙන්නුවේ. නමුත් මම මුල ඉඳන්ම දැනගෙන හිටියා මෙතන මොකක්ද වෙන්නේ කියලා. කොවිඩ් වගේ වෛරසයක් ඔය වගේ සරල බෙහෙතකින් හොඳ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.“

මටම දුන්නා කමිටුවක් පිහිටුවලා මේ ගැන වාර්තාවක් දෙන්න කියලා. මාධ්‍යවලින් කියනවා මේ පැණියෙන් හොඳ වෙනවා කියලා. තවත් සමහරු කියනවා මේකට රාජ්‍ය අනුග්‍රහය දෙන්න ඕනෑ කියලා. ඒ නිසා වෛද්‍ය පීඨවල ඉන්න ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු කැඳවලා, මේ ගැන හරියට පරීක්ෂණයක් කරලා බටහිර වෛද්‍ය විද්‍යානුකූලව මේ ගැන වාර්තාවක් දෙන්න කියලා කීවා. මම කිසිම තැනක ඔය පැණිය හොඳයි කියලා නෑ. මම මුල ඉඳන්ම මේක අවංක වැඩක් නොවෙයි කියන අදහසේ තමයි මම හිටියේ. පරීක්ෂණය සඳහා රෝගීන් තෝරාගෙන පරීක්ෂණය නිම කරන්න සති දහයක් විතර ගියා. රජයේ මැදිහත්වීමෙන් නිසි පරිදි කරපු පරීක්ෂණයෙන් පැහැදිලි වුණා මේ ධම්මික පැණියේ රෝගය සුව කිරීම සඳහා කිසිම බලපෑමක් නෑ කියලා. ඒ වාර්තාව නිකුත් කරලා මම මාධ්‍යයේ කතා කළාට පස්සේ තමයි ධම්මික පැණිය ගැන අවදානය නැති වුනේ.’

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුවත් වාර්තාව නිකුත් කළේ 2021 මැයි මාසයේය. ප්‍රවෘත්තිය පළ වී මාස 5 කට පසුවය. ඒ වන විට මහජනයා ගත කලේ, කොවිඩ් වසංගතයේ වඩාත් දරුණුතම අවදිය පසුකරමිනි. ඒ වන විට ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනෙකා, රුසියාවේ ස්පුට්නික් ජර්මනියේ ෆයිසර් එන්නත් ලංකාවට ලැබෙමින් තිබූ අතර කොවිඩ් වෛරසය මර්දනය කිරීම සඳහා නිවැරදි ක්‍රමවේදය එන්නත බවට මෙරට මහජනයා තුළද විස්වාසය ගොඩ නැගෙමින් තිබිණි. තම ජීවිත බේරාගැනීම පිළිබඳ එවැනි බලාපොරොත්තුවක් ගොඩ නැගීම ආණ්ඩුවට මහත් අස්වැසිල්ලක් වී තිබූ අතර ඉන් පසු මහජනයා තුළ ආරම්භ වී තිබුණේ එන්නත් විද ගැනීම සඳහා තරඟකාරී තත්වයකි.

මේ වන විට කෝවිඩ් වෛරසයට විසදුම එන්නත්කරණය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සහතික කර තිබියදීත්, ආණ්ඩුව කාලි මෑණියන්ගේ නියමයෙන් ධම්මික පෙදරේරුවා නිපදවු බව කියන ධම්මික පැණියට අනුග්‍රහය ලබාදීම නතර කර නොතිබුණි. ලෝකයේ බොහෝ රාජ්‍ය නායකයන් ප්‍රසිද්ධියේම කෝවිඩ් එන්නත ලබා ගන්නා ආකාරය ජනමාධ්‍ය ඔස්සේ දැක ගත හැකි වුවද, අප රටේ  ඉහළ දේශපාලඥයන් හෝ ඔවුන්ගේ පවුල් වල කිසිවෙකුත් එන්නත් ලබා ගන්නා ආකාරයක් ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වු බවක් අපට මතක නැත. ආණ්ඩුව ඉහල නායකයන් හැමෝටම හොර රහසේ එන්නත ලබා ගෙන, රටේ ජනතාවට ධම්මික පැණිය පොවා වගකීමෙන් නිදහස් වන්නට උත්සහ කළා දෝ යන සැකය මෙහිදී බැහැර කල නොහැකිය.

විශ්‍රාමික මහාචාර්ය තිස්ස විතාරණ වීසිවෙයි

වෛරසවේදය විද්‍යාඥයෙකු මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් හා වසංගත රෝග සම්බන්ද උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති විශ්‍රාමික මහාචාර්‍ය තිස්ස විතාරණ  මෙරට සිටින වෛරසවේදය හා වසංගත රෝග පිලිබද ආචාර්‍ය උපාධියක් ඇති අතලොස්සක් අතරින් එක් අයෙකි. ඔහු කියා සිටින්නේ, කෝවිඩ් වසංගත තත්වයේදී වෛරස් රෝග සම්බන්ද ආචාර්‍ය උපාධියක් සහිත තමාගෙන් පමණක් නොව, ඒ පිලිබද දැනුම සහිත වෙනත් කිසිවෙකුගෙන් හෝ රජය උපදේශයක් ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකිරීම පිලිබද තමා දැඩි ලෙස කනගාටුවට පත්වු බවයි.

