spot_img
spot_imgspot_img

දහම් පාසලේ සවාරිය අතරතුර මියගිය දරුවා ගැන හාමුදුරුවෝ කියති

පුවත්

විදෙස්

“මම බස්එකේ ඉස්සරහා හිටියේ පාරේ වාහනවලට ඉඩ දෙන්න බසය පස්සට ගනිද්දී එකපාරටම පිටුපස හිටපු ළමයි කෑ ගහන්න ගත්තා. ඒ දෙස බලනවිට අශේන් පුතාගේ ඔළුව ලයිට් කණුවක වැදිලා තිබුණා” යැයි කත්මලේ සාරද හිමියෝ කීහ.

දහම් පාසල් සිසු සිසුවියන් සමඟ ගාල්ල ප්‍රදේශයේ චාරිකාවක යෙදී සිටින අතරතුර අනතුරකින් මියගිය අත්තනායක මුදියන්සේලාගේ අශේන් ප්‍රභාත් නමැති 16 හැවිරිදි පාසල් සිසුවාගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් සාරද හිමියෝ එසේ පැවසූහ. කුලියාපිටිය, කඩිගමුව, ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ පවත්වාගෙන යන දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා සහ විහාරාධිපතිවරයා ලෙස ඒ හිමියෝ කටයුතු කරති.

මෙළෙස මියගොස් ඇත්තේ කුළියාපිටිය, කඩිගමුව, හීන්පන්නාව පදිංචි දරුවෙකි.

එම දරුවාගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (21) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් සිදුකරන ලදී.

එහි දී සාක්ෂි දුන් සාරද හිමියෝ මෙසේ ද කීහ.

“ඉරිදා (20) උදේ අපි කඩිගමුවෙන් පිටත් වුණේ උදේ 5.00ට විතර දහම් පාසලේ 7-11 ශ්‍රේණිවල ළමයි මේ චාරිකාවට සහභාගී වුණා. බස් දෙකක් ආවා. මම හිටියේ මේ අනතුර සිදුවූ බස් රථයේ. ස්වාමීන් වහන්සේලාත්, ගුරුවර ගුරුවරියන් 05 දෙනෙකුත් පිරිමි ළමයි 52ක් එම බස් රථයේ ගමන් කළා. ගැහැනු ළමයි හිටියේ අනිත් බසයේ. අපි ගාල්ල වරාය බලලා, කොග්ගලට ගිහින් මඩොල්දූවටත් ගිහින් ඇවිත් මාගාල්ල, කච්චිවත්ත පන්සලෙන් දවල් ආහාර ගත්තා. රූමස්සල ජපන් සාම චෛත්‍යයට 2.30ට විතර යන්න ඇතුල් පාරේ යද්දී මාර්ගය පොඩි නිසා බස් රථය හෙමින් ධාවනය කළේ. ඒ වෙලාවේ මේ දරුවා බසයේ දකුණු පැත්තේ පසුපස ආසනයට ඉදිරියෙන් ඇති ආසනයේ මැද වාඩිවෙලා ඉඳලා තියෙන්නේ. බසය හෙමින් යන නිසා මේ දරුවා ජනේලයෙන් ඔළුව එළියට දාලා. ඒ වෙලාවෙම ඔළුව කණුවක වැදිලා. ළමයි කෑ ගහන්න ගත්තා. එවිටම බසය නැවැත්තුවා. හැමෝම එකතුවෙලා දරුවා පාරේ යන වාහනයක දාගෙන පුළුවන්තරම් ඉක්මනට කරාපිටිය රෝහලට ගෙනාවා. මමත් ඒ එක්කම වෙනත් වාහනයකින් කරාපිටියට ආවා. වෛද්‍යවරු දරුවා බේරාගන්න ගොඩක් මහන්සි වුණා. නමුත් ඔහු මියගියා.”

මියගිය දරුවාගේ මව කුලසිංහ ආරච්චිගේ නිර්මලා (43) ද මෙම මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මෙසේ කීවාය.

“මියගොස් සිටින්නේ මගේ බාල පුතා. මොහුට වැඩිමල් දියණියක් අපට සිටිනවා. මගේ මහත්තයා විදේශගත වෙලා. මම ගොවිපළක රැකියාව කරනවා. මේ පුතා දහම් පාසල් යනවා. චාරිකාවක් යාමට ඊයේ අළුයම 4.00ට විතර මා පන්සලට ගොස් දරුවා ඇරලවා ආවා. බස් දෙක පිටත් වුනාට පසු මා ගෙදර ආවා. සවස මගේ වැඩපළේ නෝනාට කෝල් එකක් ඇවිත් තිබුණා දරුවාට අමාරුයි කියලා. නෝනාගේ වාහනයෙන් ම අපි කරාපිටියට ආවා. අතරමගදී දැනගත්තා මගේ පුතා මියගිහින් කියලා. මරණය ගැන මට සැකයක් නැහැ.”

මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන හබරාදුව පොලිසිය විසින් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මරණ පරීක්ෂණයේ දී ඔහු පවසා ඇත්තේ බස් රථය හෙමින් ධාවනය කරන අවස්ථාවේ ළමයි කෑ ගැසූ බවයි. එම අවස්ථාවේ ම බසය නැවතූ බවත් ඒ වනවිට මියගිය දරුවා තුවාල ලබා සිටි බවත් ඔහු කියා තිබිණි.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.ජී.වීරරත්න මහතාගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සැළකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා මෙම මරණය සිදුව ඇත්තේ මාර්ග අනතුර හේතුවෙන් හිසට සහ මොළයට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් යැයි තීන්දු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!