“ඇත්තටම ආණ්ඩුව ඒ වෙලාවේ එහෙම කටයුතු කිරීම පිලිබදව මා පුදුමයට මෙන්ම  කණගාටුවට පත්ව සිටියා.අපි අපේ දැනුමෙන් අපේ රටට සේවය කල යුතුයි. නමුත් ආණ්ඩුව ඒකට අවස්ථාව ලබා නොදී, වෙනත් වෙනත් ක්‍රමවේදයන්  පිලිබදව විශ්වාසය තබා කටයුතු කළ බවක් දකින්නට ලැබුණා..මම දේශීය හා සම්ප්‍රදායික දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මේ දේශීය දේ වුනත්, නියමිත විද්‍යාත්මත ක්‍රමවේදයකට අනුකූලව නියදි පරීක්ෂණ සිදු කර, සුදුසු නම් පමණක් එය ජනතාවට මුදා හැරීමට හැකියාව තිබුණා. ඔය කියන ඖෂදය වුනත්, රාජගිරියේ ආයුරුවේද පර්යේෂන ආයතනය හරහා පර්යේෂණ කරලා මේ ඖෂධය සුදුසුද යන්න පරික්ෂා කිරීමට හැකියාව තිබියදී ආණ්ඩුව කටයුතු කල ආකාරය හාස්‍යජනකයි. වෛරස් හා වසංගත රෝග පිලිබද විද්‍යාඥයෙකු වන මගෙන් විතරක් නෙවෙයි,ඒ පිලිබද දැනුම තියෙන කිසිම කෙනෙක්ගෙන් ආණ්ඩුව වැඩක් ගත්තේ නැහැ.ඒ පිලිබදව මා මහත් කනගාටුවට පත් වෙනවා..  “

කෝවිඩ් වසංගත තත්වය හමුවේ ආණ්ඩුවේ හැසිරීම පිලිබදව තවදුරටත් අදහස් දැක්වු වෛරසවේදය තිස්ස විතාරණයන් කියා සිටියේ, එවකට සෞඛ්‍ය අමාත්‍යවරිය වු පවිත්‍රා වන්නිආරච්චි විසින් වෛරසය සම්බන්දයෙන් වු විශේෂඥ මතය පවා බැහැර කල බවයි.

https://srihanda.lk/2021/01/24/health-minister-on-expert-opinion/

අමාත්‍ය සිසිර ජයකොඩිගේ අඩහැරය

ධම්මික පැණිය ප්‍රවර්ධනය කිරීමෙන් කොවිඩ් වෛරසය නිසා ව්‍යාකූල තත්ත්වයට පත්ව සිට ජනතාව නොමග ගිය බවත් ඒ නිසා දැනට වාර්තාවී ඇති මරණ සංඛ්‍යාවෙන් යම් ප්‍රතිශතයක් ඒ නොමග යාම නිසා සිදු වූ මරණ සේ අනුමාණ කළ හැකි වීමත් පිළිබඳ අප දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිගෙන් විමසීමක් කලෙමු.

‘ඒ වෙනකොට කොවිඩ් එන්නතක් හඳුනාගෙන තිබුනේ ඉන්දියාව විතරයි. ඒකේ අයිතිකාරයා වැක්සින් එක නිෂ්පාදනය කරගන්න බැරිව රටත් දාලා එංගලන්තයට පැනලා ගියා. අනිත් රටවල් වැක්සින් නිෂ්පාදනය කරමින් සිටියත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තිබුණේ නෑ. ඒ වෙලාවේ අපි බැලුවේ විකල්ප ඖෂධයක් ගැන. ඉතිහාසයේ ඉඳන්ම සෙම් රෝග සම්බන්ධයෙන් සාදික්කා, මී පැණි, ඉඟුරු ප්‍රයොජනවත් කියලා අපි දැනගෙන හිටියා. එන්නතෙන් ලැබෙන අතුරු ආභාධයන්ට වඩා ඉගුරු, සාදික්කා වගේ දේවල් පාවිච්චියෙන් සිදු වෙන හානිය අවමයි. මොකද අවුරුදු දහස් ගණනක් අපි මේවා පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා ඒ ගැන දේශීය වෛද්‍ය විද්‍යාත්මකව අපට ගැටලුවක් තිබුණේ නෑ. ඊ ළඟ කාරණය අපි සායනික අධ්‍යයනයකට මේක යොමු කළා. බණ්ඩාරණායක අධ්‍යයන ආයතනයේ මහාචාර්ය සේනක පිලපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. හැබැයි බටහිර වෛද්‍යවරු තමයි එතන්ට ආවේ. මුල් වෙලාවේ අපිට වතුපිටිවල රෝහලේ අධ්‍යක්ෂතුමාත් ඒ වෛද්‍යවරුත් කීවා ඒ අය සායනික වශයෙන් ඒවා බීලා සුවපත් වුණා කියලා. රෝගීනුත් මට කතා කරලා කීවා කිසි ගැටලුවක් නෑ කියලා. අපි මිහින්තලය කේන්ද්‍ර කරගෙන තමයි මේ පරීක්ෂණය කළේ. ඒකට මාස ගණනක් යනකම් රටේ සෞඛ්‍ය සේවයෙන් ඒ පරීක්ෂණය සඳහා අවශ්‍ය රෝගීන් ප්‍රමාණයක් නිෂ්චිතව එව්වේ නෑ. එතන්ට එවලා තිබ්බේ මුස්ලිම් අය. ඒගොල්ලෝ වෙන ප්‍රශ්නත් එක්ක මේවා ප්‍රතික්ෂේප කළා. ඒ නිසා සායනික අධ්‍යයනය ඒ තරම් සාර්තක වුණේ නෑ. සායනික පරීක්ෂණයක් සාර්තක කරගන්න නම්, ප්‍රමාණවත් නියැදියක් වෙන්න ඕනෑ. ඒ ප්‍රමාණවත් නියැදිය අහඹු ලෙස තෝරාගත්ත එකක් වෙන්න ඕනෑ. එක පිරිසකට ඖෂධය ලබා දෙන අතර අනෙක් පිරිසට ඖෂධ ලබා නොදෙන්න ඕනෑ. අවසානේ ප්‍රතිඵල සංසන්දනය කරන්න ඕනෑ. එතකොට තමයි පරීක්ෂණය සාර්තක වෙන්නේ. මේ ක්‍රමවේදය පිළිබදව ගැටළු තියෙනවා.  නමුත් ඒ අවස්ථාවේ එම තැනැත්තාගේ (ධම්මික බණ්ඩාරගේ) හැසිරීමත් එක්ක විශාල ගැටළුවක් මතු වුණා. ඒ නිසා අපි මේ ඖෂධයයි එයාගේ හැසිරීමයි පටලගන්න යන්නේ නෑ. නමුත් ඒ තුලින් අපි සමාජයක් විදිහට අධෛර්‍යට පත් වුණා.

අපි විකල්ප වශයෙන් තියන ප්‍රතිකාර මොනවද කියලා හොයා බැලුවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් මේ සඳහා විශේෂ කමිටුවක් පත් කළා. කොවිඩ් රෝගය සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය විද්‍යාත්මක ඖෂධයක් පිළිබඳ ප්‍රතිශක්තිකරණ ඖෂධයක් ලබා දෙන්න කියලා. ඔවුන් නිර්දේශ කළා සුව ධරණි ඖෂධය. ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, හීන් අරත්ත තමයි ඒකේ භාවිතා කළේ. ඒක මේ රටේ බොහෝ අය බිව්වා. ඒකේ ප්‍රතිපල තිබුණා. ඒත් මේ ජනමාධ්‍යවේදීන් දේශපාලන වුවමනාවන් මත පැණිය ගැනමයි හොයන්නේ. ඒ සිද්දි සමූහය බලන්න වෙන්නේ ඒ සිද්ධිය පැවැතිච්ච කාලයට සාපේක්ෂවයි.’

රාජ්‍ය අමාත්‍යවරයා අදහස් කරන්නේ තමන් හඳුන්වා දුන් ධම්මික පැණිය කොවිඩ් සඳහා ඖෂධයක් වු බවය. මෙය පානය කරන අයෙකුට ජීවිත කාලයටම කොවිඩ් නොවැළදෙන බව ධම්මික බණ්ඩාරයන් කියා සිටියේ, කැට තබමිනි. නමුත් ධම්මික පැණිය පානය කර මාසදෙකක් ඉක්ම යන්නටත් මත්තෙන් සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් වැලඳුනා පමණක් නොව, ඇය පණ බේරා ගත්තේ ද ඉතා අසීරුවෙනි. විද්‍යාත්මක ක්‍රමවේදයෙන් පරිභාහිරව අවිද්‍යාවට මුල් තැන ලබා දෙමින් ගංගාවල මුට්ටි පාකර හැරීමටද ඇය කටයුතු කල බව අපට අමතක නැත. එසේම ධම්මික පැණිය පානය කළ පියල් නිශාන්ත ඇතුළු තවත් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනෙකුටද කොවිඩ් වැලඳුනේය.

ධම්මික පැණිය සහ හීන්බණ්ඩාගේ මරණය

ආණ්ඩුවේ වගවීම එසේ තිබියදී, 2022 පෙබරවාරි 12 වන දා රාත්‍රියේ කොවිඩ් වෛරසය ආසාධනය වීමෙන් කෑගල්ල, හෙට්ටිමුල්ල, මාකූර ගනේගොඩතැන්නේ පදිංචිව සිටි 58 හැවිරිදි ඒ.කේ. හීන්බණ්ඩා මිය ගියේය. ඔහු අන් කිසිවෙකුත් නොව, ධම්මික බණ්ඩාරගේ බාල සොහොයුරාය. අනතුරුව ධම්මික පැණිය පිළිබදව ආණ්ඩුව හෝ වෙනත් කිසිවෙකුත් කතා කල බවක් අපට මතක නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!